අපේ දරුවන්ට අපි දෙන්නෙ විසද?

ශ්‍රී ලංකාව වර්තමානයේ පත්වෙලා තියෙන ආර්ථික අස්ථාවරබවත් එක්කම අපිට විවිධ ගැටළු රාශියකට මුහුණ දෙන්න වෙලා තියනව කියල ඔබ දන්නව.

ආහාර සුරක්ෂිතතාවය, නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනයට ඇතිවෙලා තියෙන බාධාවන්, හොරකම්, මිනිමැරුම්, මත්ද්‍රව්‍ය වගේ විවිධ සමාජ ගැටළු මේ අතර ප්‍රධානයි. 

වැඩිහිටි අපි මේ ප්‍රශ්න කොයි විදිහට දරාගත්තත් අපි කවුරුත් වැඩිපුරම පීඩාවට පත්කරන්නෙ මේ ගැටළු වල භයානක ප්‍රතිඵල අනාගතයේදී අපේ දරුවන්ට අත්විඳින්න සිදුවෙන බව අපි දන්න නිසයි. 

ඖෂධ වර්ග සහ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩලයේ හිඟබව වගේම ඖෂධ වල ප්‍රමිතිය වගේ අතිවිශාල ගැටළු රාශියකට අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙමින් ඉන්න මේ කාලයේ පුළුවන් තරම් නීරෝගීව ඉන්න අපි කොයි කවුරුත් උත්සහ කරනවා.

බෝවෙන රෝග රාශියකට විවිධ සරල ක්‍රියාමාර්ග අරන් ආරක්ෂා වෙන්න පුළුවන් වුනත්, අපේ දරුවන් අද ආහාරයට ගන්න විවිධ ආහාර වර්ග නිසා ඒවගෙන් ඇතිවෙන දීර්ඝකාලීන ප්‍රතිඵල වලට මුහුණදෙන්නෙ කොහොමද කියන ගැටළුව අපිට අමතක කරන්න බෑ. 

ඉතිං අන්න ඒ නිසා, අපි අද කතා කරන්නෙ වර්තමාන ශ්‍රී ලංකාවෙ තියෙන ආහාර වල ප්‍රමිතිය වගේම දරුවන් නීරෝගීව තබන්න අපේ උපරිම උත්සහය දරන්නෙ කොහොමද කියන කාරණාව ගැනයි. 

ක්ෂණික ආහාර

ක්ෂණික ආහාර කියන්නෙ අපේ ලේසියට පහසුවට ඉක්මණින් ආහාරයට ගන්න පුළුවන් වුනත් අද වෙද්දී බොහෝ දරුවන්ට ඇතිවෙලා තියෙන සෞඛ්‍ය ගැටළු බොහොමයකට ප්‍රධානම හේතුවක් බවට පත්වෙලා තියෙන ආහාර වර්ගයක්. 

වැඩිපුරම කාබෝහයිඩ්‍රේට්, මේදය වගේම කෘතිම රසකාරක සහ වර්ණක අඩංගු ක්ෂණික ආහාර වලින් ඉතාම අහිතකර සෞඛ්‍ය ගැටළු ඇතිවෙන බව රහසක් නෙමෙයි.

රුධිරගත සීනි මට්ටම ඉහළ යාම

රුධිර පීඩනය ඉහළ යාම

ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම

සිරුරට අවශ්‍ය දෛනික පෝෂක ප්‍රමාණය නොලැබී යාම

නිතරම බඩගිනි ඇතිවීම සහ ආහාර ඇබ්බැහිවීමේ තත්වයන් ඇතිවීම වගේ කෙටි කාලීන ප්‍රතිඵල වගේම,

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටළු

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ආශ්‍රිත ගැටළු

මතකය සහ ඉගෙනීමේ දුර්වලතා ඇතිවීම

හදවත් රෝග

විවිධ ආසාත්මිකතා

අධික තරබාරුව

මානසික ගැටළු 

පිළිකා ඇතිවීමේ අවධානම වගේ දීර්ඝ කාලීන ගැටළු ඇතිකරන්නත් හේතු වෙනව බව පර්‍යේෂකයන් පවසනවා. 

ඇසුරුම් කළ ආහාර

මේ දිනවල නිතරම ප්‍රමිතියෙන් තොර රසකළ කිරි වර්ග, බිස්කට්, මුරුක්කු වගේ ඇසුරුම් කළ ආහාර වර්ග ගැන විවේචනාත්මක අදහස් සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන්ම අපිට දකින්න ලැබෙනවා. 

ඒ නිසා ඔබ මිලදී ගන්නා නිෂ්පාදන වල ප්‍රමිතිය, අඩංගු ද්‍රව්‍ය, සීනි සහ ලුණු ප්‍රමාණය, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙන්නම ඕන. 

බොහෝවිට පැකට් කළ මුරුක්කු, බිස්කට්, රසකළ කිරි වගේ ආහාර පානවලත් වැඩිපුරම අඩංගු වන්නේ සීනි, ලුණු, මේදය සහ කෘතිම රසකාරක නිසා එයින් වන හානියත් නොසලකා හරින්න ඔබට බැහැ.

සකසන ලද මස් වර්ග

සොසේජස්, හැම්, බේකන්, මීට් බෝල්ස් වගේ සකසන ලද මස් වර්ග කියන්නෙත් කුඩා දරුවන් අතර හරිම ජනප්‍රිය ආහාර වර්ග වලින් එකක්නෙ.

සාමාන්‍ය සාම්ප්‍රදායික ක්‍රම වලින් එහා ගිහින් කල් තබාගැනීම, සුවඳ, පාට සහ රස ලබා ගැනීම සඳහා අධික ලුණු, රසකාරක සහ වර්ණක වගේම රසායනික ද්‍රව්‍ය අඩංගු කරල වර්තමානයේදී වෙළඳපොලේ දකින්න ලැබෙන සකසන ලද මස් වර්ග නිෂ්පාදනය කරල තියෙනවා. 

ආහාර මාර්ගය ආශ්‍රිත ගැටළු සහ පිළිකා තත්වයන්,

හදවත් රෝග,

රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම් ඉහළ යාම,

මානසික ගැටළු 

ආහාර ඇබ්බැහි වීම්,

ස්ථූලතාවය

ස්නායු පද්ධතියේ සහ ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ගැටළු ඇතිකරන්න මේ නිසි ප්‍රමිතියකින් යුක්තව නිෂ්පාදනය කළ සකසන ලද මස් වර්ග හේතුවෙනව කියලයි පර්‍යේෂකයන් සඳහන් කරන්නෙ. 

එළවළු සහ පලතුරු

කල්තබා ගැනීම, වර්ණය සහ සුවඳ ලබා ගැනීම, ඉඳවීම වගේ විවිධ අරමුණු උදෙසා එළවළු සහ පලතුරු වලට රසායනික ද්‍රව්‍ය එක්කිරීම සිදුකරනව.

ඒ වගේම ඉක්මණින් සහ වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණෙන් රසායනික පොහොර වර්ග යෙදීමත් කෘමි හානි වළක්වා ගැනීම උදෙසා කෘ මිනාශක වර්ග යෙදීමත් සිදුවෙනවා. 

මෙහිදී, ශ්‍රී ලංකාවේ ඇති කණගාටුදායක තත්වය තමයි මේ රසායනික ද්‍රව්‍ය  නිසි ප්‍රමිතියකින් යෙදීම හෝ නියාමනයක් සිදුනොකිරීම. ඒ නිසා අතිවිශාල ගැටළු වලට මුහුණදෙන්න අපේ රටේ ජනතාවට සිදුවෙලා තියෙන බවට දිනෙන් දිනම ඉහළ යන පිළිකා රෝගීන්, වකුගඩු රෝගීන් සාක්ෂි දරනවා. 

අද වෙද්දී කොස්, පොළොස්, මඤ්ඤොක්කා වගේ ග්‍රාමීය පරිසරයේ වැඩිපුර දකින්න ලැබෙන, මහ පරිමාණයෙන් වගා නොකරන ආහාර වර්ග වලට පවා මෙලෙස රසායනික ද්‍රව්‍ය යෙදීමේ ප්‍රවණතාවයක් දකින්න ලැබීම ඉතාම කණගාටුදායක සහ භයානක තත්වයක්. 

මස් මාළු

මස් මාළු වලටත් මේ තත්වය පොදු බව අපිට රහසක් නෙමෙයි. ශ්‍රී ලංකාව කියන්නෙ ලේසියෙන් රටකට හිමි නොවන හරිම සරුසාර මත්ස්‍ය අස්වැන්නක් ලබාගන්න පුළුවන් මුහුදකින් වටවුනු වාසනාවන්ත දූපතක් වුනත් තවමත් ලංකාවේ සමහර ප්‍රදේශ වල ජනතාවට නැවුම් මාළු ආහාරයට ගන්න හැකියාව ලැබෙන්නෙ නෑ.

ඒ වගේම සැමන් සහ සාඩින් වගේ සමහර ඇසුරුම් කළ මාළු නිසි ප්‍රමිතියෙන් ලබාගන්න අවශ්‍ය නම් ඒව ආනයනය කළ යුතු තත්වයකුත් දකින්න ලැබෙනවා.

සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට පවතින සාඩින් වගේ ඇසුරුම් කල මාළු වල නිසි ප්‍රමිතියක් රසයක් හෝ සුවඳක් දකින්න නොලැබෙන නිසා ඒවා ආහාරයට ගන්නත් දෙවරක් සිතා බලන්නම වෙනවා. 

ඒ වගේම මස් පිණිස ඇතිකරන ඌරන් සහ කුකුලන් වැනි සතුන් ඉක්මණින් වර්ධනය කිරීමේ අරමුනෙන් විවිධ හෝමෝන වර්ග සහ රසායනික ද්‍රව්‍ය එක්කර කෑම ආහාරයට දීමත් සිදුවෙනවා. 

වීදි ආහාර සහ ආපන ශාලා

දිවයිනේ සුප්‍රසිද්ධ ආපනශාල සහ හෝටල් වල පවා මුළුතැන්ගෙවල් වල සැබෑ තත්වය පසුගිය දිනවල ප්‍රවෘත්ති වල දකින්න ඔබට දකින්න ලැබෙන්න ඇති.

කල් ඉකුත්වූ ආහාර, මීයන්, කැරපොත්තන් වැනි සතුන්, විදුලි සැපයුම අත් හිටවූ ශීතකරණ, නිසි පරිදි පිරිසිදු නොකරන මුළුතැන්ගෙයි උපකරණ, දින සහ මාස ගණන් පැරණි අපද්‍රව්‍ය සමහර ආපනශාල වල දකින්න ලැබුණා.

ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතියට අළුතින් එක්වූ වීදී ආහාර වල තත්වයත් මීට දෙවැනි නැහැ. 

බැඳීමට භාවිතා කරන තෙල්, මස් වර්ග, එළවළු සහ රසකාරක බොහොමයක් මේ කෑම වර්ග වල ප්‍රමිතිය පිළිබඳ විවිධ ගැටළු අපිට මතක් කරදෙනවා. 

නීති තිබුණත් නීති නිසිලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒවාට අවනත නොවීම නිසා මේ කණගාටුදායක තත්වය ඇතිවී තිබෙන බව අපි දන්නවා.  

ඒ නිසා ඔබේ දරුවාට හැකි තරම් ගෙදරදීම පිළියෙළ කරගත් ආහාර ලබාදෙන්න සැළකිලිමත් විය යුතුයි වගේම ආහාර මිලදී ගැනීමට පෙර එහි ප්‍රමිතිය ගැන හොඳින් සොයා බැලීමත්, ආහාර රසගැන්වීමට ස්වභාවික කුළුබඬු භාවිතා කිරීමත් ඉතාම වැදගත්.

නීරෝගී දරු පරපුරක් බිහි කිරීමට නම් ඉදිරියේදීවත් නිවැරදිව සිතාබලා තීන්දු තීරණ ගැනීම වැඩිහිටි අපි සතු යුතුකමක් වගේම වගකීමක්ද වෙනවා. 

Related Articles

Don't Miss


Latest Articles