නිම් නැති නිම්නය 24

දියවන්නා ඔය පිස හමා ආ සුළඟ මේ තරම් ගිනියම් ඇයි දැයි කවීශ්වර ට සිතිණ. සූර්යයා දවසේ විඩා නිවමින් නිස්කාන්සු බැස යාමකට සූදානම් ව සිටියේ ය. දියවන්නා ජල තලය මත ලා රත් පැහැති සූර්ය කදම්බයක් මෘදු තරංග වල පැටලී තිබිණ. කොක් රෑනක් ඉංග්‍රීසි වී අකුරක හැඩයට අහස් තලාවේ රටාවක් අඳිමින් පියාසරියක යෙදී සිටියහ. වී අකුරේ තුඩෙහි ගමන් ගන්නා පෙරමුණේ රාල මඳ පියාසැලීමකින් පසු වෙනකෙකුට සිය තැන පිරිනමා පසු බායි. ඒ ඔහු ට වෙහෙස දැනෙන නිසා විය යුතු ය. උන් ඈතට ම පියඹා යන තෙක් බලා සිටි කවීශ්වර සුසුමක් හෙළමින් සිමෙන්ති බංකුවක් මත හිඳ ගත්තේ ය. ආරාධනා දැන් කාශ්‍යප අභියස බංකුවෙහි හිඳ සිටිනු පෙනේ. තත්පරයකටත් අඩු කාලයක් ඒ දර්ශනය දෙස බලා උන් කවීශ්වර යළිත් දියවන්නා දිය කඳ දෙස බලා ගත්තේ ය.

පෙර දා රාත්‍රිය වන විට කාශ්‍යප සිටියේ පුපුරා යන්නට ඔන්න මෙන්න තත්වයක ය. ඒ පීඩනය දරා ගත නො හැකි බවක් ඔහු ට දැනිණ. එක්කෝ එසේ සිටීමෙන් උමතු විය හැකි ය. නැත හොත් දිවි නසා ගැනීමේ සිතිවිල්ලක් පහළ වීමට පුළුවන. අභිමානය කියා දෙයක් තව දුරටත් ඔහු වෙත ඉතිරි වී ඇති බවක් කාශ්‍යප ට නො සිතේ. එනයින් ඔහු ඒ මොහොතට අනුව සිතට ඉඩ දී රිය නවතා ආරාධනා ට ඇමතුමක් ගත්තේ ය.

එතකොට ඇය සිටියේ මිදුලේ කුඩා පොකුණේ මසුන් ට කෑම දමමිනි. මාළු කෑම ටිකක් දිය මත වැටෙත්දී පොකුණ පුරා සරණා සියල් මත්ස්‍යයෝ පොරකමින් එතැනට රැස් වෙති. දිය තුළ නලියමින්, මුව තුඩින් කෑම ගුලි වලට අනිති. පොකුණට වරින් වර මේ මාළු පැටව් ගෙනත් දැම්මේ කවීශ්වර ය. ආරාධනා මල් පැල තවානකින් තද කහ පාටින් මල් පිපෙනා මහනෙල් පැළයක් ගෙනැවිත් එහි සිටවූවා ය. හැම දවසක ම මලක් දෙකක් පිපී එහි හිනැහෙනු දැකිය හැක. කවීශ්වර ගෙනා රතු පාට ප්ලේටි, සාරි ගප්පි, ෆැන්සි ගප්පි ඈ වර්ණවත් මසුන් පොකුණේ මානෙල් කොළ වලින් සංවෘත්ත වූ පරිසරය තුළ බෝ වී දැන් සිය ගණනක ගහනයක් තනා ගෙන සිටිති. දිව්‍යමය වර්ණ සහිත මේ කුඩා මසුන් පොකුණේ දඟ පාමින් ඒ මේ අත දුවනු දැකීම ආරාධනා ගේ ලොකුම සතුටු අතරින් එකකි. සඳයුරු ගේ හුරතල් දකින්නට තරමට, බිඟුනි ගේ සිනහව දකින්නට තරමට, ඇය මේ මසුන් ගේ දිය කෙළි දකින්නට රිසි ය. පසු ගිය කාලය පුරා වූ හිත් රිදීම් හා බිඳීම් වලදී ඇය බෝ වෙලාවක් ඔහේ පොකුණ දෙස බලා සිටියා ය. එසේ සිටියදී නො දැනුවත්ව ම හිත සන්සුන් වේ. 

“අම්මි තාත්ති කතා කරනව”

කියමින් ජංගම දුරකතනය ගෙන ඇය වෙතට දිව ආවේ බිඟුනි ය. ආරාධනා සන්සුන් සිතින් එය අතට ගත්තා ය. ඇමතුම් ගන්නට එපා කියා මීට පෙර ද ඔහු ට කියා ඇති බවක්, දුරකතනය සවනට ගත්දී ඇයට සිහි විය.

“හෙලෝ”

ඇය කාශ්‍යප යන නම නො කියා සිටියේ සිතා මතා ම ය.

“ආරාධනා”

ඒ තනි වචනයෙන් ඇගේ ආත්මය ගල් වූ බවක් ආරාධනා ට දැනිණ. ඒ වාගේ හැඟීමකින් සිය යුග දිවිය හා බැඳුනු වසර අට තුළ දී එක වතාවක් හෝ ඔහු ඇය අමතා ඇතැයි ආරාධනා ට සිහි කර ගත නො හැකි ය.

“මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ”

කාශ්‍යප ඒ වෙලාවේ සිටියේ මග අයිනෙහි මෝටර් රථය නවතා ගෙන ය. ඔහු වමතෙහි ඇඟිලි තුඩගින් ඇස් කෙවෙනි තද කොට ගත්තේ ය. ඒ වචන ටිකත් එක්ක, ටික දවසක් තිස්සේ ආත්මය තද කොට මිරිකා ගෙන උන් වියරු ගතිය පහ වී යන බවක් ඔහු ට දැනිණ.

ආරාධනා ගේ පපුවෙහි හිර වීමක් ඇති නොවුණා ම නොවේ. මුළුමනින් ඔහු ට සිය ජීවිතයෙන් යන්නට හැර හිත හදා ගත්තා යි සිතා ගෙන සිටියද, තවමත් සිය නීත්‍යානුකූල සැමියා වශයෙන් පවතින ඔහු ගැන කම්පිත හැඟීමක් ඇය වෙළා ගත්තේ ය.

“කියන්න කාශ්‍යප”

ආරාධනා අසීරුවෙන්, උගුර යටින් කියා ගත්තා ය.

“මට හුඟක් දේවල් කතා කරන්න තියනව ආරාධනා…”

“ක්..කමක් නෑ…කියන්න”

“මෙහෙම නෙවෙයි. ඔයාව හම්බ වෙලා”

මොහොතකට ඇය ගොළු වූවා ය. ජීවිතය කියන්නේ මොන තරම් වෙනස් වූ ස්ථානයක් ද? ඔවුහු වසර අටක් අඹු සැමියන් ලෙස ජීවත් වූහ. ඒ මුළු කාලය පුරා ම සැබවින් ම ඔහු ට ඇය හා කතා කරන්නට දෙයක් නො තිබුණ තරමි. කතා කිරීම වෙනුවෙන් ඔහු ඇයට අනුබල දුන්නේ ද නැත. ආරාධනා දරුවන් ගේ සුරතල් හා දඟ වැඩ ගැන හවසට ඔහු ගෙදර ආ විට කියවූවා ය. ගෙදර වැදගත් යමක් ගැන කතා කළා ය. ඒ බොහෝ තැන් වලදී කාශ්‍යප ගේ ප්‍රතිචාර ඔව් නෑ බෑ ලෙස කෙටි විය. ඇතැම් විට ව්‍යාජ සිනහවක් මවා ගත්තේ ය. ඒ කිසිත් හදවතින් ම උපන් ඒවා නොවේ. මවා පෑම් ය. යුතුකම් ය. ව්‍යාජයන් ය. මේ තරම් ඇය ගැන හැඟීමක්, ඇය ළඟ සිටි එක මොහොතක හෝ ඔහු ට දැනී නැත.

“හම්බ…වෙලා…ඇයි කාශ්‍යප…”

ආරාධනා ට ගොත ගැසිණ.

“මට මේ අවස්තාවවත් දෙන්න ආරාධනා. ප්ලීස්…ඔයත් මේ වෙලාවෙ මග ඇරියොත්…මන් දන්නෑ…මට මේ ජීවිතේ අත් අරින්න හිතෙයිද කියල මන් දන්නෑ”

ඔහු ඒ කීවේ බොරුවක් නොවේ. ඔහු ඒ කළේ රංගනයක් නොවේ. සැබවින් ඒ මොහොත තුළ ඔහු සිටියේ එවන් තත්වයක ය. එවන් පීඩනයක ය. ආරාධනා ගේ අභ්‍යන්තරය භූමි කම්පාවක් වන් දෙදරීමකට ලක් විය.

“ම්…මං…මෙසේජ් එකක් තියන්නං කාශ්‍යප”

“මං බලං ඉන්නව”

ඇය වහා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. මුළු සිරුර ම ගැහෙනවා සේ ආරාධනා ට දැනිණ. ඇය දුරකතනය  පපුවට තුරුලු කර ගත් වන දිය තුළ දඟ පානා මත්ස්‍ය රෑන දෙස බලා ගත්තා  ය.

ජීවිතය කියන්නේ සැබවින් ම අමුතු තැනකි!

කුමක් කළ යුතු ද කියා සැබවින් ආරාධනා ට සිතා ගත හැකි වූයේ නැත. ඇය හැන්දෑ වරුවේ ගෙදර කටයුතු වල නිරත වූයේ කල්පනා කරමිනි. කෑම මේසයේ දී කාශ්‍යප ගේ මේ දුරකතන ඇමතුම ගැන ආරාධනා ගෙදර අයට දැනුම් දුන්නා ය. කවීශ්වර සිටියේ බුම්මා ගෙන ය. ආරාධනා ඔහු ගෙනැවිත් දුන් ආලේපන වලට මුදල් ගෙවන්නට උත්සාහ කිරීම ගැන ඒ වෙත්දීත් ඔහු ගේ තරහ තුනී වී ගොස් තිබුණේ නැත. කාශ්‍යප ට ආරාධනා හමු වීමට අවශ්‍යයි කියන ආරංචිය ත් එක්ක ඔහු අභ්‍යන්තර ගැස්මකට ලක් විය. නමුත් ඒ ගැස්මත් එක්ක ම ඇස් පහළට, බත් පත දෙසට යොමා ගෙන ම සිටියේ ය. ඔහු ට එහි කිසිදු ගාණක් වූයේ නැතැයි ආරාධනා සිතුවා ය.

“මොකටද ඒකාව හම්බ වෙන්න යන්නෙ…නෑ ඕන නෑ. දික්කසාද වෙන්න නඩුත් දාල තියන ගෑනිව…අවුරුදු විස්සෙදි යාළු වෙලා ඉන්න කෙල්ලව වගේ තැන් තැන් වල හම්බ වෙන්න ඕනයි කියන්නෙ. පිස්සුද ඌට…මොන නඩලන්ද මේ…”

ගජධීර සිය විරෝධය පළ කළේ ය. ආරාධනා ඔහු දෙස ද කවීශ්වර දෙස ද මාරුවෙන් මාරුවට බැලුවා ය. නමුත් කවීශ්වර හිස එසවූයේ හෝ නැත.

“පුතාලගෙ තාත්තෙ…පොඩ්ඩක් ඔයා කලබල නොවී ඉන්නකො”

රාජිකා මැණිකේ ඒ රත් වූ වායු ගෝලය මඳක් සිහිලැල් කරවනු වස් පවන් සැලීමේ උත්සාහයක් දැරුවා ය.

“මොනා වුණත්..ඒගොල්ලොන්ට දෙයක් කතා කර ගන්න තියනවනං…අපිට ඒවට විරුද්ද වෙන්න බෑනෙ. ලෝයර් නෝන කිව්වෙ…ඊළඟ නඩු වාරෙදි දික්කසාද තීන්දුව දුන්නත් හරියටම දික්කසාදෙ ලැබෙන්නෙ තවත් මාස තුනකින්ය කියල. දෙන්න ආයෙ එකලාස වෙන්න කැමතිනං ඒකට කාලයක් විදිහටයි ඒ මාස තුන දෙන්නෙ කියලත් කිව්වනෙ. නීතියෙනුත් එහෙම ඉඩක් දීල තියන එකේ අපිට බෑනෙ…”

“ඇයි මොකද අපිට බැරි…මේ දැරිවි අපේ. ඌ දහදුරාවෙ ගිහින් අන්තිමට…”

“පුතාලගෙ තාත්තෙ”

එවර රාජිකා මැණිකේ ගේ හඬ තානය තරමක් දැඩි වූයේ ය. ගජධීර නිහඬ විය.

“ඒක දුවගෙ කැමැත්ත. දුවගෙ තීරණේ. දුව කල්පනා කරල කැමති දෙයක් කරන්න. මොක කළත් අපේ විරුද්දත්වයක්වත් අමනාපයක්වත් නෑ”

කියන්නට හුඟක් දේවල් ආරාධනා ගේ හිතේ පොර බදමින් තිබිණ. නමුත් ඒ එකක්වත් මුවින් ගිලිහුණේ නැත. දිවි තොර කර ගන්නට හිතෙනා එක තත්පරයක් යනු ජීවිතයේත් මරණයේත් මොහොත ය. ආරාධනා එක නිමේශයක මරණය තෝරා ගත්තා ය. ඒ නිරවුල් සිහි කල්පනාවකින් ද තොර ව ය. ඒ එක මොහොත ජීවිතය දෙසට හෝ මරණය දෙසට ඔවුන් ඇද දමන්නට පුළුවන. ඒ ගැන සිතත්දීත් දැන් ඇගේ හිත හිරි වැටී යයි. කාශ්‍යප ගේ ජීවිතය කරා එවන් මොහොතක් උදා වෙනවා දකින්නට ආරාධනා ට ඕනෑ නැත. 

ඒ මුළු රාත්‍රිය කවීශ්වර ට නින්ද නො ගිය රැයකි. ඔහු ගේ ඔළුවට වද දෙන කාරණා යුග්මයක් තිබිණි. එකක් කාශ්‍යප යළිත් ආරාධනා හමු විය යුතු බවට කළ ඉල්ලීම ය. නමුත් වඩා වැදගත් දෙය ඒ නොවේ. ආරාධනා ආලේපන වල බිල ගෙවන්නට සූදානම් වීම ය.

කවදාවත් නැති ලෙස ඔහු ගේ හිත රිදී තිබිණ. පෑරී තිබිණි. තැලී තිබිණි. ආරාධනා ගේ හැටි නො දැන ඔහු ඒවා ගෙන ආවා නොවේ. ඇය ආඩම්බර ගැහැනියක බව ඔහු තරම් දැන සිටි වෙනකෙකු ඇතැයි සිතිය නො හැකි ය. පිටස්තර පිරිමියෙකුට ඈ සිය අතැඟිලි තුඩකට හෝ අත තබන්නට ඉඩ තැබූ ගැහැනියක නොවේ. ඇසුරු කරන ඕනෑ ම පිරිමියෙකු සමග තබා ගත යුතු පරතරය ඇය නඩත්තු කළේ ඇගේ ස්ත්‍රීත්වයෙන් ම ය. ඇගේ ලාලිත්‍යයෙන් ම ය. ඇගේ භාෂා විලාශයෙන් ම ය. ඇගේ බැල්මෙන් ම ය. එය බෙහෙවින් මිත්‍රශීලී විය. සහෝදරාත්මක විය. එතැන්හිදී ඉන් ඔබ්බට කිසිදු අදහසක් ඇති කර ගන්නට ඇය විසින් කිසිවෙකුට අල්ප මාත්‍රික ඉඩක් නො තබන ලදී. රිංගා එන්නට කෙස් ගසක අවකාශයක් නො තබන ලදී. ශැම්පු කන්ඩිශනර් නොව රන් රිදී තෑගි දුන්නත් ඊට වැඩි අවකාශයක් සලසා දෙන්නට ඇය සූදානම් නැති බව කවීශ්වර දනී. අද ඊයේ නොව ඉතා ඈත අතීතයේ සිට ම දනී. ඔහු ට දුක හිතෙන්නේ ඒ ගැන නොවේ. ඇය ඔහු තමන්ගේ කෙනෙකු ලෙස හෝ සිතුවේ නැත කියා සිතෙත්දී ය. 

“අනේ තැන්කූ කවීශ්වර” කියා ඇය සිය ආඩම්බර සිනහවෙන් ම ඒවා ගෙන ඉවත බලා ගත්තා නම් ඔහු ට මේ තරම් දුකක් නො දැනෙන්නට තිබිණ. ඔවුන් දෙදෙනා අතරට මුදල් දිගු කොට මේ පරතරය හුවා නො දැක්වී නම් ඔහු ට මේ දුක නො දැනෙන්නට තිබිණ.

ආරාධනා කවීශ්වර කෙරේ ඒ පරතරය ඇති කර ගත්තේ ඇගේ යෞවනයේ දී ය. එක්තරා කාලයක දී ඔහු ඇය දෙස බලන්නට ගත් දෑසෙහි අමුත්තක් දැනුණ විට මුලින් ම ඇය සසැලී ගියා ය. ඒ වූ කලී ප්‍රේමයකට ආසන්න හෝ වූ තිගැස්මක් නොවේ. ඒ වෙත්දීත් කවීශ්වර ගේ කල් ක්‍රියාව ගැන ඇය හොඳින් දැන සිටියා ය. ඔහු ගැහැනු ඇසුරේ විශේෂඥයෙකු බව නො දත් බාලිකාවක මුළු කොළඹට ම වූයේ නැත. ආරාධනා එහෙම පිරිමි සුළඟක් හෝ වදින්නට රිසි නොවූ එකියකි. ඇය බිය වූයේ ඒ කිසිවක් ගැන නොවේ. කවීශ්වර ගේ නොමනා කම් නිසාවෙන් කාවින්දි සමග ඇගේ ඇසුරට නැවතීමේ තිත තියන්නට සිදු වේවී කියා ය. ඇය සොයා ගෙන සැනසුම් පායට එන ගමන් වලට කණකොකා හඬලාවී කියා ය. ඒ නිසා ම කවීශ්වර ගේ ඇස් බැල්මේ වෙනසක් දුටු දා පටන් හැකි තාක් ඇය ඔහු මගහැරියා ය. මුහුණ ට හමු වූ විට ඉක්මන් සිනහවකින් බිම බැලුවා ය. කවීශ්වර බොහෝ යුවතියන්ට සේ ඇයට ද පෙම් පලහිලව්වකට ඇරයුම් කරාවියි සැබවින් ම ආරාධනා බියෙන් සිටියා ය. ඇය මුල සිට ම සිය හදවත පරිස්සම් කර ගන්නට තැත් කළ යුවතියකි. නමුත් විශ්ව විද්‍යාලයේ දී ඒක පාර්ශ්වික ප්‍රේමයේ සැඩ රළකට හසු වී, ඈ එතෙක් පරිස්සම් කර ගෙන උන් ජීවිත යාත්‍රාවේ හදවත් රුවල් කැඩී බිඳී ගියේ ය. අසීරුවෙන් දුෂ්කර සමයක් පසු කොට සුන් බුන් වූ ජීවිත යාත්‍රාව ගොඩබිම කරා යාත්‍රා කරමින් සිටියදී කාශ්‍යප විවාහ යෝජනාවක් ගෙනාවේ ය. දෙවරක් නො සිතා ආරාධනා ඊට එකඟ වූයේ ඔහු නැංගුරම් ලන්නට සුරක්ෂිත වෙරළක් වෙතැයි අපේක්ෂාවෙනි.

“කාශ්‍යප හම්බ වෙන්න යනවනං එක්කං යන්නං. එන තැනක් කතා කර ගෙන මට කියන්න”

උදේ බිඟුනි ව මෝටර් රථයට නංවත්දී කවීශ්වර එසේ කීවේ බුම්මා ගත් මුහුණ වෙනස් නොකර ය. ආරාධනා දෙස නො බලා සිටින්නට ද ඔහු උත්සාහ කළේ ය.

“අනේ තැන්කූ කවීශ්වර. හිතේ පසුතැවීමක් තියා ගෙන ජීවත් වෙන්න ඕන නෑ. මේ ගමනත් මං යනව. එයාට කියන්න තියන දෙයක් කියයිනෙ එතකොට”

කවීශ්වර  හිත තද කර ගත්තේ ය. ඇය සතුටෙන් සිටිනවා නම් ඒ ඇති ය. සතුට කියා ඇය තෝරා ගත් කිසිවක් ගැන කිසි දා එරෙහි වන්නට හෝ සිය හදවත අතට ගෙන පෙන්වන්නට කවදාවත් ඔහු උත්සාහ කොට ද නැත. ඇය නැවත ද වරක් කාශ්‍යප ව ම තෝරා ගත්තත් ආරාධනා එක්ක තරහා වෙන්නට ඔහු ට බැරි ය.

“හැබැයි මේ ආත්මෙ විතරයි ආරාධනා මෙහෙම. ඊළඟ ආත්මෙවත් මට චාන්ස් එකක් දෙන්න ඕනෙ”

රිය පාරට ගන්නා ගමන් ඔහු එහෙම සිතුවේ ය. කවීශ්වර ගේ ඇස් වලට තෙතමනයක් කාන්දු වී තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles