කවීශ්වර ඉදිරිය බලා ගෙන රිය පදවයි. තවමත් ඔහු එක වදනකුදු කතා කළේ නැත. ආරාධනා වරින් වර ඔහු දෙස හැරී බැලුවා ය. පෙර දා ඔහු ගෙනැවිත් දුන් බඩු වලට මුදල් ගෙවන්නට යාම නිසා කවීශ්වර තරහා ගත් බව ආරාධනා ට වැටහුණේ ඒ වෙලාවේ ම ය. ඔහු ගේ ඇස් වලින් ගින්දර පිට වෙන හැටි ඇය දුටුවා ය. කෑම මේසයේ දී අසාමාන්‍ය ලෙස ඔහු නිශ්ශබ්ද වූ බව ද ඇය ට නිරීක්ෂණය කළ හැකි විය. කාශ්‍යප ගේ දුරකතන ඇමතුම ගැන ද ඔහු කිසිදු අදහසක් පළ නො කළේ ය. උදේ බිඟුනි පාසල් ගෙන යන්නට අවදි වී සිටිය ද පුරුදු පරිදි මුළුතැන්ගෙට ආවේ නැත. ආරාධනා කිරි කෝපි මග් එක ගෙන දොර විවර කොට තිබූ කාමරයට ගියා ය.
“කවීශ්වර..තේ එක බොන්න”
කියා ඈ කී ස්වරයේ සමාව ඉල්ලා සිටීමක් තැවරී තිබිණ.
“තියල යන්න”
නමුත් ඔහු මොළොක් නොකළ හඬින් යුතුව කීවේ ය. බිඟුනි ව රියට නංවත්දී, කාශ්‍යප හමු වන්නට යාම ගැන ඔහු කළ යෝජනාව ආරාධනා ට සැනසීමක් දැනවී ය. ඒ වන තුරුත් ඔහු හමු වනවාද නැතිද යන අදහස ස්ථිර වශයෙන් ඇය තුළ වූයේ නැත. නමුත් කවීශ්වර ගේ යෝජනාවත් එක්ක, ඔහු ට එකඟ වනු වස් ඇය ඉක්මන් තීරණයක් ගත්තා ය.
‘ශොප් එකේ බඩු එහෙම හිතෙන හිතෙන විදිහට ගෙදර ගෙනත් හරියන්නෑනෙ. මෝඩය!’
ඇය ගෙතුළට ආවේ ඒ සැහැල්ලු සිතිවිල්ලත් එක්ක ය. ආරාධනා කාශ්‍යප හමු වීමට සූදානම් බවට කෙටි පණිවිඩයක් යැව්වේ ඒ වෙලාවේ ය. තැන ද වෙලාව ද නියම කළේ ඇයයි. කාශ්‍යප ගහනා බෙර පද වල තාලයට මින් මතු කිසි දාක තමන් නටන්නේ නැති වග ඇය ට ඉර හඳ සේ විශ්වාස ය!
“කවීශ්වර”
ආරාධනා සිහින් ලෙස මිමිණුවා ය. ඇගේ ඇස් මත්තේ බැගෑපත් බැල්මක් විය. කාශ්‍යප නික්ම ගිය පසු දරු දෙදෙනා වෙනුවෙන් කවීශ්වර කළ දේවල් කිසි සේත් ඇය බලාපොරොත්තු වූ ඒවා නොවේ. ඇය දැන සිටි කවීශ්වර ට එවන් වගකීම් සහගත බවකින් ක්‍රියා කළ හැකැයි ඇය සිතුවේ ද නැත. ඒ කිසිත් අමතක කළ නො හැක. අවතක්සේරු කළ නො හැක. ඇය හැමදාමත් ඔහු තබා ගත්තේ එක්තරා සීමාවක බව ඇත්ත ය. නමුත් කාශ්‍යප නික්ම ගොස් ඇය සැනසුම් පායේ තනි වූවාට පස්සේ වුව ඔහු එක වැරදි බැල්මක් හෝ නො හෙලු බව ආරාධනා ට විශ්වාස ය.
“කාශ්‍යප මොනාද කිව්වෙ කියලවත් අහන්නැද්ද ඔයා…”
ඇගේ ස්වරයේ කඳුළකට ආසන්න තෙතක් තැවරී තිබිණ. නමුත් කවීශ්වර ඇසක් හරවා බැලුවේ නැත.
“මං සල්ලි දුන්නෙ…ඒව ශොප් එකේ දේවල් නිසානෙ… බිස්නස් එකක්නං ඒක බිස්නස් එකක් විදිහට කරන්න ඕනනෙ… පර්සනල් දේවල් එක්ක පටලෝගෙන බෑනෙ…අනික මං ඔයාගෙ ශොප් එකට ඇවිත් කලින් ගද්දිත් බිල් එක පේ කළානෙ. වෙන තැනකින් ගත්ත වුණත් සල්ලි ගෙවන්න ඕනනෙ අනේ”
ඒ සියල්ල අදාල වන්නේ ඇය සිය හදවතින් පිටත සිටින තුරා යයි කවීශ්වර මඳහසකින් සිතුවේ ය. කොහොමත් ඇයට ඔහු පිටස්තර ය. සිත ඇතුළට හිස පොවනා ඉඩක්වත් කිසි දා ඇය විසින් ඔහු ට නො දෙනා ලදී.
“ඒකට ඔච්චර තරහ ගන්න එපා ඉතිං. අනික් එක ඔයා සල්ලි ගත්තෙත් නෑනෙ. මං දන්නව ඔයා කරන දේවල් වලට කවදාවත් සල්ලි වලින් ගෙවන්න බෑ කියල. මේ ගමන වුණත්…ඔයාට මොනා ලැබෙනවට එක්කං ගියාද…ටියුශන් ක්ලාස් එක නිසා මාව එහෙට මෙහෙට අදින්න වුණත් ඔයා කොච්චර පෙට්‍රල් පුච්චනවද…ඒවට මං ගෙවල නෑනෙ…සොරි ඉතිං…”
කවීශ්වර ගේ හිත පිරී ගියේ ය. නමුත් ඔහු ඇදෙස බලන්නට නොයා තව දුරටත් ඉදිරිය බලා ගෙන රිය ධාවනය කළේ ය. බලාපොරොත්තු සුන් වීමට පත් ආරාධනා අසුනට හිස බර කොට ගෙන පැති වීදුරුවෙන් පිටත බලා ගත්තා ය.
“මොනාද දැං කාශ්‍යප කියන්නෙ…”
ඒ ප්‍රශ්නය යොමු වූයේ ඇය හිත නරක් කර ගෙන සිටියදී ය. ආරාධනා වහා යළි කවීශ්වර දෙස බැලුවා ය. ඇගෙන් ගිළිහුණ හුස්මේ හඬ නිසා ඔහු ද එක නිමේශයකට ඇදෙස බැලුවේ ය. සිව් නෙත් හමු වන්නට පෙර ආරාධනා ඇස් පියන් පත් බිමට හැරවූවා ය.
කාශ්‍යප ඇස් පිරෙන්නට මුල් ම වතාවට ආරාධනා දෙස බැලුවේ එදා දියත උයන පරිශ්‍රයේ කොංක්‍රීට් මේසයක ඔහු අභියස ඇය හිඳ ගෙන සිටියදී යයි කිව හැකි තරමි. ඇය හොඳින් සිටියා ය. නිදුකින් සිටියා ය. ඒ ඇස් වල ශෝකයක්, ළතැවුලක්, සංකාවක් හෝ තැවුලක් වූයේ ම නැත. ඇය ඍජු ව හිඳ ඍජු ව ඔහු දෙස බැලුවා ය. ඒ තරම් දිරියක් ඇයට තිබිණි. ඒ තරමට ඇය නිවැරදි වූවා ය. නිවැරදි මිනිසුන් ගේ ආත්මය විශ්වාසයෙන් බබළයි. ඒ ඕරාව ඔවුන් ගේ ශරීර කූඩුව ද බබළවයි. ආරාධනා ගේ ඇස් වලින් කාන්තියක් වෑහිණි. මුහුණේ දීප්තියක් විය. ඇය ඔහු වෙනුවෙන් හඬා වැටුණු දින වල කාශ්‍යප ට එය හිස රදයක් විය. ගජධීර ද කවීශ්වර ද විත් ඇගේ දුක කියා ඔහු ව යළි කැඳවත්දී ඔහු ට එය වදයක් විය. ඉක්මනින් හිත හදා ගෙන ඇය යථාවත් විය යුතු යයි ඔහු සිතුවේ ය. නමුත් අද ඇය මෙහෙම නිදුකින් හිඳිනු දකිත්දී ඔහු ඊර්ෂ්‍යාකාර හැඟීමකින් පෙළෙන්නට ගත්තේ ය. කාශ්‍යප ගේ මුහුණ අඳුරු වී තිබිණි. ඔහු ගේ දෙතොල් වියළී සුදු මැළි වී ඇති සැටි ආරාධනා දුටුවා ය. ඒ ඇස් ගිලී ගොසිනි. අපිලිවෙල රැවුල් කොට නිසා අවතැන් පෙනුමක් ඔහු වෙතින් දිස් වේ. ආරාධනා ගේ පපුව හෝස් ගා දැවී ගියේ ය. ඔහු වූ කලී අතිශය පිලිවෙලකට, ලස්සනට, අභිමානවත්ව, හිස කෙලින් තබා ගෙන ජීවත් වූ අහංකාර මිනිසෙකි. ආරාධනා දන්නා කාශ්‍යප එසේ ය. දැන් නොව මීට අවුරුදු පහළවකට කලින් යෞවනයේ දී ද ඔහු එසේ ය. ප්‍රභාමත් ය.
කාශ්‍යප මඳ වෙලාවක් ඉවත බලා ගෙන සිටියේ ය. ලැජ්ජාව ද පසුතැවීම ද යටපත් කොට ගෙන ඊළඟට ඇදෙසට නැඹුරු වූයේ ය.
“දැන් ඔයාගෙ තීරණේ මොකද්ද…”
ඒ ප්‍රශ්නය තුළ ඔහු ට පුරුදු අහංකාරය තිබිණි. ඇය ඉදිරියේ හැමදාමත් ඔහු රඳවා ගෙන සිටි අහංකාරය මේ මොහොතේ ද එළියට පැන්නේ ය.
“මගෙ තීරණේ කිව්වෙ…අපිට දැන් අලුතෙන් ගන්න තීරණයක් නෑනෙ කාශ්‍යප…නඩුව දාලනෙ තියෙන්නෙ…ලෝයර් කිව්වෙ ඊළඟ නඩු වාරෙදි තීන්දුව ලැබෙයි කියලනෙ. හැබැයි ඔයාට ආයෙ මැරි කරන්නනං තව තුන් මාසයක් ඉන්න වෙනව”
කාශ්‍යප නො සන්සුන් ව වට පිට බැලුවේ ය. පුරුදු පරිදි ඇය පාගා ගන්නට, යටපත් කොට ගන්නට ඔහු ට ඕනෑ ය. තීරණයක් ගන්නට බැරි, ඔහු ගේ පදයට නටනා ආරාධනා ව පාලනය කරනා එක පහසු ය.
“තමුං හරි ලොකු වැඩක් නේ කළේ..දික්කසාද නඩු..හහ්..”
“ඔයා මාර කතාවක්නෙ කාශ්‍යප කියන්නෙ…ඔයා අපිව දාල ගියා…ඊළඟට මටම දික්කසාද නඩු දාන්න කියල මෙසේජ් එකක් එව්ව. හැම දේම දරාගෙන මං එහෙම කළාට පස්සෙ…දැන් ඔයා මොනාද කියන්නෙ…”
“තනියම ළමයි හදා ගන්න පුළුවන්ද…ළමයි දෙන්නට තාත්තව ඕන නැද්ද..”
ආරාධනා විශ්මය ද සමච්චලය ද සම අනුපාත වලින් මුසු වූ සිනහවක් නගා ගත්තා ය.
“අනේ…ඔයාද මේ කතා කරන්නෙ…මං ළමයිනුත් අරං ඔයාව දාල ගියා වගේනෙ ඔයා දැන් කතා කරන්නෙ”
“හරි. වෙච්ච දේවල් වුණා. මිනිස්සු අතිං එහෙම දේවල් වෙන්න බැරි කමක් නෑනෙ. ඊට වැඩිය දේවල් කර කර පවුල් ඇතුළෙ මුකුත් වුණේ නෑ වගේ ඉන්න මිනිස්සු ඉන්නව. මං දන්න අයත් ඉන්නව. පවුල් දෙක තුන නඩත්තු කරන පිරිමි ඉන්නව. ඔයා කැමතිනං…අපිට පුළුවන් ආයෙ සෙට්ල් වෙන්න”
සිය හිස වටා විශ්වය ම භ්‍රමණය වන්නා සේ ආරාධනා ට දැනිණ. ඇය නො සෙල්වී එසේ ම සිටියා ය. ඒ දැනෙන්නා වූ සියල්ල ඒ ලෙස ම විඳ ගන්නට ඇයට ඉඩ දෙමින් නො සැලී සිටියා ය. ටික වෙලාවකින් කම්පන තරංග ඈතට ඈතට තුනී වී යන්නට විය. ජල තලයක් මතට බොරලු කැටයක් විසි කළ විටෙක සේ නැගුණු තරංග ඈතට නික්ම ගිය පසු විනිවිද පෙනෙනා දෑසක් හිමි වූවා වන් නිරවුල් බවක් දැනෙන්නට ගති. ඔහු ඇරයුම් කරන්නේ යළිත් එක් වන්නට ය. කිසිත් නොවුණා වාගේ පරණ පුරුදු ලෙසට ම ජීවත් වන්නට ය.
ආරාධනා එහෙම බලන් සිටි දින කිහිපයක් අතීතයට එක් වූ බව ඇත්ත ය. ඔහු මුලින් ම නික්ම ගියපසු, යළිත් පැමිණෙන තුරු යයි සිතා ඇය කිසිත් ගෙදර අයට හෝ නො කියා සිටියා ය. දරුවන් වෙනුවෙන් ඔහු ආවොත් කිසිත් නොවුණා සේ ඒ ජීවිතය පිළි ගන්නට ඇය සූදානමින් සිටියා ය. ඒත් දැන් මේ මෙතැන සිටින්නේ එදා එතැන උන් ආරාධනා සේනාසිංහ නොවේ!
ආරාධනා සිනහවක් නගා ගත්තා ය.
“නෑ කාශ්‍යප…ඒක ආයෙ කවදාවත් සිද්ද වෙන දෙයක් නෙවෙයි”
“මොකද්ද…”
කාශ්‍යප ගේ මුහුණේ වියරු පෙනුමක් ඇඳී ගියේ ය.
“අපිට ආයෙ කවදාවත් මුල ඉඳල පටන් ගන්න බෑ කියලයි මං කිව්වෙ. සමහර දේවල් තියනව එහෙම. නරක් වුණාට පස්සෙ අපි කෑමක් වුණත් කන්නෑනෙ. මොකද බඩ නරක් වෙනව. අපේ සම්බන්දෙත් ස්පොයිල් වුණා වැඩියි කියල ඔයාට තේරෙනව ඇතිනෙ. ඔයා ආයෙ කවදාවත් වරදක් නොකරන්න පුළුවන්. ඒත් මං හිතන්නෑ මට ආයෙත් ඒ විශ්වාසෙ ඇති කර ගන්න පුළුවන් වෙයි කියල. ඔයා මොන දේ කළත් මං සැකෙන් බලයි. අවිශ්වාසෙං හිතයි. ඒක අපේ සම්බන්දෙට කොහෙත්ම හොඳක් වෙන්න විදිහක් නෑනෙ. අපේ ජීවිත හැම දාම පිළුණු වෙච්ච කෑමක් වගේ වෙයි. කවදාවත් සතුටෙන් විශ්වාසෙං ඉන්න බෑ එහෙම තැනක. ඒක නිසා…මගෙ තරහක් නෑ. ඔයා ඔය තෝරගත්ත පාරෙ යන්න. ඔයාගෙ දරුවො දෙන්න ගැන බය වෙන්නවත් වද වෙන්නවත් එපා. මං ඒ දෙන්නව ලස්සනට හදනව. මේක වෙන්න තිබුණ දේ වෙන්නැති. වෙන්න තිබුණ හොඳම දේ කියල ඔයා සතුටෙන් ඉන්න. මාත් සතුටෙන්. අපි රේල් පීලි දෙකක් වගේ කවදාවත් ආයෙ එකතු නොවෙන ගමන් දෙකක් යන දෙන්නෙක්. මට පුළුවන් ඒ ගමන යන්න… ඔයා නැතුව යන්න…”
ඇය කතා කළේ කෙළින් ම කාශ්‍යප ගේ දෑස් දෙස බලා ගෙන ය. ඇගේ ඇස් සන්සුන් ය. ඍජු ය. ඇගේ බැල්ම සන්සුන් ය. ඍජු ය. ඇගේ ඉරියව් සන්සුන් ය. ඍජු ය. සූර්ය ග්‍රහණයක් පියවි ඇසින් නැරඹුවා සේ කාශ්‍යප ගේ ඇස් නිලංකාර වෙමින් තිබිණ.
“ඒකද අන්තිම තීරණේ…”
ඒ නිලංකාරය අතරින්, ද්වේශී හඬකින් ඔහු විමසී ය. ඒ වචන අතරේ වෙව්ලා යාමක් විය. ඒ ඇස් වල පරාජයේ වියරු සෙවනැලි පතිත වී තිබිණ. ඇස් කෙවෙනි වලින් රතු පාටක් මෝදු වී එමින් තිබුණේ ය.
“ඔවු කාශ්‍යප. වෙන ගෑනියෙක් ඉස්සරහ මාව අවතේක්සේරු කරපු පිරිමියෙක්ව ආයෙ කිසිම ආත්මෙක මුණගැහෙන බලාපොරොත්තුවක් මට නෑ”
“මට සමාවෙන්න ආරාධනා”
ආරාධනා තත්පර කිහිපයක් එක එල්ලේ ඔහු දෙස බලා සිටියා ය. කිසිදු රිදුමක්, තැවුලක් නො දැනෙන එක ගැන ඇයට පුදුම ය.
“ඔයාට ඕනෙ සමාවනං…ඒක ලැබුණ කියල හිතා ගන්න කාශ්‍යප. මගෙ කිසිම තරහක් නෑ. වෛරයක් නෑ. සමාව දීල මං ඔයාව අත්අරිනව. මේ සංසාර ගමනෙ ඔයාව මුණගැහෙන අන්තිම ආත්මය මේක වෙනවනං මං කැමතියි”
එපමණ ය. ඇය සන්සුන් සමාධියෙන් ම ඔහු දෙස බැලුවා ය. කාශ්‍යප හිටියේ ඒ බෝම්බ පිපිරීමේ කම්පනයට මැදිව අන්ත අසරණව ය. අනුකම්පාවක් මෝදු වෙන්නට කලින් ආරාධනා සිමෙන්ති බංකුව මතින් නැගිට ගත්තා ය.
“මං එහෙනං යන්නං. පුතා අම්මයි තාත්තයි ළඟ. කවීශ්වරත් පව්…එයාගෙ වැඩත් පාඩු වෙනව මාත් එක්ක ඇවිත්”
ඇය එතැන සිට ම කවීශ්වර නතර වූ පැත්ත බැලුවා ය. නමුත් ඇගේ දෑසට ඔහු නාභිගත කර ගත හැකි වූයේ නැත. ආරාධනා ඉන්ටලොක් ගල් ඇල්ලූ පෙත් මගට පිය තැබුවා ය.
කවීශ්වර ගේ හිතට සතුටක් දැනිණ. ආරාධනා කෙලින් ම කාශ්‍යප ප්‍රතික්ෂේප කළ එක ගැන ආඩම්බරයක් දැනිණ. නමුත් ඔවුන් දෙදෙනා යළි එකතු වෙනවා නම් ඒ ගැන ඔහු ට හෘදයාංගම ව තුටු විය හැකි බව ද ඔහු විශ්වාස කළේ ය. ඔවුන් වෙනුවෙන් හැමදාමත් ඔහු සිය හැඟීම් යටපත් කර ගත්තේ ය. ඔවුන් ගේ යහපත ඉත සිතින් පැතුවේ ය.
“තව සැරයක් හිතල බැලුවොත් හොඳ නැද්ද..”
අසීරුවෙන් උගුර පාදා ගෙන ඔහු හෙමිහිට ඇසුවේ ය. ආරාධනා කවීශ්වර දෙස හොඳින් හැරී බැලුවා ය.
“නෑ කවීශ්වර. මට ආයෙ මගෙ හිත වෙනස් කරගන්න ඕන කමක්වත්..පුළුවන් කමක්වත් නෑ”
ඒ හඬ ස්ථිරසාර වූයේ ය.