“සිංහල ජනතාවට නායකත්වය දෙන පාලකයින් විනාශ වේවා.. සිංහල ජාතිය, පිටස්තර ජාතීන්ගේ ආක්‍රමණයන් ගෙන් විනාශ වේවා.. මේ රටේ සිංහලයාගේ අපේකම, ලේ බැඳීම නැතිවේවා..එකාට එකා කා කොටා ගනිල්ලා.. ලංකා පොලෝ තලය මැදින් දෙකඩ වී මුහුදේ ගිලීයන්..ලංකාවේ බුද්ධිය හීන වූ ජාතියක් ගොඩනැගීයන්.. මුහුදු විපත්, සුළං විපත්, වර්ෂාවෙන් විපත් ලැබේවා..සුව කළ නොහැකි ලෙඩ දුක් වහ වහා පැතිරේවා..මහ මුහුදේ පාවෙන ලී දණ්ඩක රළ පාරට අහුවෙලා තැන තැන ගසාගෙන ගොස්, ගිලෙමින් යනවා ලෙසින් කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන් ලංකාවේ බිහිවේවා..”
මේ මොනවද ?
මේ තමන්ගේ ආදරය, පරිත්‍යාගය සහ කැපකිරීම් වලට වටිනාකමක් නොදී ඇයව ප්‍රතික්ෂේප කිරීම නිසා කුවේණී විසින් ශ්‍රී ලංකාවාසීන්ටත් ශ්‍රී ලාංකීය රජවරුන්ටත් කල ශාපයන් වල විවිධ ස්වරූපයන් ලෙස තමයි විශ්වාස කරන්නෙ.
ඇත්තටම මේ වර්තමාන ලංකාවෙ තත්වය නෙමෙයිද ? ඔබටත් එහෙම හිතුනද ?
එතකොට ශාපයන් ඇත්ත වෙනවද ?
ඒ ශ්‍රී ලංකාවෙ අපිට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි.
විවිධ අවස්ථාවල විවිධ හේතු නිසා මේ ප්‍රශ්නය ලෝකය පුරා කතාබහට ලක්වුනා.
ඒ විදිහෙ ප්‍රශ්නයක් ඇති කරන්න මූලික වුන ලොව කැළඹූ ශාප 05 ක් ගැන ඔබත් එක්ක විස්තර බෙදාගන්නයි අපේ මේ සූදානම.
ටූටන්කාමන් රජතුමාගේ ශාපය (King tut’s curse)
වර්ෂ 1923 පෙබරවාරි මාසයේ දිනක බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායමක් 14 වන සියවසේ ජීවත් වුන ඊජිප්තු පාරාවෝවරයෙකු වෙන ටූටන්කාමන් රජතුමාගෙ සොහොන් ගර්භය විවෘත කරනු ලැබූවා.
ඊට සති දෙකකට පසුව සිට බැක්ටීරියා ආසාදන සහ වෙනත් විවිධ පැහැදිලි කල හැකි වගේම අහඹු සිදුවීම් නිසා මේ කණ්ඩායමට අනුග්‍රහය දැක්වූ ව්‍යාපාරිකයාගෙ සිටම එක් එක් සාමාජිකයන් වරින් වර මියගියා.
බ්‍රිතාන්‍ය පුවත්පත් මේ මරණ සිදුවන සෑම අවස්ථාවකම එය ටූටන්කාමන් රජතුමාගෙ සොහොන් ගර්භය විවෘත කිරීම සහ එහි තිබූ විවිධ සම්පත් පිටතට ගෙන ඒම නිසා ඔවුන් මමී ශාපයට ලක්වී ඇති බවටයි වාර්තා කරේ.
මේ ශාපයේ කතාබහ කොතරම් දුර දිග ගියාද කියනවානම් එය ටයිටැනික් නෞකාව අනතුරට පත්වීම දක්වාම පැමිණියා.
අනතුරට පත් ටයිටැනික් නෞකාවේ ඒ සොහොන් ගර්භයේ තිබී හමුවූ මමියක් ප්‍රවාහනය කල බවත් ඒ නිසා නෞකාව සහ එහි ගමන් කල පුද්ගලයන් ශාපයේ ගොදුරු බවට පත්වූ බවත් සඳහන් වුණා.
මේ ශාපයේ කතාව විශ්වාස අවිශ්වාස කිරීම කෙසේ වෙතත් එය පදනම් කරගනිමින් The mommy වැනි චිත්‍රපට ද නිෂ්පාදනය වුණා.
පෝලන්ත රජුගේ සොහොනේ ශාපය (The Curse of the Polish King’s Tomb)
1973 වර්ෂයේදී පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායමක් විසින් ක්‍රකෙව් හි පිහිටි 15 වන සියවසේ විසූ පෝලන්ත පාලකයෙකු වන 4 වන කැසිමිර් ජැගිලොන්ගේ සොහොන් ගර්භය විවෘත කරනු ලැබූවා.
ටූටන්කාමන්ගේ සොහොනේ ශාපය වැනි ශාපයක් මෙහිදීද ක්‍රියාත්මක වනු ඇතැයි සමහර මාධ්‍ය මේ සොහොන් ගර්භය විවෘත කිරීමට පෙර අදහස් ප්‍රකාශ කලත් මේ ගවේෂක කණ්ඩායම එය හාස්‍යයෙන් ප්‍රතික්ෂේප කරා.
නමුත්, සොහොන විවෘත කර ටික වේලාවකට පසු ගවේෂක කණ්ඩායමේ සාමාජිකයින් එකිනෙකා මියයද්දී ශාපයේ කතාව ගැන නැවත වරක් මිනිසුන් අතර කතාබහක් වගේම බියක්ද පැතිර ගියා.
ටූටන්කාමන්ගේ ශාපය මෙන් මේ ශාපයේ කතාව වැඩි කාලයක් නොපැවතුනේ මේ මරණ වලට හේතුව ලෙස ඉතා දීර්ඝ කාලයක් වසා තිබූ මේ සොහොන් ගර්භය විවෘත කරන විට එහි පැවති පෙණහළු රෝග ඇතිකරන මාරාන්තික දිලීරයක් විශේෂඥයින් විසින් සොයගත් නිසයි.
හෝප් දියමන්තියේ ශාපය (The Hope Diamond Curse)
ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ස්වභාවික ඉතිහාසය පිළිබඳව ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ දැනට තැම්පත් කර ඇති හෝප් දියමන්තියේ වටිනාකම ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක් බවයි සඳහන් වෙන්නෙ.
නමුත් මෙම වටිනා මෙන්ම ඉතාම අලංකාර දියමන්තිය පිටුපස සැඟවුනු ශාපයක් පිළිබඳව කතාවක් අදටත් පවතිනවා.
වර්ෂ 1660 දි ප්‍රංශ මැණික් ව්‍යාපාරිකයෙකු වන ජීන්-බැප්ටිස්ට් ටවර්නියර් ඉන්දියාවේ සංචාරයකදී නොදන්නා සම්භවයක් ඇති මෙම විශාල දියමන්තියක් මිලදී ගත් අතර පසුකාලීනව ඔහු විසින් හින්දු දිව්‍යාංගනාවකගේ ප්‍රතිමාවකින් මෙම දියමන්තිය සොරාගත් බවට කතාවක් පැතිර ගියා.
කෙසේ නමුත් සොරකමට සම්බන්ධ ඉන්දියානු වැසියන්ගෙන් සමහරක් බල්ලන් සපාකෑම් නිසා මියගිය බවටත්, කකුල් වල දරුණු රෝගාබාධ ඇතිවූ බවටත්, සුවකල නොහැකි රෝගාබාධ වලට ලක්වූ බවටත් මත පැතිර ගියා.
එසේම, පසුකාලීනව ටවර්නියර්ගෙ ව්‍යාපාර සියල්ල බංකොලොත් වූ බවටත් පවුල් ජීවිත අවුල් වී ඉතා පිරිහීමට ලක්වූ බවත් වාර්තා වුනා.
මෙසේ අයිතිකරුවන් ගණනකට අවාසනාව සහ අභාග්‍ය ගෙනදුන් මේ දියමන්තිය 1839 දී ලන්දේසි දියමන්ති ව්‍යාපාරිකයෙකු වන හෙන්රි පිලිප් අතට පත්වුනා.
ඔහු විසින් මේ දියමන්තියට හෝ ලෙස නම් ලබා දුන්නා.
ඉන්පසු මේ දියමන්තිය ප්‍රංශ ව්‍යාපාරිකයෙකු වන පියරේ කාටියර් අතට පත්වූ අතර තවත් පිරිසක් විශ්වාස කරේ මේ දියමන්තියට වැඩි වටිනාකමක් ලබා දීමට ඔහු මේ දියමන්තිය ශාපයට ලක්වී ඇතියැයි පිළිබඳ කටකතා පැතිරවූ බවයි.
කෙසේ වෙතත් අවසානයේදී, මේ දියමන්තිය ඔහු විසින් ඇමෙරිකානු උරුමක්කාරියක් වන එව්ලීන් වොල්ෂ් මැක්ලීන් වෙත අලෙවි කර අතර ශාපයේ කතාවට අත්තටු ලබාදෙමින් ඇයගේ දියණිය තරුණ වයසේදීම සියදිවි හානිකරගත්තා.
එව්ලීන් මැක්ලීන්ද ඉතා කෙටි කලකට පසුව මියගිය අතර ඉන්පසු මේ දියමන්තිය ඇමරිකාවේ ජාතික කෞතුකාගාරයක් භාරයේ අදටත් පවතිනවා.
මැක්බෙත්ගේ ශාපය (The Curse of Macbeth)
නාට්‍ය ලෝකය තුළ වාසනාව සහ අවසනාව පිළිබඳ අපි නොදන්නා විවිධ විශ්වාස පවතින බව ඔබ නොදන්නවා ඇති.
නළුවන්ට සුභ පැතීම නළුවන්ට අවාසනාව ගෙන එන බැවින් ඒ වෙනුවට කකුලක් කඩා දමන්න ලෙස පැතීමක් නාටය ලෝකය තුළ පවතිනවා.
කොහොම වුනත් මැක්බෙත් නාට්‍ය මුලින්ම රූගත කල දිනට පෙර දින එහි මැක්බෙත් ආර්‍යාවගේ චරිතය රඟ දැක්වීමට නියමිතව සිටි නළුවා මියගිය නිසා එම නාට්‍ය ශාපයට ලක්වී ඇතිබව කටකතාවක් පැතිර ගියා.
ඒ නිසා ශේක්ෂ්පියර් නාට්‍ය වලදී මැක්බෙත් යන නම භාවිතා කිරීමෙන් වැළකී සිටීමට අදටත් නාට්‍ය කණ්ඩායම් කටයුතු කරනවා.
නාට්‍ය වල විවිධ අනතුරු සිදුවීම සුලභ වුනත් වසර 400 ක කාලයක පටන් මැක්බෙත් නාට්‍යයේ සිදුවන අනතුරු වලට හේතුව මෙම ශාපය ලෙස විශ්වාසයක් පවතිනවා.
ටොකුම්සේගේ ශාපය (The Tecumseh’s Curse)
20 වන ශතවර්ෂයේ මැද භාගයේදී, එක්සත් ජනපද මාධ්‍ය විසින් ඇමෙරිකාවේ ජනාධිපතිවරුන්ගේ මරණවල රටාවක් පිළිබඳවා වාර්තා කිරීම ආරම්භ කරනවා.
විලියම් හෙන්රි හැරිසන්ගෙන් පටන් ගෙන ජෝන් එෆ් කෙනඩිගෙන් අවසන් වන තෙක්ම සෑම වසර 20කට වරක්ම එම ධූරයේ සිටියදීම මියයන ජනාධිපතිවරයකු පත්වූ බව ඔවුන් වාර්තා කළා.
හැරිසන්, ඒබ්‍රහම් ලින්කන්, ජේම්ස් ඒ. ගාෆීල්ඩ්, විලියම් මැක්කින්ලි, වොරන් ජී, හාඩින්ග්, ෆ්‍රෑන්ක්ලීන් ඩී, රුස්වෙල්ට් සහ ජෝන් එෆ්. කෙනඩි යන ජනාධිපතිවරුන් මෙම ලැයිතුවට ඇතුළත් වුනා.
මේ මරණ වලට හේතුව ලෙස ස්වදේශික භූමි අත්පත් කර ගැනීම සහ ස්වදේශික ජනතාවට කල නින්දා, අපහාස, හිංසාපීඩා වලට එරෙහිව ඇමෙරිකානු හමුදාව සමඟ කල සටනකදී එය මෙහෙයවූ ස්වදේශික නායකයෙකු වන ටෙකුම්සේගේ ශාප කිරීම බව තමයි විශ්වාස කරන්නෙ.
මේ ස්වදේශික නායකයා සිය භූමිය නැවත අත්පත් කිරීමට මෙහෙයවූ තවත් සටනකින් මියගියා.
ශාපයන් ලෙස හඳුන්වන්නෙ පැහැදිළි හේතු සොයාගැනීමට අසමත්වීම් හෝ ගවේෂන වලට මුවාවී කල අපරාධ වලට සමාව ගැනීම් ලෙසත් සමහරු හඳුන්වනවා.
ඔබ හිතන්නෙ කොහොමද ?