නිම් නැති නිම්නය 36

පන්සල් භූමිය සැදැහැවතුන් ගෙන් පිරී ගොස් පැවතිණ. පෝය දවසට පන්සල් විත් නිදහසේ වැඳුම් පිදුම් කළ නො හැකි බව ආරාධනා දනී. හදවත පන්සල් භූමියක් තරම් සන්සුන් වන්නේ සෙනග අඩු දින වල අළුයම් කාලයේ හෝ රාත්‍රියේ පන්සලට පැමිණි විට ය. එහෙම වෙලාවට වතාවත් කොට බෝ වෙලාවක් මළුවේ හිඳ ගෙන ඉන්නට ආරාධනා කැමති ය. ආගම් විසින් යෝජනා කරනා නිර්වාණය  හෝ මෝක්ෂය හෝ වෙනත් නමකින් ව්‍යවහාර වන්නක් හෝ වේවා, ඒ නිවීමට එතකොට ආත්මය වඩාත් සමීප වන්නා සේ දැනේ. 

නමුත් පෝය දවසට පන්සල් ඒම කියන්නේ වෙනත් ආකාරයක සතුටකි. සෙනග ගොඩේ වන්දනා කිරීම වල තෙල් යි මානව අඳුරට පහන් දැල්වී ද මිනිසුන් තවමත් අඳුරේ ය. තමන් නිවන් යන්නට උස් හඬින් ගාථා කියන්නේ අනිත් අයට  ආගම සිහි කර ගන්නට ඇති නිදහස අවුරමිනි.

බෝ මළුවේ වන්දනා කරනා බොහෝ මිනිසුන් ගේ මුහුණු වල, ඔවුන් අත්විඳිමින් සිටින්නා වූ ගැටළු, අර්බුධ හා ජීවන දුෂ්කරතා මනාව ලියැවී තිබේ. ඔවුන් හදවතින් යමක් යදිති. බුදුන් වහන්සේ සියල්ල අත් හල බෝ මැඩ හිඳ ගෙන පෘථග්ජන මිනිස්සු සියල්ල ඉල්ලා සිටිති. ඇතැමෙක් ග්‍රහ අපල වලින් පිහිටාරක්ෂාව පතති. සමහරු රැකී රක්ෂා ඉල්ලති. සමහරු විභාග සමත් කොට දෙන ලෙස ඉල්ලා සිටිති. තවත් සමහරු සම්බන්ධතා ඇතුළේ තමන් සුරක්ෂිත කරනා ලෙස ඉල්ලා සිටිති. තමන් ගේ මුහුණෙන් ද අකාලයේ සැමියා අහිමි වූ බිරිඳක ගේ ඛේදවාචකය පෙන්නුම් කෙරෙනු ඇත්දැයි හදිසියේ ම ආරාධනා ට සිහි විය. ඇය ඉක්මන් ඇස් පිය ගසා මඳහස් රේඛාවක් දෙතොල් මත්තේ ඇඳ ගත්තා ය. අනිත්‍යය ගැන දේශනා කළ මුණිඳුන් ගේ සෙවනේ හිඳ අනිත්‍ය වූ බැඳීම් ගැන ශෝක විය යුතු ද? 

“මට පුතා දීල ඔයත් ගිහින් බෝධිය නාවල එන්නකො”

රාජිකා මැණිකේ ට හා ගජධීර ට පැන් කළ  සූදානම් කොට දුන් කවීශ්වර, අනතුරුව ආරාධනා වෙත ආවේ ය. සාමාන්‍යයෙන් ගජධීර කියන්නේ පෝයකටවක් පන්සල් යන මිනිසෙකු නොවේ. කාශ්‍යප සිටියදීවත් ඔහු ව ඒ ගමනට සම්බන්ධ කර ගන්නට කිසිවෙකු සමත් වූයේ නැත. නමුත් අද “ඉතින් තාත්තත් පන්සල් යංකො” කියා ආරාධනා කී පමණින්  ඔහු ගමනට සූදානම් වූයේ ය.

කවීශ්වර දුටු සඳයුරු සිනා කටක් පුරවා ගෙන ඔහු අතට පැන්නේ ය.

“සඳයුරු වඩාගෙන හිටියොත් ඔයා පන්සල් ආපු අරමුණ ඉෂ්ට වෙන්නෙ නෑ හැබැයි”

ආරාධනා නෙත් කොන් බැල්මක් හෙලමින්, සිනහව ගිල ගෙන කීවා ය. කවීශ්වර අඩ බැල්මක් හෙළුවේ ය. එහි තරවටුවක් ලියවී නො තිබුණා ම නොවේ. ඔහු පන්සල් යන්නේ ගෑනු ළමයින් දෙස බලන්නට යයි කීවේ රාජිකා මැණිකේ ය. ආරාධනා ඒ කතාව විහිළුවට වුව පාවිච්චි කරනා එක ගැන ඔහු ට කැමැත්තක් දැනුණේ නැත!

ආරාධනා බෝධිය නාවන තෙක් කවීශ්වර සඳයුරු වඩා ගෙන අවට ඇවිද්දේ ය. බිඟුනි ඔහු ළඟ දැවටී සිටියේ ය. බිඟුනි වැරදීමකින් කවීශ්වර ට තාත්ති කියූ සිදුවීම යළි යළිත් ඔහු  ගේ සිතේ මැවේ. එසැනෙන් ඇය ලැජ්ජාශීලී වූවා ය. කවීශ්වර ගේ හිත තුළ ඔහු ට වටහා ගත නො හැකි අපූරු හැඟීම් සමුදායක් මීදුමක් සේ ඉහිර ගියේ ය. ඔහු එහෙම ම බිඟුනි වඩා ගෙන ඇගේ මුහුණ සිප ගත්තේ ය. ඕ කවීශ්වර ගේ ගෙල බදා ගෙන උරහිසේ මුහුණ හංගා ගත්තා ය. ඒ වෙලාවේ දැනුණු හැඟීම් වල දිග පළල හෝ පරිධිය පරිමාව හෝ ගණනය කරන්නට ඔහු දන්නේ නැත. සඳයුරු වඩා ගත් වන වැලි මළුවේ පහත් වූ කවීශ්වර එකතකින් බිඟුනි ලං කොට ගෙන නැවත ද ඇගේ හිස සිම්බේ, ඒ වෙලාවේ දැනුණ ස්නේහයෙන් ම ය.  ඒ සියල්ල දෙස බලා සිටි ඇස් දෙකක් පසෙක සිට ඔහු වෙත දැල්වී ගෙන තිබිණ. බෝධිය නහවා රාජිකා මැණිකේ හා ගජධීර කවීශ්වර වෙත පැමිණි පසු ඒ ඇස් දෙකේ හිමිකාරිය ඔවුන් වෙතට පැමිණියා ය.

“මං මේ ශුවර් නැතුව හිටියෙ කවීශ්වරමද කියල…කතා කරන්න ආවෙ නැත්තෙ ඒකයි. මිසිස් ගජධීරව දැක්කහමයි කවීශ්වරමයි කියල ශුවර් වුණේ”

 කාලයකට පෙර ඔවුන් ගේ අසල්වැසියන් වූ නන්දනී පෙරේරාව වහා හැඳින ගන්නට ගජධීර යුවළ සේ ම කවීශ්වර ද සමත් වූයේ ය. පන්සලට ගිය ද කරුමය පස්සෙන් පන්නන්නේ මන්දැයි සැනෙකින් ඔහුට සිතිණ. පෙරේරා පවුල ඉඩම් ගෙවල් විකුණා ගමෙන් ගියේ කවීශ්වර නිසා ය. ඔහු ඒ පවුලේ ගෑනු ළමයා සමග ද ඇසුරක් ඇති කොට ගෙන තිබිණ. ගෑනු ළමයා එතකොට උසස් පෙළවත් නොකළ පාසල් සිසුවියකි. කවීශ්වර ඇයව පාසල් නිල ඇඳුමෙන් ම චිත්‍රපට ශාලාවක් වෙත ගෙන ගිය සිදුවීමක් පාසලට ආරංචි වීම නිසා විනය කමිටුව විසින් ඇයව පාසලෙන් නෙරපා හැරීමට තීරණය කෙරිණ. ගෑනු ළමයා ගේ දෙමව්පියෝ මේ සිදුවීම නිසා දැඩි අපහුතාවයකට පත් වූහ. පුවත ගම පුරා ද පතල වූ අතර මිනිසුන් යුවතිය දෙස බැලුවේ මහා අපරාධයක් සිදු කළ තැනැත්තියක දෙස බලන්නා මෙනි. ගැහැනු පිරිමි බේධයකින් තොරව මිනිස්සු ඔවුන්ට හිත් රිදෙන කතා කීවෝ ය. පවු නොකළ මිනිසුන් නොවී ද ගෙදරට ගල් ගැසුවෝ ය. එක වරදක් දෙදෙනෙකු එක් වී සිදු කළ ද දඬුවම් විඳින්නට සිදු වූයේ එක් පාර්ශවයකට පමණ ය. යුවතිය දිවි නසා ගන්නට පවා උත්සාහ කළෙන්, අන්තිමට පෙරේරා යුවළ ඉඩම් ගෙවල් විකුණා ගමෙන් යන්නට ගියහ. කවීශ්වර වාගේ සෙල්ලක්කාරයෙකුට සෙල්ලම් කරන්නට සිය ළාබාල දියණිය දෙනු වෙනවට එහෙම තීරණයක් ගන්නා එක හොඳ බව ඔවුහු දැඩිව තීරණය කළහ. ඔවුන් ගන්නා ඕනෑ ම තීරණයකට එකඟ බව ගජධීර විසින් දැනුම් දී තිබියදීත්, ඔවුන් ගමෙන් ගියේ ඔහුට හෝ නො කියා ය. ගේ විකිණූ බව දැන ගත්තේ ද පසුව ය.

“කවීශ්වරගෙ බබාල දෙන්න වෙන්න ඇති නේ…අනේ කොච්චර ශෝක්ද…කවුද හිතුවෙ කවීශ්වර මෙච්චර හොඳ තාත්ත කෙනෙක් වෙයි කියල”

නන්දනී පෙරේරා ගේ කතාවට රාජිකා මැණිකේ ට දහඩිය දැම්මේ ය. ආරාධනා ද ඒ මොහොතේ ම ඔවුන් වෙත පැමිණි අතර, නන්දනී පෙරේරා “අනේ මේ කවීශ්වර ගෙ වයිෆ් ද” කියා ආරාධනා දෙස විදා ගත් නෙතින් බලමින් විචාලා ය. 

“නෑ මේ ලොකු පුතාගෙ වයිෆ්” කියා කියන්නට රාජිකා මැණිකේ ගේ දිව නළියෑ නමුත් එහෙම කියන්නට ද ඇය පසු බෑවා ය. එතකොට නන්දනී කාශ්‍යප ගැන අල ගිය මුල ගිය තැන් විමසනු ඇත. එහෙයින් සිනහවකින් පමණක් කර බා ගන්නට ඔවුන්ට සිදු විය. 

“අපේ දුව දැන් ඉන්නෙ ඔසී වල. එයාට හොඳ මහත්තයෙක් හම්බ වුණා”

“අනේ කොච්චර දෙයක්ද…”

“ළමයි පොඩි වයසෙදි නොතේරුම් කමට කරන වැරදි නිසා ජීවිතේම වැරදිලා යන්න වුණත් පුළුවන්. මේගොල්ලොන්ට එහෙම නොවුණ එක ලොකු දෙයක් මිසිස් ගජධීර”

“අපි එහෙනං යන්නද…”

“හොඳයි හොඳයි. කවීශ්වර ගැලපෙනම වයිෆ් කෙනෙක් හොයා ගෙන තියෙන එක ගැන සතුටුයි. හරි කෙනා හම්බ වුණාම හරි දේ වෙනව”

රාජිකා මැණිකේ පය ඉක්මන් කළා ය. නන්දනී ළඟ තවත් ටික වෙලාවක් හෝ රැඳුණේ වී නම් ඇය මොනවා දොඩවාවිද කියා සිතා ගත නො හැකි ය.

කවීශ්වර හිටියේ කේන්තියෙනි. ඒ නන්දනී විසින් අනවශ්‍ය පරණ කතාවක් ඇද ගත්තේ ආරාධනා එතැනට එත්දීම වන නිසා ය. ආරාධනා මූණ එල්ලා ගත්තේ ඇය කවීශ්වර ගේ බිරිඳ නො වෙන බව කිසිවෙකු විසින් නිවැරදි නො කළ නිසා ය. එයින් පසු ටික වෙලාවක් යන තුරු ඇයට ඔහු ගේ මුහුණ දෙස කෙළින් බැලීමේ අපහසුතාවයක් දැනිණ. 

බිඟුනි ට සෙල්ලම් බඩුවක් ඕනේ කීවෙන් කවීශ්වර කඩ වීදිය දෙසට හැරිණ. සඳයුුරු තවමත් සිටියේ ඔහු ගේ අතේ ය.

“මං පුතාව ගන්නද”

කියා දෙතුන් වතාවක් ම ආරාධනා ඇසුවා ය. කවීශ්වර නෑසුණා සේ සිටියේ ය. 

“ළමය මගෙ අතේ හිටපුදෙන්. ඔයා බිඟුට ඕන දෙයක් බලල අරං දෙන්න”

තුන් වන වරට ද ඇය එක ම ප්‍රශ්නය අසත්දී කවීශ්වර මඳක් සැර වූයේ ය. ආරාධනා ඇස් විදා බලා කර බා ගත්තා ය. කවීශ්වර රාජිකා මැණිකේ ට දොදොල් පාර්සලයක් ද ආරාධනා ට මැටි ගුරුලේත්තුවක් ද මිල දී ගෙන දුන්නේ ය. ඔවුන් යළි ගෙදර ගියේ බිඟුනි ගේ ආශාව පරිදි ඇඳිරි වැටෙන තුරු ම වැව රවුමට වී සිට ය. ආරාධනා ඒ සුළු මොහොතට නම් ආශා වූවා ය. දරුවන් දෙදෙනා ද සමගින් මේ විදිහට පිටතට ආවේ සැලකිය යුතු කාලයකට පස්සේ ය. බිඟුනි සතුටෙන් හා කෙළි දෙළෙන් සිටියා ය. බිඳී ගිය පවුලක ශේෂයන් වූවත්, ලෝකයට ඔවුන් පෙනුණේ පරිපූර්ණ වූ පවුලක් ලෙසිනි. එය ව්‍යාජයක් බව දැන දැන ම, හැම කෙනෙකු ම ඒ මොහොත ඒ ව්‍යාජය තුළ ජීවත් වන්නට රිසි වූවා සේ ය. 

“එළියෙං කෑම මොනාහරි ගෙනියමු. දැං ගිහිං උයන්න ඕන නෑ”

කවීශ්වර එන ගමනේ දී තනිව ඒ තීන්දුව ගත්තේ ය.

“ඒත් තාත්තට…”

ආරාධනා ට ඒ වාක්‍යය නිමා කරන්නට ලැබුණේ නැත.

“නෑ නෑ මාත් ඒවම කනව දරුවො.. වෙනසකටත් එක්ක…ඒ වගේද මේ පැටව් සතුටෙන් හිටිය එක…අපිට වුණත් නිදහසේ හුළං ටිකක් වැදුණු එක…පපු ඇතුළෙ මොන තරං දරුනු තුවාල තිබුණත්…අපි තාම හුස්ම ගන්නවනෙ ළමයිනේ…අපිත් කාලෙත් එක්ක සනීප වෙන්න ඕනෙ…එහෙම නේද…”

“ඔව් තාත්තෙ…”

රියෙහි ඉදිරි අසුනේ හිඳ ගෙන උන් ගජධීර සිය අතක් දිගු කොට, පිටුපස අසුනේ සිටි ආරාධනා ගේ හිස පිරිමැද්දේ ය. පන්සලේ දී නන්දනී පෙරේරා හමු වූ සිදුවීම කාගේත් හිත් වල මතක පෑරීමක් ඇති කොට තිබිණි ද, ඇයට ආරාධනා කවීශ්වර ගේ බිරිඳ හා දරුවන් ඔහු ගේ දරුවන් ලෙස ම සිතා ගන්නට හැරීම ගැන චකිතයක් තිබිණි ද, ප්‍රසිද්ධියේ කිසිවෙකු ඒ ගැන කතා කළේ නැත. සමහර දේවල් එහෙම ය. හදවතට බර වැඩි වී ද තමන් තුළ ම රඳවා ගන්නට සිදු වේ!

“නන්දනී හිතුවෙ කවීශ්වර ගෙ නෝන ආරාධනා කියල”

රාජිකා මැණිකේ රහසින් වාගේ ගජධීර ට එසේ මිමිණුවේ නිදන්නට යහනට ගිය ඉක්බිති ය. එසේ වීම හොඳ ද නරක ද කියා හෝ නිශ්චිතව සිතීමේ හැකියාවක් ඇයට වූයේ නැත. ඇගේ රහස් ස්වරයේ පවා වූයේ අවිනිශ්චිත බවකි. ගජධීර කිසිත් පැවසුවේ නැත. පපුවේ රෝම පිරිමදිමින් සිවිලිම දෙස බලා සිටියා පමණකි. 

“ඒ වෙලාවෙ ආරාධනා ගෙ මූණ නරක් වුණා කියල ඔයාට හිතුනෙ නැද්ද…”

ගජධීර ඒත් පිළිතුරක් නො දුන්නේ ය. සැබවින් ඔහු වෙත නිසි පිළිතුරක් වූයේ ද නැත.

“පොඩි පුතා ළමයි දෙන්නට පණ ඇරගෙන ආදරෙයි තමයි. ඒත් ඉතිං…මොනා වුණත් මිනිස්සු එහෙම හිතන එක හරි නෑ නේද පුතාලගෙ තාත්තෙ…අනික…ගින්දරයි පුළුනුයි ලං කළාම ඇවිලෙනව කියල අපි නොදන්නව නෙවෙයිනෙ. මං කොහොම හරි ගෙදර වැඩ ටික බලා ගන්නං. දැං ආරාධනා අම්මල ළඟට යන එක හොඳයි වගේ නේද…මං කියන්නෙ මේ…”

“අනේ මේ මැණිකෙ…මගෙ යකා අවුස්සගන්නැතුව නිදා ගන්නවද…”

ගජධීර ට කේන්තිය නිසි ලෙස පිට කර ගත නො හැකි වූයේ උස් හඬින් කතා කළ නො හැකි වූ හෙයිනි. එසේ කළා නම් ආරාධනා ට ඇසෙන්නේ ය. එය තව දුරටත් ඇයට සිත් වේදනාවක් වනු ඇත.

“ඔහේගෙ පුතා මලෙන් උපන් එකානෙ…මොකටද ඉතිං මගෙ කට…අර නන්දනීගෙ කෙල්ලව ඉස්කෝලෙ ඇඳුම පිටින් පික්චර් හෝල් එකකට අරං ගිහිං අහුවෙලා ඒ කෙල්ලව ඉස්කෝලෙං අස් කළා. කී සැරයක් අපි පොලිස්සි ගියාද මූ කෙල්ලො එක්ක කාමර අස්සෙ රිංගල පොලිස්සියෙං කුදලං ගිහිං…බේරං එන්න…අපි දන්න ඒවට පොලිස්සියට අහු වුන ඒවට වැඩිය කොච්චර දේවල් වෙලා ඇද්ද…නල්ල මලේ කෝඩුකාර පුතා. අර දැරිවිනං එක කසාදයක් විතරක් කරං හිටිය කෙල්ල. එහෙම බැලුවොත් මූ ගණං කරන්න බැරි තරං ගෑනු අරං ඇති. ඔහේ නෙවෙයි හරිනං ඔය කතාව කියන්න ඕනෙ සේනාසිංහල. ඒ කෙල්ලව මේ වගේ එකෙක් ඉන්න ගෙදරක තියන්න බෑ කියල. මෙයා මේ පුතා සුද්ද කොරන්න හදනව. අර එකෙක් සුද්ද කරල පෙනුණෙ නැතෑ ඌ කරපු දේ”

“මං ඉතිං ඒ ළමයට දොසක් කිව්ව නෙවෙයිනෙ. මං කිව්වෙ වරදක් වෙන්න කතාවක් හැදෙන්න කලින්…”

“ඒ ළමය යනවනං යාවි. ඉන්නවනං ඉඳීවි. එච්චරයි.”

එය දැඩි අවසාන තීන්දුවකි. ගජධීර ගේ තීරණයක් වෙනස් නොවෙනා තීරණයක් බව ජීවන අත්දැකීම් ඇසුරෙන් රාජිකා මැණිකේ දනී. ඇය නිසොල්මනේ බිත්තිය පැත්තට හැරුණා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles