ගෙදර 

 

ශමෙල් ගේ බිරිඳ සවනි. සවනියි ශමෙලුයි විවාහ වෙලා මේ ගෙවෙන්නේ දෙවෙනි අවුරුද්ද. ශමෙල් කොහොමටත් පොඩි පොඩි කාරණා ගැන පවා සැලකිලිමත් පිරිමියෙක්. පවුලේ වැඩිමලා විදියට නංගිලා හතර දෙනෙක්ගේ වගකීම් පොඩි කාලේ ඉඳන්ම දරපු නිසාම ගෑණු ළමයින්ගේ පොඩි පොඩි කාරණා ගැන ශමෙල් හරියට සැලකිලිමත් වුණා. 

සවනි ස්වභාවයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ කෙනෙක්. සවනි පවුලේ බාලයා. අය්යලා හතරක් එක්ක අක්කා කෙනෙක්ගේ හුරතලී. ඒ නිසාම සවනි හුරුවෙලා හිටියේ රැක බලාගන්නා ජීවීතේකට.

ඒ විදි දෙකම එකට යා වෙලා ගැලපුණ නිසා සවනිගෙයි,ශමල්ගෙයි ආදර කතාවත් ලස්සනට ගැලපුණා. ශමෙල්ගෙන්  සවනි බලාපොරොත්තු වෙලා උන්න පිරිමි රැක්ම, බෑ ලැබුණා. නංගිලා වගේම රැකෙන ජීවියෙක් වුණ නිසා සවනිව ශමෙල්ට දරාගන්න පහසු බව දැනුණා. 

අවුරුදු දෙක තුන ගෙවෙනකොට ඒ ගෙවමින් උන්න ජීවිතෙන් ඉස්සෙල්ලාම හෙම්බත් වෙන්න පටන් ගත්තේ ශමෙල්.  ඔෆිස් එකේ, නෑදෑයෝ අතර හමුවෙන ගැහැණු බිරින්දෑවරු විදියට රඟපාන චරිත එක්ක සවනිව සැසඳෙන එක ශමෙල්ට ගලපගන්න බැරුව ගියා. මුණගැහෙන පිරිමි එක්ක තමන්ව සැසඳෙන්න ගත්තා. ජීවිතේ හරි මහන්සියට දැනෙන්න ගත්තා. 

 සවනිව නුරුස්සන එක ,  ඒ බව ඇගෙන් හංඟන්න සවනි ට සයිලන්ට් පනිශ්මන්ට් දෙන එක ශමෙල්ට පුරුද්දකට ගියා. 

ශමෙල්ගේ ඒ වෙනස සවනි දරාගත්තේ හරි ම අපහසුවෙන්. ඔෆිස් ගිහිල්ලා ගෙදර එනකල් පැය බාගේ පවා විනාඩියක්වත් නිශ්ශබ්දව නොඉඳපු දෙන්නා, එකිනෙකා නොදන්න ගානට ලෝකවල තනි වුණා. 

සවනි ඒ ගැන ඉස්සෙල්ලාම කිව්වේ පොඩි අය්යගේ බිරිඳට.

“මට හිතාගන්න බෑ අක්කී… අය්යා එහෙම කොහොමද කියලා … සමහර දවස්වලට එයා මගේ මූණවත් බලන්නේ නෑ.. “

කුරුළු කූඩුවක් වගේ තිබුණ ගෙදරට වස් වැදිලා කියලා සවනිගේ නෑනාට සවනිගේ කඳුළු වලින්ම තේරුණා. ඒ වෙනුවෙන් හරි තීරණයක් ගන්න නොතේරුණ නිසාම දෙන්නා එක්ක ලොකු නෑනාට කතා කලා.

“නංගී … ඔය දෙන්නගේ ජීවිතේ ඇතුල ගැන හොඳටම දන්නේ ඔය දෙන්නා.. මල්ලී ඔයාට කොච්චරක් සැනසීමක්ද කියලා ඔයාම අපිට කිව්වා… දැන් එයා මෙහෙම වෙනස් වෙලා නම් ඔයාම හේතුව හොයන්න බලන්න.. ඒකට ඉස්සෙල්ලාම කරන්න ඕනි මල්ලි එක්ක කතා කරන එක ..”

සවනි වේලාසන ගෙදර ආවේ ශමෙල්ට කෙටි පණිවිඩයක් තියලා. උදේට ඇවිල්ලා  ගෙදර වැඩ කරලා හවසට ආයෙම යන කාන්ති එක්ක එකතු වෙලා සවනි ලාවා කේක් එකක් හැදුවා. කාලෙකින් හැදුවා උනත්, ඉස්සර පෙනුනටම කේක් එක පේනකොට සවනිගේ හිතත් පිරුණා.

“නෝනා.. මං දැන් යන්නම්.. නෝනාට ආයේ ඕනි උනොත් මං එන්නම්…”

දැනුම් තේරුම් තිබුණ වැඩිහිටි කාන්තාවක් වුණ කාන්ති, දෙන්නගේ හිත් නොහොඳකම ගැන අවදානෙන් උන්නේ. අද සවනි සූදානම් වෙන්නේ ශමෙල් එක්ක කතාබහකට කියලා තේරුණ නිසාම කාන්ති වේලාසනම ගෙදර ගියා. 

මිල්ක් ශේක් දෙකක් හදලා ශීතකරණට දැම්මා. බැල්කනි එකට එක බීන් බෑග් එකක් විතරක් ගෙනිහින් තියලා පොඩි මේසයක් තිව්වා. කේක් එකයි, චොකලට් ටිකයි, ඇපල්, මිදි ටිකකුයි මේසෙට තිව්වා. 

ශමෙල් ගෙදර ඇවිල්ලා නාලා කුස්සියට ආවා. කුස්සියේ තිබුණේ සවනිගේ ශැම්පූ සුවඳ. 

ශමෙල් එහෙමම එතනින් බැල්කනියට ගොඩ වුණා. සවනි මිල්ක් ශේක් දෙක මේසේ උඩින් තියලා ආයෙම හැරෙනකොටම ශමෙල් එතන.

“මොකද මේ .”

“කතා කරන්න ඕනි…”

සවනි එහෙම කියලා බීන් බෑග් එකේකොනක ඉඳගත්තා. ශමෙල් ඉඩ තිබුණ අනෙක් පැත්තෙන් ඉඳගත්තේ මේසේ උඩ තිබුණ ලාවා කේක් එක දිහා බලාගෙන.

“කාන්තිද හැදුවේ..?”

“මම….”

සවනි එහෙම කියලා ශමෙල්ට හේත්තු වුණා. ශමෙල් සවනිගේ කර වටේ අත දාලා ඇයට හුරු උරිස්ස දුන්නා.

“මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ ?”

සවනි එක පාරටම එහෙම ඇහුවම ශමෙල්ට දෙන්න උත්තරයක් තිබුනේ නැහැ. ඒත් ශමෙල් කාරණා ගැලපුවා. 

“මං පොඩි කාලේ ඉඳන්ම බලාගන්න හුරු උන කෙනෙක්.. අම්මව, නංගිලව, පුංචිලව… හැමෝම මගෙන් බලාපොරොත්තු වුණේ රැකවරණය .. මට ඒක වෙහෙසක් විදියට දැනුණේ නෑ. ඒක මහ ලොකු දෙයක් විදියට හිතලා, ඒකෙන් මට කොච්චර මහන්සි දැනුනත් , වගකීමක් ගානට මං ඒවා කලා..

ඔයාව මුණ ගැහුනම , අපි බැන්දම මට ඒක ඒ විදියටම කරන වෙන එක කිසිම අමුත්තක් වෙනසක් වුණේ නෑ.. ඔයා චූටි නංගි වගේ… ඇලි ඇලී ළඟ ඉන්න ඕනි…

ඒත්, මට හරි මහන්සියි දැනෙනවා සවනි.. දැන් මට හය්යක් නැහැ වගේ දැනෙනවා. දැන් මට ඕනි සීතලෙන් දිය වෙලා යන්න… මාව බලාගන්න ගෑණියෙක්ගේ පපුව උඩ මහන්සි අරින්න… කොටින්ම මේ බිත්ති අස්සේ නෙවෙයි මගේ ගෙදර තිබුණේ… ඔයයි මායි  ඉන්න ඕනෙම තැනක් මට ගෙදර …… ඒත් මට මහන්සියි ඒ ගෙදර උස්සන් ඉන්න….

මං අසාධාරණයි ..ඔයා කැමති උනේ මේ දැන් ඉන්න මට නෙවෙයි … අය්යලා, තාත්තා වගේ ඔයාව බලාගත්ත මට… 

මං ඒ ලෝක දෙකේ හිරවෙලා.. කතා නොකර ඉන්නේ, මගෙන් හිත රිදවෙන දෙයක් කියවේවි බයට… ඔයා දිහා නොබලා ඉන්නේ, දුකින් ඉන්නවා පේනකොට මට මං එක්කම තරහ නිසා…”

 අන්තිම ලාවා කේක් කෑල්ල ඉවර වුනා. සවනි මිල්ක්ශේක් වීදුරුවක් දෙකට බෙදාගන්න හිතාගෙන අතට ගත්තා.

” මං කැමති වුණේ, ආදරේ කලේ තාත්තා අය්යාලා වගේ මාව බලාගන්න පොරොන්දු දුන්න කෙනාට විතරක් නෙවෙයි .. මෙන්න මෙහෙම ඇත්තටම ඇත්ත කියලා ඇත්තම විදියෙන් මා එක්ක ඉන්න කෙනාට… ඔයාට මහන්සි නිවෙනකල් මං මේ බැට්න් එක අතට ගන්නම් ….. අපේ ගෙදර මං  උස්සලා උරෙන් තියා  තියාගන්නම්….”

සවනි ශමෙල්ගේ උරිස්සෙන් ඔලුව තියාගත්තා. ශමෙල් සැනසීමෙන් හිනාවුණා. ආයෙම ඉස්සර හය්යෙන් ජීවිතේ දුවන්න ගැම්මක් ආව බව තේරුණා.

ගෙදරක් කියන්නේ බිත්ති හතරක් නෙවෙයි. තමන් එක්ක ඉන්න අනෙක් කෙනාගේ මහන්සිය නිවාගන්න උරිස්ස දෙන කෙනෙක්. ගෙදර හැදෙන්නේ එහෙම. 

| අපේක්ශා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles