නිම් නැති නිම්නය 42

සේනාසිංහ මැදුරේ උදවිය උදයට ගෙදරින් නික්ම සිය ව්‍යාපාරික ස්ථානයට යති. චමල් සහ චින්තන උදයෙන් ම ද මඳක් පහු වී මධුරි ද එහි යාම සිරිතයි. මධ්‍යම පරිමාණ ඇඟලුම් ආයතනයක් වන එය ආරම්භ කරන ලද්දේ සේනාසිංහ යුවල ගේ පූර්ණ වෙහෙස හා කුඩා ප්‍රාග්ධනය ද සේවිකාවන් කිහිප දෙනෙකු ද යොදා ගෙන කුළියට ගත් කඩ කාමරයක ය. නමුත් ඔවුන් ගේ අප්‍රතිහත ධෛර්යය නිසා අද එය ලංකාවට ඩොලර් ගෙනෙන ඇඟලුම් අපනයන ආයතනයක් බවට පත්ව තිබේ. සේවක සේවිකාවෝ සිය ගණනක් එහි සේවය කරති. 

දවාලට ගෙදර රැඳෙනුයේ තාරා හා ගෘහ සේවිකාව ය. ඒ නිදහස් කාලයේ තාරා සාප්පු සවාරියේ යයි. සැනසුම් පායේ සිටියදී ආරාධනා බලන්නට යයි.  නැත්නම් ගෙදරට වී හිඳ නවකතා පොතක් කියවයි. නැතහොත් චිත්‍රපටයක් හෝ ටෙලි නාට්‍ය මාලාවක් බලයි. දරුවන් පාසල් නිම වී පැමිණි විට ඔවුන්ට කවා පොවා පාසල් වැඩ වලට අවශ්‍ය උපකාර කරයි. පන්ති වලට යවයි. හවස හතරට ඇගේ සත්ව සායනය විවෘත කරයි. ඒ වන විටත් සායනය ඉදිරියේ බලු පූස් සුරතලුන් වඩා ගත් මිනිස් පෝලිමකි. දොර ළඟ කම්බි කූරක ඇමිණූ අංක ගෙන, සායනය ඉදිරියේ වන ගුරු පාරෙහි සතුන් ද සමග සත්ව හිමියෝ කල් මරති. ඇතැම් විට රාත්‍රී දහය වන තුරුත් විවේකයක් නොමැතිව ඇය ගිලන් සතුන් ට ප්‍රතිකාර කරන්නී ය. 

ගෙදර සියලු වැඩ කරන්නේ සේවිකාවකි. ඇය දුර බැහැර පදිංචිකාරියක බැවින් ගෙදර යන්නේ මසකට දෙකකට වරක් පමණකි. 

ඉතින් සැනසුම් පායෙහි මෙන් කරන්නට වැඩ පලක් හෝ දරන්නට වගකීමක් ඇය උපන් දා පටන් සිටි නිවසෙහි ආරාධනා ට නැත්තේ ය. මුල් දින කිහිපයෙහි ඇය වැඩිපුර කළේ නිදා ගැනීම ය. නැත්නම් තාරා සමග ටිකක් කතා බහ කිරීම ය. ආරාධනා ට තනිව සිතා තීරණයක් ගන්නට ඉඩ දෙමින්, තාරා කවීශ්වර ගැන කිසිවක් ම කතා නොකර සිටියා ය. 

කවීශ්වර විත් බිඟුනි ව පාසල් කැටිව ගියාට පස්සේ, ඉකුත් දින හතරෙහි දැනෙමින් තිබූ මහා අප්‍රාණික බවක් හිරි පොද වැස්සකින් මැකී ගියා සේ ආරාධනා ට දැනිණ. ඇය ඒ හැඟීමෙහි හතර මායිම් වල දිග පළල විමසන්නට නො ගියා ය. ඒ උදේ වරුවේ සඳයුරු ගේ හැසිරීමෙහි ද වෙනසක් දැනිණ. පෙර දින වල වාගේ ඔහු වැඩිපුර හැඬුවේ නැත. ඒ වෙනුවට ඔහුට ම ආවේණික වූ ළදරු භාෂාවෙන් තනිව කියවමින් ද තනිව සිනහ වෙමින් ද සිටියේ ය.

“මගෙ මැණිකට සතුටුයිද අද…”

වතාවක් ආරාධනා, යහනෙහි උඩුකුරුව කැරකෙමින් මොනවාද කියවන සඳයුරු සිප ගනිමින් එසේ විමසුවා ය. ඔහු තව තවත් මොනවාද කියවමින් සිනහ වූයේ ය.

“ඔව් කීලද ඔය කියන්නෙ සුදූ…බාප්පිව දැක්කට සතුටුයිද…පුතු මැණික පාළුවෙන්ද හිටියෙ බාප්පි නැතුව…අක්කි එක්කං ආවහම ආයි බාප්පි අතේ ටිකක් ඉන්න පුළුවන් මැණික් කැටේට…හම්මෝ සතුට…”

ඇය සඳයුරු වඩා ගෙන කාමරයෙන් පිටතට ආවා ය. ආලින්දයේ සෝෆාවෙහි වැතිරී පොතක් කියවමින් සිටි තාරා, ආරාධනා දැක පොත පසෙක තබා නැගිට්ටා ය.

“කොල්ල අද ඇඬුවෙ නෑ නේද වෙනද වගේ…”

ආරාධනා වාචික පිළිතුරක් නො දුන්නා වී ද ඇගේ ඇස් වල ඒ සතුට තැවරී තිබිණ. 

“බිඟුට වගේ මේ පොඩි එකාටත් කවීශ්වර ඕනෙ. ඒකා හරිම තදට පොඩි උන් දෙන්නගෙ හිත් වලට වැදිල තියෙන්නෙ. සමහර විට බිඟුට කාශ්‍යප ඈත් වුණ එක දැනුණෙ නැත්තෙ කවී නිසා. ඔයා එක පාරටම ළමයි දෙන්නව ඒ ගෙදරින් ඈත් කරපු එක පොඩි උන්ගෙ මනසට බලපාන්න පුළුවන් අරා”

තාරා කතාවට ගොඩ වූයේ ආරාධනා ට මගහැර යා නො හැකි තැනකිනි. අනිත් අතට කවීශ්වර ඇය වෙත යෝජනාවක් ගෙන ආ බවක් දන්නා බවට සලකුණක් හෝ නො කොට ය. 

“ඒ වුණාට හැමදාම එහෙ ඉන්නත් බෑ කියන එක මං තේරුං ගත්ත අක්කෙ. අම්මල වුණත් කැමති වුණේ මං ගෙදර එනවටනෙ. අනික මේගොල්ලො තවත් ටිකක් එහෙට බැඳුනහම…ඒ බැඳීම කඩා ගන්නම බැරි වෙයිනෙ…”

“ඇත්ත බැඳීම් කියන්නෙ එහෙම කඩල බිඳල දාන්න පුළුවන් ඒව නෙවෙයි බං. අනික පොඩි උන්ට බොරු කරන්න බෑ. උං බැඳෙන්නෙ අපි වගේ අරව මේව හොයල බලල නෙවෙයි…උන්ට ආදරේ දැනෙන තැන් වලට”

“මං දන්නෑ අක්කෙ මොනා කරන්නද කියල…”

“මොනාද කරන්න ඕනෙ කියල හිතන්න ඕන උඹම තමයි අරා..මට හිතෙන හැටියටනං…කවීශ්වර ළමයි දෙන්නට විතරක් නෙවෙයි උඹටත් ආදරෙයි”

ආරාධනා තිගැස්සී ගියා ය. තාරා ඇගේ අතින් සඳයුරු ව ගත්තා ය. ඒ වචන දෙක, කවීශ්වර ඇයට ආදරෙයි කියනා වචන දෙක, ඇගේ පපුවේ පිහි තුඩු සෙයින් වැදිණි. ආදරය කියන්නේ ආරාධනා ගේ ජීවිතයට බෝ ඈතක තිබි දෙයකි. විශ්ව විද්‍යාලයේ දී ඇය හිතින් ආදරය කළ තරුණයා වෙන යුවතියක සිය පෙම්වතිය වශයෙන් තෝරා ගත්තේ ය. ඒක පාර්ශ්වික ප්‍රේමයක දරුණු විඳුමක ගෙවී ගිය වසර කිහිපයක් අවසන කාශ්‍යප ඇය වෙත විවාහ යෝජනාවක් ගෙනාවේ ය. නමුත් පවුල් සංස්ථාව ඇතුළේ ඇය අතිශය ආදරයෙන් තොර වූ කලාපයක පසු වූ බව ආරාධනා වටහා ගත්තේ කාශ්‍යප ගේ අභිනිෂ්ක්‍රමණයෙනි. ඒ අනුව කිසිදු පිරිමියෙකු ඇය දන්නා තරමින් ඇයට ආදරය කොට නොමැත. කවීශ්වර ගේ ආදරයක් ගැන තාරා පවසත්දී ආරාධනා තිගැස්සීමට මූලික හේතුව එය විය හැක.

“මොනාද අනේ කියන්නෙ…පිස්සුද ඔයාට…”

තාරා ආරාධනා ගේ මුහුණේ ඉරියව් විනිවිද දකිමින් සිටියා ය. ආරම්භය වශයෙන් මේ ප්‍රමාණවත් යයි ඇයට සිතිණ. ආරාධනා ගේ මුහුණ දැනට ම ලේ පුරා රතු වී තිබේ. ඒ වචන දෙක ගැන නිදහසේ සිතන්නට ඇයට ඉඩ දිය යුතු යයි තාරා සිතුවා ය. ඒ හැඟීම හෙමි හෙමිහිට ඇගේ හද ගැබට ඇතුළු වී කඳවුරු බඳින්නට කාලය ලබා දිය යුතු ය. 

“අනිත් එක කවීශ්වර දන්න ආදරේ…එයා ඒක දැනට කී දෙනෙක් අතරෙ සමානව බෙදල දීල තියෙනවද කියල එයාවත් දන්නැතුව ඇති. හැබැයි කවීශ්වර ළමයි දෙන්නටනං ඇත්තටම ආදරෙයි. ඒක නෑ කිව්වොත් මට පව් සිද්ද වෙයි”

“ගෑනු කී දෙනෙක් අතරෙ එහෙට මෙහෙට වුණ පිරිමියෙක්ට වුණත් ඇත්තටම ආදරයක් දැනෙන වෙලාවක් එන්න පුළුවන්. අපි කාටවත් බෑ එහෙම නෑ කියන්න”

එපමණකි. තාරා ඒ ගැන ඊට වැඩි යමක් නො කීවා ය. ආරාධනා ද එතෙකින් නිහඬ වූවා ය. නමුත් ඇගේ හදවතෙහි ආගන්තුක ගැස්මක් විය. උදේ කවීශ්වර රිය පණ ගන්වමින් සැර කළ වෙලාවේ කොතැනකින් හෝ හිතට රිංගූ ඒ ගැස්ම, තාරා විසින් කවීශ්වර ඇයට පෙම් කරනු ලබතැයි කී මොහොතේ මහා විදාරණයක් වූ සෙයින් හෘත් බිත්ති කම්පිත කරවූයේ ය. 

 ඉන් පසු නෑනලා දෙදෙනා කළේ සඳයුරු ගේ හුරතල් බලනා එක ය. ඔහු නිදි මතෙන් යයි දැනෙත්දී ආරාධනා කාමරයට ගොස් මව් කිරි දෙමින් බිළිඳා නිදන්නට හැරියා ය. වරින් වර කවීශ්වර ගැන මතක ඉස්මතු නොවුණා ම නොවේ. එතකොට ඇය ඇයට ම හොරෙන් ඒවා අතැර ආවා ය. කාශ්‍යප නික්ම ගිය දා පටන් ඔහු හැසිරුණ ආකාරය යළි යළිත් හිතේ මැවි මැවී දර්ශනය වන්නට විය. ඔහු ඒ හැම දේම කළේ ආදරයක් කියා දෙයක් හිතේ ඇතිව ද? නමුත් එසේ විය හැකි ද? සිය සොයුරා ගේ දික්කසාද බිරිඳ ගැන ප්‍රේමයක් වන් හැඟීමකින් හිතන්නට ඔහු වන් සෙල්ලක්කාර තරුණයෙකුට හැකි ද?  කවීශ්වර ඇය ගැන සිතන්නේත් දික්කසාදිත ස්ත්‍රීන් ගැන බොහෝ පිරිමින් සිතනා පරිදි, කෙළි බඩුවක් වාගේ ද? ඔහු විසින් සෙල්ලම් කොට පසෙකට විසි කරනු ලැබූ බොහොමයක් ගැහැනු ළමයින් ගැන වාගේම ද? ආරාධනා ගේ හිතේ කෝප දීප්ත නො රිස්සුමක් ඇති විය. ඔහු කෙසේ සිතුවත් ඇයට ඒ තත්වයට පත් වෙන්නට ඕනේ නැත. මොන අරමුණකින් ඔහු විවාහ යෝජනාවක් ගෙන ආවාද කියා ඇය දන්නේ නැත. එහි යටි අරමුණ ඇගේ අසරණ කමින් ප්‍රයෝජන ලැබීම විය නො හැකි ද? උද් කවීශ්වර පිළිබඳව හිත පිළිසිඳි ගැස්ම හෙමි හෙමිහිට වියැකී යන්නට විය.

“මට ඔයාට දෙයක් කියන්න තියනව”

සඳයුරු නිදි කරවීමෙන් පස්සේ ආරාධනා යළි තාරා සොයා පැමිණියේ පසු ගිය දින හතරේ ම ගෙදර අය සිටි නිසා කියා ගන්නට බැරි වූ කතාව ඇයට කියන්නට ය. කවීශ්වර ඇයට පෙම් කරනවායි තාරා පැවසූ වෙලාවේත් හිතේ ගිලගත් ඒ කතාව තව දුරටත් රහසක් ව සුරැකිය නො හැකි බරක් සේ ආරාධනා ට දැනිණ.

“ඒ මොකද්ද…”

“ඔයා ඇහුවෙ නෑනෙ මං හදිස්සියෙම ඇයි ආවෙ කියල”

“කියන්න දෙයක් තියනවනං උඹ කියයි කියල හිතුව”

“කවීශ්වර දෙයක් කිව්ව අක්කෙ”

“දෙයක් කියන්නෙ…”

“ළමයි දෙන්නවයි මාවයි තුන් දෙනාවම බාරගන්න එයා කැමතියි කිව්ව”

තාරා ගේ මුව මත පිපි සිනහව ආකර්ෂණීය ය. ඇය ඒ විදිහට සිනහ වන්නේ හදවතින් ම යමක් විඳිත්දී බව ආරාධනා පුරුද්දෙන් දනී. 

“ඒකනෙ මං කිව්වෙ…කොල්ල උඹට ලව් කියල…”

“ඒක එහෙම දෙයක් කියල මං හිතන්නෑ. කවීශ්වර හදන්නෙ මාව සෙල්ලමකට ගන්න නෙවේනං…ඒක අනුකම්පාවක් වෙන්න ඇති. ඒත් මට කාගෙවත් අනුකම්පාවක් ඕන නෑ අක්කෙ. මට ආයෙ කාවවත් බඳින්න ඕන නෑ. ඇයි ගෑනියෙක්ට පිරිමියෙක්ගෙ හෙවනැල්ලක් නැතුව තනියම ළමයි හදා ගෙන ජීවත් වෙන්න බැරිද…”

“පුළුවං…කවුද බෑ කියන්නෙ…”

තාරා ගත් කටට ම කීවා ය. 

“අපි කවුරුත්…බැඳල එක වහල යට එකට ජීවත් වුණත් තනි වුණ මිනිස්සු කියල මට වෙලාවකට හිතෙනව අරා. දැං බලහං මං උඹගෙ අයියව බැඳල හිටියට තනි ජීවිතයක් නෙවේද මේ ගෙවන්නෙ…ඕක අපි කාටවත් හරියටම මෙහෙමයි කියල නිර්වචන දෙන්න බෑ. හැබැයි අපේ පැත්තකින් අපිට ආදරේ කරන කෙනෙක් ඉන්නවනං එතන මොකක්දෝ අමුතු දෙයක් තියනව බං. ගෑනියෙක් තනියම ළමයි හදාගෙන ඔළුව උස්සනවට වැඩිය ලස්සනයි පවුලක් විදිහට සතුටෙන් ඒ දේ කරන්න පුළුවන්නං…ඒක මහ අමුතු හයියක්. අපිට අපේමයි කියල කෙනෙක් ඉන්නව කියන හයිය එතන තියනව. එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක්ම ඉන්නකොට…හිතහංකො…මොනා වුණත් කාශ්‍යප ඉද්දි උඹට තිබිච්ච හයිය දැන් නෑනෙ…දැන් තියෙන්නෙ වෙනම ගැම්මක්…මං කොහොමහරි ළමයි හදා ගන්නව කියන ධෛර්යත් එක්ක ආපු එකක් ඒක. අනික මෙතන එක වෙනසක් තියනව…කාශ්‍යප වගේ නෙවෙයි කවියා උඹට ආදරෙයි අරා”

නැවතද වරක් අර ගැස්ම හිත් පත්ලෙන් නැගී ආවත්, ආරාධනා කට කොනකට සිනහවක් නගා ගත්තා ය. 

“මං දන්නව උඹ කවීව විශ්වාස කරන්නෑ කියල”

“විශ්වාස කළා නැතා…මට දැන් ඕව ගැන හිතන්න ඕන්නෑ අක්කෙ..ඔයා මේ ගැන අපේ අයියටවත් අම්මලටවත් කියන්න යන්නත් එපා. ඔයාට නොකියන දෙයක් නැති නිසයි මං මේක කිව්වෙ”

“හිතන්න එපා…ඉබේ හිතුණොත් අපි ඒ ගැන සලකල බලමු. ඉතිං උඹ මේ ළමයි දෙන්නත් කුදලගෙන මැරතන් එකක් දුවං ආවෙ කොල්ලෙක් බඳින්න අහපු නිසයි ආ…”

ඉන් පසු සඳයුරු අවදි වී හඬනා තෙක් ම ඔවුන්ට කතා කරන්නට දේ තිබිණ. බිඟුනි පාසල් නිම වී එන වෙලාව ආසන්න වෙත්දී ආරාධනා සඳයුරු වඩා ගෙන ම මිදුලේ සක්මන් කරමින් සිටියා ය. වරින් වර ඇය විසින් යටපත් කරනු ලබන ගැස්ම යළි යළිත් හිස ඔසවනු දැනුණත් ඕ ඒ නො දැනුණා සේ සිටියා ය. 

බිඟුනි පැමිණියේ සතුටු සිනහ මල් පොකුරක් එක්ක ය. දැරිය රියෙන් බසිත්දී කවීශ්වර සඳයුරුට දෝත පෑවේ රිය තුළ සිට ම ය. ආරාධනා ඔහු ට බිළිඳු පුතු දුන්නේ ය.

“කවීශ්වර ඔහොමම යන්නද හදන්නෙ…කෑම ටිකක් කාල යමු”

ආරාධනා රිය වෙත පහත් වී ආරාධනා දෑසකින් බලා කීවා ය. කවීශ්වර ඇදෙස බැලුවේ හෝ නැත.

“තෑන්ක්ස්. ඕන නෑ”

“එහෙනං මොනා හරි බොනවද..”

“එපා”

එය නො සැලකිලිමත් ප්‍රතික්ෂේප කිරීමකි.

“චුට්ටක් ඉන්න. මං ඔරේන්ජ් ජූස් එකක් ගේන්නං”

“ඕන්නෑ කිව්වනෙ”

නමුත් ඒ නෑසුණා සේ ආරාධනා ගෙතුළට ඉක්මන් අඩි තැබුවා ය. ඇය දොඩම් යුෂ තනා ශීතකරණයට දැම්මේ කලින් ම ය. එසේ කිරීමේ අරමුණ කවීශ්වර දැයි ඇය තමන් නො විමසූවා ය. බීම වීදුරුවත් ගෙන ඇය ආපසු එත්දී තාරා කවීශ්වර සමග කතා කරමින් සිටියා ය. රියෙන් බිමට බැසි කවීශ්වර සඳයුරු වඩා ගෙන ය. සඳයුරු සිය මොළකැටි දෑතින් කවීශ්වර ගේ තඹ වන් හිස කේ අදිමින් සිටියේ ය.

“එපා දැං මුකුත් බොන්න බෑ”

කවදාවත් නැති ආඩම්බර කමකින් කවීශ්වර ආරාධනා ගේ පිළිගැන්වීම ප්‍රතික්ෂේප කළේ ය. ආරාධනා අසරණ දෑසකින් ඔහු දෙස බැලුවා ය.

“බීපං බීපං. දොඩම් වීදුරුවක් බොන්න බැරි බඩක්ද උඹට තියෙන්නෙ..”

තාරා ගේ ඉල්ලීමට පිටුපාන්නට බැරි තැන ය කවීශ්වර දොඩම් වීදුරුව අතට ගත්තේ. එද ආරාධනා දෙස නො බලා ය. සඳයුරු වඩා ගෙන ම ඉන් බාගයක් බිව් හෙතෙම, සඳයුරු තාරා අතට දී රියට ගොඩ වූයේ ය.

“උදේට බිඟූව ගන්න මං එනව”

රිය පණ ගන්වන ගමන් ඔහු එසේ කීවේත් ආමන්ත්‍රණයකින් තොරව අහංකාර ලීලාවෙනි. බන්දේසිය උදරයට තද කර ගෙන, එක අතකින් වීදුරුව තදින් අල්වා ගෙන ආරාධනා බලා සිටියා ය. රිය හෙමිහිට ඉදිරියට ඇදිණ. තාරා ආරාධනා ගෙන් ඉවත බලා ගෙන සිනහව ගිල ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles