පතිදම්වැල් 02

“උදේම ගෑණී එක්ක රණ්ඩුවෙලාද?”

දුලන්‍යාවත් ෂෝබිතාවත් පෙර පාසල ළඟින් ඇරලවා අනුප වේගයෙන් රිය පැදවූයෙ ප්‍රමාදයකින් තොරව කාර්‍යාලයට ගොස් අද දිනට නියමිත විශේෂ හමුවීම සඳහා සූදානම් වනු පිණිසයි.

ඒ දුරකතන ඇමතුවේ එද්දී අනුප උන්නේ ඊලඟ මාසයේ නිකුත් කිරීමට නියමිත අලුත් ටෙලිනාට්‍ය දැන්වීමක පළමුවන අදියර පිළිබඳව තම කණ්ඩායමේ සෙසු පිරිස් සමග කතා කරමිනි.

මේ කාර්‍යබහුල දවස් ය. ඕනම වසරක පළමුවන කාර්තුව කෙතරම් නම් කාර්‍යබහුලද යන්න  පාරිභෝගික භාණ්ඩ විකුනන සමාගමක සන්නාම කළමනාකරුවෙකුට අමුතුවෙන් පහ දා දිය යුතු නොවේ.

“මිනිස්සු මොනතරම් ඕගනික් පැත්තට යන්න හැදුවත් අපේ රටේ දැනට තියෙන එකොනොමි එකත් එක්ක මේ ප්‍රඩක්ට් එක පර්චස් කරන්න තියෙන චාන්ස් එක මදි? වට් ඩූ යූ සේ?”

තනි සුදු කමිසයත්, එයටම ගැළපෙන ලෙස හැඳ සිටි අලු පැහැ කලිසමත්, කලු සපත්තුත් අනුපට ගෙන ආවේ කඩවසම්, බුද්ධිමත් පෙනුමකි.

අඩි හයයි දෙකක් පමණ උස අනුප අවුරුදු 32 ක් වයසැති මිනිසෙකි.

ෂෝබිතා වීරවිල අනුපගේ බිරිඳ වන අතර ඔවුන්ගේ විවාහ දිවියට දැන් වසර හයක් පමණ වේ. වෘත්තියෙන් Designer Wear ඇඳුම් හලක් කරන ෂෝබිතා සහ සන්නාම කළමනාකරුවෙකු ලෙස ගෝලීය ආයතනයක මෙරට ශාඛාවේ සේවය කරන අනුපටත් එකම එක දියණියක් හිඳී.

ඒ දුලන්‍යා ය. අද අනුපටත්, ෂෝබිතාටත් විශේෂ දවසක් වූයේ දුලන්‍යා හා හා පුරා කියා පෙර පාසල් යන පළමු දවස අද නිසා ය.

එහෙත් උදෑසන ඇරඹුනේ ඒ දවස තවත් එක් දිනයක් බවට පත්කරමිනි.

“මට එන්න විදියක් නෑ ෂෝබා, ඔයා දන්නවනේ මේ මීටින් එක රීජන් එකත් එක්ක තියෙන්නෙ. මට නොගිහින් බෑ. ප්ලීස් ඔයා අදට දූව එක්කගෙන ගිහින් ඒ ෆන්ක්ශන් එකට ඉඳල එන්න. අදට විතරක් ප්ලීස්”

තමා අවදිව දුලන්‍යාව පෙර පාසල් යාම සඳහා සූදානම් කරගනිද්දීත් ෂෝබිතා උන්නේ ඇඳට වී දුරකතනයට සිනාසෙමිනි.

ඒ සිනහව දැන් විසිරෙන්නේ තමා වෙනුවෙන් නොවන බව අනුප නොදන්නවා නොවේ. එහෙත් තම දියණියගේ ජීවිතයේ විශේෂම දිනයක ෂෝබිතා සමග වාදයක් ඇරඹීම සියල්ලන්ගේම සිතේ නිස්කලංක බව බිඳ දමන්නක් බව සිතා නිහඬව උන්නද සිත තිබුනේ වේදනාවෙන් ගැහි ගැහීය.

එහෙත් දුව වෙනුවෙන් මිටෙන් ගිලිහෙන්නට යන ජීවිතය තදින් අල්වා ගත යුතු බව අනුප නොදන්නවා නොවේ.

දුවව රැගෙන පෙර පාසලේ පැවැත්වෙන ආරම්භක උත්සවයට යන්නට අනුපට කෙතරම් වුවමනා තිබුණද එය වලක්වාලමින් ආ හදිසි මීටිම සිත කෙතරම් වේදනාවට පත් කරා වුවද ඇතැම් විට තම පවුලේ සාමාජිකයන්ගේ යහපත උදෙසාම රැකියාව තෝරා ගන්නට සැමියෙකුට, පියෙකුට සිදු වේ.

ඉතින් උදෑසන සිට විවිධ හමුවීම් සමග කාර්‍යබහුල වෙමින් උන් අනුපට අවශ්‍ය වූයේ ඉක්මනින් වැඩ අවසන් කර නිවස බලා ගොස් දියණියගෙන් පෙර පාසලේ විත්ති අසන්නටයි.

නොදන්නා ඇමතුමකින් ආ දුරකතන ඇමතුම පළමු වර විසන්දි කරන්නට වූයේ ඒ වනවිටත් මිටිමේ අවසාන අදියරට පැමිණ තිබූ නිසාවෙනි.

මීටිම අවසානයේ කාර්‍යාල කාමරයෙන් පිටව යද්දි එවන් ඇමතුමක් තමාට ආ බවවත් අනුපගේ මතකයක් තිබුනේ නැත.

නිවසේ සිට සකසා ගෙන ආ කෑම පෙට්ටිය කාර්‍යාල බෑගයෙන් එලියට ගෙන පියන අරින්නට ගිය අනුපට එය නවත්වන්නට වූයේ ඒ මොහොතේම මෙන් හැඬවෙන්නට ගත් දුරකතනය නිසාවෙනි.

නොදන්නා අංකයක් වුවත් එක ලඟ ඇමතුමක් දෙකක් ලැබීමට යම් කිසි හේතුවක් තිබෙන්නට නොහැකිද යන සිතුවිල්ලත් සමගම අනුප දුරකතන මුහුණත මත වූ කොල පැහැ බොත්තම ස්වයිප් කර ඇමතුම හා සම්බන්ධ විය.

“හෙලෝ”

එහා පසින් ඇසෙන්නේ කුරුලු හඬකි. ඒ තමා දන්නා අයෙකු නොවේ.

“හෙලෝ, මේ මිස්ට අනුප කුලරත්න නේද?”

“ඔව් කියන්න, කවුද මේ කතාකරන්නේ?”

“ඔයා දුලන්‍යා බබාගේ තාත්තා නේද?”

දියණියකගේ නම කියා නොදන්නා අංකයකින් ඇමතුමක් ඒම ඕනම තාත්තා කෙනෙකුගේ හිතට ගෙන එන්නේ කලබලයකි, බයකි.

පිය සෙනෙහස වෙනුවෙන් ලියවී ඇති කවි ගී කෙතරම් අඩු ප්‍රමාණයක් වුවද තාත්තලාගේ ආදරය ඉතින් එහෙමය. දරුවෙකුගේ පොඩිම ප්‍රශ්නයකදී වුවත් හිතෙන් කලබලයට පත් වේ.

“ඔව් ඔව් ඔව්. කවුද කතාකරන්නේ? ඇයි මගෙ දූට මොකද?”

ඒ කලබලය සහ බය අනුප වචන වලින් එලියට පිටකලේ එලෙසිනි.

එහා පසින් ඈමතුම හා සම්බන්ධ වී හිඳින්නිය කවුදැයි තමා නොදනී. එහෙත් ඇය තම දියණියට වරදක් කල නොහැකි අයකු බව ඇයගේ කටහඬෙ වූ අවිහිංසක බව ඔස්සේ විශ්වාස කරන්නට අනුපට අපහසු නැත.

එහෙත් මිනිසෙකුට කිසිදා නොදුටුව තවත් මිනිසෙකු ගැන එකම එක දුරකතන ඇමතුමකින් එසේ විශ්වාස කල හැකිද?

“හෙලෝ ප්ලීස් කවුද කතා කරන්නේ? දුවට මොකක් හරි ප්‍රශ්නයක්ද?”

“නෑ සර්, බයවෙන්න එපා. මම කතා කරන්නෙ දුවගේ මොන්ටිසෝරි එකෙන්, ලිට්ල් බර්ඩීස් එකෙන්. දූව එක්ක යන්න කවුරුවත් ඇවිත් නැහැ. එයා හොඳටම බයවෙලා අඬනවා”

එහා පසින් කුරුලු හඬකින් කියවුණු ඒ වදන් එක්කම අනුපගේ හිස යොමු වූයේ කාර්‍යාල කාමරයේ තම මේසයට එහා පසින් බිත්තියේ රඳවා ඇති ඔරලෝසු මුහුණත වෙතටයි.

වේලාව තුන පසු වී විනාඩි තිස් පහක් පමණ ගෙවීගොස් ඇති බව ඔරලෝසු මුහුණත කියයි.

“ඔයාට ඕපනින් සෙරමනි එක ඉවර වෙනකම් ඉඳල පොඩ්ඩි එක්ක එන්න පුලුවන් නේද?” කියා තමා උදෑසන ෂෝබිතාගෙන් ඇසු බව අනුපට හොඳින් මතකය. තමා හැඳ පැලඳගන්නා අතරවාරයේ දුරකතනයට නැඹුරු වී මොනවාදෝ කියවමින් උන් ෂෝබිතා එයට හිස සොලවමින් ඔව් කියා පැවසූ බවත් අනුපට මතකය.

එහෙත් මේ නොදන්නා කුරුලු කටහඬ කියන්නේ වෙනම කතාවකි.

ඒ තප්පර කිහිපයක නිහැඬියාව දරාගන්නට නොහැකි තැනම දෝ එහා පසින් යලිත් තමා අමතන බව අනුපට ඇසේ.

“මම දූගේ අම්මට කෝල් කරා, ඒත් මිසිස් ආන්ස්වර් කරේ නැහැ. ඒකයි මම සර්ට ගත්තේ. සර්ට පුලුවන්ද දූව ගන්න එන්න දැන්?”

අනුප උන්නේ කිසිවක් හිතාගන්නට බැරුවය. 

“ෂෝබිතා දරුවා දාලා කොහෙද ගියේ?” යන ප්‍රශ්නයට පිළිතුරත් සිත ඇතුලෙන්ම නැගෙනු තේරුණද පිටස්තරයෙකු සමග එබව කතාකරන්නට හැකිද?

“දූ දැන් ඉන්නෙ ටීචර් එක්කද?”

“ඔව් සර් එනකම් අපි මොන්ටිසෝරි එකේ ඉන්නම්. සර් ආවනම් හොඳයි. බබා අඬන ගමන් තාත්තට එන්න කියන්න කියනවා”

අනුපගේ හිත ඇතුලේ කොහෙදෝ නොදත් තැනක හිඳ හමා ආ වේදනාවේ සුලං පොදක් සුසුමක් ලෙස නික්මිණ.

ඒ තමාගේ කුලුඳුල් දරුවාය. තමා පියෙකු කල ෂෝබිතාව මවක කල දරුවාය. එහෙව් දරුවා පෙර පාසල් ගිය පළමු දිනයේම මේ සා වේදනාවක් ඒ සා පැටවකු බඳු අහිංසක සිතට දෙන්නට වීම ගැන අනුප සිත ඇතුලෙන්ම තමාට බැණ වදිමින් උන්නේය.

ෂෝබිතා වූ කලී කුමනාකාරයේ බිරිඳක්ද, මවක් ද කියා හොඳින්ම දැන ගෙනත් තමා තම අවිහිංසක දරුවාව ඇය ළඟ තබා යාමට තරම් තමාට සිහිවිකල්ව උන්නේද යන්න අනුප තම සිතෙන්ම අසමින් උන්නේය.

වහා ජීප් රියේ යතුර අතට ගත් අනුප කාර්‍යාලයේ මානව සම්පත් කළමණාකාරිනිය හමු වී නිවසේ ඇති වූ හදිසි තත්ත්වයක් හේතුවෙන් කාර්‍යාලයෙන් කළින් නික්මෙන බව පවසා වාහනය කාර්‍යාල භූමියෙන් එළියට දැමුවේ හදිසියේ හමා ආ චණ්ඩ මාරුතයක් බඳු වේගයෙනි.

වේදනාව කඳුලක්ව ඇස් අගින් ගිලිහෙද්දී අනුප උන්නේ ෂෝබිතා ගැන පුදුමාකාරයේ කේන්තියකිනි. එය ගින්නක් වී තම සිත පුරාත් ගත පුරාත් ඇවිලෙද්දී ඒ ගින්න නිවාලන්නට සුඛෝපභෝගී වාහනයේ වායු සමනය කල වටපිටාවට හැකියාවක් තිබුනේ නැත.

තම ජීවිතය හෙමින් හෙමින් තම අතැඟිලි අස්සෙන් ගිලිහී යන අයුරු දැන දැනත් තමා මේ කැදැල්ල පරිස්සම් කරගන්නට තනන්නේ හුදෙක් තම කුඩා දියණියට මව අහිමි කරන්නට බැරිකම නිසා බව අනුප නොදන්නවා නොවේ.

එහෙත් මේ ජීවිතයට මෙසේ තව දුර යා හැකිද?

ෂෝබිතාගේ නොසැලකීම් හමුවේ දරාගෙන හිඳින්නට තමාට හැකි වුවත් පුංචි දුලන්‍යාට මේ වේදනාවන් දරාගන්නට හැකිද?

පාසල් ඇරී යන වාහනවල කාර්‍යබහුලත්වය මදක් සංසුන් වූ තිබූ හෙයින් ග්‍රෑන්ඩ්පාස් හිඳ කලුබෝවිලට නොසිතූ තරම් ඉක්මනට යන්නට හැකියාව ලැබීම ගැන අනුප සිත තුළින් දන්න දෙවියන් සියල්ලන්ටම පින් දෙමින් උන්නේය.

දුලන්‍යාව ඇති දැඩි කලේ තුරුලේම තියාගෙන නිසාදෝ ඇයට ඇත්තේ කුඩා දෙයටත් ඉක්මනට බියට පත්වන සිතකි. ඇය ඉතා මනහර එහෙත් සියුමැලි මලක් බඳු ය.

එහෙත් අද ෂෝබිතා විසින් කල තිබූ දේ නම් සමාව දිය හැකි කරුණක් නොවේ.

අනෙක් අතට ඇය ගේ දුරකතන නාද වුවද එහාපසින් ඇමතුමට කිසිවෙකු සම්බන්ධ නොවන්නේ ෂෝබිතා හිඳින්නේ කොහේ කොතැනකද යන්න ගැන සැකයක් අනුපගේ සිත තුළට අරගෙන එමිනි.

එහෙත් වේදනාවට වඩා දැනෙන්නේ කෝපයයි.

කලුබෝවිල රෝහල අසල සුනන්දාරාම පාරෙන් ජිප් රිය ඇතුලට දමා මදක් ඉදිරියට යද්දී ඇති ඇතුලු පාරක් ළඟ කණුවක එල්ලා ඇති “ලිට්ල් බර්ඩීස්” පෙර පාසලේ දැන්වීම් පුවරුව සිතට ගෙන ආවේ මද අස්වැසුමකි.

මෙතෙක් වේලා අහස් අපුරා නොතිබූ අඳුරු වලාවන් අහස් වියන මත තුරුලු වෙද්දී. “කෙල්ල දිගටම ඉඳියනම් තෙමෙන්න තිබ්බා නේද?” යන සිතුවිල්ලේ අංකුර සිත තුල පැලවී එකෙනෙහිම උස් මහත් වූ වේදනාවේ මහ තුරු බවට පත් වේ.

වාහනයෙන් බිමට බැස පෙර පාසලේ ගේට්ටුව අසලට අනුප පියඹුවා කීවොතින් නිවැරදිය, ඒ වේගවත් දෙපා වලට පණ දුන්නේ “කෙල්ල තනියෙන්” යන පියෙකුගේ හිතෙන් නැගි මහෝඝයයි.

නැත. පෙර පාසල එළියේ කිසිත් හැලහොල්මනක් නැත. අනෙක් අතට පෙර පාසල අවසන් වීත් බොහෝ වේලා ගත වී ඇති බැවින්  කිසිවෙකු හිඳිනු ඇතැයි සිතීමම තේරුමක් නැත.

තමාට ඇමතුම ආ දුරකතන අංකය දෙවනියට දුරකතන ඇමතුම් පොතේ රැඳී තිබේ.

උඩින්ම ඇත්තේ ෂෝබිතාගේ අංකයයි. ෂෝබා යන නමට එහයින් ඇති හදවතක ඉමොජිය සිතට වේදනාවක්ද එයට එහාපසින් ඇති අංක පහ ලෙස හැඳින්වෙන තමා ඇය වෙතට ගත් ඇමතුම් ප්‍රමාණය ද හිතට කෝපයක් ගෙන එයි.

පෙර පාසලේ ගේට්ටුවෙන් ඇතුලට එමින්, අනුප දුරකතනේ දෙවනියට සටහන් ව තිබූ ඒ අංකය අමතන්නට විය.

ඇමතුම සම්බන්ධ වූයේත්, අහසින් මොර ගෙඩි තරම් විශාලව වැසි ඇද හැලෙන්නට වූයේත් එකම මොහොතකය.

වැස්ස සමග අත්වැල් බැඳගත් කුණාටුවා හෝ හෝ හඬින් හඬමින් ගස් වැල් අඹරවමින් එහෙ මෙහෙ යන්නට විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles