සාමාන්‍යයෙන් අම්මා කෙනෙකු නිවසේ රැඳී ඉන්නවානම් දරුවන්ව වසරක් වැඩියෙන් පෙර පාසක් යවනට තීරණය කරන්නේ එහෙමත් තැනකය.
බිරිඳත්, අම්මාත්, තාත්තාත් තිදෙනාව රැඳී හිඳින නිවසක දුලන්‍යාව එසේ වසරක් කලින් පෙර පාසල් දැමීමට ෂෝබිතා කල යෝජනාවේ කිසිදු හේතුවක් සොයාගන්නට අනුපට මුලින් නොහැකි වුවත් ෂෝබිතා දුලන්‍යා පිළිබඳව නොසලකා හරින බව දැන ගත් මොහොතක ඇයව අම්මා භාරයේ තබා ඒ බර අම්මාගේ කර මත පැටවීමට වඩා දුලන්‍යාව වසරක් කලින් පෙර පාසල් යැවීම ගැන සතුටු විය.
“ඔයා රස්සාවක් කරන්නෙත් නැති එකේ, ඔයාගේ බිස්නස් එකත් දැන් කෙරෙන්නෙ නැති එකෙ ඇයි ඔයා දුලාව අවුරුද්දක් කලින් මොන්ටිසෝරි යවමු කියන්නේ.
තේරුමක් නෑනෙ ෂෝබා, අනික මේ එහෙම කරන්නෙ අම්මල තාත්තලා දෙන්නම් ජොබ්ස් කරන නිසා දරුවො බලාගන්න බැරි නම් නේ. ඔයාට හෙල්ප් කරන්න අපෙ අම්මත් ඉන්න එකේ දුලාව ගෙදර තියාගත්තම මොකද වෙන්නෙ”
ඒ කතාව පටන් ගත්තේ දුලන්‍යව පෙර පාසල් යවන්නටත් කළින් මාස ගණනාවකට පෙරය. ෂෝබිතාට වෙන සම්බන්ධයක් තිබෙන බව තබා ෂෝබිතා තමාව රවටන බවවත් අනුප එදවස දැන හුන්නේ නැත.
දරුවන් සම්බන්ධයෙන් ෂෝබිතා මුල සිට දැක්වූයේ ඇල්මැරුණ ස්වභාවයක් වුවද යාලු මිත්‍රයින්ගේ දරුවන් දැකීමේඩී සහ “තාම වෙනසක් නැද්ද” කියා ෂෝබිතාගේ නෑ පාර්ශ්වයෙන්ම ආ පැනය ඉදිරියේ ෂෝබිතා දුලන්‍යාට උපත දුන්නෙ සැබෑවටම මවක් වන්නට ඇති ආසාව නිසායැයි සිතූ තම සිතුවිලි ගැන අනුප දැන් බොහෝ වර තැවේ.
“එහෙම මේ අවුරුද්දක් කලින් යැව්ව කියල වරදක් වෙන් නෑනෙ, අනික ජොබ් එකට නොගියට ඔයා දන්නවනෙ මම මේ ගෙදෙට්ටම වෙලා ඉන්න කැමති ගෑණියෙක් නෙවෙන විත්තිය.
අනික අම්මට පුලුවන්ද අනේ මේ ළමයි බලාගන්න?පිස්සු නැතුව ඉන්න අනුප”
එදා ෂෝබිතාට එය පහදා දෙන්නට තමා මොනතරම් නම් උත්සහ කලද අවසානයේ ඒ කතා බහ නැවතුනේ ෂෝබිතා රැයේ කන්නේත් නැතුව නිදාගන්නට ගොසිනි.
අවසානයේ ඇගේ තීරණයට හිස නමා දුලන්‍යාව වසරක් කළියෙන් පෙර පාසලට ඇතුළත් කරන්නට අනුපට සිදුවිය.
දුලන්‍යාව උදෑසන පෙර පාසලට ඇරලවීමේ රාජකාරිය හාරගන්නට අනුප පුලුවන් කී නමුත් දුලන්‍යාව පෙර පාසලේ හිඳ දහවලට නිවසට ගෙන ඒමේ රාජකාරිය එක් දිනක් හෝ කරන්නට ෂෝබිතාට හැකිවූයේ නැත.
ෂෝබිතා උන්නේ මවක්, බිරිඳක් යන භූමිකාව තමාට අයිති දෙයක් නොවේයැයි සිතන කොහේදෝ මහ අඳුරුම අගාධයක කෙලවරය.
ඒ අඳුරු ආගාධයට අත පොවන්නට හැකි දුරකින් හෝ සොයා බලන්නට හැකි දුරකින් තමා නොඉඳීම ගැන අනුප උන්නේ දැවෙමිනි.
“මම හිතුවෙ ඔයා මාව මැරි කලේ මට ආදරේ නිසා කියලා”
ෂෝබිතා වෙනත් පිරිමියෙකු සමග තමාව රවටන බව අනුප දැනගත්තේ අහම්බයෙනි. කාර්‍යාලයෙන් බැහැර තිබූ මීටිමක් සඳහා හිල්ටන් හෝටලයේ කැෆේ එකේදීය. තම කනිෂ්ඨ කණ්ඩායම් සහකරුවන් දෙදෙනා සමග අනුප එහි ගොස් තම සේවාදායකයා හමු වී අවසානයේ දිවා ආහරයත් එහිම ලබාගන්නට සිතුවේ ඒ වනවිටත් වේලාව දහවල් දෙක පසු වී තිබුණ බැවින් සහ කුසගින්න නිසා සිරුර දැවෙමින් තිබූ නිසාය.
ආහාර වේල ඇණවුම් කර කනිෂ්ඨ සහයකයන් දෙදෙනා එහි රඳවා අනුප මදක් ඉවතට ගියේ හදිසියේ ආ පෞද්ගලික දුරකතන ඇමතුමකට සවන් දෙනු පිණිසයි.
අනුප දුරකතනය තබා හැරුණේත්, උස මහත, දකුණතේ පච්චයක් කොටා තිබූ මිනිසෙකුගේ අතේ එල්ලි හෝටලයට පිවිසි ෂෝබිතා හිල්ටන් හෝටලයේ ග්‍රෙස් කිචන් අවන්හල වෙත ඇදුණේත් එකම මොහොතේ මෙනි.
තමා ඒ මොහොතේ ගල් වී මෙන් එදෙස බලා හුන් බව පමණක් අනුපට මතකය. අවට ලෝකයේ කුමක් සිදු වූ වාද කියා කිසිත් අදහසක් නොතිබූ බවත් අනුපට මතකය.
ෂෝබිතා තමාව නොදුටු බව අනුප දනී. එහෙත් ඒ මොහොතේ එහි ගොස් ඇයව නවතා වෙනත් පිරිමියෙකු මෙන් “උඹ කොහෙද යන්නේ? මේ මොකාද?” කියා අසන්නට තමාට පිරිමිකමක් නොතිබුනේ ඇයිද කියා අනුප අදටත් කල්පනා කරයි.
“කොහෙද ඉන්නේ” කියා සුපුරුදු ලෙස දහවලට ෂෝබිතාට යවන පැනය එදත් යැවූ පසු “ගෙදර” යැයි කියා ෂෝබිතා එවූ කෙටි පණිවිඩය අනුපගේ සිත කුඩා කුඩා කෑලිවලට කඩා දැම්මේය.
එදා වැඩ අවසන් වන තුරු ඉතාම අපහසුවෙන් වේලාව ගෙවා ගත් අනුප නිවසට ආවේ ඉගිල්ලී මෙනි.
රැවටීමේ තියුණු පිහිතුඩෙන් පපුව පසාරු කරගෙන යන ප්‍රහාරයක් එල්ල වී හුන් මොහොතක ඒ පිහිතුඩ ගලවා දමා සනසනු වෙනුවට ෂෝබිතා කලේ ඒ පිහි තුඩ තව තවත් පපුව තුලට තද කිරීමයි.
“ආහ් ඔයා දැක්කද? ඇයි ඇවිත් කතා නොකලේ?”
ෂෝබිතාගේ මුවින් නික්මුණ වදන් තුල පසුතැවීමක ලකුණක් වත් නොතිබුනි. එහි වූයේ හුදෙක් සරදමම පමණකි. ඒ සරදම එල්ල වූයේ තමා වෙතටත් තම පිරිමිකම වෙතටත් බව අනුප තේරුම් ගත්තේය.
“ඇයි ෂෝබා ඔයා මෙහෙම කලේ”
“ඔයා ඒක අහන්න ඕන මගෙන් නෙවි අපෙ අම්මලගෙන්?”
“මොකක්?”
“ඔව් ඔයා ඒක ගිහින් අහන්න අපෙ අම්මලගෙන්”
“ඔයා කියන්නේ දැන් මේ කසාද බැඳල ළමේක් ඉන්න ඔයා වෙන මිනිහෙක් එක්ක හෝටල් ගානෙ රිංගන කතා මම තමුන්ගෙ මව් දෙමව්පියන්ගෙන් ගිහින් අහන්න ඕන කියලද?
ෂෝබිතා මේ අහගන්නවා, තමුන් වනචර කම් කරන ඒවට තමුන්ගෙ අම්මල තාත්තාල අල්ලගන්න ජාතියෙ බයිල මාත් එක්ක දාන්න එපා. තමුන් දැනගන්නව වෙන මිනිහෙක් වුනා නම් මේ වෙලාවෙ පුකට පයින් ගහල දොට්ට දාල විත්තිය
මම මෙච්චරවත් ඉවසීමෙන් කතා කරන්නේ තමුසෙගෙයි මගෙයි ළමය හන්දා”
එවදන් හමුවේ පවා බය වනු වෙනුවට ෂෝබිතා උන්නේ සමච්චලයට හිනා වෙමින් අත් දෙක බැඳගෙන තමා දෙස බලාගෙනය.
අනුප හැකිතාක් හඬ අවමව කතා කරන්නට උත්සාහ කරේ පහල මාලයේ හිඳින අම්මා සහ තාත්තාත් එහා කාමරයේ කිරි සිහිනයක සුවපහසුවේ නිදා හිඳින දුලන්‍යාවත් කලබල නොකරන පිණිසය.
“මේ තමුසෙ මොන තරම් කෑගැහුවත් මම කරන්නෙ මට ඕන දේ, අනික මාව ගෙයින් එලියට දාන්න? හහ් අනේ ඕයි කරගන්න පුලුවන් දෙයක් කියනවකො, මහ ලොකු චණ්ඩිය වගේ මෙතන කෑගහන්නේ”
තම ඇයට පෙන් වූ ආදරයට සාපේක්ෂව ෂෝබිතා තමාට ආදරය පෙන්වූයේ ඉතාම අඩුවෙන් බව දැන හුන්නද ඇය කිසිදිනක තමාව රවටනු ඇතැයි අනුප සිතුවේ නැත.
ඇය හා ප්‍රේම සබඳතාව අරඹද්දීත් අනතුරුව ඇයව විවාහ කරගනිද්දීත් අනුප සිතුවේ තමා මෙන්ම ෂෝබිතාත් ආදරය මුලු සිතෙන්ම කරමින් එකී බන්ධනයන්ට ඇතුලත් වූ බවකි.
විවාහයෙන් පසු ගත වූ මුල් කාලයේ දී කිසිදු ගැටලුවක් නොවී ගත කරද ප්‍රශ්න සෙමෙන් සෙමෙන් නිවසටත් අනතුරුව නිදන ඇඳ වෙතටත් එන්නට ආවේ ආදරයේ සියලු සන්තකයන් ඒ ප්‍රශ්න ආ දොරටුවෙන්ම පිටමං වෙද්දිය.
ආදරයට සිතක් සුවපත් කල හැකි අන්දමටම සිත බිඳ දමාලිය හැකි බවටත් අනුප ජීවිතයේ පලමු වරට උගෙන ගනිමින් උන්නේ ෂෝබිතාගෙන් ය.
එහෙත් මේ සියල්ල අමතක කර, ප්‍රශ්න වලින් පලා යාමක් ගැන නොසිතා කුලගෙය රැක ගන්නට සිතමින් හුන් අනුප දිනෙන් දිනම ෂෝබිතා විසින් පටලවනු ලබන වේදනා පඹ ගාලක තමාත් දුලන්‍යාත් පැටලෙමින් හිඳින බව පමණක් තේරුම් යමින් උන්නේය.
ඇය සබඳතාවක් පවත්වන්නේ රාජ්‍ය අමාත්‍යවරයකු වන දමිත් සිංහවර්ණ බව සමගත් ඒ සබඳතාවය තමාට ඇයව හමුවන්නට පෙර සිටම තිබූවක් බවත් මව් දෙමව්පියන්ගේ අකමැත්ත මත එකී සබඳතාවය විවාහයක් දක්වා නොගොස් නැවතී ඇති අතර දුලන්‍යා ඉපදීමෙන් වසර තුනකට පසුව ෂෝබිතාට අහම්බෙන් දමිත් නැවත හමුවීම මේ ව්‍යසනයේ ආරම්භයයි.
ආදරය යනු අහම්බෙන් ජීවිතයට එන්නක් බව අනුප නොදන්නවා නොවේ. උසස් පෙළ වාණිජ අංශයෙන් කල ව්‍යාපාර කළමණාකාරණය උපාධිය ලෙස උගත්තා වුවද අනුප සිංහල රසවින්දනය උපරිමයෙන් තිබූ චරිතයකි.
ෂෝබිතා හමුවීමත් ඇයට ආලය කිරීමත් අනතුරුව ඇය හා විවාපත් වීමත් අනුප සිතුවේ සංසාරගත බැඳීමකට අනුව සිදු වූවක් විලසිනි.
එහෙත් ෂෝබිතා ආදරය කර තිබෙන්නෙ තමාට නොවේ. එක් අතකින් ඇයට කැමති අයකු හා විවාහ වන්නට ඉඩ නොදී තමාවත් තවත් අහිංසක ජීවිතයකුත් අඳුරේ හෙලන්නට මුල් වීඇත්තේ ඇයගේ මව් දෙමව්පියන් නොවේද්?
“ප්ලීස් ෂෝබා, මේ අහන්න, අම්මල ඔයාට හොඳක් කරන්න වෙන්නැති එහෙම එයාව බඳින්න එපා කියන්න ඇත්තෙ, ඒ හැමදේම හරි. ඒත් ඒත් දැන් අපිට දරුවෙක් ඉන්නවා. ඒ දරුවට හරිහමන් අම්මා කෙනෙක් ඉන්න ඕන
ප්ලීස් අපි ගැන නෙවෙයි මේ දරුව ගැන හිතල ඔය සම්බන්ධෙ නවත්තන්න
මම හැම දේම අමතක කරන්නම් ප්‍රොමිස්. මම පොරොන්දු වෙනව කවදාවත් මේ ගැන ආයෙම කතා කරන්නෙ නෑ කියලා”
ෂෝබිතා ඒ මොහොතේ උන්නේ නිහඬව තමා දෙස බලමිනි
“මට ඒක කරන්න බෑ අනුප. එක පාරක් අම්මල නිසා මිස් වෙච්ච ආදරෙ මට ආයෙම ඔයා නෙවෙයි කවුරු වෙනුවෙන්වත් මිස් කරගන්න බෑ”
“අපෙ දරුවා වෙනුවෙන්වත්?”
“බෑ”