තාත්තගෙන්, අපිට ලියුමක්..

තමන්ගෙ ජීවිතේ හැට හත්වෙනි විය ගත කරමින් හිටිය ජාකොබ් මහත්තය හරිම අවංක වගේම නිස්කලංක ජීවිතයක් ගත කරපු මනුස්සයෙක්. 

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරත වෙලා හිටිය ඔහු මේ වෙද්දි විශ්‍රාම අරගෙනත් අවුරුදු 10 ක් විතර වෙනවා. 

සමාජයේ හැමදෙනෙක්ගෙම ආදරය, ගෞරවය දිනාගෙන හිටිය ජාකොබ් මහත්තය විශ්‍රාම ජීවිතේ වැඩි කොටසක් සමාජ සේවය උදෙසා වෙන් කරෙත් බොහොම කැමැත්තෙන්. 

එක දවසක් උදේක පුරුදු විදිහටම තමන්ගෙ තැපැල් පෙට්ටිය විවෘත කරල ලැබිල තිබුණ ලියුම් පරීක්ෂා කරමින් හිටිය ජාකොබ් මහත්තය ඒ එක සඳහන් ලිපියක ලියන්නාගේ ලිපිනය දැකල ටිකක් කලබලයට පත්වුණා.

ජෝන් ඩග්ලස් !

ඒ ඔහුගේ පියාගෙ නීතිඥයා. ජෝන්ව ඔහුට අවසාන වතාවට මුණගැසුනේ මීට අවුරුදු 30 කට කලින් ජාකොබ් මහත්තයාගෙ පියාගෙ අවමංගල්‍ය උත්සවය අවසන් වුණාට පස්සෙ දවසෙයි. එදාට පස්සෙ කවදාවත් මුණ නොගැසුනත් ඒ අවසන් හමුවෙදි ඇතිවුන කලබලය නිසාම ජෝන් ඩග්ලස් නීතිඥ මහත්තයගෙ නම ඔහුට හොඳින්ම මතක තිබුණා.  

“මෙච්චර අවුරුදු ගානකට පස්සෙ මට ලියුමක් එවන්ඩ නීතිඥ මහත්තයට තියෙන උවමනාව මොකක්ද?” එහෙම හිතපු ජාකොබ් මහත්තය ලියුම කඩල කියවන්ඩ පටන් ගත්තා. 

“ජාකොබ් ග්‍රීන් මහතාණනි, 

මම ජෝන් ඩග්ලස්. මම ඔබේ පියාගේ නීතිඥයා ලෙස ඔහු මියයන තුරුම කටයුතු කරා සමහරවිට ඔබට මතක ඇති. ඔබේ පියාගෙ මරණයෙන් අවුරුදු 30 කට පසුව මේ ලිපිය ඔබට ලියන ලෙස ඔහු මට දැනුම් දී තිබුණා. ඔබට සහ ඔබේ සොයුරියන් දෙදෙනා වන ලින්ඩා සහ එරීන්ට හෙට පැරණි පාලම අසල ඇති ලඳු කැලෑව ලඟට පැමිණිය යුතු බව මේ ලිපියෙන් ඔබට දැනුම් දෙන්නයි ඔහු මට පැවසූවා. පැමිණිය යුතු ගමන් මාර්ගය සඳහන් සටහනක්ද මේත් සමඟ අමුණා එවීමට මම කටයුතු කරනවා. 

මේ හා සමාන පිටපත් දෙකක් ඔබේ සොයුරියන්ට දැනටමත් ලැබී ඇතැයි මම විශ්වාස කරනවා. 

ස්තූතියි !”

ලිපියේ එලෙස සඳහන්ව තිබුණා.

එය කියවා අවසන් වුණ ජාකොබ් මහත්තයට මේ ලිපියේ සඳහන් වෙලා තියෙන උපදෙස් පිළිගන්නවද නැද්ද කියල එකපාරටම හිතාගන්න බැරිවුණා. 

තමන්ගෙ අසල්වැසිය වගේම හොඳම මිත්‍රයත් වුණ කාල්ගෙ ගෙදර ගිහින් ඔහුත් එක්ක මේ ගැන කතා කරන්න ජාකොබ් මහත්තය තීරණය කරේ ඒ නිසයි.             

  . 

උදේම නිවසේ සීනුව නාදවෙද්දි ඒ කවුද බලන්න දොර විවෘත කරපු කාල්ට දකින්න ලැබුණේ කඩදාසියකුත් අතේ තියාගෙන වෙනදට වඩා ටිකක් නොසන්සුන්ව ඉන්න ජාකොබ් මහත්තයවයි. 

“සුබ උදෑසනක් ජාකොබ් ! උදේම ඔබව දකින්න ලැබුණ එක ගැන සතුටුයි. ඒත්, ඇයි මේ කලබලෙන්? මොකක් හරි ප්‍රශ්නයක් ද?” කාල් මහත්තය ඇහුව. 

“ඔබට මාව හොඳින් තේරුන් ගන්න පුළුවන්නෙ, කාල්. ඔව් මම ටිකක් කලබලෙන් ඉන්නෙ. මට අද මගෙ තාත්තගේ නීතිඥයාගෙන් ලියුමක් ඇවිල්ල තිබ්බ. මේ ඒක. කියවල බලන්නකෝ” එහෙම උත්තර දුන්න ජාකොබ් මහත්තය ලියුම තමන්ගෙ යාළුවගෙ අතට දුන්නා. 

“ෂා මේක නියමයිනෙ. ඉතිං, මොකක්ද තියෙන ප්‍රශ්නෙ ජාකොබ්?” කාල් මහත්තය එහෙම ඇහුවෙ ලියුම කියෝල ඉවර වුණාට පස්සෙයි. 

“හොඳයි. මම ඔබට කවදාවත් මේ කතාව කියල නෑ. මගේ තාත්තා ඉතාම ධනවත් කෙනෙක්. ඔහු අවුරුදු ගාණක් ඉතාම සාර්ථක ව්‍යාපාරිකයෙක් විදිහට උපයපු අති විශාල ධනස්කන්ධයක් මියයද්දි ඔහු සතුව තිබුණා. ඒත් ඔහුගේ අවසන් කැමති පත්‍රයට අනුව ඒ කිසිම දේක හිමිකාරීත්වය මටවත් මගේ සහෝදරියන්ටවත් ලැබුණේ නෑ” ජාකොබ් මහත්තය තමන්ගෙ අතීත කතාව දිග හරින්න පටන් ගත්ත. 

කතාවේ මුල ටික අහද්දිම කාල් පුදුමයට පත්වුණා. “ඔබේ සහෝදරියො ඔබත් එක්ක ගණුදෙණුවක් නෑ කියල නන් මන් දැනන් හිටිය. ඒත් ඔබ ඔච්චර ධනවතෙක්ගෙ පුතෙක් කියල මම දැනන් හිටියෙ නෑ.” කාල් මහත්තය එහෙම කීවෙ ඒකයි. 

“තාත්ත අපි වෙනුවෙන් මොනවත් තියල ගිහින් නෑ කීවම ඒක අපි කවුරුත් විශ්වාස කරේ නෑ. ඒ නිසා අවමංගල්‍ය උත්සවෙන් පස්සෙ අපි සෑහෙන රණ්ඩු වුණා. එරීනුයි ලින්ඩයි හිතුවෙම තාත්තගෙ මරණෙට කලින් තාත්තව රවට්ටගෙන ඔහුගේ හැමදේම මන් අරන් තියාගත්ත කියලයි. මේ දේවල් නිසා ඊට පස්සෙ ඔවුන් මා එක්ක කතාබහ කරන එක නවත්තල දැම්ම” ජාකොබ් මහත්තය කීව. 

කතාව අහන් හිටිය කාල් මහත්තයගෙ අදහස වුනේ හෙට අනිවාර්‍යෙන්ම මේ කියන තැනට ජාකොබ් මහත්තය යන්නම ඕන කියලයි. විරසක අමතක කරල සහෝදරකම් අලුත් කරගන්න මේක හොඳ අවස්ථාවක් වෙන්නත් පුළුවන් කියලයි ඔහුගෙ අදහස වුණේ. 

ඉතිං කොහොමහරි ජාකොබ් මහත්තය පහුවදා උදේම තමන්ට ලබාදීල තිබ්බ මන් සළකුණු ඔස්සේ පැරණි පාලම ලඟ ලඳු කැලෑව ලඟට ගියා. ඔහු යද්දිත් එරීනුයි ලින්ඩයි එතනට ඇවිල්ලයි හිටියෙ. 

එතනට ගිහින් ටිකක් වටපිට බැලුවම ගහක එල්ලල තිබුණ ඊතලයක් ඔවුන්ට දැකගන්න ලැබුණා. වෙන කිසිම මන් සළකුණක් දකින්නත් නොලැබුණ නිසා ඔවුන් ඊතලයේ දක්වල තිබුණ දිහාවට ඇවිදගෙන ගියා. ඒ ඔස්සේ ටික දුරක් ගියාම කුඩා, අත්හැර දැමූ නිවසක් ඔවුන්ට දකින්න ලැබුණා. 

නිවසේ දොර අඟුලු ලා නොතිබුණ නිසා දොර ඇරගෙන ඇතුළට ගිය ඔවුන්ට කුඩා කාමරයකට ඇතුළු වෙන්න තියෙන දොරකුත් ඒ දොරේ එල්ලල තිබුණ සටහනකුත් දකින්න ලැබුණා. 

“මගේ ආදරණීය දරුවනි, 

මගේ මරණින් පසු මට අයත්ව තිබූ දේපළ කිසිවක් ඔබ තිදෙනා අතරේ බෙදා නොදීමට මම තීරණය කරේ මම කොතරම් සාධාරණ ලෙස ඒව බෙදා දුන්නත් තමන්ට ලැබුණ කොටස ගැන නොසෑහීමට පත්වී ඔබ එකිනෙකා සමඟ ගැටුම් ඇතිකර ගැනීම අනිවාර්‍ය බව මම හොඳින්ම දන්නා නිසාවෙනි. 

තනිව නැඟී සිටීමටත්, ජීවිතයේ මුහුණ දීමට සිදුවන කරදර බාධක හරි හැටි හඳුනාගෙන ඒවාට මුහුණ දීමටත් ඔබ තනිව උගත යුතු බව මම දැඩිව විශ්වාස කරමි. මේ ලිපිය ඔබ කියවන්නේ මගේ මරණයෙන් වසර 30 කට පසුවයි. 

මේ වන විට ඔබේ මහන්සියෙන් ඔබ අත්පත් කරගෙන ඇති සියළුම ජයග්‍රහණයන් ගැන ඔබේ පියා ලෙස මම ආඩම්බර වෙන බවත් මම ඔබ තිදෙනාටම දැඩිව ආදරය කර බවත් ලියා තැබීමටත් කැමැත්තෙමි. 

ජාකොබ් ඔබ, සෑමදාම අවංකව දරුවෙක් ලෙස හැඳී වැඩිණි. ඔබට කිසිදා ධනවත් වීමේ ආශාවක් නොතිබූ බව මම ඉතාම හොඳින් අවබෝධ කරගෙන සිටියෙමි. එරීන්, ලින්ඩා මගේ ආදරණීය දියණිවරුනි, කුඩා කල සිටම ඉක්මන් තීරණ ගන්නා කලබලකාරී චරිත වුවත් මම ඔබලාටත් එක ලෙසම ආදරය කරන බවත් දැනුම් දීමට කැමැත්තෙමි. 

ඉතිං දැන්, මා සතුව තිබූ සියල්ල ඔබට පවරාදීමට හොඳම කාලය එළඹී ඇතැයි මම විශ්වාස කරමි. ඔබ එකිනෙකා මේ කාමරය ඇතුළට ගොස් ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් රැගෙන ඒවාගේ භාරකාරීත්වය හිමිකරගන්නා ලෙස මම ඔබට දැනුම් දෙමි. 

ආදරණීය තාත්තා.”

ලිපියේ එලෙසින් සටහන්ව තිබුණා. 

“ජාකොබ් සාන්තූවරයා” ලිපිය ශබ්ද නඟා කියවපු එරීන් සරදමට වගේ හිනාවුණා. 

“ඔයා ඉන්ඩ, මුලින්ම අපියි යන්නෙ” ලින්ඩා එරීන්වත් අතින් ඇඳගෙන කාමරේට ඇතුළු වුණා. 

කොහොමත් වෙන්නෙ එහෙමයි කියල දැනන් හිටිය ජාකොබ් මහත්තය තමන්ගෙ සහෝදරියන්ට ඕන දෙයක් කරගන්ඩ කියල එළියට වෙලා බලාගෙන හිටියා. 

කාමරේ ඇතුලේ ගොඩක් වෙලා ගත කරපු එරීනුයි, ලින්ඩයි කාමරෙන් එළියට ආවේ බෑග්, සාක්කු වගේම අත්වල පුරෝගෙන හිටිය දිස්නෙ ගහන ආභරණ ගොඩක් එක්කයි. 

ජාකොබ් මහත්තය දිහා බලල අවඥ්ඥාවට හිනාවුණු ඔවුන් ජාකොබ් මහත්තයට මෙහෙම කීව “ගිහින් බලන්ඩ ජාකොබ්. වාසනාවක් තිබ්බොත් ඉතුරු වෙලා තියෙන මොනවහරි හොයාගන්ඩ පුළුවන් වෙයි.”

බොහොම සතුටින් තමන්ට එහෙම කියල යන්ඩ ගියපු සහෝදරියො දිහා බලල සුසුමක් හෙළපු ජාකොබ් මහත්තය හෙමීට කාමරය ඇතුළට ගියා. රත්තරං කාසි දෙක තුනක් ඉතුරු වෙලා තිබ්බත් ඒ ජාකොබ් මහත්තය හිත ගියෙ නම් ඒව අතරෙ තිබ්බ වෙනත් දේකට. 

ඒ අම්මයි තාත්තයි එක්ක එරීන්, ලින්ඩා සහ ජාකොබ් හිටිය ඡායාරූපයක්. 

ඒ ඡායාරූපයේ අම්මයි, තාත්තයි තරුණයි. ටිකක් වෙලා හරිම ආසාවෙන් ඡායාරූපෙ දිහා බලන් හිටිය ජාකොබ් මහත්තය රත්තරං කාසි දෙකකුයි, ඡායාරූපෙයි සාක්කුවට දාගන්න ලෑස්ති වුණා. 

එතකොටයි ඡායාරූපෙ පිටිපස්සෙ ලියල තිබ්බ සටහනක් ඔහුට දකින්න ලැබුණේ. 

“ජාකොබ් මන් හිතනව මේ සටහන කියවන්නෙ ඔබ කියල, ඔබ ගැන මම තබපු විශ්වාසය වරදින්නෙ නෑ කියල මම දැනන් හිටියා. එරීනුයි, ලින්ඩයි අනිත් හැමදේම අරන් ගියා නේද? 

හොඳයි. මේ තමයි ඔබට ලැබෙන දේ. 

පල්ලෙහා සටහන් කරල තියෙන බැංකුවට ගිහින් ඒ සඳහන් ගිණුම ගැන විමසීමක් කරන්න. ඒ මගෙ පෞද්ගලික බැංකු ගිණුම. ඊට පස්සෙ මේ සටහන ඔවුන්ට පෙන්වන්න. ඉතිරි සියල්ල මගේ නීතිඥයත්, බැංකුවත් බලා ගනීවි.

ආදරණීය තාත්තා”

මේ ලියුම කියවල ඉවර වුණාම ජාකොබ් මහත්තයට තමන්ගේ තාත්ත ගැන ඇතිවුණේ හරිම ගෞරවණීය ආදරයක්. තාත්ත ඔහුව කොයිතරම් විශ්වාස කරලද කියන කාරණාව ගැන ඔහු පුදුම වුණා. ඒ වගේම තමන් මෙච්චරකල් ජීවත් වුණ විදිහ ගැන ඔහු සතුටු වුණා. 

ඉතිං, ලියුමේ තිබ්බ විදිහට කටයුතු කරපු ජාකොබ්ට තමන්ගේ තාත්තගේ ඒ කියන්නෙ ග්‍රීන් මහත්තයගේ පුද්ගලික ගිණුමේ තිබ්බ මිලියන ගාණක මුදල් වල හිමිකාරීත්වය ලැබුණා. 

ඒ මුදල් වලින් වැඩි කොටසක් ප්‍රජා පාසල්, ළමා නිවාස වලට වගේම ප්‍රජා කටයුතු වලටත් දුන්න ජාකොබ් මහත්ත‍ය ඉතිරි මුදල් වලින් තමන්ගේ ජීවිතේ ඉතිරි කොටස සුවපහසුව ගතකරන්න සුදුසු නිවසක් මිලදී ගන්නත් අනෙක් පෞද්ගලික අවශ්‍යතා සඳහාත් ඉතිරි කරගත්තා. 

ආ. තමන්ට මොනවත් නැති කාලෙ ගෙදර හදන උණුසුම් කෑම බීම වගේම වෙනස් නොවුණු උණුසුම් මිත්‍රත්වයක් බෙදාගත්ත කාල් මහත්තයවවත් ජාකොබ් මහත්තය අමතක කරේ නෑ.  

Amomama Inspirational Stories ඇසුරෙන් දුලානි නවෝද්‍යා 

More Stories

Don't Miss


Latest Articles