පෙඟුණු මල් පෙති 21

හිමිවෙද්දී හිමිවන්නටත්, අහිමිවෙද්දී අහිමිවන්නටත් ජීවිතය සෑදී ඇති බව තේරුම් ගන්නට මිහිකට දැන් හැකිය.

කොයි මොහොතේ කෙසේ නින්දට ගියා දැයි නොදත් මිහික උදෑසන ඇහැරුණේ පෙරදා රැයටත් වඩා විඩාබර සිතකිනි. ගතකිනි.

රාත්‍රියේ හඬා වැටීම නිසා ඉදිමුණ නෙත් සහිතවම ඇඳ මත වැටී තවත් මද වේලාවක් මිහික සිටියේ දුරකතනය ගෙන අසනීප නිසා අද රාජකාරියට පැමිණිය නොහැකි බවට පණිවිඩයක් කාර්‍යාලයේ කළමණාකාර තුමා වෙත දන්වමිනි.

මේ ඉදිමුණු දෙනෙත්ද, බරවුණු නාසය ද සියල්ලටම වඩා ඔත්පල වූ සිතද ගෙන රැකියාවට යාමට නොහැකිය. එන අනවශ්‍ය කතා බහක් ඇති කිරීමට හේතුවක් වනු නොඅනුමානය. අනෙක් අතට කාහට පිලිතුරු නොදී සිටියද ප්‍රණව් අසන පැනයන්ට පිළිතුරු නොදි මගහැර යාමට නොහැක.  කවුරුන් හෝ සමග කතා බස් කර මේ දුක සමනය කරගන්නට හැකියාවක් තිබුණා යැයි සිතුනද මෙරට තමාට සිටින එකම හොඳම මිතුරා වන ප්‍රණව්ට මේ ගැටලුව පැවසීමට අවශ්‍යතාවයක් මිහිකට නොවීය.

මොනවා වුවත් චරිත්‍රා තමාගේ බිරිඳය.

වචනයට නොව නීත්‍යානුකූල බිරිඳය.

ඇය තමා කෙතරම් රැවටීමට ලක් කරද ඇයව අපහසුතාවයට පත්වන අන්දමේ කිසිවක් කිරීමට තරම් මිහික නපුරු, දුර්ජන පුද්ගලයකු නොවේ.

චරිත්‍රා කෙදිනකවත් හඳුනා නොගත් ඉතාම ආදරණීය සහ කාරුණික හැඟීම්වලින් පිරුණු මිනිසෙකි.

කල්පනා ලොවක ගැලී සිටීම සිත වෙහෙසට පත් කරන බව සත්‍යයක් වුවද එකී කල්පනාවන් සිතට පැමිණීම වළක්වාලිය හැකි අන්දමේ ක්‍රමයක් මිහික දැන උන්නේද නැත.

සිතෙහි එක් කොටසක් “මේ ගැන චරිත්‍රාගෙන් අහපන් අහපන් යැයි” කොඳුරද්දී, අනෙක් කොටස “සද්ද නැතුව ඉඳලා මේ ගැන හොයල බලපන්” යැයි කොඳුරයි.

සිත දෙපසකට දෝලනය වුවද බර වැඩි පැත්ත තෝරා ගැනීමට මිහිකට අපහසු නැත.

පෙර දිනයක මුහුණු පොතේ සංසරණය වූ ජායාරූපය ගැන විමසූ මොහොතේත් ඉතාම කෝපයට පත්ව බොරු දාහක් කියමින් ප්‍රශ්නයෙන් ගැලවෙන්නට උත්සාහ කළ චරිත්‍රාට මේ අවස්තාවටද ඒ ක්‍රියා පිළිවෙතම අනුගමනය කිරීමේ අපහසුතාවයක් නොමැත.

බාගදා ඇය තමා ඇය සමග ගැටුමක් ඇති කරගන්නට බලාපොරොත්තුවෙන් හිඳිනවා විය හැක. එය තමාව අතහැර දමා මේ නම නොදත් තරුණයා සමග බැඳෙන්නට හැකි පහසුම මාර්ගය ලෙස චරිත්‍රා දකිනවා විය හැක.

තමා රැවටුණු බව සැබෑවකි. ඒ පිළිබඳව තමාට සැකයක් තිබුණ නමුදු ස්තිරවම නොදැන හුන් බව සැබෑවකි.

එහෙත් දැන දැනම රැවටෙන්නට තමාට උවමනා නොවේ.

ඉතින් චරිත්‍රා සමග රණ්ඩු සරුවල් වීමට වඩා නිහඬව හිඳිමින් මේ සියල්ල ගැන රහසේ සොයා බැලීම සියල්ලටම වඩා උචිතය.

තමා ළඟ දැනටමත් තිබෙන ජායාරූප හෝ වීඩියෝ පට යවා මෙහි ඇත්ත නැත්ත කුමක්දැයි අසන්නට බැරිකමක් මිහිකට නොමැත. එහෙත් එය ඉක්මන් ප්‍රශ්නයකට තුඩු දෙන්නකි. මිහික ස්වභාවයෙන්ම ඉතාම නිහඬ නිස්කලංක චරිතයකි. ඉතාම දැනුවත් චරිතයකි. ඉතින් කුඩා වේවා විශාල වේවා ඕනෑම ගැටලුවක් අබියස එවන් දෙයක් නොවූ ලෙසින් රැඳී හිඳීමේ හැකියාවක් මිහිකට ඇත.

මේ පිළිබඳව නිහඬව හිඳිමින් චරිත්‍රා හා දොඩමලු වීම ඇයව රැවටීමක් බව සැබෑවකි.

“ප්‍රශ්නයක් තියෙනම් ඔන්න හිත අස්සෙ හංගගෙන ඉන්නෙ නැතුව ඒක කෙලින්ම කතා කරන්න ඕන” යැයි චරිත්‍රා පැවසුවේ මේ සබඳතාවය ඇරඹුණු මුල් කාල වකවානුවේදීය. එදවස එවන් උසස් සිතුවිලි වලින් හෙබි චරිත්‍රා වැනි එකියක හා ප්‍රේමයෙන් බැඳීම පිළිබඳව ඉතාම සතුටට පතුවුණු මිහිකම, අද ඒ හා සමානම සිත් වේදනාවකින් චරිත්‍රා එදවස පැවසූ දෙයට එරෙහිව යන්නට තීරණය කොට ගත්තේ තමාගේත් ඇයගේත් දෙදෙනාගේම යහපත උදෙසාය.

මලක් වුව කෙතරම්ම සොඳුරු වුව පිපී හිඳෙන ගසෙහි හෝ වැලෙහි අතු අතරින් මිදෙන දවසක් පැමිණේ.

ආදරය, විරහව, දුක, සතුටටද ඒ සොබාදහමේ සත්‍යය එලෙසින්ම බලපායි.

ආදරයෙන් පිරී තිබුන සිතකට කෙදිනක හෝ ඒ ආදරය හදවතින් උගුල්ලා දමන්නට සිදුවේ.

මේ මිහික ගෙවා යන්නේ එවැනි කාල සීමාවකි.

ශුෂ්ක, කටුක, කාන්තාරමය කාල වකවානුවකි. දැවෙන්නේ දෙපා නොවී හිත වීම එහි ඇති එකම වෙනසයි.

එහෙත් කාන්තාරවල පවා පතොක් පඳුරුවල සුදු පැහැ සුන්දරම මල් හටගන්නා බව මිහික දනී.

තමන්ගේ නොව ඕනැම අයෙකුගේ ජීවිතයේ මේ කටුක කාලයන්ට පසුව වසන්තයේ මල් පූදින බවත්, එසේ පිපිය යුතු බවටත් සොබාදහමට අනුව සිතා බැලූ මිහික දුරකතනය අතට ගත්තේ සුපුරුදු පරිදි චරිත්‍රා හා දොඩමලු වනු පිණිසය.

ඇය අද නිවසේ හිඳින බව ඔහු දනී. අද තමන්ට නිවාඩු දිනයක් නොවුවත් ඔවුන්ට නිවාඩු ය.

ඉතින් ඇය අද නිස්කලංකව නිවසේ හිඳිනවා විය යුතුය.

නොඑසේනම්…..

නැත එවන් දේ සිතන්නේ කුමටද?

එය ඇත්තක් වුවත් බොරු වුවත් එබඳු දේ සිතීම පවා සිතට වෙහෙසකි. වේදනාවකි. මේ සියලු හිත් වේදනාවන්ට හේතු වූ කාරණා හරියාකාරවම සොයාගන්න තුරු නිහඬ, ශක්තිමත්ව හිඳින්නට සිත සවිමත් කර තබා ගැනීම වඩාත් යෝග්‍ය වේ.

“හායි”

චරිත්‍රා කටහඬේ වූයේ සුපුරුදු නිදිබර ගතිය නොවේ. ප්‍රාණවත් බවකි. සතුටකි.

වෙන දිනයක නම් එයම කතාව දිගින් දිගටම කරගෙන යෑමට උත්තේජනයක් විය හැකි බව දන්නා මුත් අද එසේ නොසිතෙන්නේ ඇයගේ කටහඬේ වූ ඒ සතුට සහ ප්‍රාණවත් බවට හේතුව තමා නොවන බව සිත දන්නා නිසා විය හැකිය.

“මොකද කරන්නේ?”

“මම මේ කාමරේ අස් කරන්න කියල හිතුවේ”

“ඇයි එකපාර? හැඩිවෙලා කියල හිතුණද?”

“නෑ එහෙමම නෙවෙයි නිකන් ඉතින්”

“අස්පස් කරගන්නෙ නොවෙන විදියට තියාගත්තා නම් ලේසිනෙ”

මේ මුවින් ගිලිහෙන්නේ වෙන දිනයක නම් ගිලිහෙන්නට තිබුණ වදන් නොවේ. කෙතරම් සිතට ත්‍රවටු කර නිහඬ කරවන්නට උත්සාහ කරද එය මැඩපවත්වමින් සිත උඩට මතුව එන්නේ වේදනාවේ ගිනි දලුය. ඒ දැවීම් ඇණුම් පද වී මුවින් ගිලිහීම ඒ ගින්න තව තවත් සිත්වලට අවුලුවාලන්නකි.

අනෙක් අතට ඇණුම් පද කීම නොහොබිනාය. එයට වඩා මේ ප්‍රශ්නය එළිපිට කතා බස් කිරීම නම්බුකාරය.

“ඇයි එහෙම දෙයක් කිව්වේ?”

“අයියෝ මම නිකන් කිව්වෙ, ඔයා ආස නෑනෙ ඔය අස්පස් කරන රාජකාරි වලට ඒකයි මම කිව්වෙ අවුල් නොකර තියාගත්ත නම් හොඳයි කියල”

“අපි කතා කර කර ඉද්දිම මම කාමරේ අස් කරාට කමක් නැද්ද? ඒක ලේසි මට”

තාක්ෂණයේ දියුණුවත් සමග මතුව ආ මේ වීඩියෝ ඇමතුම් කෙතරම් නම් උපකාරයක්ද දුරින් හිඳිනා පෙම්වතුන්ට?

එසේ සිතන්නට තිබුණි වෙන දිනයක වූවා නම්.

දුරකතනයේ එහා ඉම සිට පෙනෙන්නේ සුන්දර චරිත්‍රාගේ රුවයි.

දිදුලන ඇත්දල පැහැති බෝපත් මුහුණයි.

කාමරය අස් කරනු පිණිස උඩට බෝලයක් වන්නට ගැටගසා සිටින සුන්දර අක්බඹරු කෙහෙ රැලිවලින් කැරලි කිහිපයක් මුහුණ මතට වැටී ඇත්තේ දඟකාර විලාසයකිනි.

ඇය සැබවින්ම සුන්දරය.

වෙනදාටත් වඩා සුන්දරය. ඇතැම් විට ඒ සුන්දරත්වයට හේතුව වී ඇත්තේ නම නොදත් පිරිමියාගෙන් ලද ආදරයද?

තමා සමග සිටින විට ඇය මෙතරම්ම පිපී හුන් මොහොතක් මතකයට නංවා ගැනීමට මිහිකට අපහසුය.

ඒ ඇයට පිපී හිඳින්නට තමාගේ ප්‍රේමයේ දිය දහර මද වූ හෙයින්ද?

කාමරයේ එහා මෙහා යමින් එක තැනින් තව තැනකට යමක් ගෙන යමින්, පුටු මත විසිරී ඇති ඇඳුම් නවමින්, මේසය පුරා විසිරී ඇති කොල පෑන් ආදිය එකලස් කරමින් චරිත්‍රා මොන මොනවදෝ දොඩවන්නේ පෙර දින රාත්‍රියේ ඇයට වෙනත් පුරුෂයෙකු ප්‍රේමාරාධනාවක් නොකලාක් පරිද්දෙනි.

ඒ කිසිවක් නොකියා, තමාගේ සුවච කීකරු, සුන්දර බිරිඳ ලෙස ඇය මේ කරන්නේ රඟපෑමක් බව තේරුම් ගන්නට ඉතින් මිහිකට තවත් හේතු කාරණා අවශ්‍ය නොවේ.

ආදරයට තවත් ආදරණීය හිතක් මෙසේ රැවටිය හැකිද?

මෙසේ වේදනාබරිත කළ හැකිද?

දුරකතන පොළොවේ ගසන්නට, නොඑසේනම් චරිත්‍රා සොයා ගොස් “ඇත්ත කියපන්” යැයි කියන්නට සිතෙන් හැඟීම් මිහික සිත තුළම සඟවා ගෙන සිටියේ බොහෝ සං‍යමයෙනි.

ඇයට තමාව රවටන්නට හැකි වීම ගැන ඇය සතුටු වෙන බව නොඅනුමානය.එයට හොඳම සාධකය නම් කිසිදු වෙනසක් නොමැති ඇයගේ මේ හැසිරීමයි.

එහෙත් යමෙකු රවටන්නට උත්සාහ කිරීම කෙදිනක හෝ තමාම රැවටීමට හේතුවක් වන බව චරිත්‍රා නොදන්නවා විය යුතුය.

විශේෂයෙන්ම ඇයට මෙතරම්ම ආදරය කරන අයෙකුගේ සිත බිඳීමේ පාපය කෙදිනක හෝ පටිසන් නොදේවියැයි කිව හැක්කේ කෙසේද?

“අද ඔයා වැඩට යන්නෙ නැද්ද?”

“අද මට ටිකක් සනීප මදි, ඇඟට අමාරුයි කියල හිතුනා”

“අයියෝ ඇයි කලින් කිව්වෙ නැත්තේ? එහෙනම් මම මෙච්චර වෙලා කෝල් එකේ ඉන්නෙ නෑ. උණ වගේද?”

“නෑ මම හිතන්නෙ ඊයෙ මහන්සි වුණා ටිකක් ඒකයි. ඔයාට ඊයෙ කොහොමද? මහන්සි කිව්වනෙ හවස මැසේජ් එකක් දාල තිබුනෙ”

“ඔව් අනේ මම ගෙදර එද්දි අටට විතර ඇති. ආව ගමන් නිදාගත්ත මම. බඩගිනි තිබ්බෙත් නෑ”

මේ මුවින් ගිලිහෙන්නේ බොරු බව තමා දන්නා වග චරිත්‍රා දන්නවා නම් ඇයට කුමක් සිතෙනු ඇද්ද?

තමා විසින් දස දහස් වාරයක් සිප ගෙන තිබෙන ඇගේ ඒ සුන්දර පිරුණු දෙතොල වචන වල තාලයට නැලවෙන අයුරු දුරකතනය ඔස්සේ නරඹමින් මිහික සිතුවේ වේදනාවෙනි.

“ඔයාගේ ලෝකෙ මම ඉන්නෙ කොතනද චරිත්‍රා? ඇයි මට මෙහෙම බොරු කරන්නේ?”

එය ඇයගෙන් අසන්නට තිබුණා නම්….

ජීවිතය මෙයට වඩා මදක් හෝ පහසු වන බව නොඅනුමානය.

එසේනම් එක්වරක් හෝ දෙවරක් උපරිම සැබෑ කතාව අසා සිත බිඳවාගන්නට තිබුණි. එහෙත් මෙය නොඅසා සිටින තාක්කල් සෑම තප්පරයක් පාහේම සිත බිඳවාගන්නට වනවා නොවේද?

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles