නිම් නැති නිම්නය 41

ඉතින් ඊට පස්සේ ඉර නො පෑයුවේ කවීශ්වර ගේ ලෝකයට පමණක් නොවේ. සැනසුම් පායට මත්තෙන් අහස අඳුරේ ගිලී ගියේ ය. එ’අඳුර ගජධීර යුවළ ගේ හදවත් මත්තේ ද කළු වලාකුළු වියනක් තනන්නට සමත් වූයේ ය. පුරුද්දට වාගේ තුන් වේල කෑවාට බීවාට, නො පිරුණු කොනක් ඔවුන් ගේ ආත්මයන් හි තමන් ම නො දන්නා තැනෙක විය. කවුරුන්වත් ඒ ගැන උනුන් හා දෙඩුවේ නැත. දොඩමළු වූයේ තනි තනි වශයෙන් සිය හදවත් වලිනි. 

ආරාධනා කිසිත් නොවුණා සේ හිඳීමේ උත්සාහයක් ගත්තා ය. කිසිවක් ම නො සිතා, මඳහසකින් මුව සරසා ගෙන හිටියා ය. කවුරුන්වත් ඇගෙන් කිසිවක් විමසන්නට ආවේ නැත. සැනසුම් පාය අතැර ආවේ ඇයි කියා අහන්නට ආවේ නැත. නමුත් කුමක් නමුත් සිදු වී හෝ සිදු වෙමින් පවත්නා බවක් සියල්ලන්ට දැනෙන්නට ඇත.

“අම්මල ඉතිං මට මෙහෙ එන්න කිව්වනෙ”

යනුවෙන් ඇය සිනහ වෙමින් කීවා ය. එනයින් ඒ ගැන හාරා විමසන්නට කිසිත් වූයේ ද නැත. 

නමුත් තාරා සිදු වූව දැන සිටියා ය. ඒ ගැන ඇය ආරාධනා විමසන්නට ඉක්මන් නො වූවා සේ ම නැන්දම්මා ගේ හෝ සැමියා  ගේ කන් වල එය තබන්නට තරම මුග්ධ ද නො වූවා ය.  සියල්ලට පෙර ආරාධනා ට ලොකු මානසික විවේකයක අවශ්‍යතාව වන බව ඇය වටහා ගෙන සිටියා ය.

“දෙයියංගෙ නාමෙට ඒ කෙල්ලට ටිකක් රෙස්ට් කරන්න දෙන්න. එයා හිතේ ලොකු තුවාලයක් එක්ක ඉන්න ගෑනියෙක්. ඒ තුවාලෙ සනීප වෙන්න කාලයයි විවේකයයි දෙකම ඕනෙ. පාරන්න පාරන්න තුවාලෙ ආයෙ නරක අතට හැරෙන එකයි වෙන්නෙ”

ආරාධනා සමගින් සිය අනාගතය ගැන සාකච්ඡා කරන්නට හැදූ චින්තන ට තාරා තදින් කීවා ය. කාශ්‍යප සමගින් යළි එකලාස වීම ප්‍රතික්ෂේප කළා නම් ඇයට සුදුසු වෙනත් පුරුෂයෙකු සොයා නැවත ඇය පිළිවෙළක් කළ යුතු යයි චින්තන නිතර කීවේ ය. ආර්ථික වශයෙන් සේනාසිංහ පවුලට ආරාධනා බරක් නොවූවද, සමාජමය වශයෙන් ඇය අනවශ්‍ය බරක් සේ චින්තන ගේ හිස මත පැටවී තිබිණ. නැවත ඇය විවාහ කොට දීම වෙනුවෙන් විශාල දායාදයක් වෙන් කරන්නට සිදු වෙනු ඇති බවට ද ඔහු ගණන් බැලුවේ ය.

ආරාධනා කවීශ්වර ගැන නො සිතා ම සිටියා ය. නොහොත් ඇගේ හිස නිර්වින්දිත තත්වයකට පත් ව තිබිණ. ඒ නිසා කිසිත් සිතුණේ නැත. අඩු තරමින් සැනසුම් පාය හෝ සිහි වී වේදනාවක් දුකක් සංවේගයක් නො දැනෙන තරමට ඒ නිර්වින්දනය දැඩි විය. දීර්ඝ සති අන්තයක් යෙදී තිබුණෙන් බිඟුනි ව පාසල් යවන්නට අවශ්‍ය නොවීම ඇයට සහනයක් විය. ඒ දවස් හතරේ ආරාධනා වැඩිපුර කළේ නිදා ගන්නා එක ය. සඳයුරු නිදි නම් ඔහු ළඟ වැතිර දහවලේත් සන්ධ්‍යාවේත් ඇය නිදි ලැබුවා ය. කොයි තරම් දවල් නිදා ගත්තත් රෑට ද නින්ද ගියේ ය. 

ඒ නිර්වින්දිත නින්දෙන් ඇය හරි හැටි අවදි වන්නට වූයේ සඳුදා උදා වූ විට ය. ආරාධනා උදෙන් අවදි වී බිඟුනි ව පාසල් යැවීමට සූදානම් කළා ය. ඇය පාසල් යා යුතු වූයේ එක්කෝ චින්තන සමග ය. නැතහොත් චමල් සේනාසිංහ සමග ය. චින්තන සිය පුතුන් දෙදෙනාව පාසල ළඟින් බස්වා කාර්යාලයට යන්නට පුරුදු වී සිටියේ ය. අයියලා දෙන්නා සමගින් සෙල්ලම් කිරීමේ අසිරිය, නිවාඩු දින හතර අවසන් වන විට බිඟුනි තුළ ක්ෂය ව යමින් තිබිණ. ඔවුන් සමග සෙල්ලම් කිරීමේ දී, කවීශ්වර සමග සෙල්ලම් කරත්දී මෙන් කිසි විටෙක ඇයට දිනුම ලැබුණේ නැත. ඇගේ හුරතල් වලින් කවීශ්වර සතුටු වූවා සේ, අයියලා දෙන්නා ඇය උත්කර්ෂයට පත් කළේ නැත. සිව් වන දිනය උදා වන විට අයියලා දෙන්නා ට නංගී එපා වී ඇය සිය සමාගමයෙන් නෙරපනු ලැබ තිබිණ. බිඟුනි කාමරයට වී බුම්මා ගෙන තනිව සෙල්ලම් කළා ය.

“මට ඒගොල්ලො එක්ක ඉස්කෝලෙ යන්න බෑ”

මුලින් ම බිඟුනි ආරාධනා ට පමණක් ඇසෙන සේ රහසින් කීවා ය. ඇය ඒ නෑසුණා සේ ගණන් නො ගෙන සිටියත් බිඟුනි කිහිප වරක් ඇවිටිලි කරත්දී එසේ කළ නො හැකි තත්වයක් උදා විය. එනයින් ඕ සිය දියණියට පවතින තත්වය ඇයට වැටහෙන පරිදි තේරුම් කොට දීමට උත්සාහ කළා ය.

“අනේ පුතේ අපි ස්කූල් සර්විස් එකක් හරි කතා කර ගන්නකල් මාමා එක්ක යන්න. ඉස්කෝලෙ ගේට් එක ළඟින් බහින එකනෙ තියෙන්නෙ…ටැක්සි දාගෙන අම්මි ඔයාව එක්කං යන්න ගියොත් මල්ලිවත් ගෙනියන්න වෙනව. තාම එයා තාත්තම්මට වගේ අම්මම්මට හුරු නෑනෙ. ඉතිං හොඳටම අඬයි”

නමුත් බිඟුනි ව අස්වැසිය හැකි නො විණ. ඇය පාසල් යන්නට බෑ කියමින් හඬන්නට වූවා ය.

“අයියල නංගිට මොනා හරි කරල තිබුණොත් මං ගෙදර ආවහම බලා ගන්නංකො. බිඟු හොඳ පැටිය වගේ යන්නකො ඉතිං”

තාරා ද ඇයව චින්තන ගේ රියෙහි පාසල් යවන්නට උත්සාහ කළ ද බලාපොරොත්තු නොවූ ලෙස දැරිය ඉකිලමින් හඬන්නට වූවා ය.

“මං ඉස්කෝලෙ යන්නෙ බාප්පි එක්ක”

ඇය ඒ ඉකිබිඳුම අතරින් කීවා ය. ගෙදර කාගේත් මුවගුලු වැටුණා සේ ය.

“පොඩි උං දන්නව උන්ට ඇත්තටම ආදරේ කරන්නෙ කව්ද කියල…ඔය කඳුළු වල තේරුම ඒක”

එසේ කියමින් තාරා කවීශ්වර ගේ දුරකතනය අංකනය කළා ය. 

“මේ ළමයින්ට ඕන ඕන හැටියට නටන්න ලෑස්ති වෙන්න එපා. ළමයිව හදා ගන්නව තමුසෙ කියන විදිහට වැඩ කරන්න. තමුසෙට මිනිහව හදා ගන්නත් බැරි වුණා ළමයිව හරියට හදන්නෙත් නෑ”

අයියා ගේ චෝදනාවෙන් ආරාධනා ගේ හිත රිදුණේ නැතැයි කිව නො හැකි ය. තාත්තා නැති දරුවන්ට කිසිවෙකු තාත්තා වාගේ සලකන්නේ නෑ කියා හිතෙත්දී ම ඇයට කවීශ්වර සිහි විය.

“ගුඩ් මෝනිං තාරා”

කොට්ටයේ මූණ ඔබා ගෙන තව දුරටත් යහනේ වැතිරී ම සිටියත්, තාරා ගේ දුරකතන ඇමතුම එන විට කවීශ්වර සිටියේ අවදියෙනි. වෙනදා මේ වෙලාවට ඔහු බිඟුනි පාසල් ගෙන යන්නට සූදානම් වන්නේ ය. යළිත් කිසි දාක ඔහු ට ඒ අවස්ථාව උදා වන්නේ නැති විය හැකි යයි සිතෙත්දී කවීශ්වර ගේ බඩ පපුව දැවිල්ල ගති. නමුත් කාශ්‍යප ට නැති අයිතියක් ආරාධනා වෙතින් ඉල්ලා සිටිත නො හැකි ය. 

“මෙන්න මෙහෙ එක යුද්දයයි කවී. බිඟු ඉස්කෝලෙ යන්න බෑ කියල විලාප තියල අඬනව…”

තාරා එසේ කියත්දී ආරාධනා ඇදෙස ඇස් පිය නො සලා බලා සිටියා ය. කවීශ්වර ගේ හඬ පවා යම් තරමකට දුරකතනය ඔස්සේ පිටතට ඇසිණ.

“ඇයි ඒ..කෙල්ල ඉස්කෝලෙ යන්න කම්මැළි නෑනෙ”

කවීශ්වර එක අතක වැලමිට නවා ඒ අත්ල මත්තේ හිස තියා ගත්තේ ය.

“කවී බාප්පි නැතුව යන්න බෑලු”

“ඇත්තටමද තාරා…”

“හ්ම්. ඉන්නකො මං කෙල්ලට දෙන්න”

තාරා දුරකතනය බිඟුනි ගේ සවනට කොට ඇල්ලුවා ය. දැරිය ගේ ඉකි හඬ ඔහුට ඇසිණ.

“අනේ ඇයි රත්තරං මේ අඬන්නෙ…ඉස්කෝලෙ යන්නැතුව බෑනෙ පුතේ…”

“මං…ඉස්කෝලෙ…යන්නෙ…ඔයා එක්ක…බාප්පි එන්න…මට…ඔයා…ඕනෙ…”

ඇය ඉකි බිඳුම අතරින් අසීරුවෙන් කියා ගත්තා ය. කවීශ්වර වහා යහන මත හිඳ ගත්තේ ය. 

“මං එන්නං බිඟුව ඉස්කෝලෙ එක්කං යන්න. අම්මිට දෙන්නකො ෆෝන් එක”

බිඟුනි ආරාධනා දෙස බැලුවා ය. කවීශ්වර ගේ හඬ ඇසුණෙන් තාරා දුරකතනය ආරාධනා ට පෑවා ය. ඇය ඒ අතට ගත්තේ සුදු කඩදාසියක් මෙන් හිස් වූ හදවතකිනි.

“කවීශ්වර…”

ඒ තනි වචනය පෑදි දියක් සේ පැහැදිලි වූයේ ය. නමුත් එහි කිසිදු හැඟීමක් ලියැවී නො තිබිණ.

“ළමයව ලෑස්ති කරල තියන්න මං එන්නං ඉස්කෝලෙ එක්කං යන්න”

“අනේ කවීශ්වර ඔයාට කරදරයිනෙ..”

නමුත් ඒ අන්තිම වචනය කියා නිම වෙන්නට පෙර කවීශ්වර ගේ පසින් දුරකතන සම්බන්ධය බිඳී ගියේ ය. ආරාධනා තැති ගත් දෑසකින් තාරා දෙස බලමින් ඇය ට දුරකතනය දුන්නා ය.

“හදනවකො හදනවකො ළමයිව ඔහොම”

කියමින් චින්තන එතැනින් නික්ම ගියේ ය. බිඟුනි ගේ පුංචි සිතෙහි තමාත් කවීශ්වරත් සැසඳීමකට ලක් වී ඇය ඔහු තෝරා ගැනීම ගැන සියුම් නො රිස්සුමක් ඒ වෙත්දී ඔහු තුළ ඇති වී තිබිණ. 

කවීශ්වර දනි පනි ගා සූදානම් වෙත්දී රාජිකා මැණිකේ කුතුහලයෙන් යුතුව ඔහු පසු පස ඇදුණා ය.

“බිඟූ ඉස්කෝලෙ යන්න බෑ කියල අඬනවලු මං නැතුව”

කවීශ්වර ඇගේ කුතුහලය සන්සිඳවනු වස් කීවේ ය. රාජිකා මැණිකේ අසලක වූ සිය සැමියා දෙස බැලුවා ය. ඔහු ඇදෙස බලා ඉවත බලා ගත්තේ ය.

“ආරාධනා කතා කළාද…”

නැවත ද රාජිකා මැණිකේ ගෙන් සැක මුසු පැනයකි.

“තාරා කතා කරල කිව්වෙ”

රාජිකා මැණිකේ සුසුමක් හෙළු හඬ කවීශ්වර ට සේ ම ගජධීර ට ද ඇසිණ.

කවීශ්වර එන්නම් කීවාට පස්සේ බිඟුනි ගේ කඳුළු වියළී ගියේ ඇසිල්ලකිනි. ඇගේ පුංචි මුවට සිනහවක් ඇවිත් තිබිණ.

“බාප්පි මට ආදරෙයි. මාත් බාප්පිට තමයි ආදරේම”

ඇය මධුරි සමගින් කීවේ ඇස් නටවමිනි. 

“ඒ වුණාට පුතේ හැමදාම බාප්පිට මේ වැඩේ කරන්න බෑනෙ. ඔයා මාමා එක්ක ඉස්කෝලෙ යන්න පුරුදු වෙන්න…මගෙ දුව හොඳ පැටියනෙ”

“ඉතිං මං මොකටද මාමත් එක්ක ඉස්කෝලෙ යන්න පුරුදු වෙන්නෙ…අපේ බාප්පි ඉන්නෙ. අපි දවස් දෙක තුනක් ඉඳල ගෙදර යනෝ කියලනෙ අම්මි කිව්වෙ”

ඒ බැඳීම් නීතියෙන් වෙන් කළ හැකි ඒවා නොවන බව මධුරි ට දැනෙමින් තිබිණ. සැනසුම් පායෙන් ඈත් කිරීම මගින් දරු දෙදෙනාට ම සාංකාව හට ගන්නට හැකි බව ඇයට සිතේ. සඳයුරු නින්දෙන් අවදි වූ විට නලවා ගත නො හැකි කරමට හඬයි. යළිත් ඔහු නින්දට වැටෙන්නේ ඒ හැඬීමෙන් හෙම්බත් වී ය. ඒ තැන මාරු වුණ නිසා යයි සරල ලෙස කියා එය අමතක කළාට, එතැන අත් හළ නො හැකි සංකීර්ණ වූ යමක් විය හැකි යයි දැන් මධුරි සිතයි.

කවීශ්වර එන තුරු ආරාධනා හා බිඟු සමගින් තාරා ද ගේට්ටුවෙන් පිටත රැඳුණා ය. මඳ වෙලාවකින් මධුරි ද එතැනට පැමිණියා ය. කවීශ්වර ගේ රිය නතර වී රියදුරු අසුන ළඟ වීදුරුව පහත් වූ ගමන් සඳයුරු ගේ මුහුණට ආ සිනහව කිසිවෙකු බලාපොරොත්තු නොවූ එකකි. කවීශ්වර රියදුරු අසුනේ සිට ම “සුදු මැණික” යයි සඳයුරු ඇමතී ය. බිළිඳා හඬ නගමින් සිනහ වෙන්නට පටන් ගත්තේ ය. පුරා දින හතරක් ඒ සිනහව නො විඳ හුදෙකලාව දරා ගත් කවීශ්වර ට තවත් එසේ සිටිත නො හැකි ව දොර හැර ගෙන රියෙන් බැස ගත්තේ ය. ඔහු අත පාන්නටත් පෙර බිළිඳු බසින් මොනවාද කියමින් සඳයුරු කවීශ්වර වෙත දෝත පෑවේ ය. ආරාධනා අතින් බිළිඳා  ගත් කවීශ්වර ඉතා තදින් ඔහු සිප ගත්තේ ය. අයිස් කැට දමා හිරි ගන්වා තිබි ආරාධනා ගේ සිත මෙළෙක් වෙන්නට ගත් ප්‍රථම මොහොත ඒ ය. ඇගේ සිත වටා ගොනු කොට තිබි අයිස් කැට හිරු දුටුවා සේ දිය වී යන්නට පටන් ගති.

“මාවත් වඩා ගන්නකො ඉතිං…”

ඒ සිප ගැනීම දීර්ඝ වෙත්දී, තමන්ට අවස්ථාවක් ලැබෙන තුරු දෑස් දල්වා ගෙන බලා සිටි බිඟුනි, කවීශ්වර ගේ කකුලක් අල්වා ගෙන සුරතලයෙන් මිමිණුවා ය. සඳයුරු යළි ආරාධනා අතට දුන් කවීශ්වර බිඟුනි වඩා ගෙන සිප ගත්තේ ය. ඇය ඔහු ගේ ගෙල වටා දෑත ම යවා ඉතා තදින් ඔහු වැළඳ ගත්තා ය.

“බාප්පි අද අපිව ගෙදර එක්කං යනව නේද…”

“හරි ඉතිං දැං ඉස්කෝලෙ ගිහිං එන්නකො”

කියමින් මධුරි ගේට්ටුවෙන් ඇතුළට ගියේ යම් කිසි කල්පනාවකට වැටී ය. බිඟුනි සතුටෙන් රියට ගොඩ වී ආසන පටි දමා ගත්තා ය. කවීශ්වර දෙස බැලූ තාරා ගේ ඇස් වල නො කියනා කතාවක් ඉඟි කළේ ය. නමුත් ඔහු ට සිනහ වෙන්නට හැකි වූවා නොවේ.

“මං දවල්ට බිඟුව ගෙනත් දාන්නං”

ඔහු ආසන පටි තද කළේ ආරාධනා දෙස නො බලා ම එසේ කියමිනි.

“අනේ කරදරයිනෙ කවීශ්වර…”

ඔහු ඒ දැඩි බැල්ම හෙළුවේ එතකොට ය. 

“කරදරයක් හරි නැතුව හරි ළමයව මං එක්කං එන්නං. එච්චරයි”

ඔහු රිය පණ ගැන්වී ය. ආරාධනා විදා ගත් නෙත් වලින්, ඇස් පිය නො සලා බලා සිටියා ය. තාරා ඉවත බලා ගෙන කට කොනකින් සිනහ වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles