ඔබ දකින තුරා – 1

අලුත් අංශ ප්‍රධානියා පැමිණි මොහොතේ පටන් ම කෙල්ලන්ගේ වූයේ කසුකුසුවකි. නෙත් කොන් බැලුම් හා ගිල ගන්නා සිනහවන් වල කෙළවරක් නොවිණි. මීට පෙර ගිනුම් අංශයේ හිටපු ප්‍රධානියා මැදි විය ඉක්මවා ගිය තැනැත්තෙකි. ඔහු සේවයෙන් ඉවත් වීම මත නව අංශ ප්‍රධානියා ලෙස පැමිණ තිබෙන්නේ තරුණයෙකි.

දිසත් මල්ලවාරච්චි!

දිසත් ගැලපෙන්නේ ගිනුම් අංශයට නොව නළු කමට හෝ නිරූපනයට යයි ඔහු දෙස බලන්නෙකුට පෙනේ. ඒ උසත්, උසට සරිලන මහතත්, තල එළළු පැහැයත්, තියුණු දෑසත් යන සියල්ල එක් ව ගත් කල ඔහු සැබවින් ම නිරූපකයෙකි!

අමාරසී දිසත් ගේ වීදුරු කුටියේ දොරට අත තැබුවේ දසන් දෙපෙළෙන් දෙතොල් තද කර ගෙන සිනහව යට කර ගන්නට දරනා උත්සාහයෙනි. නමුත් සිය කාර්යාලීය හිතවතියන්ගේ මුහුණු ඊට ඉඩ නොදී ඒ සිනහව පිට පන්නවන්නට හදයි. අමාරසී අසීරුවෙන් දත් ඇඳි තද කර ගෙන දොරෙන් ඇතුලු වූවා ය. දොර ළඟ සිට ම ඇය ලිපි ගොනුව දෑතින් දිසත් වෙත දිගු කර ගෙන ගිය බව ඇය ම දන්නේ නැත. වීදුරු පව්රෙන් ඇගේ නාටකීය විලාශය දෙස බලා උන් යෙහෙළියෝ මේස වල මුහුණු ඔබා ගෙන සිනහ වූහ.

දිසත් ෆයිල් එක ගන්නා ගමන් යුවතිය වෙතට යන්තම් බැල්මක් හෙළුවේ ය. ඒ තත්පරයකිනුත් හැටෙන් එකක් තරම් කෙටි කාලීන බැල්ම තුළ ඔහු ට ඇය ගැන කිසිදු තක්සේරුවකට එළඹිය හැකි වූයේ නැත. එසේ කරන උවමනාවක් ඔහු ට වූයේ ත් නැත.

“මොකද්ද මේ…”

ඔහු අත්සන දමන්නට පෙර කඩදාසියේ අග මුල විපරම් කළේ ය.

“අලුත් ෆැබ්‍රික් ස්ටොක් එකට පර්චේසින් ඕඩර් එක මිස්ට…”

අමාරසී වාක්‍යය සම්පූර්ණ නොකොට මේසය මත නාම පුවරුව සෙව්වේ ඔහු ගේ නම මේ මොහොතේ දී ඇය ට අමතක වී තිබි නිසා ය. නමුත් තවමත් අලුත් අංශ ප්‍රධානියා ගේ නම සහිත නාම පුවරුව මේසය මතට වැඩම කොට නැත.

“දිසත්”

දිසත් යුවතිය ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කළේ ය.

“අ..මිස්ට දිසත්..”

අමාරසී ඉක්මන් කොට වාක්‍යය සම්පූර්ණ කළා ය. දිසත් හිටියේ එකවර අත්සන නොදමා මඳක් ඒ මත නෙතු දුවවමිනි. ඒ අතරේ අමාරසී අලුත් ප්‍රධානියා විනිවිද බැලුවා ය. අත් දිග සුදු කමිසයක් හැඳ සිටි ඔහු ගේ කමිසයේ දිග අත වල රිදී පැහැති කෆ්ලින්ක්ස් විය. කොණ්ඩය තද කළු පාටින් දිළිසුණේ ජෙල් වර්ගයක් නිසා යයි ඇය අනුමාන කළා ය. සමස්තයක් වශයෙන් ඔහු ඉතා පිළිවෙලැති ය. මේ නළු පෙනුම නිසා කාර්යාලයේ ස්ත්‍රී පරාන ඔහු ව ගිල්ලේ නැත්නම් පුදුම විය යුතු ය.

සාක්කුවේ තිබූ රිදී පැහැති පෑන ගෙන අත්සන් කරන්නට යත්දී ය අමාරසී ඒ මුදු ඇඟිල්ලේ වූ මංගල මුදුව දුටුවේ. එකවර ඇගේ මුව මඳක් විවර විය. හඬක් නික්මෙන්නට නොදී ඕ අතකින් මුව වසා ගත්තා ය. ඔහු විවාහකයෙකි!

යුවතියට වීදුරුවෙන් එපිට මේස වල හිඳිනා සිය මිතුරියන් දෙස බැලිණ..ඔවුන් මේස ළඟ අසුන් ගත ව සිටියත් වැඩ කරනා බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඔවුන් ගේ ඇස් ගිලින්නට සෙයින් මේ වීදුරු කුටිය දෙසට යොමු වී තියේ. අමාරසී ගේ මුහුණට සිනහවක් නැගිණ. ඇය මඳක් බෙල්ල ඔසවා සිය ඇඟිල්ලක් අනිත් අතින් පෙන්වමින් “බැඳල…බැඳල” යයි හඬ පිට නොවන සේ අභිනයෙන් කීවා ය. ඒ වෙලාවේ ඇගේ මුහුණේ ඉරියව් බලන්න වටින ඒවා ය. ඇය මූණත් කටත් ඇසුත් හදා ගෙන සිටියේ බරපතල ශෝක පණිවිඩයක් ප්‍රකාශයට පත් කරන්නා සේ ය.

ඒ මොහොතේ දිසත් හිස ඔසවා ඇය දෙස බලා සිටිනා බවක් අමාරසී සිහිනයෙන් හෝ නොදැන සිටියා ය. ඇය කී දේත් ඇය ඇඟිලි වලින් පෙන්වූ දේත් ඔහු හොඳින් ම වටහා ගත්තේ ය. අත්සන යොදා ෆයිල් එක නවා යුවතිය වෙත දිගු කරන ගමන් දිසත් තනිව සිනහ වූයේ ය. නමුත් අමාරසී ඔහු දෙස බලන්නට පෙර ඒ සිනහව සඟවා ගන්නට ඔහු ට හැකි විය.

“තෑන්ක් යූ මිස්ට දිසත්”

කියමින් දෙතොල් තද කර ගත් සිනහවකින් ඔහු අතින් ෆයිල් එක ගත් යුවතිය ඉතා ඉක්මන් ගමනකින් වීදුරු කාමරයෙන් නික්මුණා ය. ඇගේ අඟල් දෙකක් පමණ උසැති පාවහන් ටයිල් බිම මත වදිනා ටක ටකස් හඬ ටික වෙලාවක් යන තුරු ඔහු ට ඇසෙමින් තිබිණ.

ෆයිල් එක ද ගෙන ගිනුම් අංශය වෙත ගිය අමාරසී යෙහෙළියක ගේ මේසයට බර වී ගෙන ‘බකස්’ ගා සිනහව මුදා හැරියා ය.

“ඇත්තටම බැඳලද..”

“බොරු නේද…”

“ඒකනං වෙන්න බෑ”

“හැබැයි බැන්දට පස්සෙ තමයි කොල්ලො ඔය තරං හැන්ඩ්සම් වෙන්නෙ”

“වයිෆ්ට ගාඩ් කෙනෙකුත් එවන්න වෙයි වගේ…මෙයාව මුර කරන්න”

අමාරසී වට කර ගත් කෙල්ලෝ සේ ම විවාහක තරුණියෝ ද එක එක දේවල් කීවෝ ය. ඒ අතරේ ඇත්ත බිඳ හෙලන්නට කෙරෙනා කෙස් පැලෙනා තර්ක ය.

“මේ…රසී…ඒත් මුද්දක් දැම්මයි කියල අපිට හරියටම කියන්න බෑනෙ බැඳලයි කියල”

“ආ…බැන්දහමනෙ ඒ ඇඟිල්ලට මුදු දාන්නෙ”

“අපල වලටත් මුදු දානවනෙ”

“මුදු ඇඟිල්ලට…”

“මේකි දැම්මම අපේ හිත් කඩන්න කියපු පට්ට බොරුවක්ද දන්නෑ”

අමාරසී හඬ නගා හිනැහුණා ය. ඈ හිනැහුණේ මුහුණ මඳක් ඉහලට හරවාන ඇස් දෙකත් වසා ගෙන වාගේ ය. චොක්ලට් දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වන ලද ඇගේ සේද කොණ්ඩය නිතඹ තෙක් හැලී තිබිණි. දිසත්, මේසය මත ගසා ගත් වැලමිට ඇතිව අතැඟිලි වලින් නිකට පිරිමදිනා ගමන් ඒ ලස්සන ඉරියව්ව දෙස මඳක් බලා සිටියේ ය. ඇය දඟකාර කෙල්ලක බව පෙනේ.

“යකෝ මුං පිරිමි දැකල නෑ වගේනෙ”

ගෑනු ළමයෙකු ගේ මේසය මතින් හිඳ ගෙන කකුලක් පිට කකුලක් දමා ගන්නා ගමන් නිරෝෂන් කීවේ ය.

“දැකලනං තියෙනව”

දිලිනි වහා කීවා ය.

“ඔයාල වගේ පිරිමි”

ඇය ඌන පූර්ණය කරත්දී කෙල්ලෝ සමච්චලයට සිනහ වූහ. නිරෝෂන් ආ මතින් කකුල බිමට තබා යන්නට සූදානම් වූයේ ය.

“දැං උඹල හිතන් ඉන්නෙ අපිට නැති මොකක් හරි අමුතු කෑල්ලක් බොසාට තියෙනව කියලද…හනේ බං..”

ආවාට වැඩි වේගයෙන් ඔහු එතැනින් යන්න ගියේ ය. ගෑනු ළමයි සිනහව තද කර ගෙන තම තමන් ගේ කටයුතු දෙස බලා ගත්හ. අමාරසී ද පරිගණක තිරය වෙත නෙතු ඔබා ගත්තා ය.

පිරිමින් ගැන පොතක් ලියන්නට තරම් කාරණා ඇගේ හිතේ වේ. මෙහෙම සිනහ වී සිටියා ට ඇය වූ කලී ප්‍රේම කතා දෙකක කඳුළු පැල්ලම් හදවතින් දරා ගත් කෙල්ලකි. ඒ පිරිමින් දෙදෙනා දෙ ආකාර ය. පළමු පෙම්වතා ඇය ව අත්හැරියේ ඔහු නතර ව සිටියදී ඇය තෝරා ගත් ක්ෂේත්‍රයෙහි ඉදිරියට යන්නට වූ නිසා ය. ඔහු ට ඕනෑ වූයේ ඔහු ගේ මට්ටමින් නතර කර ගත හැකි සහකාරියකි. කොටින් ම ඇය ලෝකය දිනිය යුතු නැත. ගෙදරත් කුස්සියත් කලමනාකරණය කර ගන්නට දත හොත් ප්‍රමාණවත් යයි ඔහු සිතුවේ ය. මේ නිසා ම අමාරසී ඉහළට ඉගෙන ගැනීම හෝ වෘත්තීය මට්ටමෙන් ඉහලට යාම ඔහු රිස්සුවේ නැත. ඇය ඇසුරු කරනා හැම පිරිමියෙකු ම සැක කිරීම ඔහු ගේ සාමාන්‍ය පුරුද්දක් වූ අතර, මේ ආකාරයට පිරිමින් පාවා දීම ඇයට මහත් වෙහෙසකර හිසරදයක් විය. ඒ සම්බන්ධතාවය තුළ දී ඇය වැඩිපුර සිටියේ හැඬූ කඳුළෙනි. හැමදාමත් රණ්ඩු ය. හිත් රිදීම් ය. වද දීම් ය. අන්තිමට ඒ අප්‍රසන්න සම්බන්ධය තුල තවත් දුක් නොවිඳින්නෙමැයි ඇය තදින් තීරණය කළා ය. නමුත් ඒ ප්‍රේමවන්තයා එහෙම පහසුවෙන් ගැලවී යන්නට ඇය ට ඉඩ දුන්නේ ද නැත. ඒ සියල් එපා වීම් ද සමගින් ඇයට හිත හදා ගන්නට දෙතුන් වසරක් ගත විය.

ඊළඟ සම්බන්ධය ඒ තරම් කාලයක් පැවතුනක් නොවේ. ඔහු ට ඕනෑ වූයේ ඇය ව ලැගුම් හල් ගිමන් හල් වෙත කැඳවා ගෙන යන්නට යයි දැනුණ ගමන් ඕ ඔහු ව මගහැරියා ය.

“කාල බලල පිරිමි තෝර ගන්න තිබුණනං එහෙම කරනව. ඒත් මුංව කෑවොත් විස වෙලා මැරෙන්නෙ අපිමයි”

ඉන් පසු අවස්ථා ගණනාවකදී ම ඈ සිය සමීප හිතවතියන් ට කීවා ය. කාර්යාලයේ එකට වැඩ කරනා පිරිමින් ගේ සමහර චීත්ත ගති දකිනා කල, පිරිමින් කෙරේ අමාරසී ගේ කලකිරීම දෙගුණ තෙගුණ වේ. ප්‍රේමය ගැන පිරිමින් තුළ සැබවින් ම පවත්නා අවංක හැඟීම කුමක් දැයි දැන ගන්නට, ඉඩක් ලැබෙනා අවස්ථා වල ඇය ඔවුන් ව කතාවට අල්ලා ගනී. අසභ්‍ය වචන කීම පිරිමින් ගේ ඇය දකින්නට අකමැති ම අප්‍රසන්න ලක්ෂණයකි. නමුත් බොහෝ පිරිමින්ගෙන් ඇය දැක ඇති පරිදි ඔවුන් නිතරම, අනවශ්‍ය අවස්ථා වලදීත් අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ ඒ මහත් වීර කමක් සේ සලකා ගෙන ය.

විවාහක වේවා අවිවාහක වේවා ගැහැනු ළමයින් ගේ ශාරීරික අංග අල්ලා ගෙන ඔවුන් කරනා අනවශ්‍ය විහිළු, අමාරසී අකමැති තවත් දෙයකි. ඒ හා සම්බන්ධ තවත් පිළිකුල දනවනා කරුණක් වන්නේ නිල් චිත්‍රපට හා අසභ්‍ය දර්ශන ගැන ඔවුන් ගේ වන උනන්දුවයි. විවාහක ස්වාමි පුරුෂවරු පවා මේ දර්ශන කෙරේ දැක්වූයේ ජුගුබ්සාවක් බව ඔවුන් ගේ කතා බහට කන් දෙන ඇතැම් අවස්ථා වල අමාරසී ට දැනේ.

ඇය ට අනුව නම් ලිංගික සම්භෝගයක් වූ කලී කුණුහරුපයක් නොවේ. එය වනාහි ස්ත්‍රියක හා පුරුෂයෙකු ගේ ප්‍රේමයේ උච්චතම අවධියකි. එතැන මිහිරි උණුහුම් සුන්දරත්වයක් මිස අසැබි පිළිකුලක් තිබිය නො හැකි ය. මේ තරම් ලස්සනට සොබා දහම විසින් මවා දී ඇති ජීවිතය රසවත් ව විඳ ගන්නට බොහෝ පිරිමින් අසමත් ඇයි දැයි විටෙක ඕ තනි ව සිතුවා ය.

“ඔයාගෙ හිතේ ඉන්න ජාතියෙ පිරිමි මේ ලෝකෙ නෑ රසී.  මං හිතන්නෙ දිව්‍ය ලෝකෙත් නැතුව ඇති”

කාර්යාලයේ යෙහෙළිය දිලිනි වතාවක් පිරිමින් ගැන කතාවක දී අමාරසී ට කීවා ය.

“හ්ම්. මාත් හිතනව. ඒත් මගෙ හිතේ ඉන්නව. මන්දා ඇත්ත ලෝකෙදි එහෙම කෙනෙක් හම්බ වෙයිද කියල. හම්බ නොවුණත් මං දන්නව ඒ හිතේ ඉන්න කෙනාට හිටතං ලව් කර කර ඉන්න පුළුවන් මට”

“කසාදයක් බඳිනකල්”

දිලිනි එසේ කීවේ අමුතු සිනහවකිනි.

“ආදරෙයි කසාදයයි කියන්නෙ කවදාවත් එකට යන දෙකක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. කසාදෙ කියන්නෙ යථාර්තයක්. ඒක ප්‍රශ්න ගොඩක්. තිත්ත බෙහෙතක්. ආදරේ කියන්නෙ මායාවක්. ඒ මායා ලෝකෙ ඉන්න පුළුවන් ආදරේ ආදරේ හැටියට ස්වාධීනව තියෙනකල්. කසාදෙ කියන යථාර්තයෙ ගැටෙද්දි ආදරේ ජාන විකෘති වෙලා යනව. එතනිං එහාට ඒ ගැන කතා කරල වැඩක් නෑ”

දිලිනි සිය විවාහ ජීවිතය තුළින් ලත් අත්දැකීම් ඇසුරෙන් කියනා ඒ කතා, අමාරසී අසා ඉන්නේ කටත් ඇර ගෙන ය. දිලිනි කියනා ලෙසට විවාහය තුළදී ආදරය කියා දෙයක් එහි සැබෑ ස්වරූපයෙන් හමු විය නො හැකි එකේ, විවාහයට පිටත දී ද ඔය කියනා ආදරය හැබැහින් හමු වී නැති එකේ, හිතේ තියෙනා මේ මායාමය ආදරය කොහෙන් විත් හිතේ පැළ වූවක් ද කියා අමාරසී දන්නේ නැත. ඇය දන්නේ සිය හද මැදුරෙහි එවන් ආදරයක් තිබෙනා බව පමණකි. එහෙව් ආදරවන්තයෙකු හිඳිනා බව පමණකි.

“අර මනමාලයට රසී බලන්න එන්න කියන්නද කියල නංගි අහනව”

හවස ගෙදර ගොස් දිය නා ගෙන විත් තේ කෝප්පයක් තොල ගාන්නට ගත් විට අම්මා – නිර්මලා අමාරසී ළඟට විත් ඇයට ඇසෙන සේ කීවා ය. අමාරසී ගේ නංගී ද විවා පත් ව දෙවසරකි. දැන් ඇයට අවුරුද්දක් වයසැති පුතෙකු ද සිටී. එහෙව් එකේ වැඩිමල් ගෑනු දැරිවි ගෙදරට වියපත් වන එක ගැන නිර්මලා ගේ හදෙහි වන්නේ ගින්දරකි. කෙතෙක් කීව ද අමාරසී එය තේරුම් ගන්නේ නැත.

“මං බඳින්නෑ අම්මෙ. කවදහරි මට හිතුණොත් විතරක් බඳිනව”

පිරිමින් කෙරේ කලකිරීමෙන් ඈ නිතර ම කීවේ එසේ ය. විටෙක මනාලයන් ගැන කතා කරත්දී ඇය අම්මා ට කෑ ගසා ද තිබේ. ඒ නිසා ම නිර්මලා මේ කටයුත්ත ගැන කතා කරන්නට ගත්තේ ප්‍රවේසමෙනි.

“එයාට ඕන හැටියට නටන්න දීල බෑනෙ. අම්ම තදින් කියන්න”

බාල දියණිය පබා මේ වතාවේ අම්මාට ද දොස් කීවා ය. අම්මලා ට හැම පැත්තෙන් ම තැලෙන්නට සිදු වේ. බැණුම් අහන්නට සිදු වේ.

වෙනදා සේ කෑ කෝ ගසා ගෙන අම්මා ගේ ඇඟට ගොඩ වෙන්නට අමාරසී ට උනන්දුවක් වූයේ නැත. ඇය මඳ වෙලාවක් නිහඬව හිඳ සිය තීන්දුව දුන්නා ය.

“බලන්න එන්න දෙයක් නෑ. මං කැමතියි”

“කැමතියි කිව්වෙ…”

නිර්මලා වැඩිමල් දියණිය දෙස බැලුවේ වික්ෂිප්ත ව ය.

“කැමතියි කිව්වෙ බඳින්න. අම්මලට ඕන දවසක් දා ගන්න”

ඇය නැගිට කාමරයට ගියා ය.

“ඒත් ඉතිං මනමාලයව බලල එපැයි කැමති වෙන්න”

නිර්මලා තනි ව මිමිණුවා ය. ඇය ට අමාරසී ව තේරෙන්නේ ම නැත.

“මොනා බලන්නද….ඔය කවුරුත් එකයි”

අමාරසී යහනේ පෙරළුණේ එසේ සිතමිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content