පතිදම්වැල් 05

“කන් ඇහෙන්නෙ නැද්ද ළමයො” කියමින් කාමරයේ දොර රෙද්ද එහාට කර එබුන අම්මාගේ අමනාපය සිත්තම් වුණ මුහුණ දකිද්දීත් උශාලි උන්නේ තාත්තා ගෙනවිත් දුන් හෙඩ් සෙට් එක කනේ ගසාගෙන ගීතයන් අසමිනි.

“සඳ සැංගී ගිහින්දෝ

හෝ හෝ හෝ

තාරුකා නිල් එළි විහිදාවි

ඒත් හෙට ඒවි හිරු ඒවි

වලාකුල් දීප්තිමත් වේවි

හෝ හෝ හෝ

පුනරාලෝකයේ ඉපදී යලී

අපගේ පෙම් පරාදීසේ”

ප්‍රවීනා ටෙලි නාට්‍යයේ සිංහල ගීතය තමා කීවරක් ඇසුවාද කියා උශාලිට මතක නැත. ටෙලි නාට්‍යයේ රඟපාන ලද්දේ ප්‍රවීනාත් අනුරාධ බාසුත් වුවද උශාලිගේ සිත තුල ගැයෙමින් තිබූ ගීතයේ රඟමින් උන්නේ උශාලිත් ඇය මෙතෙක් සිහිනයෙන් දුටු තරුණයාත් ය.

ඒ තරුණයාගේ මුහුණ කෙමෙන් කෙමෙන් දුලන්‍යාගේ තාත්තාගේ මුහුණ බවට අනුවර්තනය වීම සිතට රහසිගත සතුටක් ද එහෙත් ඒ යටින් දුකක් ද මෝදු කරයි.

තමා සිහිනයෙන් වුව ආදරය කර ඇත්තේ උස අත්තක පිපුණ මලකට බව දැනගැනීමම සිතට මෙතරම් වේදනාවක් එක් කලේ මන්දැයි උශාලිට හිතාගන්නට නොහැක.

ඒ මල පිපී ඇත්තෙ අත නුදුරින් වුව අන්සතු උයනකය. ඉතින් නෙලාගන්නටවත් සුවඳ විඳින්නටවත් අවකාශ නොමැත.

මලක් දෙස ඈත හිඳ බලා වුව හිත සනසාගන්නට හැක්කේ වෙන අයෙකු ඒ මල නෙලා නොගන්නා තුරු පමණකි.

දිවා කාලයේ ඇරඹුණු ඒ අනෝරා වැස්සේ වෙනසක් නැත. එකම ලෙසට අහස ගුගුරවමින් හඬ තලද්දී වුව උශාලි උන්නේ ඒ කිසිවක් නොඇසෙන කොහේදෝ දුර ඈත කල්පනා ලෝකයක අතරමං වීය.

ඒ සිහින ලෝකයෙන් කෙතරම් ප්‍රේමවන්තයා සමග සිනහ වුවද සැබෑ ජීවිතයේදී ඒ කුඩා දියණියකගේ පියෙකු වන විවාහකයෙකු බව දැනගැනීමම උශාලිට දරාගන්නට අපහසුවක් විය.

ඒකපාර්ශ්වික ප්‍රේමයක් වුව බිඳ වැටීම කෙතරම් නම් වේදනාකාරීද යන්න උශාලි පළමුවරට අත්විඳිමින් උන් අතරය අම්මා පැමිණ කතා කරේ.

“සනීප නැද්ද ළමයො? හෝන්දු මාන්දු වෙලා වගේ ඉන්නේ?”

අම්මා ඒ වචන අතෑරියේ රාත්‍රි කෑම මේසය මතටය.

ඉඳි ආප්ප අල කිරි හොදි, බොල් සම්බල් සහ මීට් බෝල්ස් සමග අනාගන්නා අතරම කෑම පිඟානට නැවී උන් කිශාල් තම නැගණිය දෙස බැලුවේ හොරැහිනි.

අම්මා ලේසියෙන් මෙවන් වදන් කෑම මේසය මත දිගහරින්නියක නොවන වග කිශාල්ට පැහැදිලිය. තාත්තාත් නැතුව තමාවත් නංගිවත් උස්මහත් කල අම්මා කර මත තබාගෙන උන් බරෙන් සහ වගකීම් ගොන්නෙන් කොටසක් තම උරමත දරා සිටින්නට කිශාල් වෑයම් කිරීම අරඹා දැන වසර කිහිපයකි.

නැගණියන්ගේ කුමන වෙනසක් දිහා වුව සැකයෙන් බැලීම අයියලාගේ හැටි විය යුතුය.අම්මාගේ වදන් ඔස්සේ රැඳෙමින් නංගී දෙස හොරැහින් බැලූ කිශාල් ඒ බැල්ම සාධාරණීකරණය කලේ එලෙසිනි.

එහෙත් අම්මා කියන තරමේ වෙනසක් කිශාල්ට නම් නොපෙනේ.

“ආ ළමයො. මොකද සද්ද නැත්තේ”

පුටුවෙන් මදක් ඉස්සී පිඟානට ඉඳි ආප්ප තසිමෙන් ඉඳි ආප්ප බෙදාගන්න අතර තුර වුව අම්මා උන්නේ සටන අතැර නොවේ.

“මුකුත් නෑ අම්මෙ. අද පොඩ්ඩක් මහන්සි”

“ඇයි අද සෙරමනි එකේ වැඩ ගොඩක් තිබුනද?”

අම්මලා ඉතින් ඕපදූප අහන්නට මනාප බව අමුතුවෙන් කිව යුතු නොවේ.

“මොකෝ ළමයි වෙනුවට මෙයාද කොන්සර්ට් එකේ නටලා තියෙන්නේ” ඒ සමච්චලය නම් ඉතින් කිශාල්ගෙනි.

එහෙත් වෙනදා මෙන් ඒ වදන් වල එල්ලී පැටලී යන්නට හිතක් අද උශාලිට නැත.

අද ගෙවෙන්නේ පෙර ගෙවූ දවස්වලට වඩා හාත්පසින්ම වෙනස් මොහොතක් බව උශාලිගේ සිත සෙමෙන් මුමුණයි. එළියේ වැටෙන වැස්ස මදක් දැන් අඩු වී තිබුනද හුලඟේ ශබ්දයේ හෝ වේගයේ අඩුවක් නැත.

ඒ හා සමානවම උශාලිගේ හදවත තුලද පුදුමාකාර අන්දමේ කුණාටුවකි.ඒ සිතුවිලි නම් මහා තුරු අතරින් හෝ හෝ හඬින් හමා යන, ලේ නහර අඹරවමින් ගලා යන්න ඒකපාර්ශ්වික ප්‍රේමයක බිඳ වැටීමක වේදනාවේ සුසුම් කුණාටුවකි.

එහෙත් පිටත හිඳිනා කිසිවෙකුට එය නොපෙනේ.

අනෙක් අතට මෙවන් දෙයක් අයියා හෝ අම්මා සමග වුව බෙදාගන්නට නොහැක. එහෙත් වෙනදා මේ ගෙධර සුරතලිය වූ උශාලි අද හිඳින්නෙ වසර ගණනකින් වියපත් වූ බවක් පෙන්වන පුදුමාකාර නිහඬතාවයකි.

“නෑ ඉතින් ඔක්කොම ළමයිව පේලිවලට හදල යවල, බැලන්ස් කරගන්න අමාරුයිනේ ඒකයි”

කිශාල්ගේ සිතේ රතු එළි දැල්වුනේ ඒ වදන් සමගය.

වෙනදාට තමා කියන පොඩි දේකටත් එල්ලීගෙන නංගීගෙන් අද දකින්නට ලැබෙන නිහඬතාවය අයියා කෙනෙකුගේ සිත අභන්තරයේ රතු එලි දැල්වීම මහ පුදුමයක් නොවේ.

පුදුමය නම් මෙතෙක් ලෝකය දෙපා මුලට කඩා වැටුණද සිනාවෙමින් උන් නංගී එකපාර නිහඬ වීමය.

ඒ මහ කුණාටුවක පෙර නිමිතිද?

එහෙත් “කෑම මේසෙදි ප්‍රශ්න කතා කරන්නෙ නෑ. අන්තිමේ වෙන්න කාටවත් හරියට කන්න වෙන්නෙ නැති එක” යන තහංචිය දැම්මේ තාත්තාය.

තාත්තා ලංකාවේ නැති වුවද තාත්තාගේ වචන වලට හිස නමන නිසාවෙන් කිශාල් නිහඬව ආහාර ගන්නට වූයේ සිතෙන් දහසක් දේ සිතමිනි.

ඉඳි ආප්ප, අල කිරි හොදි, පොල් සම්බල් සහ මීට් බෝල්ස් කරිය යනු නංගීගේ ප්‍රියතම කෑමක් වුවද අද ඇය පිඟානට බෙදාගෙන තිබෙන්නෙත් ඉඳි ආප්ප රැල් දෙක තුනක් පමණක් බව නිහඬව කෑම කමින් උන් කිශාල්ගේ උකුසු ඇසට පෙනේ.

“කීයක් විතර ගන්නවද ඔය ළමයෙක්ගෙන් මොන්ටිසෝරි එකකට?”

“මාසෙකට ඉතින් පොත් පත් ඒව මේව, ක්ලාස් රූම් කලර් වොශ් කරන ඒවට අමතරව මාස හතරකට පාරක් තිස් පහක් ගන්නවා අම්මා එක ළමේක්ගෙන්”

“අපේ කාලෙ නම් ඔය මොන්ටිසෝරි කියන ඒව එහෙමට තිබ්බෙත් නෑනෙ. ඔයාල මොන්ටොසෝරි යද්දි වුණත් එහෙම ලොකු ගානක් ඉතින් වියදම් කරන්න උනේ නෑ”

අම්මා කතා බහට වචන එක්කරමින් උන්නද නංගී උන්නේ ඒ කිසිවක් නොඇසෙන මානයක බව කිශාල්ට නොතේරුනා නොවේ.

එහෙත් කිසිම දෙයක් ගැන ඉක්මනින් කලබලයට පත් වී හාරවුස්සා බැලීම එහි මූලය සොයා ගැනීමට ගැටලුවක් බව කිශාල් නොදන්නවා නොවේ.

ඉතින් මදක් නිහඬව ඈතින් හිඳ බැලීම හොඳය.

රාත්‍රී කෑම අවසන් වූ පසු නවයට තාත්තා ඇමතීම උශාලිගේ ජීවිතයේ පුරුද්දකි. ඈත රටක ඉන්නා තාත්තා එහෙමකට කියා විනෝදයට බර පුද්ගලයකු නොවන නිසා පාලු කාමරයට වී කාලය ගත කිරීම ඇඟට මෙන්ම සිතටද වෙහෙසක් බව උශාලිද, ගීතාංජලී රණවීර මහත්මියද නොදන්නවා නොවේ.

අම්මා කුස්සියේ වැඩ අහවර කර එද්දී රෑ වෙන බැවින් අම්මා සමග තාත්තා කතා බස් කරන්නේ රාත්‍රී නවයහමාරට පමණය. තාත්තා ඒ වේලාවේ වට්සැප් ඔස්සේ උශාලි සමග එදිනෙදා දේවල්, එනවිට රැගෙන ආ යුතු දේවල් ගැන විස්තර විමසයි.

කිශාල් ඉතින් තාත්තා එක්ක එහෙමට ආලවට්ටම් නැත.

“කොල්ලො ඉතින් එහෙමනේ” කියා රණවීර මහතා නිතරම තම බිරිඳට කියන්නේ පුතා තාත්තාට කතා කිරීම ගැන අමනාපය පෙන්නද්දීය.

වෙනදාට නම් අම්මාටත් කතා කරන්න ඉඩක් නොතබා තාත්තා සමග දොඩන්නට කොතරම් දේ තිබුනද අද උශාලිහේ හිතට දැනෙමින් තිබුනේ වස කම්මැලි කමකි.

නිදාගන්න ඇඳට ගියද නින්ද ඇස් අසලකටවත් නොඒ.

හිත ඒ තරම්ම කලබලය. නිහඬ නමුත් තමන් සමගම දොඩමලු වන සිත සමග ඇතිවන කතාබහ උශාලිගේ හිතට වදයකි.

මේ මෙවන් දෙයක් බලාපොරොත්තු වූ මොහොතක් නොවේ.

ආදරය ගැන උශාලිට තිබුනේ දුරස්ත හැඟීමක් ය.

ආදරය ගැන පළමු අත්දැකීම නම් නිවසේ සිට පාසල් යන්නට ගෙදරින් කතා කර දුන් පාසල් බස් රියේ උන් අයියා කෙනෙකු මිතුරියක අතේ චිට් එකක් එවා “මම ඔයාට කැමතියි” කීමම පමණකි.

චිට් එක එවා තිබුනේ සාමාන්‍ය පෙල කරන කාලයේ උශාලි සමග එකට පාසල් ගිය පමුදි අතේය. ඒ වන විටත් ආදරය පැටලී උන් පමුදිට අනුව නම් “ඒ අයියා උශාලිට පට්ට ලව් ය”.

ඒත් ආදරය යනු “පට්ට ලව්” එකක් නොව සිත සනසන්නක් විය යුතු බවත්, ඒ අයියා තමාගේ හිතේ ඉන්නා කෙනා නොවන බවටත් දාර්ශනික අදහස් දැරූ උශාලි ඒ චිට් එක දිහා බලා අහක බලාගත්තා පමණි.

එහෙව් හිතක් අද මෙසේ මිලින වීම ඉතින් දරාගන්නට අමාරුය.

උශාලි ඇස් දෙක පියාගෙන උන්නාට උන්නෙ සිතෙන් අවදියෙනි.

වැස්ස අඩු වී තිබුනද කාමරය ඇතුලේ ඇත්තේ පුදුමාකාර සීතලකි. උශාලි විදුලි පංකාව නිවා දමා වුවද උන්නෙ සීතලට රෙද්දක් පොරවාගෙන ය.

සනීප සීතල සමග පියවී යන ඇස් අස්සෙන් උශාලිගේ සිහින ලෝකයට එබුණේ උශාලිගේ සිත් ගත් ඒ උස, කඩවසම්, ගැඹුරු නෙත් ද ප්‍රීතිමත් සිනහවක්ද ඇති තරුණයාය.නැත තරුණයකු නොවේ.ඒ දුලන්‍යාගේ තාත්තාය. ඉතින් මේ කිසිත් සුවබර සිහින නොවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles