පතිදම්වැල් 01

“අපිට කවදාවත් ලං වෙන්න බැරි වෙයිද කියල මට හිතෙනවා?”

නමක් නොදත් ඒ උස, ගැඹුරු දෑසක් ඇති තරුණයා උන්නේ ඈත බලාගෙනය.

කොහේදැයි නොදන්නා සුන්දර, අඳුරු එමෙන්ම ගැඹුරු නිහඬතාවයකින් පිරී හුන් තැනක උශාලි ඔහුට ඉදිරිපසින් වාඩි වී ඔරු බඳට අත තබාගෙන උන්නා ය.

ඔහු උන්නේ නිසල දිය මත ඔරුව පදවනු පිණිස හබලෙන් සෙමෙන් දිය රැල් නංවමිනි.

“ඇයි ඔයා එහෙම කිව්වේ?”

“මට හිතෙනවා අපි දෙන්න ඉපදිල තියෙන්නෙ එකතුවෙන්න නෙවෙයි ඈත්වෙන්න කියල”

“එහෙනම් ඇයි අපි මේ විදියට හමු වුණේ?”

“සමහරවෙලාට හම්බුවෙන්නෙ ඈත්වෙන්නමයි කියල ඔයාට හිතිල නැද්ද?”

“ඔයාට පුලුවන්ද මාව දාලා යන්න?”

“මට යන්න වෙලා තියෙනවා” 

ඒ වදන් සමගම නිසල විලේ නිසල බව බිඳලමින් ආ දිය රැල්ලක ගැස්සුණ ඔරුව නිසා කලබල වී වටපිට බැලූ උශාලි නැවත ඔහු දෙස බලන්නට හිස හැරවුවේය.

එහෙත් ඔහු නැත. ඔහුගේ නමක් ගමක් වත් තමා නොදනී.

උශාලි ගැස්සි ඇහැරුණේ සියොළඟින් දහදිය වගුරුවාගෙනය. 

වසරක පමණ හිඳ දකින මේ සිහිනයට තේරුමක් තිබේදැයි උශාලිට සිතාගන්නට නොහැක. ඒ සිහිනයක් පමණක්ම යැයි නොසිතෙන්නේ ඒ තරම් ඒ සුන්දර මිනිහා සජීවි බැවිනි. ඔහුගේ සිනහව, බැල්මට තමා ප්‍රේම කරන බැවීනි.

ඉර තිබුනේ පායන්නට සිතාවත් නොමැතිව නිදාහුන් තැනකය.

එහෙත් අද උශාලිට වැදගත් දවසකි.

පෙර පාසල් අධ්‍යාපනය සහ ළමෝ මනෝ විද්‍යාව පිළිබඳ අධ්‍යාපනය අවසන් කළ උශාලි “ලිට්ල් බර්ඩීස්” පෙර පාසලේ සේවය කරන්නට අරඹා දැන් වසරකි.

අද දවස උශාලිට වැදගත් වන්නේ වසරකට වතාවක් පෙර පාසලේ පැවැත්වෙන අලුත් වසරට පොඩිත්තන් බඳවා ගන්නා උත්සවය නිසාවෙනි.

කුඩා පොඩ්ඩන් එක්ක ගෙවන කාලය උශාලිට සතුටකි.

ඉතින් මේ සිහින අමතක කර අවදිවන්නට නියමිත දිනයකි.

උශාලි මහර්ඝා රණවීරට අවුරුදු විසි හතරකි.

අම්මාත් තාත්තාත් අයියාත් හිඳින පවුලම බඩ පිස්සී වන උශාලි හැදුණේ වැඩුනේ පවුලේ සියල්ලන්ගේම හුරතලය සහ ආදරය මැදය.

උශාලි රූමත් යැයි කියන්නට නොහැක.

එහෙත් ලා දුඹුරු පැහ සමත් කලුවන් දෑසත්, උරහිසෙන් මදක් පහලට වන්නට තරම් ඇති කෙස් කළඹත්, අඩි පහක්වත් නොඋස් සිරුරත් උශාලිට ගෙන ආවේ ඉතාම හුරුබුහුටි ලස්සනකි.

ගීත ගයන්නට, පියානෝව වයන්නට සහ නටන්නට හැකියාව තිබූ උශාලි සරස්වතිය බඳුය.

අද පොඩිත්තන් පිළිගන්නා උත්සවයේදී ගීත ගායනය සහ පියානෝ වාදනය භාර වී තිබුනේ උශාලිටය.

කහ පැහැති පසුබිමේ සුදු මල් ඉහිරුණු සාරිය හැඳ ගෙන, කණ්ණාඩිය ඉදිරියට වී හැඩ වැඩ වන අතරම උශාලි පළමු අංගයට තිබෙන මල් පිපෙයි ගීතය ගයමින් උන්නාය.

“පරක්කු නැද්ද?”

අම්මා කාමරයට ආවේ බත් පිඟාන අතින් ගෙනය.

වෙනදාට දිවා ආහාරය ගෙන ගියත් අද උත්සවය නිසා පිටින් දිවා ආහාරය සැපයේ.

එහෙත් වැඩ රාජකාරි අස්සේ කන්න මතක් වේවිද දන්නේ නෑ කියා සිතමින් උදෑසන සැකසූ බත් පිඟාන ගෙන රණවීර මහත්මිය කාමරයට ආවේ හැඩ වැඩ වන අතරවාරයේම දියණියට බත් කටක් දෙකක් කවන බලාපොරොත්තුවෙනි.

සුදු බතුත්, පොල් සම්බෝලත්, අල කිරි හොදිත් එක්කාසු කල බත් කට මුව රුවා ගනිමින්ම උශාලි සාරියේ රැළි සකසන්නට වූවා ය.

“නෑ අද බස් එකේ යන්නෙ නෑ ටුක් එකේ යනව අම්මේ. වැස්ස හන්දා මඩ ඉහෙයි කියල බයයි”

“අයිය එක්කම යන්න තිබ්බනෙ උදේ” ඒ ඉතින් සුපුරුදු අම්මාගේ නෝක්කාඩුවයි. උශාලිගේ අයියා කිශාල් සේවය කළේ බැංකු කළමනාකරුවෙකු ලෙස රාජ්‍ය බැංකුවකය. උදෑසන තම කාරයෙන්ම නුගේගොඩ පිහිටි බැංකුවට සේවයට යන කිශාල්ට කලුබෝවිල පිහිටි ලිට්ල් බර්ඩීස් පෙර පාසලෙන් නංගී බස්සවාගෙන යාමට හැකි වුවත් උශාලි මනාප තනිව යන්නටයි.

“කොල්ලෙක් ඉන්නවද දන්නෙ නෑ මෙයාට මගදි හම්බෙන්න, ඔච්චර තනියෙන් යන්න දඟලන්නේ” කියමින් අයියා කීප සැරයක් පැවසුවද මද මුදු සිනා නංවමින් එවදන් ඉවසන උශාලි සැමදාමත් පෙර පාසලට ගියේ තනිවමය.

තනිවෙන්නට උශාලිගේ සිතේ වූයේ පුදුමාකාර අන්දමේ ආසාවකි.

අවුරුදු විසි හතරක් වන තුරුම පෙම්වතකු හිඳියේ නැතැයි කීම කෙනෙකුට විශ්වාස කරන්නට අපහසු කාරණාවක් වුවද සමණලියක් බඳු උශාලි නිදහසේ ජීවිතය ගෙවමින් උන්නාය.

තනිවම බසයේ හෝ ත්‍රී රෝද රියක පෙර පාසල වෙත යන අතරවාරයේ සුන්දර ගීත දුරකතනය ඔස්සේ අසමින් මරදානේ සිට කලුබෝවිලට යෑමට ගතවන පැය බාගයක පමණ කාලයේ තනිවන්නට ලැබීම උශාලිට සතුටකි.

“අම්මා දන්නවනේ මම ආසයි කියල තනියෙන් යන්න”

“මොකද ඔච්චර තනියෙන් යන්නම හදන්නේ?” කියමින් අමනාපකම් පෙන්නුවද උශාලි වරදක් නොකරන බව රණවීර මහත්මිය දනී.

නිවසට වී දරුවන් දෙදෙනා රැකබලා ගනිමින් කාලය ගෙවන රණවීර මහත්මියගේ සැමියා මැද පෙරදිග රටකට වී ගුවන් යානා ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි.

උශාලි තාත්තාගේ බබී ය.

අවුරුදු විසි හතරක් වයසැති දියණියව රණවීර මහතා දුටුවේ සැමදාමත් කුඩා දරුවෙකි ලෙසිනි.

“ඔයා ඉපදිච්ච දවසේ මම ඔයාව දැක්කෙ පුංචි ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ” කියමින් මව් රටට ආ විටත් දියණිය සමග වට්සැප් ඔස්සේ සම්බන්ධ වෙමිනුත් රණවීර මහතා ආදර වැසි වස්සවයි.

උශාලිට ඉතින් මේ ඇතිය.

අම්මාගේත් තාත්තාගේත් අයියාගේත් ආදර වැස්සේ නැහවෙද්දී තවත් ආදරයක් කුමටද?

අම්මා විසින් විටින් විට කවන ලද බත් කටවල් කිහිපයකින් කුස පුරවාගත් උශාලි අත් බෑගය රැගෙන පික් මී ඔස්සේ ඇනවුම් කළ ත්‍රී රෝද රියට නැග්ගේ පෙර පාසල බලා යන්නටයි.

ඉතින් සුපුරුදු දින චර්‍යාව ඉන් ඇරඹේ.

“මල් පැන් පොදක් කිණිත්තක් අගින් ඉසින්නා වගේ මට ඔබේ ආදරේ”

භාතිය සන්තුශ්ගේ හඬින් හැඩවුණු ඒ ගීය දෙසවන් ඔස්සේ ගොස් උශාලිගේ හිත මත තැන්පත් වන්නේ හිම පියල්ලක් බඳු සීතලකි.

ආදරය කිණිත්තක් අගින් ඉසින මල් පැන් පොදක් තරම් සුන්දරද, සිහිලද යන්න උශාලිට අලුත් මාතෘකාවකි.

පාසල් යන් අවදියේදීත් සමණලියක් බඳු සැහැල්ලුවකින් උන් උශාලි පසුපස ආ තරුණ බඹරුන් බොහෝ ය.

එහෙත් සිත ඒ කිසි තැනක නතර වූයේ නැත.

ඒ ඇයිද කියා උශාලි ද දන්නේ නැත.

ඕනෑම තරුණියක කෙදිනක හෝ තමා විසින් විවාහ කරගන්නා සහ ආදරය කරගන්නා තරුණයා ගැන සිත තුල චිත්‍රයක් මවාගන්නේ පැටි වියේ සිට තුරුණු වියට එද්දීම වාගේය.

එවන් රූපයක ජායාවක් උශාලිගේ සිත තුළත් තිබුණි.

ඔහු කඩවසම් ය. උසය.ගැඹුරු නෙතකුත් මනහර සිනහවකුත් ඇත්තෙකි.

කල්පනා ලෝකය බිඳ වැටුණේ “බරාස් යන හඬින්” මහ හයියෙන් ත්‍රිරෝද රිය බ්‍රේක් ගැසීමත් සමගය. 

වැටෙන්නට යාම වලක්වන්නට ත්‍රි රෝද රියේ යකඩ පටියට අත තැබූ උශාලි හිස එළියට දමා බැලුවේත්, ත්‍රිරෝද රියේ රියදුරා තමන් ගමන් මග පෙර දැනුම්දීමකින් තොරව හරස් කළ ජිප් රියේ රියදුරාට බැන වැදුනේත් එකටය.

“කොහෙද ඔයි යන්නේ? උදේම ගෑණී එක්ක රණ්ඩුවෙලාද?”

ඒ වදන් ඒ පුද්ගලයා භාරගන්නේ කෙසේද යන්න බලාගන්නට මෙන් හැරුණු උශාලිගේ මුහුණ මත ඇඳුණේ විස්මයේ පින්සල් රටාය.

පාරේ යද්දී දකින පිරිමි රූපයන් තුල උශාලි ඒ සිහිනයෙන් දකින රුව සොයන්නට උත්සහ කල අනන්තවත් මතක් රැල් සිහියට ඇදි එද්දී, ඒ රියේ හුන් තරුණයා ලැජ්ජාවත් අපහසුතාවත් මුහුණින් වගුරුවාලමින් උශාලිගේ මුහුණ බලා විලිබර සිනාවක් ඇඳගන්නට තැනුවාය.

ඒ ඔහු ය.

සිහිනයෙන් විත් තමාට සෙනෙහස පාන ඔහුය.

ගැඹුරු දෑසක් ඇති ඔහුය.

එකිනෙකාගේ දෑස් දෙස මොහොතක් බලා හිද්දී රිය පෙල කලබලයට ත්‍රිරෝද රියේ රියදුරා මුහුවූයේ තවමත් නොසරුප් වදනින් ඔහුට බැන වදිමිනි.

සිත තුල වූ කලබලය අස්වසා ගන්නට උශාලි දැන හුන්නේ නැත. නොසිතු දිනක, නොසිතු මොහොතක ඔහුව දැකගන්නට බලාපොරොත්තුවක් සිත තුල නොවීය.

සිහිනයෙන් දකින ඔහු සැබැ ලොවේ ජීවත් වන්නෙකැයි උශාලි දැන හුන්නේද නැත. එහෙත් සිහිනයෙන් විත් සිත සිඹින්නා අද සැබෑ ලොවේ කම්පිත දෑසකින් බලා හිඳී. එහෙත් ඒ දෑසේ වූ කැළඹීමට හේතුව කුමක්ද? 

උශාලිගේ කල්පනා මාවත දිගේ වේගයෙන් ආ ත්‍රි රෝද රිය ලිට්ල් බර්ඩීස් පෙර පාසල ළඟ නතර විය.

දැනට පෙර පාසලේ හිඳින පොඩිත්තන්ගෙන්, පිළිගැනීමේ උත්සවයේ විවිධ ප්‍රසංගයන් සඳහා ඇවිදුන් උන් පොඩිත්තන් තමන්ට හිමි අයිතමයන්ට අදාල ඇඳුම් පැළඳුම් හැඳ ගෙන පෙර පාසල් භුමියේ එහෙ මෙහේ දුවමින් හිඳී,

පෙර පාසලේ දොරටුවෙන් ඇතුලු වූ පසු එළඹෙන විශාල ශාලාවේ රැස් වී හිඳින්නේ නව වසරට ඇතුළත් කරන්නට හා සුරතල් පොඩිත්තන්‍ ය. අම්මාගේ හෝ තාත්තාගේ, නොඑසේනම් දෙදෙනාගේම අත්වල එල්ලී, කුඩා වතුර බෝතල් බෙල්ලේ එල්ලාගෙන හිඳින නෙක වර්ණ ඇඳුමින් සැරසුණු පොඩිත්තන් මැද්දෙන් සිනාමුසු මුහුණින් ඇවිද ගිය උශාලි පෙර පාසලේ ප්‍රධාන ශාලාව කරා පියමනින්නට වූයේ සාරි පොට එකාතකින් අල්ලාගෙන මුහුණ බිමට නැඹුරු කර ගෙන සබකෝලයෙනි.

“අම්මෝ අපි බලාගෙන හිටියා මොකද පරක්කු කියලා”

ඒ දිස්නාය.

උශාලි Parrot පංතියේ පංති භාර ගුරුතුමියයි. දිස්නා එයට එහා පන්තිය වන Peacock පංතියේ ගුරුතුමියයි.

“හැඩ වෙන්නනෙ වෙලා ගිහින් තියෙන්නෙ”

ඒ ඉතින් විහිලුවට කියන කතා බව උශාලි නොදන්නවා නොවේ.

“ආය අමුතුවෙන් හැඩ වෙන්නෙ මොකටද අපි? කොහොමත් ලස්සනයිනේ නේද කසුනි?”

Pigeon පංතියේ ගුරුතුමී කසුනි හ්ම් හ්ම් කියමින් සිනාසෙන අතරම ක්‍රේප් කොල වගයක් එකින් එක ගෙන ලෙහයි.

“ඔක්කොම හරිද දිස්නා?”

අත් බෑගය මේසයක් මතින් තැබූ උශාලි ප්‍රධානා ශාලාවේ වේදිකාවේ පිටුපස හිඳ තිරය අතරින් මදක් එබිකම් කල බැලුවේ ශාලාව දෙසයි.

අලුතෙන් පෙර පාසලට භාර දෙන්නට ගෙනා පොඩිත්තන් සමගම දෙමව්පියන් සෙමෙන් සෙමෙන් ශාලාවට් එක් රැස් වෙමින් උන්නහ.

පෙර පාසලක් නිසා මව් දෙමව්පියන්ට වාඩි වෙන්නට පනවා තිබුනේ කුඩාවුන්ගේම පුටු ය. කුඩා පුටුවල වාඩිවී එකිනෙකා හා සිනාමුසු මුහුණින් සිටින දෙමව්පියන් දෙස බලන්නට දිස්නා ද එකතු විය.

“ශෝක් නේ”

දිස්නා ඇසුවේ උශාලි දෙස බලමිනි.

“ශෝක් අනේ. අපේ මොන්ටිසෝරි වල මේ වගේ තිබුනෙ නෑනෙ”

“ඒක තමයි. මම ගියෙත් ආන්ටි කෙනෙක් ළඟට ගෙවල් ළඟම. ළමයි කීප දෙනෙක් තමයි ඉතින් හිටියෙ”

ප්‍රධාන ශාලාවට ඇතුලු වන්නට ඇති දොරටු දෙකෙන් දෙපසින්ම කුඩා වුන් සමග ඇතුලුවන් මව් පියන්ද උන්නේ පොඩිත්තන්ගේ සතුටෙන් කොටසක් හිතේ තවරාගෙන බව ඔවුන්ගේ සිනා මුසු මුහුණු වලින් කියවාගත හැකිය.

ඉනික්බිති ගතවුණු පැය හය හතක වේලාවම සියලුම වැඩිහිටයන් තම කුඩා කාලය වෙත ගෙන යන්නට සමත් වූ බව අමුතුවෙන් කිව යුතු නොවේ.

උශාලිගේ මනහර කටහඬින් සහ පියානෝ වාදනයට අනුව ගී ගැයූ පොඩ්ඩන්ද, නැටුම් ඉදිරිපත් කල සිඟිත්තන්ගේ සුරතලයද මැවුවේ කිරි සුවඳ මුසු වූ චමත්කාරජනක හෝරාවක් කිහිපයකි.

සියල්ල අස් පස් කර පිරිසිඳු කරන්නට තවත් පැය දෙක තුනක්ම ගත කල උශාලි පෙර පාසලෙන් නික්ම යන්නට දොරටුව අසලට එද්දීත් එතෙක් පෙර පාසල් තුල කලබලයන් මැවූ කුඩාවුන්ද, ඔවුන්ගේ මව් දෙමව්පියන්ද නික්ම ගොසින් බොහෝ වේලා ය.

කසුනිද නික්ම ගියේ පැය භාගයකට පමණ පෙර ය.

පානදුරේ සිට පැමිණෙන කසුනිට වෙන දිනක නම් එක පමන වෙද්දී යන්නට හැකි වුවත් අද පමා වූයේ පිළිගැනීමේ උත්සවය නිසාවෙනි.

පෙර පාසලේ ප්‍රධානාචාර්‍ය තුමිය සමග කතා බස් කරමින් හුන් දිස්නාට සහ තවත් ගුරුවරියන් කිහිප දෙනෙකුට සමු දුන් උශාලි ගේට්ටුව අසලට ආවේ මහන්සිය නිසා ගෙදර යන්නට පික් මී ඔස්සේ ටුක් එකක් බුක් කරගන්නට තනමිනි.

සතියේ දවසක වැඩ ඇරෙන වේලාව බැවින්දෝ කිසිදු වාහනයක් තම ඇරයුම භාරගන්නා පාටක් නැත. ගේට්ටුවෙන් එලියට ආ උශාලි වට පිට බැලුවේ පාරේ යන වාහනයක් හෝ නවතා ගන්නට සිතාය.

ඉදිරියට තබන්නට තැනූ අඩිය මදක් නවතා උශාලි හිස හරවා බැලුවේ කණට ඇසුණු සියුම් ඉකියක් නිසා ය.

පෙර පාසලේ ගේට්ටුවට දකුණු පසින් සිටුවා ඇති රෝස පැහැ මල් පිපෙන අරලිය ගස්සේ හිඳින්නේ පොඩ්ඩෙකි. පොඩ්ඩෙක් නොව පොඩ්ඩියෙකි.

හැඳ සිටින ඇඳුමත්, කරේ එල්ලාගෙන හිඳින බෝතලයත් මේ නව වසරට ඇතුලත් කරන්නට ආ පොඩ්ඩෙකු බව සහතික ය.

“පුතේ? ඇයි පුතේ අඬන්නේ?”

“ඇයි පුතේ අඬන්නේ? ඔයාව එක්කන් යන්න කවුරුවත් ආවෙ නැද්ද?”

පිළිතුරු නොදී හඬමින් උන් පොඩි කෙල්ල බයටමද කොහෙදෝ ගවුමත් තෙමාගෙනය.

සියල්ලටම පෙර ඇයව පිරිසිඳු කල යුතුය.

ඒ සිතුවිල්ල පෙරදැරිව උශාලි පොඩ්ඩියගේ අතින් අල්ලාගෙන නැවතත් පෙර පාසලේ පංති කාමර දෙසට යන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles