පතිදම්වැල් 06

“මම කොහෙ ගියත් තමුන්ට ඒක කියල යන්න මම බැඳිල නැති විත්තිය  හොඳට මතක තියාගන්න. ඔව් මම ළමයව දාලා ගියා තමයි. ඉතින් ඔච්චර අමාරුකමක් තියෙනවනම් තමුසෙට තිබුනනෙ මහ ලොකුවට නිවාඩු දාලා ළමය එක්ක මොන්ටිසෝරි එකට යන්න.

මෙතන මේ නික මගෙ ඇඟට කඩන් පනින්නෙ? හරියට මං මේ මහ ලොකු වැරැද්දක් කරා වගේ

එතන මේ පොඩ්ඩක් වෙලා ඉඳිය කියල මොකද ළමයාට මුකුත් වෙලා තිබුනද නෑනෙ? මෙතන නිකන් බොරුවට කෑගහන් එන්න එපා ඕයි.

මොන වදයක්ද මේ? නිදහසක් කියල දෙයක් ඇත්තෙම නෑනෙ මේ ගෙදර

අනිත් එක මම කලින්ම කිව්ව මට මේ ලමයි හදාගෙන ඕකුන්ව නලව නලව ඉන්න ඕන නැති බව. එහෙව් එකේ ඔච්චර ලමයට ආදරේ නම් නිවාඩු දාලා ඇවිල්ල වැඩ ටික කරනවකො මට වද දෙන්නේ”

ගංගාවක් ගලන්නාක් මෙන් වචන මුවින් අතෑරිය ෂෝබිතා ඒවා කිව්වේ ඇත්තටමද යන්න අනුපට සිතාගන්නටවත් නොහැක.

දරාගන්නට බැරිම තැන ඇයගේ කට තද කර වසන්නට උත්සාහ කරේ එහා කාමරයේ නිදන දුලන්‍යාට ඒවා ඇසේය යන බියෙනි.

“කට…කට වහගනින්. උඹට ලැජ්ජාවක් නැද්ද ගෑණියේ? අම්මා කෙනෙක් නේද? උඹ හිතල බලපං උඹ කතාකරන්නෙ අම්මා කෙනෙක් වගේද හැසිරෙන්නෙ අම්මා කෙනෙක් වගේද කියල?

ඔහොම වනචර ගමන් යනවද යකෝ හරිහමං අම්මා කෙනෙක්?”

දුලන්‍යාට ඇසේය යන බියෙන් ෂෝබිතාගේ කට තද කර වසා දමා එසේ කෙඳිරුවද, ඒ කෙඳිරුම යට තිබුනේ පුදුමාකාර වේදනාවක සහ කෝපයක හැඟීම් පෙලක් බව අනුප නොදැන උන්නා නොවේ.

“අතාඅරිනව මාව” කියා තම අත කෝපයෙන් ගසා දැමු ෂෝබිතා තව දුරටත් තමා පෙම් කල යුවතිය නොවන බව අනුප සිය වන වතාවටත් තම හදවතට කියා දෙමින් උන්නේය.

“අත තියන්නෙ නෑ මට. කොහෙන් ආපු හයියකටද මගෙ ඇඟට අත තියන්නෙ? ආ?මම කලින්ම කිව්වනෙ මට නිදහසේ ඉන්නයි ඕන. ළමයි හදාගත්ත කියල මට මේ ගේ අස්සටම වෙලා ඉන්න බෑ. මට කියල ජීවිතයක් නැද්ද? මට කියල ආසාවල් නැද්ද?

ගෑණියෙක් කියල මේ ගේ අස්සට වෙලා ඉන්න කියලද මට කියන්නේ? ඒව හොඳයි තමුසෙගෙ අම්මලට. ඒ වගේ ගොඩයො තමයි එහෙම මේ මිනිහ අස්සටම වෙලා ඉඳියෙ.

මතක තියාගන්නව මම ඔහේට බයත් නෑ. මම මේ මේක අස්සට වෙලා ලමයි බලාගෙන බත් තම්බ තම්බ ඉන්නෙත් නෑ.

ඔව් මම එලියට යනව. මට හිතිච්ච වෙලාවක, මට හිතිච්ච දවසක.මට හිතිච්ච එකා එක්ක මම එලියට යනව තමයී”

දුරකතන ගෙන ෂෝබිතා නාන කාමරය අස්සට රිංගද්දී අනුප උන්නේ ගල්වී මෙනි.

මේ තමා ආදරයෙන් වැලඳගත් කෙනාමද යන ප්‍රශ්නය මෙවන් මොහොතක සාමාන්‍ය තරුණ පිරිමියෙකුට දැනීම අරුමයක් නොවේ.

ජීවිතයේ බොහෝ තැන්වල මානසික සැනසුම වෙනුවෙන්, තම යහපත වෙනුවෙන් බොහෝ දේ අතාරින්නට වෙන බව අවුරුදු තිස් දෙකක ජීවිත කාලය තුල අනුප ඉගෙන ගත් අවස්තා බොහෝය.

එහෙත් ෂෝබිතාව එසේ හැරදමන්නට හැකිද?

ඇය තම බිරිඳයි. අනෙක් අතට ඇය තම දියණියගේ මවයි.

අම්මා කෙනෙකු නැතුව දුවෙක්ට හැදෙන්නට වැඩෙන්නට හැකිද යන්න අනුපට හිතන්නටවත් බැරි ය.

ෂෝබිතාව මුලින්ම හමුවූයේ වරලත් අලෙවිකරණ පාඨමාලාව හදාරන්නට ශ්‍රී ලංකා වරලත් අලෙවිකරුවන්ගේ ආයතනයේ දේශන වලට යද්දිය.

රැකියාවේ වැඩ අවසන් වී ඇතැම් දිනක පැය බාගයක් පැයක් පමාවී යෑම නිසා අනුපට හැමදාමත් හිඳගන්නට වූයේ පංතියේ ඉදිරි පෙලම අසුනකයි.

ඒ අසුනට එහා පසින් ඉඳගන්නට හැමදාම තවත් පමාවන්නියක් උන්නාය.

හදිසි වාහන අනතුරක් නිසා ඒමට නොහැකි බව දැනුම් දුන් දිනක අනුප සරදමකට මෙන් පංතියට කලින්ම පැමිණ තිබුනාය.

එදා පංති නොපැවැත්වෙන බව පැවසූ හෙයින් තම මෝටර් රියේ නැගී බොරැල්ලේ කෙසෙල්වත්ත පාරේ සිට නාවලට යන්නට වමට හැර වූ අනුප රිය ඉදිරියට මෙහෙය වූයේ වෙනදාට කලින් ගොස් කා බී නිදියන්නට අවස්තාවක් ලැබුණ නිසාය.

සතියේ මැද දිනක පංති වැටීම වෙහෙසකර වුවත් සති අන්තයේ දිනයක් වෙන් කරවාගන්නවාට වඩා සතියේ දිනකම සියල්ල අවසන් කරගැනීම යහපත් බව සිතූ අනුප නොසිතූ මොහොතක වාහනයේ තිරිංග තද කරේ හෑන්ඩ් බෑගය කරේ දමාගෙන කෙසෙල්වත්ත පාරේ පිහිටි අධ්‍යාපන ආයතනයට ඇවිද යමින් උන් වෙනදාට පමාවන්නිය දුටු හෙයිනි.

වාහනයේ තිරිංග තද වූයේත්, හෝන් හඬ පැතිරුණේත්, පමාවන්නියගේ පියවර නැවතුනේත් එකම මොහොතේ මෙනි.

ඇයගේ නම ෂෝබිතා බවත්, ඒ නමටම හරියන සුන්දරත්වයක් ඇයට ඇතිබවත් අනුප දුටුවේ එදා සැඳෑවේය,

දුරකතන අංක හුවමාරු කරගත් එදිනෙන් පසුව පංති අහවර වී ඇයව නිවසට ඇරලවන්නට යෑමෙන්ද, සති අන්තවල හමුවීමෙන්ම මිතු දම පෙම් බැඳුමක් කරගත් ෂෝබිතාත් අනුපත් පතිදමෙන් බැඳුනේ ඉනුත් වසර එකහමාරකට පසුවය.

“අනේ මම ආස නෑ අනේ බබාලට” කියමින් උන්නද නොසිතූ මොහොතක විශ්මයක් ලෙස ආ දුලන්‍යාට අනුපත් ෂෝබිතාත් හදවතින්ම ආදරය කළහ.

නොඑසේනම් එසේ ආදරය කල බවට අනුප සිතා උන්නේය.

අද අහස අඳුරු බවත් තම හිතද එතරම්ම අඳුරකින් පිරී ඇති බවත් හිතා උන් අනුප සඳැල්ලේ හිඳ කාමරයේ දොර දෙස හැරුනේ දොරට තට්ටු කරන හඬකිනි.

“පුතා කන්න එන්නෙ නැද්ද?’ කියමින් දොරට තට්ටු කලේ අම්මාය.

දොර ඇරි විට මදක් අනුප දෙස බලා උන් ආරියලතා මහත්මිය තම පුතුගේ නෙතුවල වූ කැළඹීම නොදුටුවා නොවේ.

ෂෝබිතා සමග කල සංවාදයෙන් කණට වැටුනේ වචනයක් දෙකක් වුවද හැන්දෑවේ පුතා සමග කල සංවාදයෙන් ඒ මදිපාඩු වචන හිස්තැන් වලට පුරවාගන්නට ඇයට පුලුවන් විය.

අසන්නට ප්‍රශ්න දහසක් තිබුනද, ඒ තම පුතු වුවද ඒ දෙන්නා දෙමහල්ලන්ගේ ප්‍රශ්න විසඳාගත යුත්තේ ඔවුනොවුන්මය.

තම අතපෙවීම් අනවශ්‍ය බව කුලරත්න යුවලම හොඳින් දනී.

අනෙක් අතට ෂෝබිතා උන්නේ දැවෙමිනි. විසල් නාන කාමරයේ සින්ක් එක ඇති තට්ටුව මත අත තබාගෙන කණ්ණාඩියෙන් පෙනෙන කෝපය නිසා විරූපි වු තම මුහුණ දෙස බලමින් කල්පනා කරන්නට බොහෝ දේ ෂෝබිතාට විය.

දුලන්‍යාගේ පෙර පාසලේ සමාරම්භක උත්සවය මොහොතේ ෂෝබිතාට එලියට යන්නට වූයේ දමිත් ගෙන් ආ ඇමතුමක් නිසාවෙනි.

තමා දියණිය සමග පෙර පාසලට එන බව කලින්ම කියා තිබුනද දමිත් මෙසේ උදයේම තමා හමුවන්නට එතනට එනු ඇතැයි ෂෝබිතා කොහෙත්ම බලාපොරොත්තු වූවා නොවේ.

එහෙත් ආදරය එන්නේ, පවසන්නේ අහම්බයකිනි.

විවාපත් මවක් නොව බොලඳ පෙම්වතියකගේ සිතකින් සතුට පුරවාගෙන දමිත් ගේ නැවක් බඳු රියට නැගෙද්දී දුලන්‍යා පිළිබඳ මතකයක්වත් සිත අහලකවත් නොවූ බව ඇත්තකි.

“ඔච්චර මේ ඔයා පොඩ්ඩක් එහෙ මෙහෙ උනාම ඔය මොන්ටිසෝරිය ඇතුලෙ ලමයාට කරදරයක් වෙයි කියල බයනම් මොකද මිනිහ ළමයව එච්චර ශුවර් නැති මොන්ටිසෝරි එකකට තමන්ගෙ ලමයව යවන්නේ?”

වට්ස්ඇප් ඔස්සේ එසේ අසන්නේ දමිත් ය.

“මට එපා වෙලා අප්පා තියෙන්නෙ මේ මනුස්සය එක්ක ඉන්න එක. පොඩ්ඩක්වත් හිත සැනසිල්ලෙ ඉන්න නෑ. මල වදයක්”

කෝපයෙන් ටක ටක හඬින් දුරකතනයට තට්ටු කරමින් උන් ෂෝබිතාට අනුප කාමරයේ සිට අම්මා සමග කතාකරන හඬ ඇසේ.

“ඒ නාකිච්චිත් මෙතන අපි දෙන්න මොකක් හරි කතාවෙච්ච ගමන් එනව කණ තියාගෙන ඉඳල වගේ ඕපදූප ටික හොයන්න”

අබ ඇට දැම්මා නම් පිපිරෙන තරමට තම සිත කෝපයෙන් රත් වී ඇති බව ෂෝබිතා දනී.

දමිත් ව හම්බුනේ අහම්බෙනි.

අනුපව කළමණාකරණ උපාධිය අතරවාරයේ හමුවද්දී ෂෝබිතා රැකියාවට සහ අධ්‍යාපන ආයතනයට අලුත් එහෙත් කෙලිලොල් තරුණියක විය.

මව සහ පියාත් ඉතාම උසස් පෞද්ගලික අංශයේ රැකියාවන් වල නිරත වූ හුන් නිසාවෙන් ඉතාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කල ෂෝබිතාත් නංගී අම්රිතාත් ගෙව්වේ එකිනෙකාගෙන් හුදෙකලා වූ ජීවිතයකි.

මවගේත් පියාගේත් කාර්‍යබහුලත්වය නිසාවෙන් කුඩා කල සිටම තනිවම තම වැඩ පල කරගන්නට පුරුදු පුහුණු වී උන් සොයුරියන් දෙදෙනාටම නිදහස උපරිමයෙන්ම ලැබුණ බවත් ඒ නිසාවෙන් ඉතාම ස්වාධීන ජීවිතයක් ගත කල අතර විවාහයෙන් පසු හිස මත පතිත වූ වගකීම් සහ යුතුකම් ෂෝබිතා භාරගත්තේ බරක් හෝ කරදරයක් ලෙසිනි.

විවාහයේ මුල් අවදියේ අනුප සමග ඉතාම නිදහස් දිවියක් ගෙවුවද දුලන්‍යා ලද පසු නිදහස මදක් අඩු වීම ෂෝබිතා දුටුවේ කරදරයක් ලෙසය. ඒ කෝපය සහ සිත යට සැඟවී තිබුණු නිදහස අහිමිවීමේ වේදනාවේ ගිනි පුපුරු එළියට පැන කුලරත්න නිවස ගිනිබත් කරන්නට දර දිය ඇද්දේ දමිත් ගේ හමුවීමයි.

වසන්තයත් ගිම්හානයත් සීතල සිසිරයත් ජීවිතයට එන්නේ නොසිතූ මොහොතකය.

පිරුණු හදක් ඇති අනුප වැනි මිනිසෙකු වසන්තමය අහසේ දකින්නට ලැබෙන පුන් සඳකි. එහෙත් පුන් සඳක් වුව දැක දැක තරු සොයා යනවුන් මෙලොව නොසිටී යැයි කිසිවෙකුට තිරවම කිව හැකිද?

අනුප සඳක් නම් දමිත් යනු කඩා වැටෙන්නට යන තරුවක් බඳුය.

එහෙත් ආදරයේ උණුසුමත්, සිසිලසත්, ජීවිතයේ ආලෝකයත් ෂෝබිතා දකිමින් හුන්නේ දමිත් ගේ ඇසින් පමණකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles