ලොව සෙලවූ යකඩ ගැහැණිය-මාග්‍රට් තැචර්

යකඩ ගැහැණිය හෙවත් මාග්‍රට් තැචර් 1925 වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා බ්‍රිතාන්‍යයේ ලින්කොල්න්ෂර් ප්‍රාන්තයේ ග්‍රැන්තම්හි උපත ලැබුවාය. ඇයගේ උපන් නම මාග්‍රට් හිල්ඩා රොබර්ට්ස්ය. පියා ඇල්ෆ්‍රඩ් රොබර්ට්ස් වූ අතර මව බියට්‍රිස් එතල් නම් විය. බාලයා වූ මාග්‍රට්ට සිටියේ මියුරියෙල් රොබර්ට්ස් නම් සහෝදරියකි. මාග්‍රට්ගේ කුඩා අවදිය ගෙවුනේ ග්‍රැන්තම්වලය. ඇගේ පියා වෙළදසැල්  හිමිකරුවෙකු වූ අතර ආගම දහමට ඛෙහෙවින් ලැදි පුද්ගලයෙක්විය. මෙනිසාම මාග්‍රට් හා සොහොයුරිය වැඩුණේ පියාගේ දැඩි නීති රීති මැදය. දේශපාලන කටයුතු වලටද දැඩි උවමනාවකින් සහභාගී වූ ඔහු වරක් ග්‍රැන්තම්හි නගරාධිපති ලෙසද තේරී පත්විය.

හන්තින්ග්ටවර් ප්‍රාථමික පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබනා මාග්‍රට් එහිදී දක්වන දක්ෂතා හේතුවෙන් ශිෂ්‍යත්වයක් හිමි කර ගැනීමට සමත් වන්නීය. ද්විතියීක අධ්‍යාපනය කෙස්ටෙවන් හා ග්‍රැන්තම් කාන්තා පාසැලින් ලබන ඈ කැපවීමෙන් වැඩ කරනා උත්සාහවන්ත ශිෂ්‍යාවක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනන අතර ප්‍රධාන ශිෂ්‍ය නායිකා ධූරයද හොබවන්නීය. 1947 දී ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ඈ පිටවනුයේ රසායන විද්‍යාව සදහා දෙවන පන්තියේ ගෞරව සාමාරථයක් සහිතව උපාධිය ලබා ගනිමිනි. එසමයේදී බ්‍රිතාන්‍යය කොන්සර්වටිව් පක්ෂයට අනුබද්ධිත ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය ලෙසද කටයුතුකළාය. පසුව එසෙක්ස් ප්‍රාන්තයට සංක්‍රමණය වූ මාග්‍රට් බී.එක්ස් නම් සමාගමක පර්යේෂකවරියක් ලෙස සේවය කළාය. තවත් සමාගමක පර්යේෂක තනතුරට අයැදුම් කළද එහි බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ ඇත්තේ මාග්‍රට් මුරණ්ඩු, තනි මතයට වැඩ කරන්නෙකු බැව් පවසිනි.

දේශපාලනය කෙරෙහි එතරම් ඇල්මක් මාග්‍රට්ගේ නොවුණ මුත් ඇයගේ එඩිතර කතා විලාසය හා පෞරුෂය නිසාම ඇය සුදුසු වන්නේ දේශපාලනයටම බව ඇයගේ මිතුරන්ගේ අදහස විය. මිතුරකුගේ මාර්ගයෙන් ඇයට කෙන්ට් ප්‍රාන්තයේ ඩාර්ෆෝර්ඩ්හි කන්සර්වටිව් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ආරාධනා ලැබේ. පක්ෂයේ ඉහළ බලධරයන් ඇයගේ හැකියාවන් ගැන සැක පළ කළද ඔවුන්ගේ සියලූ සැක දුරු කර තමන්ට දිගු දේශපාලන ගමනක් යෑමට හැකියාව තිඛෙන බව ඔවුන්ට ඒත්තු ගැන්වීමට සමත් වන්නීය. 1950 හා 1951 වසරවලදී පැවැත්වුණු මැතිවරණ දෙකෙහිදීම මාග්‍රට්ට අත්වූයේ පරාජය වුව සිය උත්සාහය අත්නොහැරියාය. ඩෙනිස් තැචර් නම් ධනවත් ව්‍යාපාරිකයෙකු හමුවන අතර ඔහු හා විවාහ වන මාග්‍රට් 1953 වසර වන විට මාග්‍රට්කැරොල් හා මාක් තැචර් ලෙස නම් ලද නිවුන් දරුදෙදෙනෙකුගේ මවවිය. නීතිඥ විභාගයට පෙනී සිටින මාග්‍රට් උසස් ලෙස සමත්වී බැරිස්ටර්වරියක් ලෙස දිවුරුම්දෙන්නීය.

1958 වසරේදී පැවැත්වුණු මහ මැතිවරණයෙන් ඇය කොන්සර්වටිව් පක්ෂයේ පාර්ලිමෙන්තු අසුනක් හිමි කර ගැනීමට සමත්වන්නීය. ඇයගේ ප්‍රථම ඇමති ධූරය වූයේ විශ්‍රාම වැටුප් සදහා වන කනිෂ්ඨ ඇමතිවරියයි. 1964 සිට 1970 කාලයේ විවිධ ඇමතිධූර රාශියක්ද දැරූ අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකත්වයද ලැබේ.  පක්ෂයේ ඇතැම් තීරණ හා ආකල්පයන් ඇයගේ දෝෂදර්ශනයට ලක්වූ අවස්ථා එමටවිය.  අධ්‍යාපන ලේකම්වරිය ලෙස ඇය පාසැල් වල අනවශ්‍ය වියදම් කපා හැරීමේ වැඩපිළිවෙලක් ගෙනගියාය. ඉගෙනීම් කටයුතු වලට මුල් තැන දිය යුතුයැයි ඇයගේ මතයවිය.  මෙයට දැඩි විරෝධයක් මතු වූ අතර කළකිරුණු ඇය දේශපාලනය හැරදා යාමට පවා සැරසුණාය. පසුව ඇය තීරණය වෙනස් කර ගත්තාය. ඇයගේ චරිතාපදානයෙහි දැක්වෙන පරිදි මේ සිදුවීම ඇයට දේශපාලනය යනු මේ යැයි කියා දුන් බව සදහන්ය.‘මම මේකෙන් හොද පාඩමක් ඉගෙන ගත්තා.මට තිබුණු බලය මම යොදාගත්තේ මගේ දේශපාලනය ප්‍රතිරූපය හානි වෙන වැඩකට‘ යැයි එහි සදහන් වේ.

ඇයගේ නායකත්වය යටතේ 1979 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂය ජය ගන්නා අතර මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිවරිය ලෙස පත්වන්නීය. අගමැතිවරිය ලෙස පත්වූ පසු මාග්‍රට් කළදෑ අතුර රාජ්‍ය සමාගම් පුද්ගලීකරණ පණත හදුන්වාදීම,වෙළද සබදතා ඇති කර ගැනීම,සෘජු බදු අඩු කර වක්‍ර බදු හදුන්වාදීම මගින් වියදම් අඩු කිරීම වේ. රටේ උද්දමනය සීඝ්‍රයෙන් පහත බැස්සද විරැකියාව ඉහළ යමින් තිබුණි. රට පුරා වූයේ උද්ඝෝෂණයන්ය. මෙය දුටු පක්ෂයේ ඇතැමුන් මාග්‍රට් හට ඉල්ලා අස්වන ලෙස බල කෙරූ අතර ඇය ඔවුන්ට බැණ වැදී එළවා දැමූ බව කියැවේ.

උතුරු අයර්ලන්තයේ අවිගත් කණ්ඩායම් අතර වූ ගැටුම් වලට නැවතුමක් තැබීමට මාග්‍රට් තැචර් කටයුතු කරමින් සිටි නිසා ඇයගේ ජීවිතයට තර්ජන එල්ල වූ අවස්ථා බොහෝ විය. අවිගත් කණ්ඩායම් වල ඉල්ලීම් වලට ඇයගේ කිසිදු අනුමැතියක් හිමි නොවුණි. බ්‍රිතාන්‍යයට අයත් ෆාක්ලන්ඩ් දූපත් අරඹයා පුංචි යුද්ධයක් තරමටම වර්ධනය වූ ආර්ජන්ටිනා හා බ්‍රිතාන්‍යය හමුදාවන් අතර ඇතිවූ ගැටුම් අවසානයේ ආර්ජන්ටිනාව යටත් විය. මෙය තැචර්ගේ ජනප්‍රියතාව පාර්ලිමෙන්තුව තුළ ඉහළ දැමීමට ඉවහල් විය. සාකච්ඡා මාර්ගයෙන් ගැටලූව විසදා ගැනීමට නොහැකි නම් බලය භාවිතා කළ යුතුයැයි ඇය ප්‍රසිද්ධියේ සදහන් කළාය. 1983 වසරේ පැවැති මහ මැතිවරණයෙන් කොන්සර්වටිව් පක්ෂයට හිමිවූයේ විශිෂ්ට ජයකි. මාග්‍රට් තැචර් දෙවන වරටද අගමැතිනිය ලෙස පත්වූවාය. මේ සමයේදී ඇය ඇමරිකාව හා රුසියාව සමග සමීප සම්බන්ධතා ඇති කර ගැනීමට කටයුතු කළාය. මීට අමතරව ඇගේ අවධානය යොමු වූයේ ඇය හිසරදයක් ලෙස සැළැකූ වෘත්තිය සමිති අඩපණ කිරීමේ ක්‍රියාදාමයටය.

1984 වසරේ ඔක්තෝබර් මස පක්ෂ රැස්වීමකට මාග්‍රට් තැචර් ඇතුලූ කොන්සර්වටිව් පක්ෂ සාමාජිකයින් රැස්ව සිටි බ්‍රිතාන්‍යයේ බ්‍රයිටන් නගරයේ හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එයින් දිවි ගලවාගැනීමට තැචර් සමත් වූවාය. මෙම ප්‍රහාරයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාග්‍රට් කළ කතාව මහත් පැසැසුමට ලක් විය. ප්‍රහාරයකින් පසුවත් ඇය සුපුරුදු ස්වභාවයෙන් සිටීම සියලූදෙනා පුදුමට පත්කිරීමට සමත් වුනි. යකඩ ගැහැණිය නමින් ඇය ප්‍රසිද්ධ වීමට ගත්තේ මේ සිදුවීමෙන් පසුවය.

ලිබියාව හා ඇමරිකාව අතර ගැටුම් ඇතිවන්නට පටන් ගත් පසු බ්‍රිතාන්‍යයේ වූ ගුවන් හමුදා කදවුරු භාවිතා කිරීමේ අවසරය ඇමරිකාවට ලබාදුන් නිසා එවක ඇමරිකානු ජනපති වූ රොනල්ඩ් රේගන් අයර්ලන්ත ගරිල්ලන්ට වැට බැදීමේ යෝජනාවකට එරට කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගති. මේ ඔස්සේ අයර්ලන්තයේ අවිගත් කණ්ඩායම්වල ක්‍රියා මැඩපැවැත්වීමට බ්‍රිතාන්‍යය රජයට හැකි විය. හොංකොං දිවයින චීන රජයේ විශේෂ අධික්ෂණය යටතේ පාලනය විය යුතුයැයි යෝජනාවක් ගෙන ඒමට ඇය කටයුතු කළාය. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදන ඉහළ යමින් තිබූ අතර අනෙක් ධනවක් රටවල් මට්ටමටම බ්‍රිතාන්‍යයද ළගා වෙමින් තිබුනි. විරැකියාවද මේ වන විට තිබුණේ සැළැකිය යුතු මට්ටමකින් පහත බැසය. 1987 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් ජය අත්කර ගැනීමට  හැකිවිය. ඇය තෙවන වරටත් බ්‍රිතාන්‍යයේ අගමැති ධූරයට තේරී පත්වූවාය.

මේ සමයේ වූ වැදගත් සිදුවීමවනුයේ නෙල්සන් මැන්ඩෙලාව සිරෙන් මුදවා ගැනීමට මාග්‍රට් තැචර් ගත් උත්සාහයයි.   රජය විසින් ගත් තීරණ බොහෝමයක් පෙර මෙන් ඵල දැරුවේ නැත. විවිධ බදු වර්ග හදුන්වාදීමෙන් රටේ ජනතාවගේ ප්‍රසාදයත් ඇතැම් තීරණ නිසා තමන්ට ළගින්ම සිටි දේශපාලන මිතුරනුත් අහිමිවීමත් නිසා තැචර්ගේ ජනප්‍රියතාවය සීඝ්‍රයෙන් පහත බසිමින් තිබුණි. රටවැසියන් අතර රජය අප්‍රසාදයට ලක් විය. පක්ෂයෙන්ම මතුවූ යෝජනාවකට අනුව 1990 වසරේදී ඇය පක්ෂ නායකත්වයෙන්ද අගමැති ධුරයෙන්ද ඉල්ලා අස්වූවාය.

ඇය කළ සේවය අරබයා ඇයට බැරන් තනතුරක්ද ප්‍රදානය කෙරුණි. 1992 වසරේදී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමෙන් පසු ඇය සමාජසේවා කටයුතු වලට සෘජුව සම්බන්ධ වී ක්‍රියා කළාය. පාර්ලිමෙන්තුවෙන් ඉවත් වීමෙන් පසු තමන්ට කැමති දෙයක් කීමේ හැකියාව ලැබී ඇතැයි ඇය ප්‍රකාශ කළාය. තෙවරක්ම බ්‍රිතාන්‍යයේ අගමැතිවරිය ලෙස පත්වීමත් ඇය ධූරයේ සිටි කාලයේ කළ කීදෑත් නිසා ඇයට ලොව පුරාම තිබුණේ ඉහළ පිළිගැනීමකි. ආදරණීය සැමියා ඩෙනිස් තැචර් 2003 වසරේදී හෘද්‍යාබාධයක් සෑදී මියයාමෙන් පසු ඇය දවස ගෙවූයේ සිය පැරණි දේශපාලන මිතුරන් අතරය. ආඝාත තත්ත්වයන් ඇති වන්නට පටන් ගැනීමට නිසා වෛද්‍යවරුන් නිර්දේශ කළ පරිදි කතා පැවැත්වීම ඇය නතර කළාය. බ්‍රිතාන්‍යය දේශපාලනයේ නොමැකෙන චරිතයක් වූ මාග්‍රට් තැචර් මියයන විටදී ඇයගේ වයස අවුරුදු 87 කි. වින්සන්ට් චර්චිල්ගෙන් පසු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව බ්‍රිතාන්‍යය හිටපු අගමැති මාග්‍රට් තැචර්ගේ අවමගුල ලන්ඩනයේදී සිදු විය. ලොව පුරා රටවල් 120ක පමණ නියෝජිතයෝ මේ දැකුම්කළු හා ගාම්භීර අවමඟුලට ආහ.

අන්තර්ජාලය ඇසුරෙනි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles