සියක් සියපත් 06

ධනවත් මිනිසුන් ගැන කුඩා කල පටන් සියපත් ගේ මනසේ ඇඳී තිබූ චිත්‍රය අඳුරු එකකි. ඔවුන් වූ කලී දුර්වල මිනිසුන් සූරා ගෙන කන, ඔවුන් ගේ රීරි මාංශය සප කොට දමන, ඔවුන් පාගා චප්ප කොට දමන අමානුශික වූ රාක්ෂ ආත්ම සේ ඇය සිතා සිටියා ය. තාත්තා, ශාන්ත තරුණ වියෙහි දී රියදුරෙකු ලෙස රැකියාව කළ ආයතනය තුළ ඇති වූ සේවක අරගලයක් අවස්ථාවේ දී ඔහු ව දොට්ට දැමුණේ කිසිදු වග විභාගයකින් තොරව බව ඇය කුඩා කළ තාත්තලා කතා වෙනු සියපත් ට මතක ය. ඒ රැකියාව යළි ලබා ගැනීම සඳහා ඔහු ආයතන ප්‍රධානීන් ට කොතෙකුත් පින්සෙණ්ඩු වූයේ ය. කුඩා දියණියන් දෙදෙනෙකු සමගින් ඔහු කරනා ජීවන අරගලය ගැන පැහැදිලි කොට දීමට අපමණ උත්සාහ කළේ ය. නමුත් ඒ සියල්ල ගඟට කැපු ඉණි සේ අපතේ ගියා විතර ය. ශාන්ත ව රැකියාවෙන් දොට්ට දැමිණ. ආයතන ප්‍රධානීන් සේවකයන්ගේ දුක අසන්නට තරම් සංවේදී අය නොවූහ. ශාන්ත ගේ දරු පවුල දුකෙන් දුකට පත් වූයේ ඉනික්බිති ය. දරුවන් ජීවත් කරවනු වස් තැන් තැන් වල විවිධ කුළී වැඩ කරන්නට ඔහු ට සිදු විය. තාත්තා ගැන ඒ නොතේරුම් වියෙහිදී පවා දුක් වූ සියපත් ට, ඔහු ව ඒ වාගේ දුකකට ඇද දැමූ ඇති හැකි මිනිසුන් ගැන වූයේ පහන් හැඟීමක් නොවේ.

 කාලයක් තිස්සේ ඇගේ සිත්හි වැඩුණු ඒ හැඟීම, බිම වැටුණ වීදුරුවක් සේ දැන් කුඩු පට්ටම් වී ගොස් තිබේ. නමුත් තව දුරටත් ධනවතුන් විශ්වාස නොකරන්නට සියපත් කැමති ය. ඔවුන් හොඳ මූණ පෙන්වන්නේ කාරිය කෙරෙන තුරු පමණක් යයි ඉස්සර මන්තරයක් සේ ශාන්ත කියවූ කතාව, ඇගේ හදවතේ ගැඹුරට ඔඩු දුවා තිබේ.

සනාතන කාමරයට එන විට සියපත් සිනහවකින් විකසිත වූවා ය. 

“ගුඩ් මෝනිං”

ඔහු සුබ පතන්නට පෙර ඔහු ට උදෑසනට සුබ පතන්නට පමා වීම ගැන සිහින් පසුතැවීමක් දැනී නො දැනී ගියේ ය. කෙසේ වෙතත් සනාතන ගේ සිනහව සියපත් ගේ හදවත උණුහුම් කරයි. ඔවුන් අතරේ මිනිස්කම් අතින් මහ ලොකු පරතරයක් නොවේ යයි යළි යළිත් පසක් කරවයි.

“ගුඩ් මෝනිං සර්. අනේ මං වෙනුවෙන් ට්‍රාන්ස්පෝට් එකක් අරේන්ජ් කරල දීපු එකට ගොඩක් ගොඩක් තෑන්ක් යූ…”

ඒ සියපත් ගේ හදවතින් ම උපන් ස්තූතියකි. අවංකව එය පුද දිය යුත්තේ සදාතන ට බව ඇය දැන සිටියා ය. ප්‍රවාහන පහසුකම ගැන උපදෙස් දුන්නේ සදාතන යයි රියදුරු විසින් ඇයට පවසනු ලැබ තිබිණ. නමුත් කෙළින් ම ඔහු ට ස්තූති කළ නො හැකි එකේ සනාතන හරහා හෝ ස්තූතිය සදාතන වෙත සම්ප්‍රේෂණය වේ යයි සියපත් සිතුවා ය.

“ඔයාගෙ යාළුව අපෙත් යාළුවෙක් නෙවෙයිද අක්ක…මෙයා අපිට සර් කියල කතා කරනකොට…”

“ඒක තමයි. මාත් කිව්ව. ඉඹුල් කිරිබත් කනවද…”

මදිරා සනාතන ට ඇරයුම් කළේ තව දුරටත් ඒවා රස විඳිමිනි. සදාතන ගෙන් ඉඹුල් කිරිබත් ගැන දැන ගෙන මෙහි දිව ආවායි නො හඟවන්නට සනාතන තැත් කළේ ය.

“කොහෙන්ද මේව…”

“සියපත් ගෙනාව. මාරම රසයි. මල්ලා කාල බලන්න. මං දැං මාර ගොඩක් කෑව. කාලෙකින් මෙහෙම බඩ පුරා කෑමක් කෑවෙ”

“කෝකටත් කාලා රස්නෙන් වතුර ටිකක් බොන්න මිස්. කිරිබත් වලට සෙම ඇවිස්සෙන්න වුණත් පුළුවන්නෙ”

“ඇති ඇති එහෙනං ඔය කෑව. අපිටත් ඉතුරු කරන්න”

සනාතන කෙසෙල් කොළය තමන් වෙත ඇද ගත්තේ ය.

“සදාතනටත් එකක් ගෙනියන්න ඕන”

“සදාතන එපා කිව්ව”

සනාතන මඳක් ඇස් ලොකු කොට සොයුරිය දෙස බැලුවේ ය. මෙතන දී ඉඹුල් කිරිබත් එපා කියා ගොස් තිබෙන මිනිහා ඔහු ට කීවේ තමන්ටත් එකක් ගෙන එන ලෙස ය. කන ගමන් ද සනාතන තනිව සිනහ වූයේ ය. 

සනාතන උඩු මහලට පැමිණෙන තෙක් සදාතන පසු වූයේ නො ඉවසිල්ලේ ය. සියපත් ඇයට ප්‍රවාහන පහසුකම් සපයා දීම ගැන නිකමට හෝ ස්තූතිවන්ත වූයේ නෑ කියා සිහි වෙත්දී ඔහු ට මඳ කේන්තියක් දැනිණ. ඇය ආඩම්බරකාර කෙල්ලක විය යුතු යයි සිතන්නට ඔහු වඩා කමති වූයේ ය. නමුත් සනාතන සමග නම් ඇය සිනහ වෙවී කතා කරයි. පෙර දා ඔහු ත් එක්ක තේ බිබී හිඳ, සදාතන පැමිණි ගමන් ඇය මේසය ළඟින් නැගිට ගත්තා ය.

“ඔන්න යාන්තං එකක් ඉතුරු කර ගත්ත”

සනාතන සදාතන වෙත පැමිණියේ එසේ කියමිනි. මව් කුස සිටියදී පටන් ම එකට ජීවිතය බෙදා ගත් සොයුරා වෙනුවෙන් ඔවුන් දෙදෙනාට ම කරන්නට බැරි දෙයක් නැත. එක ම ඩිම්බයක් ඡේදනය වී ගොඩනැගුණ සමරූපී නිවුන් දරුවන් වන ඔවුන් දෙදෙනා පෙනුමෙන් කිසිවෙකුට වෙන් කොට හැඳිනිය නො හැකි තරමට සමාන වී ද, සදාතන හැම අතින් ම ඔහු ට වඩා වෙනස් බව සනාතන හොඳින් දනී. සාමාන්‍ය පෙළ පන්ති වලට පමණ වන තුරු, මුලදී අම්මා ද පසුව අක්කා මදිරා ද ඔවුන් ට ඇන්දූයේ එක ම මෝස්තරයේ ඇඳුම ය. එකට සිටියදී පිටස්තර අයට නම් කිසි සේත් ඔවුන් දෙදෙන වෙන් කොට හැඳිනිය හැකි වූයේ නැත. ඔවුන් ටික ටික ලොකු වන විට මේ එක ම විදිහට අඳිනා එක ප්‍රතික්ෂේප කළ අතර, ඒ නිසා උපකාරක පන්ති ආදියේ දී මිතුරන්ට උනුන් වෙන් කොට හැඳින ගැනීම යම් තරමක් පහසු විය. නමුත් දෙදෙනා ගේ පරස්පර විරෝධී ගති ගුණ වෙන් කොට හැඳින ගන්නට ඒ කිසිවෙකුට හැකි විණැයි සිතිය නො හැකි ය. 

ඒ කාලේ ගෑනු ළමයින්ට ඔවුන් දෙදෙනා විශ්මයක් ම විය. ඇතැම් විට කෙනෙකු හිනැහුණ අතර ඇතැම් විට කෙනෙකු ආඩම්බරයෙන් ඉවත බැලුවේ ය. ඒ නිසා උපකාරක පන්ති වල ගෑනු ළමයින් ඔවුන් ගැන උනන්දු වන්නට දැක්වූයේ බියකි. ඒ දෙදෙනා මාරු විය හැකි බැවිනි. 

“මෙයාගෙ පුස් පාට් නිසා මටනං කවදාවත් කෙල්ලෙක් යාළු කර ගන්න වෙන්නෑ”

ඔවුන් උසස් පෙළ පන්තියේ දී වතාවක් සනාතන මදිරා සමගින් ගතු කීවේ ය. එහෙම කීවාට, මොනවා අහිමි වුණත් ඔහු අයියාට පණ සේ ආදරය කළේ ය. ලැජ්ජාව හෝ අනවශ්‍ය ආඩම්බරය නිසා ඔහු ට අහිමි විය හැකි ව තිබූ යම් දෙයක් ලබා ගත හැකි වී නම් ඒ සනාතන නිසා ය. සනාතන ඔහු වෙනුවෙන් පෙනී සිටි නිසා ය. ඉඹුල් කිරිබත් සිද්ධියේ දී සනාතන ට ඔය පරණ සිදුවීම් බොහොමයක් සිහිපත් විය. කවදාවත් කෙල්ලෙකු ගැන හිතක් ඇති වී පෙම් සබඳකමක් ඇති කර ගනු ඇතැයි සිතිය නො හැකි ඔහු ට, විදෙස්ගත ශ්‍රී ලාංකික ව්‍යාපාරික පවුලක දියණිය අරබයා කහවණුගොඩ පවුලට ඉදිරිපත් වූ විවාහ යෝජනාව හැරවුණු එක ගැන සනාතන හදවතින් ම සතුටු ය.

“මේ ප්‍රපෝසල් එක අහක දාන්න බෑ. මේක එක අතක තියාගෙන අනිත් එක්කෙනාට තව හොඳ තැනක් බලන එකයි කරන්න ඕනෙ”

යෝජනාව ඉදිරිපත් වූ වෙලාවේ රෑ කෑම මේසයේ දී මයිකල් පුතුන් දෙදෙනා දෙස බලමින් කීවේ ය.

“සදාතනනෙ විනාඩි කීපෙකට හරි වැඩිමලා. අපි මේක එයාට තියමු”

“අක්ක සනීප කර ගන්නකං මං මැරි කරන්නෑ”

ඔහු ගත් කටට ම කීවේ ය. මයිකල් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“දැම්ම වෙඩින් එකක් ගන්නෑ කොහොමත්. ඒ ළමය තාම ස්ටඩීස් කරනව. තව ටික කලක් යයිනෙ ඕව වෙන්න. ඒගොල්ලන්ට ඕනෙ ප්‍රපෝස් කරල තියන්න. ඕනනං එන්ගේජ් වෙලා ඉන්න ඕන කියයි”

“මට මැරි කරන අදහසක් නෑ තාත්ත”

එහෙම කියත්දී සදාතන ට වචන පැටළුණ තරම ය. ඔහු ගේ මූණ රතු වූ හැටි සනාතන අඩ සිනහවකින් බලා සිටියේ ය.

ඉඹුල් කිරිබත් කන්නට ඇරයුම් කරත්දීත් එපා කී මිනිසා විවාහ යෝජනාවකට බෑ කියන එක පුදුමයක් දැයි සනාතන මේ මොහොතේත් සිනහවකින් සිතුවේ ය. නමුත් ඉඹුල් කිරිබත් වලට සේ ම කැමැත්තක් යෝජිත ගෑනු ළමයා ගැන ද ඇතැම් විට සදාතන ගේ සිතේ තිබිය හැකි ය. ඔහු ගේ ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලැජ්ජාව විය හැකි ය! 

සදාතන එදා කාර්යාලයෙන් නික්මුණේ දහවල ය. සාමාන්‍යයෙන් ඔහු ව්‍යාපාරික කටයුතු කෙරේ සනාතනට වැඩිය උනන්දු ය. මෙතුවක් කල් සියල් දුක් විඳගෙන තාත්තා විසින් ඇති දැඩි කරනා ලද ව්‍යාපාරය රැක බලා ගැනීම සිය වගකීමක් සේ ඔහු සලකයි. සෙනසුරාදාට පමණකුදු නොව ඉරිදාට පවා ඔහු කාර්යාලයට යයි. නැත්නම් කර්මාන්ත ශාලාවට යයි. සති දෙක තුනකට වරක් වතු බංගලාවට ගොස් නැවතී, තේ වතු වල කටයුතු සොයා බලයි. ඒ නිසා මේ විදිහට වරුවෙන් කාර්යාලයෙන් නික්මීම තරමක් අමුතු ය. නමුත් ඒ ගැන ප්‍රශ්න කරන්නට කිසිවෙකු ඇත්තේ නැත.

“ගෙදර යනවද…”

 කාර්යාල පරිශ්‍රයේ අතර මගකදී සනාතන හමුව විමසුවේ ය. 

“පොඩි වැඩකට එළියට යනව”

එපමණකි. කොහොමත් ඔහු ගෙන් වචනයක් ගැනීම ඉබ්බෙකුගෙන් පිහාටු ගැනීම වාගේ අසීරු කටයුත්තකි. සනාතන ට වුව ඒ හිත අස්සේ ඇත්තේ මොනවා දැයි හෙළි දරවු කර ගත නො හැකි ය. නමුත් එහි රහස් ගුහාවක් නොවන බව සහෝදරයා දනී. ඇත්නම් ඒ ලෝකයෙන් සඟවා ගත්තා වූ හැඟීම් ගොන්නක් පමණ ය.

සදාතන ගියේ ප්‍රධාන පොත් හල් ජාලයක නුගේගොඩ ශාකාවට ය. මදිරා අතින් කියවුණේ ඇය සේ ම සියපත් ද නවකතා කියවන්නට රිසි බවට කතාවකි. අක්කා කාලයකින් ම පොතක් නො කියවූ බව ඔහු දනී. දැන්වත් ඇයට ජීවිතය ගැන ආශාවක් රෝපණය වෙමින් තිබෙනවා නම් එය සරුවට කොළ අතු දමා වැඩෙනු වස් ඕනෑ තරම් පොහොර හා ජලය සපයන්නට ඔහු සූදානම් ය. අක්කා නො කියවී ද සියපත් ඇයට ඇහෙන්නට හෝ පොත් කියවනු ඇත. නමුත් තෝරා ගත යුත්තේ මොන විදිහේ පොත් දැයි ඔහු නො දත්තේ ය. 

“ගෑනු ළමයි කියවන්න කැමති විදිහෙ නවල්ස් ටිකක් සිලෙක්ට් කරල දෙනවද…”

අවසන ඔහු අසලක වූ සේවිකාවකට ලංව විමසුවේ ය. උදව් ඉල්ලන්නට සේවකයෙකු හෙව්ව ද ඔහු ට කෙනෙකු සොයා ගත හැකි වූයේ නැත.

“ලව් ස්ටෝරීස්ද සර්…”

“ඔව්. සිංහල…ඉන්ග්ලිශ්…ට්‍රාන්ස්ලේශන්ස්…ඒ හැම කැටගරි එකකින්ම හොඳම පොත් ටිකක්…”

සේවිකාව පොත් කිහිපයක් ගෙන සදාතන අතේ තැබුවා ය.

“තව ඕනෙ. මට පොත් සීයක්වත් ඕනෙ”

“සීයක්….ලයිබ්‍රරි එකකටද සර්…”

“න්…නෑ මේ…”

ඉදිරිපත් කරන්නට හේතුවක් ඔහු ට සිහි වූයේ නැත. අක්කාට කියා කීවාට මේ කෙල්ල නො පිළිගනු ඇති බවක් ද ඔහු ට හැඟිණ. අනිත් අතට රාජකාරිය කරන්නේ නැතිව ඕනේ නැති ඕපාදූප හොයනවායි මඳ කෝපයක් ද ඔහු ට දැනෙමින් තිබිණ.

“එහෙනං සර්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වෙන්න ඕනෙ”

සේවිකාව දඟකාර බැල්මකින් කීවා ය. සදාතන නො සන්සුන් ව ඉවත බලා ගත්තේ ය. 

“එයානං හරිම ලකී ගර්ල් කෙනෙක් වෙන්න ඕන”

ඇය තව මොන මොනවාද කියෙව්වත් සදාතන ගේ සිත්හි ඒ කිසිත් රැඳුණේ නැත. ගේ ළඟ රිය නැවතුණ පසු ඔහු පොත් ටික එක මිටියක් වන සේ ඔසවා ගෙන මදිරා ගේ කාමරයට ගියේ පොත් ගොඩට උඩින් යන්තම් පාර බලා ගෙන ය. දෑතින් ම පොත් ඔසවා ගෙන නිසා දොර ඇරීමේ හැකියාවක් නොවුණෙන් අසලක සිටි පාලිකාව වහා දොර හැර දුන්නා ය. 

පොත් ගොඩකුත් උස්සා ගෙන කාමරයට ගොඩ වූ සදාතන දුටු සියපත් ගේ හුස්ම නතර වූ තරම ය. ඔහු එ්වා මේසය මත තබන්නට යත්දී පෙරළෙන්නට ගියෙන් ඇය වහා පැන පොත් ටික අල්වා ගත්තා ය.

“මොකටද මල්ලා මෙච්චර පොත්…”

මදිරා ද වටහා ගත නො හැකි ව විමසුවා ය.

“ඇයි…ඔයා කිව්වෙ…ලව්ස්ටෝරීස් කියවන්න ආසයි කියල”

ඔහු ගැඹුරු හඬකින් කීවේ ය. මදිරා සිනහ වෙන්නට පටන් ගත්තා ය. සියපත්  දසන් අතරේ දෙතොල් තද කර ගෙන සිටියා ය.

“ඇයි…”

සදාතන විමසූයේ ඇස් කුඩා කර ගෙන ය.

“පොත් කියන දේවල් මෙහෙම ගන්නවද කොල්ලො…එකක් දෙකක් අරං ඒක කියෝල ඉවර වෙලා තව එකක් ගන්නෙ”

“හරි ඉතිං…දෙන්නෙක් ඉන්නවනෙ කියවන්න”

කුමක් හෝ ඔහු නො දන්නා වැරදීමක් සිදු වූවා දැයි සිතමින් ඔහු වහා කාමරයෙන් පිට විය. ‘දෙන්නෙක් ඉන්නවනෙ කියවන්න’ ඒ වචන සියපත් ගේ පපුව තුළ පිළිරැව් දෙමින් තිබිණ.

“පිස්සු කොල්ලෙක්. මේ පොත් ටික කියවල ඉවර කරනකල් මං ජීවත් වෙයිද කියන්නත් බෑ”

“මොනා…දනේ කියන්නෙ..”

සියපත් ඇදෙස නෝක්කාඩුවෙන් බැලුවා ය. ඊළඟට මදිරා ගේ යහන වෙත ගොස් අසුන මතට වැටුණා ය.

“මෙච්චර ආදරේ කරන මල්ලිල දෙන්නෙක් ඉද්දි…අනේ ඒ දෙන්න වෙනුවෙන්වත් ඔයා කකුල් දෙකෙන් නැගිටින්න හිතට ගන්නකො අක්ක. “

බලාපොරොත්තු නොවූ ලෙස සියපත් ගේ හඬ බිඳී ඇගේ දෑස් කඳුළින් පිරී ගියේ ය. ඒ කඳුළු වලට හේතුවක් හිතා ගන්නට ඇයට හැකි වූයේ නැත. ඒ කඳුළු වලට එක ම හේතුව මදිරා පමණක් නොවන බව නම් ඇයට දැනෙමින් නො දැනෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles