මෙතරම්ම වේදනාවක් සිතට දරාගත හැකිද යන්න මිහිකට සිතා ගන්නට නොහැක.
දෙවියනේ චරිත්‍රා….
කොහේ හෝ ඉහල මාලයක පිහිටි අවන්හලක චරිත්‍රා ඉදිරියේ මුදුවක් සහිත ආභරණ පෙට්ටියක් දිගු කරගෙන හිඳින්නේ කඩවසම් තරුණයෙකි. ඒ තරුණයා තමා හොඳින් දන්නා අයෙකු බව ඈතින් හිඳ ගන්නා ලද ජායාරුපයෙන් වුව අඳුනාගන්නට මිහිකට අපහසු නොවුණි.
“මේ අර ෆේස්බුක් එකේ තිබුන ෆොටෝ එක ඉඳපු කොල්ල නේද?”
ඒ විමසන්නේ යටි සිතයි.
ආදරය තිබුනේම නිදහස දීපු තැන්වල යන හෙඩිම සහිතව පල වූ ඒ ජායාරූපයේ චරිත්‍රා සිනාසෙමින් බලා හිඳින්නේ මේ කඩවසම් තරුණයා දෙසය.
ඔහුම… ඔහුම අද චරිත්‍රා ඉදිරිපස් අසුන්ගෙන් මුදුවක් දිගු කරගෙන සිනාසෙමින් හිඳී. චරිත්‍රාගේ මුහුණේ තිබෙන්නේ පුදුමයට පත් වූ බවකි. ඇය එය බලාපොරොත්තු නොවුණාක් බඳු පෙනුමකි.
ඉන්පසුව ආ වීඩියෝ පටයේ රැඳී තිබුනේ එකී පුදුමයට පත් මුහුණෙන්ම වුවද හිස උඩ පහල යවමින් ඇය දුන් පිළිතුර “ඔව්” බව මිහිකට තේරුම්ගන්නට අපහසු නොවේ.
පිරිමියෙකුට වුවද දේවල් දරාගත හැකි සීමාවක් ඇත.
කොල්ලෙක් වුනාම අඬන්න ලැජ්ජ නැද්ද යන්න සමාජය නිරතුරුවම අසන පැනයක් බව මිහික නොදන්නවා නොවේ.
එහෙත් වේදනාවක් දරාගන්නට නොහැකි තැන හඬා වැටෙනවා හැරෙන්නට වෙන කල හැකි දෙයක් මිහික දැන උන්නේ නැත.
කඳුලු කඩා වැටුනේ අහස ගුගුරා වැසි වැටෙන්නාක් බඳුව වුවද නිහඬවය.
පපුව සහ උරහිස් ගැස්සෙනු දුටුවද කිසිත් හඬක් නොනගා කඳුලු වැස්සක් දුරකතනය මතට වස්සමින් හුන් තරුණයා ගේ දර්ශනය දෙස බලා හිඳින්නට නොහැකි තැන අහස දෙදරුම් කන්නට වූයේ වේදනාවෙනි. ජනේලයට එපිටින් මහා වැස්සක් ඇද හැලේ. ජනේලයට මෙපිටින් කාමරය තුල කඳුලු වැස්සක ඇද හැලේ.
කඳුලුවලට දුක සංසිඳවීමේ හැකියාවක් තිබේ යැයි කීවද බිඳෙන් බිඳ ඉහළ යන සිත් වේදනාවද, හැඬීමෙන් කෙමෙන් කෙමෙන් රත් පැහැ වන මිහිකගේ දෑස්ද බලා සිටින්නට නොහැකි තරම් දුක්ඛිතය.
අප සියල්ලන්ම ජීවිතයේ එක් මොහොතක හෝ ප්‍රතික්ෂේප වීමට මුහුණ දී තිබේ.
මොනතරම් වේදනාවක් වුව, ලැජ්ජාවක් වුව ජීවිතයේ කෙදිනක හෝ ප්‍රතික්ෂේප වීමට මුහුණ දෙන්නට අප සියල්ලන්ටම සිදු වේ.
ප්‍රේමය ඇතිවුන දා සිට නැතිවුණ දා දක්වාත්, ඉන්පසුවත් ප්‍රේමයේ වේදනාවන් හදවතට දැනෙන බව කොහේ හෝ කියවා තිබුනා මිහිකට මතකය.
මේ ප්‍රතික්ශේප වීමක් නොවේ.
මේ කඳුලු වැසි වසින්නේ ප්‍රතික්ශේප වීමේ වේදනාව නිසා නොවේ. රැවටීමේ වේදනාව නිසාවෙනි. චරිත්‍රා තමා ජීවිතයේ සිටිද්දීම තවත් අයෙකු හා ප්‍රේමයෙන් බැඳීමේ වේදනාව නිසාවෙනි. තමාට සඟවා, තමා දුරු රටක හිඳ ඇයව මෙරටට ගෙන්වා ගැනීමට නිරතුරුවම වෙහෙසන මොහොතක පවා තමාව රැවටීමේ වේදනාව නිසාවෙනි.
මහන්සිය නිසාත්, වැඩ රාජකාරි බහුල නිසාත් තමාව අමතන්නට නොහැකි ලෙස පවසා ඇය පණිවිඩයක් එවා තිබුනේ සැබෑවටම නොවේ යන්න දැන ගැනීමත්, පෙර කෙතරම් නම් ඇය එසේ පවසා තමා අමතා නොසිටියේ දැයි යන්න මතක් වෙද්දීත් මිහිකගේ සිතේ රැවටීම නිසා හටගත් කඳුලු ගංගා වියලෙන්නට තරමේ කෝපයක් ඇති වේ.
“ඇයි චරිත්‍රා ඔයා මට මෙහෙම කරේ?
මම මොනතරම් ආදරේ කරාද?
දෙයියනේ මම කොහොමද දැන් ජීවත්වෙන්නේ? මොකද්ද මම දැන් ඊළඟට කරන්නෙ”
ඇඹුලෙන් ගත් බත් පත් සීතල නිසාවෙන් වියලී ගොසිනි.
අතේ ගෑවි තිබුණු පරිප්පු, පොල් සම්බල්, චිකන් කරි සමග මුසු ඌ බත් වේලී පොතු පොතු ලෙස බත් පතට වැටේ.
එක් අතක තිබූ දුරකතන මේසය මත තබා අඩක්වත් කා අහවර නොකල බත් පත රැගෙන මිහික ඩස්බිනය වෙත ගියේ වෙව්ලමිනි.
බත් පත් විසි කල මිහික සිසිල් දියෙන් අත සෝදද්දීත් කඳුලු අලුත් වෙමින් ඒ දියට එක්වී සින්කයේ කටින් නික්ම ගියහ.
බඩගින්නට එකතු වූ සිත් ගින්න මුලු ගතම දවාලමින් අඩපණ කරයි.
මේසය මත එක් වී තිබූ කඳුලු ගංගාව ටිශූ කඩදාසියකින් පිස දැමූ මිහික වෙව්ලමින් මෙන් නාන කාමරය වෙත ගියේ හැඬීම නිසා රතු ව දැවෙන්නට ගත් ඇස් ද, මහන්සිය නිසා දාඩියෙන් පෙඟී ඇති සිරුරද උණුසුම් වතුරෙන් සනසාලනු පිණිසය. සිසිල් දිය ගලා යන්නෙ ඇස් වලින් නොනැවතී වැටෙන කඳුලු බිඳු දරාගෙනය. නිරුවත් විසල් පපුතුර මත දෑත් තබා හඬන්නට පටන් ගත් තරුණයා තම සිරුරේ බර තමාටම දරාගන්නට නොහැකි තැන නාන කාමරයේ බිම වාඩි වී ශවරය යට උණුසුම් දියේ තෙමෙමින් හඬන්නට විය.
අතීතය මතකයක් පමණක් නම්, නොඑසේනම් මෙයා මෙසේ නොවුනා යැයි සිතා අමතක කර දමන්නට හැකි වූවා නම් මොනතරම් අපූරුද?
ජීවිත වලට සිදු වූ කෙතරම් නම් ව්‍යසන නතරකරගන්නට තිබුණිද?
එහෙත් අතීතය අමතක කරන්නට හෝ එසේ අමතක කර අලුතෙන් ඉපදුණු මිනිසෙකු මෙන් වර්තමානයට හෝ අනාගතය මුහුණ දෙන්නට කිසිවෙකුට හැකියාවක් නොලැබේ.
ජීවිතයේ වෙන සියල්ලම අපට පුරුදු පුහුණු කරන්නේ දේවල් දරාගත හැකි තැනකට ඒමටයි.
රැවටීම්ද, ප්‍රතික්ෂේප වීම්ද, පිළිගැනීම් තරම්ම විසල් හදවතින් පිළිගන්නට අපව සූදානම් කරවන්නටයි.
පැයක් පමණ ගෙන ගත දියෙන් පෙඟුවද සිතේ වේදනා මිරිකා හැරලන්නට ඒ සීතල දියට පුලුවන් කමක් නැත.තුවාය ඉණ වටා දවටා ගනිමින් තෙත හිසින් සහ සිරුරෙන් වෑහෙන වතුර බිඳු සමගින් නාන කාමරයෙන් එළියට ආවේ මේ නිවසට හුරු පුරුදු ඉක්මන් අඩි තබන, කඩිසර ගෙහිමියා නොවේ. පැය කිහිපයකින් වියපත් වූ, බරැති, ඔත්පල හිතක් ඇති මිනිසෙකි. රැවටුණු මිනිසෙකි. ප්‍රේමයේ වේදනාවන් නිසා බිඳී ගිය තරුණයෙකි. කුල ගෙය බිඳෙන්නට පටන් ගෙන ඇති බව තේරුම් ගත් සැමියෙකි.
තමා මෙහි චරිත්‍රා සමග ඇයත්, තමනුත් තම අනාගත දුවා දරුවන් වෙනුවෙනුත් තනන්නට බලාපොරොත්තු වූ කැදැල්ල දැන් ඉතින් සිහිනයක් පමණක්ම බව ඔහු හොඳින් දනී.
නාන කාමරයෙන් පිටත ආ මිහිකගේ නෙතට හසු වූයේ මේසය මත තබා තිබෙන චරිත්‍රා සහ තමාගේ විවාහ උත්සවයේ ජායාරූපයයි.
ඒ අතීත මතකයන් අමාරුවෙන් පාදා ගත් නෙත් දෙකට ආයෙම කඳුලු පුරවයි.
“ඔයා මාව රැවැට්ටුවොත් මම මොකද කරන්න ඕන?”
තමා මෙහි එන්නට පෙර ඇයත් සමග ගාල්ලේ රැයක් නතර වන්නට ගිය දිනක ඇය පැවසුවේ තමාගේ පපුතුරේ හිස හොවාගෙන හිඳිමින් රෝම කූප හෙමින් පිරිමදිමිනි. මංගල මුදුව පැළඳි තමාගේ අත ඇයගේ සුසිනිදු බඳ වටා එතී ගොස් තිබුණා තමාට මතකය.
“ඇයි මං ඔයාව රවට්ටන්නෙ?”
තමා එකී ප්‍රශ්නය ඇසුවේ ඇයගේ මේ ප්‍රේමණීය බොලඳකම් වලට මද සිනාවන් මුව නංවාගෙනය.
“පිටරට යන මිනිස්සුන්ට එහෙදි වෙන අෆෙයාර්ස් ඇති වෙන්න පුලුවන් නෙ”
“මට එහෙම කරන්න උවමනාවක් නෑ. අනික ඔයාට බයවෙන්න හේතුවකුත් නෑ. මම ගිය ඉක්මනින් ඔයාව එහෙට අරගන්නවා”
“කියන්න බෑ ලස්සන කෙල්ලො දැක්කම ඔයා බැලුවොත්?”
“බැලුවට වරදක් නෑ. අල්ලල බලන්න ගියොත් තමයි වරද” කියා තමා මහ හඬින් සිනාසෙමින් ඇයව ක්ෂණයකින් තමාගේ පපුව මතට ගත්තා මිහිකට හොඳින් මතකය.
“ඇයි ඔයා මගෙ එහෙම අහන්නෙ නැත්තෙ?”
චරිත්‍රා ඇසුවේ තමාගේ මුහුණට ඉහළින් ඇයගේ බෝපත් හැඩති සොඳුරු මුහුණ රැගෙන එමිනි.
“කොහොමද?”
ඇයගේ පියයුරු වල උණුසුම තමාගේ පපුතුර මතින් හිත වෙත ගොස් ප්‍රේමණීය මෙන්ම රාගීය මොහොතක ඔපදමන හැඟීම් දරාගත නොහැකි තරම් වුවද ඒ සියල්ලටම පෙර මේ සියලු පැනයන්ට පිළිතුරු දීම වැදගත් ය. මේ තමාගේ බිරිඳයි. අලුත විවාපත් කරගත් පාද පරිචාරිකාවයි. තමා තව දින කිහිපයකින් මෙරට හැරදා අලුත් ලොවක තමනුත් ඇය වෙනුවෙනුත් කැදැල්ලක් සාදනු පිණිස නික්ම යයි.ඉතින් ඒ යන්නට පෙර ඇයගේ සිතේ ඇති සියලු සැක සංකා නිරාකරණය කල යුතුය. තමා දුරු රටක රාජකාරියේ නිරත වෙද්දීත් ඇය මෙරට සැනසීමෙනුත්, සතුටිනුත් සිටිය යුතුමය.
“මාව මෙහේ දාල ඔයාට රට යන එක ගැන බයක් නැද්ද?”
“ඇයි බයවෙන්නෙ”
“මම වෙන කෙනෙක් එක්ක යාලුවුණොත්”
“මට ඒ ගැන කිසිම බයක් නෑ”
“ඇයි?”
“මම දන්නවා කවුරු මට දුක් ගින්දරක් දුන්නත් ඔයා එහෙම දෙන්නෙ නැති බව”
චරිත්‍රා ඔබ බිඳ දැම්මේ ඔබ ගැන එතරම්ම විශ්වාස කළ, ඒ නිසාම අසීමිතව නිදහස ලබා දුන් මගේ හිතයි.
මගේ විශ්වාසයයි.
තමා ඇයට රැගෙන දුන් ඇඳුමක්ම හැඳගෙන, කඩවසම් තරුණයෙකුගේ විවාහ යෝජනාවකට එකඟ වන්නට තරම් ඇය වෙනස් වූයේ කෙසේද යන්න මිහිකට සිතාගන්නටවත් නොහැක.
“මේ උඹේ ගෑණි නේද?
උඹ ඔහේ ජොබ් එක කරද්දි ඒකි මෙහේ දකින දකින පිරිමිය එක්ක ලගින බව උඹ දන්නෙ නැද්ද?
පිරිමිකමටත් ලැජ්ජයි බං උඹල වගේ පො$$$%@”
චරිත්‍රා ඒ නම නොදත් තරුණයා හා කාරයකට ගොඩ වී යන අයුරු පෙන්වන ජායාරූප කිහිපයක් සමගින් ඒ පණිවිඩය එවා තිබුනේ පෙර ජායාරූප එවූ පුද්ගලයාමය.
ඔහුගේ ගිණුම අලුතෙන් සකසන ලද කිසිදු ජායාරූපයක් හෝ විස්තරයක් අඩංගු නොවන ව්‍යාජ ගිණුමකි.
ජායාරුප නොමැතිව පණිවිඩය පමණක් එවන ලද්දේ වී නම් මේ කවුරුන් හෝ කඩාකප්පල් කරුවෙකුගේ ක්‍රියාවක් ලෙස සිතමින් සියල්ල පහසුවෙන් අමතක කරවාලන්නට තමාට හැකියාව තිබිණ.
එහෙත් ජායාරූප වලට බොරු කළ හැකිද?
තමාගේ දෑසට බොරු කල හැකිද?
යම් කිසි ව්‍යාසනයක් වෙන්නට නියමිත යැයි සිත රතු එළි දැල්වූවේ මේ ගැනද?
ඒ කිසිදු පැනයකට දෙන්නට පිළිතුරක් මිහික ළඟ නොමැත.
රැවටීමේ වේදනාවෙන් ඔත්පල සිතට නින්ද අහිමිය. දුරය.
නින්ද ආවේ නම් සිතට මදකට හෝ සැනසෙන්නට තිබුණි යැයි මිහිකට සිතුනේ අලුත් වූ කඳුලු රැල්ලක් කම්මුල් දිගේ බේරී ගොස් කොට්ටයේ පුලුන් යට සැඟවෙද්දීය.