නිම් නැති නිම්නය 39

බිඟුනි ව පාසලට දැමීමෙන් පස්සේ කවීශ්වර කාශ්‍යප ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එතකොට ඔහු සිටියේ රිය පදවන අතරේ ය. උදේ පාන්දර ම, පෙර දා මැදියමේ ඔහු ආරාධනා ට දුන් ඇමතුම හේතු කොට ගෙන සෞභාග්‍යා ගේ කන්දොස්කිරියාව පටන් ගත්තෙන් ඉන් මිදෙනු වස් කාශ්‍යප කළේ ඉක්මනින් ම ගෙදරින් පැන ගන්නා එක ය. 

“මොකද ඕයි හැටි…ඔය කොණ්ඩෙ රැවුල කපා ගන්නවකො පිළිවෙළකට..”

බොජුන් හලකදී කාශ්‍යප දුටු ගමන් කවීශ්වර එසේ කීවේ සිනහ වෙමිනි. නමුත් ඔහු ගේ පපුව ඇතුළේ දැවිල්ලක් පැතිර ගියේ ය. කාශ්‍යප ගේ මුහුණේ මතු වූ සංවේගී මඳහස් රැල්ල, ඒ දැවිල්ල තීව්‍ර කරමින් සර්වාංගය පුරා ම පැතිර ගියේ ය. අයියා වෙනුවෙන් කළ හැකි ඕනෑ ම දෙයක් කරන්නට මේ මොහොතේ තමන් සූදානම් බවක් ඔහු ගේ ආත්මයේ ගැඹුරු පත්ල හඬ ගා කියන්නට විය. ගැහැනුන් නිසා විනාශ විය යුතු තමන් මිස සහෝදරයා නොවන බවට සිතිවිල්ලක් හිතේ කොහේදෝ තැනක ඇති වී නැති වී ගියේ ය. 

කුඩා උන් සාවියේ පටන් පවුලේ දඟයා ද කලබල කාරයා ද නහස්ති කාරයා ද නරකයා ද වූයේ කවීශ්වර ය. කාශ්‍යප කවදත් තැන්පත් තැනැත්තෙකි. ඔහු ගේ පත පොත කවීශ්වර ට සාපේක්ෂව ඉතා පිළිවෙළ විය. පන්තියේ කාශ්‍යප පළමු වැනියා වෙත්දී කවීශ්වර මුලට ආවේ පන්තියේ අගිනි. කර දඬු උස් වෙත්දී රණ්ඩු දබර හා ගහ මරා ගැනිලි වල නම ගිය පුද්ගලයන් අතරේ කවීශ්වර සිටියේ ය. අනංගයන් අතරේ ඉදිරියෙන් ම සිටියේ ය. කාශ්‍යප තව දුරටත් තැන්පත් හා වැදගත් ළමයා ලෙස ම පැවතිණ. 

එහෙම තැන්පත් හා වැදගත් මිනිසුන් ට වැරදුණ විට දරා ගත නො හැකි ය! 

“මොකද්ද දැන් වෙන්නෙ අයියෙ…”

ආරාධනා අතැර ගිය අලුත, ආයේ නම් කාශ්‍යප ට අයියා කියන්නේ නැතැයි කවීශ්වර හිතා ගෙන සිටියේ ය. නමුත් තමුන් ඉදිරියේ හිඳ සිටින බොර පාට වූ ඇස් ඇති අපිළිවෙල මිනිසා දකිත්දී ඔහු ගේ ළය සහෝදර ස්නේහයෙන් පිපිරී යන්නට හැදුවේ ය. අයියා ගේ සතුට වෙනුවෙන් ඔහු ගේ දෙපා මුලට ගෙනැවිත් දිය හැකි ඕනෑ ම දෙයක් ගැන දෙවරක් සිතන්නට ඕනෑ වෙන්නේ නැති බව ලේ කකියමින් දැනෙන්නට විය.

“ආරාධනා කිව්ව ඊයෙ රෑ තමුසෙ කෝල් කළා කියල…හොඳටම බීල..”

එවර කාශ්‍යප හිනැහුණේ කට කොනකිනි.

“ආරාධනාද තමුසෙව එව්වෙ…”

“නෑ නෑ මාව කවුරුත් එව්වෙ නෑ. මට හිතුණ නිසයි ආවෙ. ඒක දැනගත්තහම අම්මත් අඬන්න ගත්ත. අයියෙ මේ අහනව. මං ගෑනු සීයක් ගත්තත් අම්මලට ඒක ගානක් වෙන එකක් නෑ. මං බිව්වත්…ගංජා ගැහුවත් අයිස් ගැහුවත් කුඩු ගැහුවත් ඌව හදන්න බෑ කියල විතරක් හිතයි. ඒත් තමුසෙ ගැන එහෙම හිතන්න ඒගොල්ලොන්ට බෑ. තාත්තා වුණත් දැන් හිත තද කර ගෙන ඉන්නව තමයි. ඒ වෙන කරන්න දෙයක් නැති නිසා. මොකද්ද ඕයි මේ වෙන්නෙ…තමුසෙ දරු පවුලක් අත් ඇරල ගිහිං විනාස වෙන්න හදන්නෙ මොන කරුමයක් නිසාද”

“හ්ම්. ඒක කරුමෙ වෙන්න පුළුවන්”

කාශ්‍යප බරැති සුසුමක් අත් හළේ ය. 

“තමුසෙනෙ ගියේ. නිකංම මිනිහෙක් ගෑනියි දරුවොයි අත් ඇරල වෙන කැනකට යන්නෑනෙ. ඒ වගේ අවදානමක් ගන්නෙම ඒ දෙවෙනි තැන ගැන ලොකු විශ්වාසයක් තියනවනං. ඉතිං එහෙම කරපු තමුසෙ මෙහෙම තැනකට වැටුනහම අපිටත් බලං ඉන්න බෑ. ආරාධනා ට වුණත් ඒකයි වෙලා තියෙන්නෙ. ගියානං ගිය තැනක හොඳින් ඉන්නවකො අයියෙ. තමුසෙ ඒ ගෑනියි මේ ගෑනියි දෙන්නටම වැරැද්දක්නෙ ඔය කරන්නෙ. ඊටත් වඩා තමුන්ට වරදක් කර ගන්නවනෙ…සතුට තියන තැනට ගියානං…දැං මොන මගුලටද බොන්නෙ…බීල අර අහිංසක ගෑනිව අවුල් කරන්නෙ…ගෑනි විතරක් ද අම්ම…”

කාශ්‍යප එක අතක අතැඟිලි වලින් මුළු මුහුණ ම වසා ගත්තේ ය. සිදු වූයේ කුමක් ද තබා දැන් ඔහු ඉන්නේ කොතැනක ද කියාවත් කාශ්‍යප දන්නේ නැත. ඉදිරියේ දී කුමක් වේවිද කියා අනුමානයෙන්වත් සිතා ගත නො හැකි ය. දැන් තිබෙනා තත්වයේ හැටියට සෞභාග්‍යා කෙතරම් කාලයන් ඔහු වෙත රැඳේවිද කියා හෝ ඔහු ට කොයි තරම් කාලයක් ඇය සමගින් සිටිය හැකි වේවි ද කියා අනාවැකි කිව නො හැකි ය. 

ඒ ඉරියව්වේ හිඳ ඇස් පියා සිටිනා සහෝදරයා දෙස කවීශ්වර වේදනාත්මක හැඟීමකින් බලා සිටියේ ය. කිසි දෙයක් වරදා ගන්නේ නැතිව, ලෝකය බලාපොරොත්තු වෙන්නා වූ සම්මත මිනුම් වල සීමාවේ සිටි මිනිසුන් ට එක කුඩා වරදක් වූ විට එය මහා පරිමාණයෙන් දැනෙනා බවට හොඳ ම උදාහරණය කාශ්‍යප ය. 

“තව ටික දවසනෙ දික්කසාද තීන්දුව ලැබෙන්න තියෙන්නෙ. ඊට පස්සෙ සෞභාග්‍යා ව බඳිනව. බැඳල ආයෙමත් ජීවිතේ පිළිවෙළකට ගත කරනව. නිකං ජෝක් එකක් වෙන්න ඕන නෑනෙ. තමුසෙ දැං බීගෙන රෑ ජාමෙ ආරාධනා ට කතා කරන්නෙ නිකං…ඒ ගෑනි තමුසෙව දාල ගිහිං වගේනෙ”

“මට ආයෙ ඔය කිසි දෙයක් කරන්න පුළුවන් වෙයිද කියල මං දන්නෑ මල්ලි. ආරාධනා එක චාන්ස් එකක් දුන්නනං වැරදීම් වලින් පාඩං ඉගෙන ගෙන මට අලුත් මිනිහෙක් වෙන්න තිබුණා. ඒත්…දැන් ඒකත් බෑ”

“බැරි දේ නෙවෙයි අයියෙ. කරන්න පුළුවන් දේ ගැන හිතමු. කරන්න ඉතුරු වෙලා තියන දේවල් වලින් හොඳම දේ ගැන හිතමු. කොහේ කාගෙ ළඟ හරි තමුසෙත් හොඳින් ඉන්නයි ඕනෙ. මං හිතන්නෙ ආරාධනා ට ඕනත් එච්චරයි. අපිට ඕනත් එච්චරයි”

කොයි තරම් වෙලාවක් කතා කරමින් සිටිය ද කාශ්‍යප ගේ ජීවිතයෙහි අංශු මාත්‍රික වෙනසක් සිදු කරන්නට එය හේතු වූවා ද කියා කවීශ්වර ට නිශ්චය කර ගත හැකි නොවිණ.

හෙමිහිට ද වේගයෙන් ද දුවමින් කාලය ගෙවී ගොස් තිබිණ. අවසන ඒ තීන්දුව ලැබුණේ ය. කාශ්‍යප හා ආරාධනා නීතියෙන් බැඳ තිබූ රැහැන මුළුමනින් ලිහී ඔවුන් ව නිදහස් කෙරිණ. ඒ අතරේ සිය හිත වෙනස් වේවිද කියා ආරාධනා ට සිතුණ අවස්ථා නො තිබුණා නොවේ. නමුත් ඕ සිය මතයෙහි එල්බගෙන සිටියා ය. අවසන කාශ්‍යප දික්කසාදය ලැබුවේ එවැන්නක් අවශ්‍ය නැති මිනිසෙකු සේ ය. ඒ වන විට ඔහු හදවතින් මිය ගිය මිනිසෙකු වී සිටියේ ය.

“දැන් ඉතින් අක්කගෙ අතත් සනීප එකේ…අපි ආරාධනාව ගෙදර එක්කගෙන යන්නං නේද…කොහොමත් දැන් ඉතින් එයාට මෙහෙ ඉන්න කිසිම අයිතියක් නෑනෙ”

දික්කසාද තීන්දුව ලැබීමෙන් පසු මධුරි සේනාසිංහ සැනසුම් පායට විත් යෝජනා කළා ය. එය යම් කිසි දිනයෙක සිදු වීමට නියමිත දෙයක් බව කවුරුත් දැන සිටියේ වී ද ඒ වෙලාවේ හැම හදවතක ම දැවීමක් ඇති විය. රිදීමක් ඇති විය. අපේක්ෂා භංගත්වයක් ඇති විය. අනිත්‍යය ගැන දහම ඒ ගෙදර කවුරුත් දැන සිටිය ද එයට මුහුණ දීම කෙතරම් අසීරුද යන වග, ඔවුහු තමන් සමග ම සටන් වදිමින් අවබෝධ කරමින් සිටියහ. 

“ඒ අයිතිය නීතියෙන් නැති වුණත්…අපේ හදවත් වල නැති වෙන දෙයක් නෙවේ අම්ම. මෙහෙ අම්මයි තාත්තයි මට ඔය දෙන්න වගේම තමයි. තව අවුරුදු කීයක් ගියත්…ඒ වගේම ඒ දෙන්න මගෙ ළමයි දෙන්නගෙ ආච්චියි සීයයි. කවීශ්වර ඒගොල්ලන්ගෙ බාප්ප. ඒ බැඳීම් නීතියකට ඇති කරන්නවත් නැති කරන්නවත් පුළුවන් දේවල් නෙවෙයි..නීතියෙං අද අපි මේ ගෙදරට අයිති නැති වුණත්..මං තව ටික දවසක් මෙහෙ ඉන්නං අම්මෙ. අපි එක පාරටම ගියොත්…ඒක මේ ගෙදර හැමෝටම දරා ගන්න හරි අමාරු දෙයක් වෙයි”

ගජධීර ගේ තොල් කොනක් සැලී ගියේ ය. රාජිකා මැණිකේ ගේ දෙතොල් මත්තට සිනහවක් ආවේ නිරායාසයෙනි. කවීශ්වර අතැඟිලි වලින් හිස කේ පිටුපසට ඇද ගෙන අත් දෙකෙන් ම මුහුණ පිරිමැද ගත්තේ ය.

“ඉතිං පුතේ…”

“මං තව ටික දවසක් ඉඳල එන්නං අම්මෙ…අඩු ගානෙ සඳයුරු ආච්චිවයි සීයවයි බාප්පවයි අඳුර ගන්නකල්වත්…එයාට තාත්ත කෙනෙක් කියල කෙනෙකුත් ළඟ පාතක නැති එකේ…අපේ අයියට මාම කෙනෙක් වෙන්න වෙලාව තියෙයිද එයාගෙ ළමයින්ට තාත්ත කෙනෙක් වෙන්නවත් වෙලාවක් නැතිකොට…”

“අනේ ඔයාට පින් සිද්ද වෙනව දුවේ. ඔයත් දරුවො දෙන්න අරගෙන ගියාට පස්සෙ…ජීවත් වෙන්නයි කියල අපිට මොනාද සතුටකට තියෙන්නෙ”

රාජිකා මැණිකේ කඳුළක් පිස දා ගත්තා ය. ඒ අනුව ආරාධනා මහ ගෙදර යන එක තව ටික දවසකට කල් දැමිණ. නමුත් ඒ තව ටික දවස කවදා හෝ උදා වෙන්නට නියමිත බව අමතක කොට සැනසුම් පායේ ඇත්තෝ ව්‍යාජ සතුටකින් සිය වේදනා කැක්කුම් වසා ගත්හ. 

“ඇත්තටම මං දන්නෑ කාවි මං මොනාද කරන්න යන්නෙ කියල…මට තේරෙන්නෑ මං මොනාද කරන්න ඕන කියලත්…ඩිවෝස් එකට හිත හදාගත්ත තරමටවත් සැනසුම් පායෙන් පිටවෙලා යන්න තාම මට හිත හදා ගන්න පුළුවන් වුන්නෑ”

ආරාධනා සිය හදවත අවංකව ම විවෘත කළේ කාවින්දි හා තාරා ඉදිරියේ ය. ඔවුන් දෙදෙනා උනුන් ගේ මුහුණු බලා ගත්හ. ඉඟියක්වත් නො කළ ද ඒ ඇස් හතර අතරේ ලොකු කතාවක් තිබිණි. 

“අපි ගියොත් එයාලට ඒක කොහොම දැනෙයිද කියල හිතෙනකොටත් මාව දෙදරනව වගේ. අම්මනං අඬල හරි හිත හදා ගනී. ඒත් තාත්ත…කවීශ්වර ට පිස්සු හැදෙයි පොඩි දෙන්න නැති වුණොත්…සිය පාරක් කතා කරලත් වෙනදට උදෙන්ම ඇහැරෝගන්න බැරි මිනිහ දැන් බිඟුනිව ඉස්කෝලෙ ගෙනියන්න අපි එක පාරක්වත් කතා කරන්න කලින් නැගිටිනව. එයා ගෙදර එනකොට සඳයුරු නිදා ගෙන හිටියොත් සාංකාව වගේ. මේ හැම දේම එක සැරේට නැති වෙලා ගියොත්…අනේ මන්දා…මට තේරෙන්නෑ…අපි කවුරුත් මේ ඩිවෝස් එක ගැන දැනං හිටිය තමයි. ඒත් ඒක අපිට හුඟක් දුරින් තිබුණ දෙයක් වගෙයි දැනුණෙ…දැන් ඒක ළඟටම ආවත්…”

“අරා”

තාරා ඇය ඇමතූයේ හදවත පත්ලේ උපන් දයාවක් එක්ක ය. එය තමන්ගේ කමකි. සහෝදර කමකි. මිතුරු කමකි. 

“එහෙමනං කරන්න තියෙන්නෙ එදා අර කාවි කියපු විදිහට ඔයා මේ ගෙදරම පදිංචි වෙන එක විතරයි. ඔයාට ඒ ගැන හිතන්න පුළුවන් නං..කිසි ප්‍රශ්නයක් නෑ”

ආරාධනා මුවගට සිනහවක් නගා ගත්තා ය. 

“අනේ ඇයි අනේ ඕගොල්ලොන්ට මාව තේරෙන්නැත්තෙ…මට ඕනෙ වෙන කසාදයක් කරගන්න නෙවේ. ආයෙ කවදාවත්ම බඳින්නෙනං නෑ. මට ඕගොල්ලො එක්ක..මෙහෙම මේ විදිහටම ඉන්නයි ඕනෙ. වෙන තැනකට බැඳෙන්නැතුව…මං මේ බැඳීම් ටිකට හරි ආදරෙයි. සමහර විට…කවීශ්වර බැඳල එයාට බබාල ලැබුණට පස්සෙ මේ ගෙදරට අපිව අමතක වෙන්න පුළුවන්. මේ අය අපෙන් දුරස් වෙන්නත් පුළුවන්. එදාට දුකක්වත් ඊරිසියාවක්වත් නැතුව අපේ පාඩුවෙ ඈතින් ඉන්න මට පුළුවන් වෙයි. ඒත්…”

ඇතැම් විට සිය සිතැඟි ආරාධනා ඉදිරියේ හෙළි කිරීමෙන් කවීශ්වර ට දැන් සිය මාවත පහන් කර ගත හැකි වනු ඇතැයි තාරා විශ්වාස කළා ය. ඒ ගැන කාවින්දි තුළ අවංක බියක් විය. නමුත් තාරා ඒ හැඟීම තුනී කරන්නට හැකි තාක් උත්සාහ කළා ය.

“පිරිමි මොන සෙල්ලම දාන්නෙත් නතර වෙන්න පුළුවන් ගෑනියෙක් හම්බ වෙනකල් විතරයි කාවි. කවීශ්වර ත් එහෙම වෙයි. ස්පෙශලි ඔය තරුණ කාලෙ අයාලෙ යන පිරිමි හරිහමං ගෑනියෙක් ළඟ හිතා ගන්න බැරි විදිහට ස්ටැබ්ලිශ් වෙනව. අබි කවීට චාන්ස් එකක් දීල බලමු. මේක ගජධීර පවුල වෙනුවෙන් දෛවයට කරන්න පුළුවන් හොඳම දේ වෙන්න පුළුවන්”

කාවින්දි හිටියේ දෙගිඩියාවෙනි. ආරාධනා දෙවන වතාවටත් ගජධීර පුතෙකු නිසා අසරණ නොවෙනවා නම්! ඇයට අවශ්‍ය එපමණකි. 

ආරාධනා ගේ සිත පැහැදිලි දිය කඩිත්තක් සේ වන මේ තත්වය යටතේ දී ඇය වෙත සිය අදහස ඉදිරිපත් කරන ලෙස තාරා ගෙන් කවීශ්වරට අනුබල ලැබිණි. නමුත් ගහෙන් ගෙඩි එන්නා සේ එහෙම කරන්නට කවීශ්වර ට හැකි වූයේ නැත. විශේෂයෙන් ම ආරාධනා ගේ අසීමිත සිත්‍රී පෞරුෂය ද ඇය සිය පෞද්ගලිකත්වයේ සීමා මායිම් වලට දැඩි මුරකාවල් යොදා තිබීම ද යන කාරණා මත කවීශ්වර ට ඒ සීමා වලට ළඟා වීම හෝ පහසු වූයේ නැත.

“කවීශ්වර ඉක්මන්ට මැරි කරන්නකො අනේ. අපි යන්න කලින් එහෙම දෙයක් වෙනවනං මං හරි ආසයි…කොහොමත් අපේ අම්මල මට තව වැඩි දවසක් මෙහෙ නවතින්න දෙන්නෑ. දැන් අපි ඒ වෙන් වීමට හෙමිහිට ලෑස්ති වෙන්න ඕනෙ”

දවසක් එක පිවිසුම් දොරටුවක් විවර කළේ ආරාධනා ම ය. ඒ ඔහු ගේ රියෙහි සඳයුරු ට එන්නතක් විදින්නට විශේෂඥ වෛද්‍යවරයා වෙත ගොස් එන ගමන් ය. 

කවීශ්වර සිය ඉරියව් වෙනස් නො කොට මඳ කල්පනාවකට ඉඩ දුන්නේ ය. වහා මේ දොරටුව වෙත අවතීර්ණ විය යුතු යයි ඔහු ගේ යටි හිත කීවේ ය. හරියන්නට හෝ වරදින්නට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු බව ඉඟි කළේ ය. හරියනවාට වඩා වරදින්නට ඇති සම්භාවිතාව ඉහළ වන්නට පුළුවන. නමුත් දොරටුවෙන් ඇතුළු නොවී ඒ මාවත් දෙකෙන් එකක්වත් ගෝරා ගත නො හැකි ය.

“මං ඔය ගැන හුඟක් කල්පනා කළා පහුගිය කාලෙ. ඔයා දන්නව මං බිඟුටයි මේ කොල්ලටයි කොච්චර ආදරේද කියල”

“අනේ කවීශ්වර…බැන්ද කියල ඒ ආදරේ එහෙමම තියෙයිනෙ ඉතිං..සමහර විට ඉතිං අඩු වෙලා අමතක වෙලා යන්නත් පුළුවන්…ඒත් අනුංගෙ ළමයි නිසා…”

“අනුංගෙ ළමයි..”

එක් වන ම රියෙහි තිරංග තද වී එහි වේගය බාල විය. කවීශ්වර ගේ හඬ තානය වෙනස් වූයේ ය. ඊළඟට ඔහු ගේ කට කොනක සිනහවක් ඇදිණ.

“නෑ මං කිව්වෙ ඉතිං…වැඩිමල් සහෝදරයන්ගෙ ළමයින්ට බාල සහෝදර සහෝදරියො බඳින්න කලින් මාර ආදරෙයි තමයි…කොහොමත් කොහෙත් එහෙමනෙ…ඒත් තමන්ටම කියල ළමයි හම්බ වුණහම ඒ හැඟීම තුනී වෙලා යනව…”

“මට ඕනෙ ඒ හැඟීම තුනී වෙන්න අරින්න නෙවෙයි. තව වැඩි කර ගන්න…”

“හරි ළමයො”

“දැන්ම නෙවේ…මං කියන්නෙ තව ටිකක් කාලෙ අරං…ඔයාගෙ හිතත් හොඳටම හැදුණහම…ඔයාගෙ අකමැත්තක් නැත්තං…මං කැමතියි පැටව් දෙන්නයි ඔයයි තුන් දෙනාම මගෙ කරගන්න”

ඇස් ඉස්මත්තේ ම බෝම්බයක් පුපුරා ගියා බඳු කම්පනයකි එය. ආරාධනා ගේ හදවත එකී කම්පනයෙන් දෙදරා ගියේ ය. ඇගේ ඇස් විසල් වී රවුම් වී තිබිණ. ඇගේ මුවග එතෙක් වූ මඳහස කොහේ අතුරුදන් වූයේ ද කියා සොයා ගත නො හැකි විය. අතින් ගිලිහේ යයි බියෙන් ඕ සඳයුරු වඩාත් තදින් අල්වා ගත්තා ය. ආරාධනා ඉක්මනින් හුස්ම ගත්තා ය.  ඇගේ උගුර කට මුළුමනින් වියළී යන්නට ගත වූයේ ඇසිල්ලකි. ඇය වඩාත් හොඳින් නෙතු විදා කවීශ්වර දෙස බැලුවා ය. මුකුත් ම නොකීවා සේ, දැන් මෙතන කිසිදු අමුතු දෙයක් නො සිදු වූවා සේ ඔහු නිසොල්මනේ රිය පදවයි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles