හිත දුකෙන් ආතුර වූ වෙලාවක ඔහේ කඳුළු ගලා යන්නට ඉඩ දෙන එක තරම් සැනසීමක් නැත්තේ ය. ආරාධනා කඳුළු වලට ඉඩ දී ගෙන සිටියා ය. ඒ වෙලාවට හිස තියා ගන්නට ආදරණීය උරහිසක් තිබෙනවා නම් එය වාසනාවකි. ආරාධනා මනසින් කවීශ්වර ගේ උරහිසේ හිස තියා ගෙන හැඬුවා ය. කාශ්‍යප ඒ විදිහට සමු ගත් එක තවමත් ඇයට දරා ගත නො හැකි ය. ආයේ කවදාවත් ඔහු හමු විය නො හැකි වනු ඇතැයි සිතෙත්දී දරා ගත නො හැකි ය.
“කාශ්‍යප ගියා කවීශ්වර”
ඒ වචන තුන අමුතු ඒවා නොවූවා ට කවීශ්වර ට ඈ කී දේ තේරුණේ නැත. කිසි දාක අසා නැති වෙනත් භාෂාවකින් කී දෙයක් සේ ඔහු නළල ද රැලි නංවා ගෙන මඳක් සිතුවේ ය.
“ගියා කිව්වෙ…”
“එයා ලංකාවෙන් ගියානෙ. ඕගොල්ලොන්ට කිව්වෙ නැද්ද ඇයි…එයාපෝට් යන ගමන් කියල..දැං ඇවිත් කියල ගියා…අනේ කවීශ්වර…මගෙ දරුවන්ගෙ තාත්ත…මගෙ පැටව් දෙන්නට මීට පස්සෙ කවදාවත් ම තාත්ත කියල කියන්න කෙනෙක් නැති වෙනව නේද කවීශ්වර…අඩු ගානෙ ඉඳහිට දකින්නවත්…තාත්තතෙක් අපිටත් ඉන්නව කියල හිතෙන් හිතාගන්නවත්…අනේ මගෙ පොඩි උන් දෙන්න කොච්චර පව්ද කවීශ්වර…එක අතකට මං මහ අවාසනාවන්ත ගෑනියෙක්…කිසිම සැනසීමක් නැති අම්ම කෙනෙක්. එහෙදි එයා දුරින් දුරටම යයි. එයාගෙ ළමයි දෙන්න එයාට අමතක වෙලාම යයි…”
කවීශ්වර ඒ ශෝකාලාපය අසා සිටියේ පුළුවන් කමකට නොවේ. කාශ්‍යප එහෙව් දැඩි තීරණ ගත හැකි මිනිසෙකු බව දැන් ඔහු දනී. කවීශ්වර ට තිබුණේ ආරාධනා සනසනු වස් කුමක් කියන්නද කියා සිතා ගත නො හැකි අසරණ හැඟීමකි.
“එයා කාත් එක්ක හරි කොහේ හරි සතුටෙන් ඉන්න ඕන තමයි. ඒත් මීට පස්සෙ දරුවෙක්ගෙ අසනීපෙකටවත් කතා කරල ගෙන්න ගන්න පුළුවන් තැනක එයා නෑ නේද කියල හිතෙද්දි…අනේ මං මොනා කරන්නද කවීශ්වර…”
“මේ අහන්නකො…දැන් අඬන්නැතුව පොඩ්ඩක් සන්සුන් වෙලා ඔයා මට මේ දේ කියන්න…”
ආරාධනා නෙත කඳුළැල් අතින් මිරිකා හැරියා ය. බිඟුනි ඇගේ ගවුම් සායේ එල්ලී හැඬුම්බර දෑසකින් බලා සිටියා ය. සඳයුරු යහනේ පෙරළෙමින් සිය කෙළි බඩු අතින් ගෙන කටේ දමා සපමින් සිටියේ ය.
“මල්ලි බලන්න පුතේ”
ආරාධනා බිඟුට කීවේ විශ්වයෙහි වන හැම ආදර අංශුවක් ම එකට කැටි කොට පත අටට සිඳවූ ස්නේහ සාන්ද්‍රී ස්වරයකිනි. ඔවුන් තනි වී නැත යන හැඟීම බිඟුනි ට දැනෙන්නට හරින්නට ඇයට ඕන විණි. දරුවා ඉදිරියේ හැඬීම වුව සියතින් වූ අතපසු වීමකැයි ඇය මේ මොහොතේ පසු තැවුණා ය.
“ගෙදර යන්න ඕනෙ අම්මි”
බිඟුනි හැඬුම් ස්වරයකින් ම කීවා ය. ආරාධනා ඇය තුරුලු කොට ගත්තා ය. නැවත ද හැඬෙන්නට ආව ද ඇය බිඟුනි වෙනුවෙන් දරා ගත්තා ය.
“මං අයියට කතා කරන්නං. සමහර විට…එක කෝල් එකකින් එයාව නතර කරන්න පුළුවන් වෙයි. එයා දැනටමත් සෞභාග්‍යාව මැරි කරල නැත්තං. මං අයියට කතා කරල බලන්නද…ඔයා එයා එක්ක ආයෙ සෙට්ල් වෙන්න කැමතිනං…ඒක වෙන්නැති කරන්න පුළුවන් හොඳම දේ…මට කියන්න…ඔයා ඒකට ලෑස්තිද…ම්…මං අයියට මේ දැන්ම කතා කරන්නද…”
මීටත් වඩා පරිත්‍යාගයක් ඇය වෙනුවෙන් කළ නො හැකි බව ඔහු දැන සිටියේ ය. අවසාන වශයෙන් එයත් කරන්නට කවීශ්වර ක්ෂණිකව සිත සකසා ගත්තේ ය.
“නෑ කවීශ්වර…ඒක දැන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බිඟු අඬනව ගෙදර එන්න ඕන කියල. ඔයාට පුළුවන්නං…අපිව ඔහෙට එක්කං යන්න එනවද…මට මේ නොදරුවගෙ හිත මේ තරං පෑරෙනව බලං ඉන්න බෑ කවීශ්වර”
“හරි මං එන්නං”
කවීශ්වර ලහි ලහියේ රියට නැගුණේ කාශ්‍යප ට දුරකතන ඇමකුමක් ගමින් ම ය.
“අයිය රට යන ගමන්ලු. ආරාධනා දැන් කිව්වෙ”
ගෙන් පිට වෙන ගමන් ඔහු අම්මාට් තාත්තාටත් ඇසෙන සේ කීවේ ය. රාජිකා මැණිකේ මුව විවර කර ගත්තා ය.
“අපිට කියන්නෙවත් නැතුව…”
“කරන හැම දේම අපිට කිය කියා කරන්න ඒගොල්ලො දැන් පොඩි ළමයි නෙවෙයිනෙ මැණිකේ…අපි බලමුකො මොකද්ද වෙන්න යන්නෙ කියල”
“ලොකු පුතාට කෝල් එකක් ගන්න ඕනෙ”
කියමින් රාජිකා මැණිකේ හනිකට ගෘහස්ථ දුරකතනය වෙත ගියා ය.නමුත් ඒ වන විටත් කවීශ්වර කාශ්‍යපව සිය දුරකතනයට සම්බන්ධ කර ගෙන අවසන් ය.
“මොකද්ද මේ ආරාධනා කියන්නෙ…තමුසෙ රට යනව කියල”
කාශ්‍යප මහා දිග සුසුමක් හෙළුවේ ය.
“ඔව් මල්ලි”
“ඉතිං ඕයි…යනව කියල අම්ම තාත්තටවත් කියන්නැතුවද ඔය යන්නෙ…අරහෙ ආරාධනායි කෙල්ලයි අඬනව. මොකද්ද ඕයි මේ වෙන්නෙ…”
“මේක වෙන්න තිබුණ දේ මල්ලි. මාත් මනුස්සයෙක්. ආරාධනාට කොච්චර මං කිව්වද ආයෙ සෙට්ල් වෙමු කියල. එයාගෙ මුරණ්ඩුකම නිසා තමයි මට මෙහෙම තීරණයක් ගන්න වුණේ”
තමන් ගන්නා හැම තීරණයක ම වගකීම අනුන් මත පටවන්නට තරම් දුර්වල පිරිමියෙකු වන්නට එපා යයි කෑ ගසා කියන්නට සිතුණ ද කවීශ්වර කර බා ගත්තේ ය. අනිත් අතට යළි කිසි දා ඔවුන් එකතු වීමක් ගැන ආරාධනා මේ අවසාන මොහොතේත් එකඟ වූයේ නැත. එනයින් ගලා යන අතක ගලා යන්නට ගඟට ඉඩ දී බලා ඉන්නවා මිස වෙන කළ හැකි දෙයක් ගැන කවීශ්වර ට සිහි වූයේ නැත.
“මං අම්මට කෝල් එකක් දෙන්නං ගිහිං. මේක කලින් දැන ගත්තොත් අම්ම දුක් වෙන නිසයි මං කියන්නැතුව යන්න හිතුවෙ”
“හ්ම්. කැමති විදිහක්. පරිස්සමෙන් යනව. ලෑන්ඩ් කළාම කෝල් එකක් දෙනව”
“මගෙ දරුවො දෙන්නව පොඩ්ඩක් බලනව මල්ලි”
බඩ පපුව දැවී යන සෙයක් කවීශ්වර ට දැනිණ. ඔහු මුව මඳක් විවර කොට පෙනහලු පිරෙන්නට හුස්මක් ගත්තේ ය.
“බිඟු අඬනවලු අපේ ගෙදර එන්න ඕන කියල. මං මේ එක්කං එන්න යන්න හදන්නෙ”
“හරි එහෙනං. මං තියන්නං”
කවීශ්වර තවත් යමක් කියන්නට පෙර එහා ඉම සබඳතාව බිඳ වැටී තිබිණ. නැවත ද කවීශ්වර ගෙන් සුසුමක් ගිලිහිණ.
ආරාධනා දරුවන් සූදානම් කර ගෙන සිටියා ය. මුලින් හැඬුවාට දැන් ඇයට අලුතෙන් හැඬෙන්නේ නැත. නමුත් ගෙදර කෙනෙකු මිය ගියාට පස්සේ ඇති වන හිස් කම බඳු මූසල හැඟීමක් දරුණුවට හිතේ පිරී තිබේ. යන්නට ගිය අය ආයේ එන්නට විදිහක් නැත. ආයේ පැමිණිය යුතු ද නැත. ඉන්නා තැනෙක ඔවුන් හොඳින් ඉන්නවා නම් එපමණකි.
තාරා ආරාධනා ගේ හිත හැදෙන්නට වුව යමක් නො කීවා ය. ඒ කිසිත් අලුත් දේවල් නොවේ. මුලින් සිදු වූ දේවල දිගුවක් ම ය. එනයින් නැවත කලතන්නේ නැතිව රිදුම් වේදනා කැක්කුම් පෑදෙන්නට හරිනා එක හොඳ යයි ඇය සිතුවා ය. මේ මොහොතේ ඇය කවීශ්වර වෙත යන එක වඩා හොඳ බව ද ඕ ඉත සිතින් විශ්වාස කළා ය.
කවීශ්වර දුටු ගමන් බිඟුනි ඇඟේ එල්ලුණා ය. කවීශ්වර දැරිය වඩා ගත් ඉක්බිති ඇය කළේ ඔහු ගේ ගෙල දැඩිව වැළඳ ගන්නා එකයි. ඇය වචනයක් හෝ කතා කළේ නැත. ඒ වැළඳ ගැනීම තුළ ඉවසිය නො හැකි වියෝ දුකක් ද, අචල විශ්වාසයක් ද සම අනපාත වලින් මුහු වී තිබෙන්නට ඇත.
“බාප්පි ඉන්නවනෙ පුතේ. තාත්ති ගියේ ජොබ් එකකටනෙ. එයා සැරෙන් සැරේට මෙහෙ එයි ඕගොල්ලො බලල යන්න. සෙල්ලම් බඩුත් ගොඩක් ගෙනෙයිනෙ. ඕගොල්ලොංව වැකේශන් එකට එහෙ එක්කගෙනත් යයි. ඉතිං ශෝක්නෙ එහෙම…කෝ ඉතිං…හිනා වෙලා ඉන්න ඕන හරිද…බාප්පි ආදරේනෙ…”
බිඟුනි ඒ දැඩි ග්‍රහණය ලිහිල් කළේ බෝ වෙලාවකට පස්සේ ය. රියට නැඟුණු ඉක්බිති ද ආරාධනා සිටියේ බර වූ හදකිනි. කවීශ්වර වරින් වර ඇදෙස බැලුවේ ය. නමුත් එක්වර ඇයට කියන්නට යමක් ඔහු ට සිතා ගත හැකි වූයේ නැත. කියනා ඕනෑ ම වචනයක් වැරැද්දක් සේ අනිත් පැත්තට කැරකිය හැකි වෙතැයි ඔහු ට බියක් ද විය. මේ මොහොතේ ඔහු ට ආරාධනා පෙනෙන්නේ පෙණ බුබුළක් සේ ය. ඉතා සුළු දෙයකින් වුව ඒ පෙණ බුබුළට හානි සිදු විය හැක. රිදිය හැක. බිඳිය හැක. එහෙම වෙනවා දකින්නට ඔහු ට ඕනෑ නැත.
“මං ආයෙ කාශ්‍යප එක්ක සෙට්ල් නොවුණ එක මේ හැම දේකටම හේතුව කියල ඕන කෙනෙක් දැං මගෙ දිහාට ඇඟිල්ල දික් කරයි කවීශ්වර”
අන්තිමට බිඳුණු හඬකින් ආරාධනා ම මුණිවත බින්දා ය. ඒ හඬ, කඳුළු සයුරක ශෝකය තැවරී ගත්තකි. සුසුම් කුණාටුවක සන්තාපය ගැවසී ගත්තකි. කවීශ්වර යන්තම් හිස හරවා ඇදෙස බලනා ගමන් ම රියෙහි වේගය මන්දගාමී කළේ ය. ඔහු ට ඇය සිය පපුවට තුරුලු කොට ගෙන හිස සිප සනසන්නට ඕනාකම තිබිණ. නමුත් එහෙම කරන්නට අවසර නැති බව ඔහු ඉඳුරා දැන සිටියේ ය.
“මට එහෙම කරන්න තිබුණා. ඒත් එයා කවදාවත් මට ආදරේ කළේ නෑ කියල හොඳටම තේරුං ගත්තට පස්සෙ එයා එක්ක ඉන්නෙ කොහොමද…එයා මට හුඟාක් බොරු කළා කියල දැන ගත්තට පස්සෙ…විශ්වාස කරන්නෙ කොහොමද…එයා මොනා කළත් මට සැක නොහිතෙයිද…එයා ඊට පස්සෙ කවදාවත් ම වරදක් නොකළත් මං සැකෙන් බලයි නේද…කිසිම කිසි දෙයක් සිද්ද නොවුණා වගේ කාශ්‍යප එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න තරං මාව රවට්ටගන්න මට බෑ කවීශ්වර. මට එයා ගැන අප්පිරියා හිතෙයි. මං එයා දිහා සැකෙන් බලයි. සමහර විට ළඟින් හිටියනං මං එයාට වෛර කරයි. ඊට වැඩිය මේ වෙන් වීම හොඳයි. එයා එක පාරටම ඇවිත් ආයෙ කවදාවත් අපිව දකින්නවත් ලැබෙයිද දන්නෑ කියල කියද්දි වාව ගන්න බැරි දුකක් ඇති වුණා තමයි. ඒත් අරහම වෛර කර කර සැක කර කර ආදරේ නෑ කියල දැන දැන එකට ඉන්නවට වැඩිය මේ වෙන් වීම හොඳයි. ටිකක් හිතට අමාරුයි තමයි. මේ නොදරුවො ගැන හිතද්දි පපුව පැලෙන්න එනව තමයි. ඒත්…අපිට ආයෙ කවදාවත් අපි ළඟ සතුටෙන් ඉන්න බෑ. එයා කොහොමත් මාත් එක්ක සතුටෙන් ඉඳල නෑනෙ..ඉතින් මේ වෙන් වීම මට වගේම එයාටත් හොඳයි. මේ අසරණයන්ට ඒක කොහොම දැනෙයිද කියලනං තාම මට හිතා ගන්න බෑ. ඒත්..මං…කොහොම හරි ඒගොල්ලොන්ට දුකක් නොදී බලා ගන්නව”
ආරාධනා ගේ කොපුල් තලා දිග අලුත් කඳුළක් ඉහිරී යන්නට වූයේ ය. කවීශ්වර සිය වමත ස්ටියරින් වීල් එක මතින් ගත්තේ, එය ආරාධනා ගේ හිස් මුදුණ වෙත ලං වූයේ ය. නමුත් වහා ඔහු සිය අතැඟිලි ගුලි කර ගෙන අත ඉවතට ගත්තේ ය.
“දෙන්නෙක් එක වහලක් යට එකට ජීවත් වෙන්න ගන්නෙ ඇයි කියල එදා මට තේරුන්නෑ. කාශ්‍යපට තේරෙන්නත් නැතුව ඇති. එහෙම තේරුණානං අපි ගැන කිසිම හැඟීමක් නැතුව බැඳල දරුවො හදන්න තරං වරදක් අපි නොකරන්න තිබුණ. දෙන්නෙක් එක ජීවිතයක් පටං ගන්නෙ ආදරේ කරන්න. ආදරේ බෙදා ගන්න. ආදරෙන් ජීවිතේ බෙදා ගන්න. නැතුව ගහ මරා ගන්නවත් වෛර කරන්නවත් ශරීරෙ ඒ වහල යට තියෙද්දි හිතෙන් වෙන තැනක ජීවත් වෙන්නවත් නෙවෙයි. මුළු හිත ගත දෙකම එක තැනකට ගන්න බැරිනං දෙන්නෙක් කසාද බැඳල තේරුමක් නෑ. ඒ අයට ඒ අය විදිහටම ජීවත් වෙන්න ඉඩ දෙන ගමන් ආදරේ කරන්න පුළුවන්නං…අන්න එහෙමනං විතරයි බඳින්න ඕනෙ. ඉතින් අපිට වැරදුණා. සමහර විට ඒ සම්බන්දෙදි අපි පැරදුණා. ඒත් එයාවත් මංවත් මුළු ජීවිතෙන් ම පැරදෙන්න ඕන නෑ”
ආරාධනා මුව මඳහසක් නගා ගෙන සිටියා ය. ඒ මඳහස නො කියා කීවේ ඇයට වෙහෙස බවකි. සඳයුරු නිදනා උකුල මත වන ඇගේ සුරත සිය වමතින් අල්වා ගන්නට තරම් ස්නේහයක් කවීශ්වර ගේ පිරිමි පපුව පුරා විහිදෙමින් තිබිණ. ඇගේ ගිම් නිවීමේ තදබල උවමනාවක් ඔහු ට දැනෙමින් තිබිණ. නමුත් ඔහු ඒ ආදරය තව දුරටත් ඔහු තුළ ම තියෙන්නට හැරියේ ය. ආරාධනා මේ විදිහට තමන් ළඟ දොඩමළු වෙන්නට තරම් විශ්වාසයක් ඇති කර ගැනීම ගැන සෑහීමට පත් වෙමින් සිටියේ ය.