සියක් සියපත් 05

මදිරා ලැප් ටොප් පරිගණකය ඔස්සේ නරඹමින් සිටි ටෙලි කතාව අතැඟිල්ලකින් නතර කොට සදාතන දෙස බැලුවා ය. ඇගේ මූණ මඳහසකින් හැඩ වී මලක් සේ පිබිදී තිබිණ. මීට මොහොතකට පෙර සදාතන විසින් අසනා ලද පැනයට වාචික පිළිතුරක් නොවී ද, ඇගේ වත මත වන සිනහව නිහඬ පිළිතුරක් සේ ය.

“මොනාද බලන්නෙ අක්ක…”

සදාතන වඩාත් ආදරණීය වෙමින් විමසුවේ ය. මදිරා මල්ලිගේ අතක් අල්වා ගත්තා ය. පහු ගිය කාලය පුරා ම නොවූ උණුහුමක් මේ මොහොතේ ඒවායේ වන බව දැනී සදාතන ගේ හදවත ද උණුහුම් විය.

“කොරියන් ලව් ඩ්‍රාමා එකක්. මේ සියපත් මං වගේම ලව් ස්ටෝරි පිස්සියක්. මෙයා කියෝල තියෙන තරං නවල්ස් මං කියෝල නෑ. සියපත් රස කර කර කියපු නවල් එකක ස්ටෝරි එකක් අහල මටත් ආයෙත් නවල්ස් කියවන්න හිතුණ”

සදාතන ට සැනසුම් සුසුමක් හෙළිණ. අක්කා යළිත් ජීවිතයේ සතුට සතුටෙන් පිළි ගන්නට සූදානම් වෙන බවට ඉඟි පහළ වෙමින් තිබේ. සනාතන කීවා සේ මේ කෙල්ල යනු දෙවියන් විසින් මේ ගෙදරට එවනා ලද කිලිණයක් යයි ඔහු ට සිතිණ.

“ඔන්න ඔහොම හිනා වෙලා සතුටෙන් ඉන්න ඉස්සර වගේ. අපිට හරි පාළුයි. ඉස්සර හිටිය ඔයා නැතුව”

සදාතන ඒ වචන මිමිණුවේ ඉතා හෙමිහිට ය. සියපත් ට නෑසෙන තරමට ය. ඇය ඉදිරියේ එහෙව් කතාවක් නො කියා ඉන්නට හැකි වී නම් ඔහු එහෙම කරනු ඇත. නමුත් මේ ක්ෂණික සතුට හිර කර ගන්නේ නැතිව ඒ ස්වභාවයෙන් ම අක්කා ඉදිරියේ නිරාවරණය නොකර ඉන්නට ඔහු ට නො හැකි විය. මදිරා අතක් දිගු කොට සදාතන ගේ කම්මුලක් පිරිමැද්දා ය. ඇගේ උගුර හිර වී ඇස් වලට කඳුළක් කාන්දු වන්නට ගත වූයේ නිමේශයකි. කඳුළ වුණත් මෙතෙක් කල් ගල් ගැසී තිබුණාද කියා එකෙනෙහි ඇයට සිතිණ. සිය කොපුල මත වූ අක්කාගේ අත ගෙන සදාතන ඒ සිප ගත්තේ ය.

දැන් කොල්ලන් දෙන්නා ඉස්සරට වඩා බෙහෙවින් කඩවසම් යයි මදිරා ට හදිසියේ ම සිතිණි. ඇය ආදරයෙන් සිප ගත් කොපුල් රැවුල් කොට වලින් ගහන ය. ඔවුන් තවත් උස ගිහින් දැයි ඇයට සිතුණ තරමි. සිඹ සිඹ තුරුලු කොට ගෙන උන් මල්ලිලා දෙන්නා හිටි හැටියේ ඇගේ තුරුලෙන් ගිලිහුණ එක ගැන මදිරා තුළ වන්නේ දරා ගත නො හැකි සංවේගයකි. පොඩි උන් කාලයේ පටන් ඔවුන් දෙන්නා බලා කියා ගත්තේ ඈ ය. නමුත් දැන් ඔවුන්ට ඇය බලා ගන්නට සිදුව තිබේ.

මදිරා ගේ හිස සිප ගත් සදාතන අසුනෙන් නැගිට ගත්තේ සියපත් දෙස බලා ඉවත බලමිනි.

“ඔයාගෙ ට්‍රාන්ස්පෝට් එක හරි නේද…”

ඔහු එය ඇසුවේ තමන් ගෙන් දැයි විශ්වාසයක් නැතිව සියපත් තරමක් අසරණ වූවා ය. ඔහු කියන්නේ කුමන ට්‍රාන්ස්පෝට් එකක් ගැන ද කියා හෝ ඇයට සිතා ගත හැකි වූයේ නැත. ඒ නො තේරුම් බැල්ම ඔහු බැල්මකින් හැඳින ගත්තේ ය.

“ඇයි උදේ සනාතන කිව්වෙ නැද්ද..”

“න්…නෑ සර්…”

“හරි මං බලන්නං”

කියමින් ඔහු බරට අඩි තබා කාමරයෙන් නික්ම ගියේ ය. ඒ බර සපත්තු අඩි හඬ ඩොක් ඩොක් ගාමින් පපුව මතින් ඇවිද යන සෙයක් සියපත් ට දැනිණ.

“ඔයාට තාම මගෙ මලයණ්ඩිල දෙන්නව අඳුරගන්න බෑ නේද…”

මදිරා මඳහසින් විමසූයේ සියපත් තවමත් පපුව අතුළෙන් නැගෙනා සපත්තු හඬට කන් දී ගෙන වැසී ගිය දොර දෙස බලා සිටියදී ය. මදිරා ගේ හඬින් ඇය වහා ඇස් වලින් සිනහ වූවා ය.

“මේ සදාතන”

“මට අඳුරන්න පුළුවං”

සියපත් ගේ හඬේ මඳ සබකෝලයක් තැවරී තිබිණ.

“සනාතන සර් හරි ෆ්‍රෙන්ඩ්ලි. කාලෙක ඉඳං දන්න කෙනෙක් වගේ කතා කරනව. ඔයා වගේමයි වෙන්නැති ගතිගුණ. ඒත් මේ සර් ටිකක්…වසද නපුරුද ආඩම්බරද…අනේ මන්දා”

“ඔය අයිඩියා එක අරං තියෙන්නෙ හරියටම. ඒත් සදාතනගෙ නපුරු කමක්වත් වසක්වත් නෑ. එයා පොඩි කාලෙ ඉඳංම හරි ලැජ්ජයි. ලොකු වෙනකොට ඒ ලැජ්ජාව ආඩම්බරයක් වගේ පේන්න ගත්තද කොහෙද…ඒ වුණාට ඒකාට තියෙන්නෙ පුදුම හිතක්…පුදුමම හිතක්…”

මදිරා මොහොතකට ඇස් පියාන සිය අතීතයට වී සිටියා ය. 

“මං ඒ ට්වින්ස්ල කියල කිව්වෙ නෑනෙ ඊයෙ. දැන් ඔයා ඒගොල්ලො වෙන් කරල අඳුරගන්නත් දන්නව. එහෙම තමයි සියපත්..කවුරුවත් කියනවට වඩා තමුංම දේවල් තේරුං ගන්න එකයි වටින්නෙ”

පොහොසත් ගෙවල් ඇතුළේ වෙසෙනා මිනිසුන් ගේ ජීවිත වල ආදරයක් කියා දෙයක් නැතැයි සියපත් අසා තිබුණා ය. නමුත් ඒ මොන තරම් මුසාවක් දැයි දැන් ඇගේ ඇස් ඉදිරිපිට ප්‍රත්‍යක්ෂ වී තිබේ. 

එදා දවස ගෙවී ගියේ පෙර දාට වඩා ඉක්මනින් කියා සිතෙනා තරමි. සියපත් කහවණුගොඩ මැදුරෙන් නික්මෙන්නට යන විට සනාතන හෝ සදාතන පේන්නට හිටියේ නැත. නමුත් ඇය මිදුලට බසිනා විට ම ඇය වෙතට සිනහවකින් සංග්‍රහ කරමින් රියදුරෙකු රිය දොරක් හැර ගෙන සිටියේ ය.

“නගින්න මිස්”

සැබවින් සියපත් ට වැටහුණේ නැත. ඇය පිටුපස හැරී බැලුවේ ඒ වෙන කෙනෙකු වෙනුවෙන් කළ ආරාධනයක් ද කියා සැක හැර දැන ගන්නට ය. නමුත් වෙන කිසිවෙකු පෙනෙන්නට හිටියේ ද නැත.

“මිස්ව ගෙදරට ඩ්‍රොප් කරන්න මට තමයි පැවරුවෙ සදාතන සර්. නගින්න මිස්”

“අනේ ඉතිං…මට බස් එකේ යන්න පුළුවන්නෙ”

“ට්‍රාන්ස්පෝට් එකක් දාල තියෙද්දි මොකට බස් වල කට්ට කනවද මිස්. නගින්න. මිස් මට පාර කියන්න”

බස් වල කන්නට වෙන කට්ට ගැන කතාව නම් ඇත්ත යයි සිතමින් ම, සිහිනයකින් සේ සියපත් රියෙහි පසුපස අසුනට ගොඩ වූවා ය. ඒ වාගේ සුවපහසු රියක ගෙදර යන්නට හැකි වෙතැයි කෙසේ සිතන්න ද? හවස සදාතන කී ට්‍රාන්ස්පෝට් කතාව කුමක් දැයි ඇයට ටික ටික නිරවුල් වන්නට විය. 

“මිස් අලුතෙන් නේද මෙහෙට ඇවිත් තියෙන්නෙ…”

රියදුරා ඕපාදූපයකට ලක ලැහැස්ති වූයේ ය. සියපත් සන්සුන් සිනහවක් පෑවා ය. 

“මට ආරංචියි. මදිරා මිස්ව ගොඩ දාගන්න මේගොල්ලො මාර විදිහට වලිකනව මිස්. එක අතකට අපරාද සල්ලි. තේවතු කාරයන්ට සල්ලිනං ඉතිං නතිංනෙ මිස්. හැබැයි අපිට පඩි වැඩි කරන්න කිව්වොත්…අන්න අරහෙ ආයෙත් වත්තක යූනියන් එකක් ස්ට්‍රයික් කරන්නත් ලෑස්තිලු”

සියපත් ඊටත් කළේ සිනහවක් පානා එක පමණකි. මිනිසුන් කොයි තරම් යහපත් වී ද අනිත් මිනිසුන් ඒ බව පිළිගන්නට සූදානම් නැත. විශේෂයෙන් ම ළඟ වටාපිටාවේ සිටින්නන්ගේ වැරදි ම දැකීම සාමාන්‍ය මිනිස් ගතියක් බව සියපත් දැන් වටහා ගෙන හිඳී. ලොව අසීරු ම කාරිය මිනිසුන් සතුටු කිරීම ය.

“හෙට උදේ කීයටද මිස් එන්න ඕන…”

ගේ ළඟ දී රියෙන් බසින්නට සූදානම් වෙත්දී සියපත් ගෙන් රියදුරු ඇසුවේ ය. දොර අගුල අල්වා ගෙන උන් ඕ නෙතු විසල් කොට ප්‍රශ්නාර්ථයෙන් බැලුවා ය.

“හෙට උදේට..”

“ඔව්…උදේ හවස දෙකේම මිස්ව පික් කරන්නයි ඩ්‍රොප් කරන්නයි මට තමයි බාර දීල තියෙන්නෙ”

“අ…අනේ මන්දා…එහෙනං…අයිය එන්නකො හත විතර වෙනකොට”

රියදුරු රිය හරවා ගත්තේ ගෑනු ළමයින් දුටු විට පුංචි මහත්තයලා ගේ පඬුපුල් ආසන රත් වෙතැයි හිතින් දෙස් තියමිනි. 

“හොඳට ඇඳල කියල එනකොට හිතන්නැති ලොකු පවුලක කෙල්ලෙක් කියල. ඒ ගේ දැක්කනං එහෙම…”

ඔහු යන ගමන් තනිව සිනාසුණේ ය.

ඒ සන්ධ්‍යාව සියපත් ලා ට සිත සතුට පිරවූ එකකි. කුස්සියේ වැඩ වල ලහි ලහියේ යෙදෙනා ගමන් ම ඇය ශාන්තටත් සුජීවාටත් කහවණුගොඩ මැදුරේ අසිරිය ගැන කීවා ය. එහි හිමිකරුවන්ගේ යහපත් කම් ගැන කීවා ය. අන් සියල්ලට වඩා සියපත් ට යන්න එන්නට මෝටර් රථයක් ගේ ළඟට ම පැමිණීම සුජීවා ගේ පපුවට ආඩම්බරයක් විය. කෙල්ලන් දෙදෙනා මේ තත්වයට උස් මහත් කොට දැන උගතුන් කරවා ගන්නට ඔවුන් දෙදෙනා විඳි දුක කිසි දාක අමතක කළ නො හැකි ය. වේල් දෙක තුන කුස ගින්නේ ඉන්නට සිදු වූ දවස් ඔවුන් ගේ ඉතිහාස පොතේ ඕනෑ තරම් ලියැවී තිබේ. ඉස්කෝලේ යන්නට පොත පත පමණකුදු නොව ඇඳුම් සපත්තු වුව සපයා ගත්තේ කෙතරම් අසීරුවෙන් දැයි දන්නේ ඔවුන් ම ය. කෙල්ලෝ දෙන්නා ඉරී වැරහැලි වන තුරු එක ම සපත්තු දෙක දැමූහ. කටු ගසමින්, මහමින් ඉරුණු බෑග් වල පොත් දමා ගෙන ගියහ. ඒවා ද බොහෝ විට සුජීවා කිසිවෙකු පාවිච්චි කිරීමෙන් පසු ඉල්ලා ගත් ඒවා ය. කොයි තරම් අපහසුතා තිබිණි ද ඔවුන් ඉගෙනීම අතපසු කර ගත්තේ නැත. පාසල් යන්නට බෑ කීවේ නැත. සියපත් ට ඇගේ හාම්පුතුන් විසින් මේ තරමින් සලකනවායි දැන ගත හොත් ඇස් වල කටු ඇනෙන්නේ සිය ඥාති පරපුරේ බව ද ඔවුන් නො දැන සිටියා නොවේ.

උදේ ම අවදි වී සියපත් සුජීවා ලවා ඉඹුල් කිරිබත් තනවා ගත්තා ය.

“අපි කෑම කඩයක් කරනව කිව්වහම ඒ මිස් කිව්ව අනේ මට ඒකෙන් කන්න ආසයි කියල. පව්..මොන අඩුවක්වත් නෑ. ඒත් හිතේ සතුටක් නැතුව ජීවිතේ ඇඳකට සීමා කර ගත්ත ගෑනු ළමයෙක් අම්මෙ”

“පුතා හිතවත්ව ඉන්න. මිස්ට සනීප වුණාට පස්සෙ වුණත්…ඒ මහත්තුරුන්ගෙ තැනක වෙන රස්සාවක් වුණත් ඉල්ලගන්න පුළුවන්නෙ”

“හ්ම්”

සනාතන වෙතින් එවන් උදව්වක් ඉල්ලා ගන්නවා කියන්නේ ඉතා පහසු දෙයක් බව සියපත් ඉඳුරා දැන සිටියා ය.

බස් වල රස්තියාදු නොවී මෝටර් රථයෙන් පැමිණි නිසා එදා සියපත් කල් ඇතිව කහවණුගොඩ මැදුරට පැමිණියා ය. මදිරා ගේ කාමරයට යන විට ඇය මුහුණ සෝදා නිදි ඇඳුම් මාරු කළා විතර ය. ඇගේ කෑම බඳුන් මේසය මත සූදානම් ව තිබිණ.

“මිස් ආසයි කිව්ව නිසා මං අම්මට කියල ඉඹුල් කිරිබත් හදාගෙන ආව. කැමතිනං විතරක් කන්න”

“බලමු”

සියපත් පාර්සලය විවර කළා ය. කෙසෙල් කොළයක එතූ ඉඹුල් කිරිබත් කැට හත අටක් ම එහි විය.

“ශා ශා…ඔය කෑම ගෙනියන්න මිසිස් ලියෝනි. මං මේව කනව”

පාලිකාව පත් වූයේ දෙගිඩියාවකට ය. ඇය විගස ගොස් සදාතන ගේ කනෙහි මෙය තැබුවා ය.

“කොහෙන්වත් ගේන කෑම අපි මදිරා මිස්ට දෙන්නෑනෙ සර්. මිස් සියපත් එතන ඉන්න නිසයි මිස් මදිරා හරි කැමැත්තෙන් කන්න ගත්ත නිසයි මට මොනාත් කියන්නත් බෑ”

“හරි මං ඒ ගැන බලන්නං. මිසිස් ලියෝනි යන්න”

අක්කා බලන්නට ඉක්මනට ඇගේ කාමරයට යන උනන්දුවකින් සදාතන පෙළෙමින් සිටියේ ය. මල්ලිලා දෙන්නා කවදත්, දිනකට අඩු ම තරමින් දෙවරක්වත් අක්කා බලන්නට ගිය බව ඇත්ත ය. නමුත් එය මේ තරම් නො ඉවසිල්ලක් ව දැනී නැත. කෙසේ නමුත් මේ කෑම හුටපටය ඉවහල් කර ගෙන ඔහු ඉක්මනින් ම එහි ගියේ ය. 

ඒ වෙත්දී මදිරා හිටියේ රස කරමින් ඉඹුල් කිරිබත් කමිනි. 

“සියපත් ඉඹුල් කිරිබත් ගෙනත්. කන්න”

ඇය ඔහු ට ද ඇරයුම් කළා ය. පැණි බේරෙන ඒ ඉඹුල් කිරිබත් දැක සදාතන ගේ කටට කෙළ ද ඉනුව ද  ඔහු ඉක්මනින් ඉවත බලා ගත්තේ ය.

“මල්ලා අද ලෑස්ති වෙලා නෑනෙ ඔෆිස් යන්න”

“ඔව්. දැං රෙඩි වෙන්න ඕන. මං ඔයා බලල යන්න ආවෙ”

ඇය වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැපයූවාට ස්තූති කරන්නට සියපත් ට ඕනෑ වී ද සදාතන ගෙන් කතා බහකට අනුබල ලැබුණේ තබා ඔහු ඇදෙස බැලුවේ හෝ නැත. ඒ හින්දා ඕ කර බා ගෙන නිහඬ වූවා ය.

උඩු මහලට පිවිසෙන අතරේ පියගැට පෙළෙහි දී සදාතන ට සනාතන හමු විය. 

“අර ගර්ල් ගෙනාපු කෑම වගයක් අක්ක කනව කියල මිසිස් ලියෝනි කම්ප්ලේන් කළා. මං මේ ඒක බලන්න ගියා”

සනාතන යමක් අසන්නට පෙර ම සදාතන නිදහසට කාරණා කීවේ ය.

“මොනාද…”

“ඉඹුල් කිරිබත් වගයක්”

“නෑහ්…ඉවර වෙන්න කලින් ගිහිං මාත් කන්න ඕනෙ එහෙනං”

සනාතන ඉක්මන් කොට පියගැට කිහිපයක් බැස ගෙන ගියේ ය. සදාතන එහෙම ම නතර වී මල්ලී දෙස බලා සිටියේ ය.

“සනාතන”

අවසන සැබවින් ඔහු එහෙම කියා තිබිණ.

“මටත් එකක් ගේනවද…”

කොයි තරම් ලැජ්ජා සිතුණේ ද යත් මූණ රතු වෙන්නට පෙර ඔහු අනිත් පැත්තට හැරී පියගැට පෙළ නැගෙන්නට වූයේ ය. එහෙම ම නතර වී ඉහළ බලා සිටි සනාතන ගේ මුහුණේ සිහින් හසරැල්ලක් නැගිණි. ඉතිරි දුර ඔහු පියවර නැගුවේ හෙමිහිට කල්පනාවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles