තොල් වල හැඩයෙන් හෙළිකරන ඔබේ පෞරුෂත්වය

අපි හැමෝටම එකිනෙකාට අනන්‍ය වූ විශ්වාස සහ පිළිගැනීම් තියෙනව.

දේහ ලක්ෂණ විද්‍යාව කියන්නෙත් එහෙම විශ්වාසයක්.

ඔබත් දේහ ලක්ෂණ විද්‍යාව පිළිගන්නවා නම් ඔන්න අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ ඒ සම්බන්ධ බොහොම රසවත් කාරණාවක්.

අපි අද බලමු ඔබේ තොල් වල හැඩයෙන් පෙන්වන ඔබේ පෞරුෂත්ව ලක්ෂණ මොනවද කියල.

පිරුණු තොල් (Full lips) 

ඔබට තියෙන්නෙ ඉහළ සහ පහළ දෙපසම හොඳින් පිරුණු තොල් නම්, දේහ ලක්ෂණ විද්‍යාව අනුව ඔබ ඉතාම ධෛර්යවන්ත සහ ආත්ම විශ්වාසයෙන් පරිපූර්ණ චරිතයක්.

ඒ වගේම ඔබ, ඔබ වටා සිටින අය සමඟ ඉතාම හොඳ සම්බන්ධතා ගොඩනඟා ගන්න සහ ඒ සියළුම සම්බන්ධතා වලට ඉතාම අවංකව කටයුතු කරන්න හැමවෙලේම උත්සහ කරන හොඳ සමාජශීලී පුද්ගලයෙකුත් වෙනව. 

ඉතාම ගැඹුරින් ආදරය කරන සහ ඔබ ආදරය කරන අය ගැන වැඩිපුර සැළකිලිමත් සංවේදී චරිතයක් වෙන ඔබ පරාර්ථකාමී සහ ත්‍යාගශීලී වගේම බොහොම සුහදශීලී සැහැල්ලු චරිතයක්.

ඔබ දෙයක් කතා කරන්න පෙර දෙපාරක්  නොහිතා වචන පිටකිරීම වගේම ඔබ දරන යම් මතයක් වෙනස් කිරීමට ඔබේ ඇති අකමැත්තත් ඔබට අවාසිදායක වෙන්න පුළුවන් නිසා ඒ ගැනත් සැළකිලිමත් වීම වැදගත් වෙනවා.

පිරුණු යටි තොල් (Full lower lips) 

ඔබට තිබෙන්නෙ පිරුණු යටි තොලක් නම්, ඔබ බොහොම සැහැල්ලු සහ ඉතාම කුඩා දේකින් වුනත් සතුටට පත් වෙන්න පුළුවන් චරිතයක් බවයි සඳහන් වෙන්නෙ.

නමුත් ඔබ දින චර්යාවකට හෝ කාල සටහනකට අනුගත වෙන්න අකමැති බොහොම නිදහස් සිතුම් පැතුම් සහ චර්යාවන් ඇති කෙනෙක්. ඒ නිසා ඔබට 8 – 5 රැකියා නම් කිරීම අපහසු වෙනවා. 

නිර්මාණශීලී වගේම නව අදහස් වලින් පරිපූර්ණ චරිතයක් වුන ඔබ අන්හියෝග භාරගන්න වගේම ගවේෂණ චාරිකා වලත් නිරත වෙන්න බොහොම කැමති කෙනෙක්.

ඒ වගේම විනෝදකාමී සහ සැහැල්ලු චරිතයක් වෙන ඔබ නිතරම ස්වාධීනව සතුටින් ඉන්නත් කැමති කෙනෙක් කියලයි දේහ ලක්ෂණ විද්‍යාව අනුව නම් සඳහන් වෙන්නේ. 

පිරුණු උඩ තොල් (Full upper lips)

පිරුණු උඩු තොල් සහිත පුද්ගලයන් තරමක් ආඩම්බර චරිත ලක්ෂණ දරන පුද්ගයන් ලෙස තමයි දේහ ලක්ෂණ විද්‍යාවට අනුව සඳහන් කරන්නෙ.

නිතරම අන් අයගේ ආදරය, ගෞරවය සහ අවධානය බලාපොරොත්තු වෙන මේ අය බුද්ධිමත් සහ ඉතාම ආකර්ෂණීය වන බවත් සඳහන් වෙනවා. 

තැනට සහ පුද්ගලයන්ට ගැළපෙන විදිහට කතා කරන්න හැසිරෙන්න වගේම විහිළු තහළු කරන්නත් බොහොම හොඳට දන්න පිරුණු උඩු තොල් සහිත පුද්ගලයන් ඉතාම දක්ෂ, බුද්ධිමත් වගේම හොඳින් පොත පත කියවා දැනුම එකතු කරගන්න බොහොම කැමති අය විදිහට හඳුනා ගන්න පුළුවන්.

මේ නිසාම ඔවුන් සමඟ සංවාද ගොඩනගන්නත් බොහෝ දෙනා ප්‍රිය කරනවා.   

සිහින් තොල් (Thin lips)

ඔබට තිබෙන්නේ සිහින් තොල් නම් ඔබ බොහෝ විට හුදකලාව ප්‍රිය කරන සං‍යමයකින් යුතු පුද්ගලයෙක් බවයි දේහ ලක්ෂණ විද්‍යාවට අනුව සඳහන් වෙන්නේ.

තනිව සිටීමෙන් සතුටට පත්වෙනව වගේම අවශ්‍ය වෙලාවල් වලදි විතරක් ඉතාම හොඳ සංවාද ගොඩ නඟන්නත් ඔබට හැකියාව තියෙනවා. 

ඒ වගේම තමන්ගෙ අරමුණු මොනවද කියලත් ඒ අරමුණු ලඟා කරගන්නෙ කොහොමද කියලත් ඉතාම හොඳ සැලසුම් සහිත පුද්ගලයන් විදිහට ඔබව හඳුන්වන්න පුළුවන්. 

නමුත්, පිරුණු තොල් සහිත පුද්ගලයන් සමඟ කටයුතු කරද්දි නම් ඔබ කල්පනාකාරීම සහ ප්‍රවේශවමෙන් කටයුතු කරන්න ඕන කියලත් ඔබට මතක් කල යුතුමයි. 

පැහැදිලිව බෙදී ඇති උඩු තොල් (Defined cupid’s bow) 

ඔබට තිබෙන්නෙ උඩුතොල මැදින් පැහැදිලිව M අකුරේ හැඩයට බෙදී ඇති තොල් නම් ඔබ ඉතාම හොඳ සන්නිවේදකයෙකු බවයි සඳහන් වෙන්නෙ.

ඉතා ආකර්ෂණීය වචන භාවිතා කර ඔබටම අනන්‍ය වූ ආකාරයට සන්නිවේදනය කිරීමේ හැකියාව ඔබට ඇති අතරම ඉතාම හොඳ මතකයක් වගේම නිර්මාණශීලී හැකියාවත් ඔබට ලැබී තිබෙනවා.  

ඒකාකාරී ජීවන රටාවන්ට හුරුවෙන්න වගේම අන් අයගේ පාලනයට යටත්ව ඉන්නත් අකමැත්තක් දැක්වීම ඔබේ චරිත ලක්ෂණ අතර දකින්න ලැබෙනවා. 

දේහ ලක්ෂණ විද්‍යාවට අනුව ඉතාම ආදරණීය සහ සරාගී ඔබ ඉක්මන් තීරණ ගන්නත් පෙළඹෙන නිසා ඒ පිළිබඳවත් වඩා සැළකිලිමත් වීම වැදගත්. 

පැහැදිලිව බෙදී නැති උඩු තොල් (Undefined cupid’s bow)

පැහැදිලිව බෙදී නැති උඩුතොල් සහිත ඔබ ඉතාම විශ්වාසනීය සහ වගකීම් සහගත චරිත ලක්ෂණ වලින් යුතු අය ලෙසයි දේහ ලක්ෂණ විද්‍යාවට අනුව නම් හඳුන්වා දෙන්නෙ. 

වෙලාවට වැඩ කිරීමට කැමති හොඳ පිළිවෙලක් සහ නිසි කළමණාකාරීත්වයකින් යුතුව තමන්ගෙ වැඩ කටයුතු කරගන්න පුද්ගලයන් ලෙසත් සඳහන් වෙනවා. 

ඉතාම සංවේදී වගේම පමණ ඉක්මවූ පරාර්ථකාමීත්වයකුත් දකින්න ලැබෙනවා.

ඔබ ඔබ ගැන අමතක කර අනෙක් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කිරීමට යාම නිසා ඔබ වෙනුවෙන් යමක් කිරීම මඟ හැරගන්න සිදුවීම ගැටළුවක් වෙන නිසා ඒ ගැන සැළකිලිමත් වීමත් ඉතාම යහපත්. 

ඉතිං ඔබේ තොල් වල හැඩයට ඔබේ මේ චරිත ලක්ෂණත් ගැළපෙනවද බලන්න අපි ඔබට ආරාධනා කරනවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles