හිමගිරි අරණ – 5

සහන් රිය ධාවනය කළේ වෙනදාට වඩා ප්‍රවේසමිනි.මේ ප්‍රවේසම් සහගත හැඟීම හිතට පිවිසුණේ අද උදෑසන ය.වඩවඩාත් ප්‍රවේසමින් ජීවත් විය යුතු වග කියමින් මල්මි ඔහු වෙත දුන් සතුට නිසා ය.

“ඔයා තාත්තා කෙනෙක් වෙන්න යනවා.”

සහන් හිඳින්නේ ඒ ආරංචිය නිසා හද උපන් ප්‍රීතියෙනි.ඒ ආරංචිය ජීවිතයේ ප්‍රථම වතාවට ඇසූ පරිද්දෙන් ඔහු හිඳින්නේ සතුටිනි.

“මං ආසයි අපිට පුතෙක් ලැබෙනවට”

මල්මි එසේ පැවසුවේ තමන්ට දැනටමත් දියණියක හිඳින නිසාදැයි සහන් සිතී ය.එහෙත් ඒ දියණිය තමන් නොහඳුනන තරම් ය.නීතිමය අවසරය මත ඇය දකින්නට යන ඕනෑම මොහොතක ඇය අම්මා තුරුලට වී ලැජ්ජාශීලිව හිනැහෙනවා විනා පිය සෙනෙහස ලබන්නට උනන්දු නොවේ.

“ඔයා එන්නේ මට අක්කි කවදාවත් නොදුන්නු ආදරයක් අරගෙන.”

ඔහු නූපන් කළලයට මිමිණී ය.අසාර්ථක විවාහයකට පසු මල්මි සමඟ සන්තෝසදායක ජීවිතයක් ගෙවන්නට ලැබීම ම සැනසීමකි. මේ බිළිඳා පැමිණෙන්නේ ඒ මිහිර තවතවත් වැඩි කරන්නට වග ඔහු සිතී ය.

“ඒත් පුතේ,අක්කියි එයාගෙ අම්මියිත් සතුටින් ඉන්නෝන.අපි වගේම.”

ජීවිතයේ එක් කාලයක් තමන් සමඟ ජීවිතය බෙදා ගත් ගැහැනියත් තමන්ගේ දරුවාත් යෙහෙන් ජීවත් විය යුතු බව සහන්ට සිතිණ.ආවේග පාලනය කරගන්නට සමත් වූවානම් ඒ කුටුම්භය බිඳී යන්නේ නැත.නමුත් දැන් සියල්ල සිදු වී හමාර ය.අතීතය සිහි කරමින් තැවෙන්නට සහන්ට උවමනා වූයේ නැත.නමුත් තමන්ගේ ලෙයින් උපන් කුළුදුල් දියණිය ගැන රිදීම ඔහුගේ හදවතින් ලෙහෙසියෙන් මැකී නොයයි.

සහන්ගේ අලුත් ලෝකය එසේ ඉදි වෙද්දී හිමාෂා සුපුරුදු දවසක් ගෙවා දැම්මා ය.රවිඳු බලන්නට පාන්දරම රෝහලට ගිය හන්දා ඈ හවස් යාමයේ නිවසට පැමිණියේ වෙහෙසට පත්ව ය.පාරමීට නම් හැන්දෑවේ ද රවිඳු දකින්නට ඕනෑකමක් විය.එහෙත් හිමාෂා ඒ ගමන වැළකුවා ය.

“එහෙම තිස්සේම ඇහේ ඇලි ඇලි හිටියට ආදරයක් ගොඩ නැගෙන් නෑ මෝඩියේ.හොයලා බලන එක වෙනයි.තිස්සෙම ගනුදෙනු තියා ගන්න හදන එක වෙනයි.ඔයා හොඳ යාළුවෙක් වෙන්න බලන්නකො මුලින්ම.”

ආදරය නම් මාතෘකාව තුළ එතරම් සාර්ථකත්වයට පත් නොවූ හිමාෂා දෙන උපදෙස් ඉහ උඩින් පිළි ගන්නට පාරමීට නුවුමනා ය. කටට එන වචන දෙවතාවක් නොසිතා එළියට දමන්නියක වූ ඇය ඒ අදහස නොසඟවා පැවසුවා ය.

“ආදරේ කියන සබ්ජෙක්ට් එකට ඔයාගෙන් උපදෙස් ගන්න නම් මම ආස නෑ හිමෝ”

හිමාෂා මිතුරියගේ මුහුණ දෙස බැලුවේ පුදුමයෙනි.

“ඔයා ෆේල් වුණු සබ්ජෙක්ට් එකකින් මාව පාස් කරලා දෙන්න කියලා මම ඉල්ලන එක තේරුමක් නැති වැඩක්නෙ.ඒකයි”

පාරමී එසේ කියද්දී හිමාෂා හිනැහුණා ය.මෙවැනි කතාවලට ඇගේ හිත දැන් නොරිදෙන තරම් ය.ඒ මඳ සිනාවෙන් පාරමීට ඈ කළ අනුවණ කතාව ගැන වේදනාවක් ඇති විය.ඇය වහවහා සමාව ඉල්ලූවා ය.

“මගෙ හිත කොච්චර ගලක් වෙලාද කියනවානම් දැන් ඔය වගේ කතා මට දුක හිතෙන කතා නෙවේ පාරෝ.මටත් හිතෙන්නෙ ඔයා කිව්වේ ඇත්ත.කොහොමටත් ඔයා හිතට එන දේ කෙලින්ම කියන කෙල්ලනෙ.”

හිමාෂා එසේ කියා මිතුරිය දෙස බැලුවේ මිත්‍රත්වය පහව නොගිය මඳහසකිනි.ආදරය සම්බන්ධයෙන් උපදෙස් දෙන්නට තමන්ට කිසිම අයිතියක් නොමැත.ගිනිගත් කුලගෙයකින් නික්ම ගත් ගැහැනියක ලෙස ආදරයෙන් උමතු වූ මිතුරියට ආදරය සම්බන්ධයෙන් උපදෙස් නොදෙන්නට ප්‍රවේසම් විය යුතුයැයි ඇය ඉටා ගත්තා ය.

“මං ආදරේ ගැන මොකුත්ම නොකියා ගෑනු ළමයෙක් හැටියට ඔයාට මේ කතාව ගැන අන්තිම උපදෙසත් දෙන්නම්කො.ඔයා රවිඳුට ආදරේ වුණාට එයා ඔයාට ආදරේ බව කියලා නෑනෙ.ඒ නිසා අසීමිතව ආදරේ පෙන්නන්න ගිහින් ඔයාගේ වටිනාකම ගෑනු ළමයෙක් හැටියට නැති කරගන්න එපා.”

පාරමී එයට එකඟව හිස වැනුවා ය.නමුත් මේ රවිඳු දිනා ගන්නට ඇති හොඳම අවස්ථාව ය.ඒ අවස්ථාව මඟ හරින්නට ඇය නොසතුටු ය.

“ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැ කියන කතාව ආදරේටත් පොදු සත්‍යයක්.ඒ කියන්නේ අපි අත පුරෝලා දෙනකොට අපිට කන් හැන්දක්වත් ලැබෙන්නේ නැත්නම් අපි ඒ ගැන ආයේ ආයේ හිතන්න ඕන”

හිමාෂා නිවසට ඇතුළු වූයේ පාරමීට දුන් ඒ උපදෙස සිහි ගන්වමිනි.අම්මා මුහුණ කුණ්ඩ හට්ටියක් කරගෙන සාලයට වී හිඳින අන්දම දුටු ඇගේ සිතිවිලි අහුර හැපී බිඳී ගියේ ය.ඇතැම් විට ඒ තරහ මුහුණට හේතුව දියණියගේ දඟ වැඩක් වන්නට හැකි ය.නංගි තවම නිවසට පැමිණ නැති නිසා මේ කෝපය ඇය කෙරෙහි නොවේ.හිමාෂා අම්මා දෙස බැලුවේ විමසුම් ඇසකිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles