සියක් සියපත් 07

මදිරා කහවණුගොඩ ගේ හිතට බිඳ බිඳ සතුට කාන්දු වෙමින් තිබිණ. පෙම් කතා පාදක කොට ගත් විදෙස් රූපවාහිනී නාට්‍ය මාලා සහ නවකතා මගින් ආදරය ගැන ද ජීවිතය ගැන ද යම් බලාපොරොත්තුවක් ලියලන්නට වූයේ ය. කතා වල සිටිනා පෙම්වතුන් ගැන ඇය සියපත් සමග කතා කරමින් සිනහ වූවා ය. ඔවුන් කෙරේ රහස් කැමැත්තක් හිත තුළ උපදිනු බලා සිටියා ය. බලාපොරොත්තු කියන්නේ තව දිනක් හෝ ජීවතයේ එල්ලී සිටින්නට ඉවහල් විය හැකි පිදුරු ගසක් සේ ඇයට පෙනෙන්නට විය.

යම් කිසි කතාවක් නරඹත්දී හෝ කියවත්දී ඇය එහි පෙම්වතිය වී සිටියා ය. නාඳුනන පෙම්වතෙකු හදවත තුළින් ඉපදී ඇයට පෙම් කරමින් සිටියේ ය. ඇය ඒ ප්‍රේමයට ලොබ බැන්දා ය. ඒ කතා වල ගෑනු ළමයින් වාගේ ලස්සනට ඉන්නටත් සතුටෙන් ඉන්නටත් හිනා වී ඉන්නටත් ඕනෑ කමක් මදිරා තුළ අලුතෙන් ඇති වන්නට වූයේ ය. ඇගේ මුහුණේ වෙනදා නොවූ ප්‍රබෝධයක් දැකිය හැකි විය. ඒ ඇස් වල දීප්තිය මුසු සතුටක් පෙනෙන්නට ගති. ඇගේ දෙතොල් අතරේ ඇයට ම අවනත නැති මන්දස්මිතයක් දඟ කළේ ය. තනිව ඉන්නා විටෙක ඇගේ මුවින් ගී පදයක් මිමිනිණි.

වෙනදා වාගේ කම්මැළි නොවී ඇය දිය නෑවා ය. නිතර නැවුම් ඇඳුම් වලින් සැරසී  සුවඳවත් ව සිටියා ය. හැම හවසක ම සියපත් සමගින් ගෙමිදුලට ගොස් ටික වෙලාවක් ගත කළා ය. වෙනදා නෑසුණු කුරුලු කොබෙයි ගී අයට ඇසිණ. වෙනදා නො පෙනුණ මල් ද සමනලුන් ද ඕ දුටුවා ය. පුංචි දේවලටත් සියපත් සමග එකතු වී ඕනවටත් වැඩියෙන් සිනහ වූවා ය. ජීවිතයේ මේ ඉතිරි වී තිබෙනා අවසාන දින ටික නම්, ශෝක වෙමින් නො සිට ඒ දින කිහිපය ද සිනහ වී සතුටෙන් ගත කළ යුතු යයි ඇය තුළින් ම ඇය උගනිමින් සිටියා ය. සියපත් ද, පොත් පත් හා වෙනත් කලා නිර්මාණ ද ඊට විශාල දායකත්වයක් සපයන්නට ඇත.

මදිරා උනන්දුවෙන් ව්‍යායාම කළා ය. භෞත චිකිත්සක ප්‍රතිකාර නිසි පරිදි ලැබුවා ය. ප්‍රතික්ශේප නොකොට බෙහෙත් බීවා ය.

“බාගෙට බාගයක්ම හොඳ වෙලා වගේනෙ”

යනුවෙන් ඒ වතාවේ ඇය දුටු ගමන් විශේෂඥ වෛද්‍යවරයා කීවේ ය. මයිකල් සේ ම නිවුන් පුතුන් දෙදෙනා ද දෙතොල් තෙරපා සිනහ වූයේ ඇස් වල කඳුළු පිරෙත්දී ය.

“ඇත්තටම මේ චූටි කෙල්ල ඒන්ජල් කෙනෙක් වගේනෙ…එක්ස්පීරියන්ස් තියන නර්ස්ලටවත් කරන්න බැරි වුණ දෙයක් මේ ටික දවසට ඒ ළමය කරලනෙ…”

රිය තුළ දී මයිකල් සතුට ද පුදුම ය ස්තූතිය ද කැටි වූ ස්වරයකින් කීවේ ය.

“ඒකනෙ මං පළවෙනි දවසෙම කිව්වෙ”

යනුවෙන් සනාතන පාරම් බෑවේ ය. සදාතන මුණිවත රැක්කේ ය. 

“ඒ ගර්ල්ට හොඳ සැලරි එකක් දෙන්න ඕන සදාතන”

“හරි තාත්ත”

“අනේ ඔව් තාත්ත. අහිංසක ගෑනු ළමේක්. කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි වෙලා තියෙන්නෙ ලකුණු කීපෙකිං. එක්ස්ටර්නල් ඩිග්‍රි එකක් හරි කරන්න ඕන කියල මාත් එක්ක කිව්ව”

මදිරා ගේ කතාවෙන් සියපත් ගැන ඔවුන් නො දැන උන් යමක් තරුණයන් දෙදෙනා ගේ සවන් වැකිණ. මේ සියපත් ගේ ජීවිතයේ ගන්ධබ්බ සමය ය. ස්ථිර වූ මාවතකට අවතීර්ණ වන තෙක් ඇය තමන් සොයමින් පසු වෙනවා විය හැක!

ඉහළට ඉගෙන ගන්නට සියපත් තුළ වූයේ දැඩි ආශාවකි. නමුත් ඇති හැකි පවුල් වල ළමයින් කරනා දේවල් තමන් ට කළ නො හැකි බව ඇය දැන සිටියා ය. එක ම විභාගයක් යළි යළි කරන්නට හෝ මුදල් විය හියදම් කොට උපාධි සඳහා ඉගෙන ගන්නට ඇය හිතුවේවත් නැත. රැකියාවක් කරනා ගමන් බාහිර උපාධියක් හෝ කළ යුතු ය යන සිතිවිල්ල මදිරා සමග කතා බහක දී නිකමට පිටතට ආවා පමණි.

ඒ හැන්දෑවේ සනාතන සියපත් සමගින් ආලින්දයෙහි කතා බහක පසු වූයේ ය. ඔවුන් ගේ මාතෘකාව වූයේ මදිරා ය. දැන් ඇය සිය සිත සමග සතුටෙන් හිඳීමට පුරුදු වෙමින් සිටිනා බව ඔවුන් ගේ නිගමනය වූයේ ය.

“හැම දේම වෙනස් වුණේ සියපත් නිසා. අපි පවුලක් විදිහට ඒ ගැන ඔයාට තෑන්ක් කරනව සියපත්. එයාගෙ හිත මේ තරමට හදන්න ඔයාට පුළුවන් වුණා කියන්නෙ…බෙඩ් එකෙන් වීල් චෙයා එකට ගන්නවත් බැරුව හිටිය අක්ක අද හිනා වෙලා ඉන්නව කියන්නෙ…කොහොම එ්කට තෑන්ක් කරන්නද කියල මං දන්නෑ”

“ඒක තෑන්ක් කරන්න තරං දෙයක් නෙවෙයි. ඒත් මට මොකක්ම හරි වෙනසක් කරන්න පුළුවන් වෙලා තියනවනං…ඒ ගැන මං හරිම සතුටුයි”

සියපත් දැන් සනාතන අමතන්නේ ආමන්ත්‍රණයකින් තොරව ය. සර් කියනවාට ඔහු කැමති නැත. නමුත් සනාතන යනුවෙන් නම කියා ඔහු අමතන්නට ඇගේ දිව නැවෙන්නේ නැත.

“සනාතන”

සදාතන ඉක්මන් ගමනින් පිය ගැට පෙළ බැස ගෙන පැමිණෙමින් සිටියේ ය. ඔහු ගේ අත නාද වන දුරකතනය විය. වාචික ප්‍රකාශයකින් තොර ව ම ඔහු සනාතන වෙතට දුරකතනය පෑවේ ය. 

“අයි…යෝ…”

සනාතන මූණ ඇඹුල් කර ගත්තේ ය. 

“ප්ලීස් ප්ලීස්…”

“අන්තිමට හනිමූන් යන්නත් මට කියයිද දන්නෑ තමුසෙ”

සනාතන සොයුරා අතින් දුරකතනය ගත්තේ එහෙම කියමිනි. ඒ කතාව සියපත් ට ඇසුණේ වී ද යන ගැස්ම නිසා, සදාතන පිය ගැට පෙළ නැගෙමින් දුරකතනය සවනට ගන්නා සනාතන දෙස බැලුවේ තරමක නො රිස්සුමකිනි.

ඒ ඇමතුම සදාතන ට යෝජනා වී හිඳිනා ගෑනු ළමයා ගෙනි. ඇය සතියකට පමණ වරක් සදාතන ට ඇමතුමක් ගනී. ඒ ඇමතුම පසුව වීඩියෝ ඇමතුමක් බවට පත් වේ. සදාතන කිසි දාක ඇය සමග කතා කොට නැත. කතා කරනා හැම වතාවක ම දුරකතනය සනාතනට දෙයි. ඇයට යෝජනා වී හිඳිනා සහකරු ලෙස කතා කරන්නේ සනාතන ය. වතාවක් ඔහු “මේ මගෙ ට්වින් බ්‍රදර්”  යයි කියමින් සදාතන වෙත දුරකතනය සමීප කළේ ය. ඒ ගෑනු ළමයාගේ පේන්නට කිසිදු වරදක් නැත. නමුත් එහෙම පෙම් පිළිසඳරකට කවදාවත් ඔහු ට හිතක් පහළ වී නැත.

“අනේ මන්දා ඔය දෙන්නගෙ කිසිම වෙනසක් නෑනෙ අනේ. මන්දන්නෑ මට තාම ඔය දෙන්නගෙ නම් දෙක පවා පැටලෙනව. දවසක මං මැරි කරන්නෙ සනාතනවද සදාතනවද කියල මට තාම ශුවර් නෑ”

ඒ වෙලාවේ ඇය සිනහ වෙවී කීවා ය. සනාතන වඩාත් හඬ නගා සිනහ වූයේ ය.

“කමන්නෑ ඔයා දන්නවනෙ මාව. අපේ ඩැඩාත් මාව මාර අමාරුවක තමයි දැම්මෙ ට්වින් බ්‍රසර්ස්ල දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට ප්‍රපෝස් කරල. මැරි කළාට පස්සෙත් ඔය දෙන්නව පැටළුණොත් තමයි වැඩේ”

ඒ විහිළුවට සනාතන සිනහ වූවාට සදාතනට නම් සිනහ ගියේ නැත. ඇය විවෘත මනසක් ඇති නිදහස් සැහැල්ලු ගෑනු ළමයෙකු බව පෙනේ. නමුත් සදාතන ට ප්‍රේමය ඊට වඩා කුළුගැන්වෙනා හැඟීමක් විය යුතු සේ දැනේ. නමුත් පියා ගේ හිත රිදුවා ඇයව ප්‍රතික්ෂේප කරන්නේ කෙසේ දැයි තවමත් ඔහු සිතයි. 

“පොත් ටික බලල ඉවරද…”

ඒ සිතිවිලි අතරින් ම සදාතන ඉක්මන් කොට අසා ගත්තේ සියපත් එතැනින් නික්ම යාමට සූදානම් වන බව දැනී ය. අසුනෙන් නැගී සිටිනා ගමන් සිය හදවත් පටක නාය ගියා සේ ඇයට දැනිණ. ඒ ඇසුවේ තමන්ගෙන් ද යන සැකය දැනුණත්, ඔහු පොත් ගැන වෙන කෙනෙකුගෙන් අසන්නට විදිහක් නැති බව සියපත් ක්ෂණික ව තීරණය කළා ය.

“අ…න්නෑ සර්…තව ගොඩාක් තියනව”

දහදිය දමා ගෙන එන්නා සේ ඇයට දැනිණ. සදාතන ට ද එසේ ම නො දැනුණා නොවේ. නමුත් ඔහු සිය ආඩම්බර බැල්මෙන් ද ගැඹුරු හඬින් ද ඒ අපහසුව යටපත් කර ගත්තේ ය.

“ඉවර වුණහම මට කියන්න. තව ඕන දෙයක් තියනවනං ඒත් කියන්න”

“හා සර්”

“අක්කගෙ ලොකු වෙනසක් තියනව කියල ඩොක්ටර් කිව්ව. ඒකට තෑන්ක්ස්”

“මට…ට්‍රාන්ස්පෝට් එකක් දාල දුන්නටත්…ගොඩක් ස්තූතියි සර්”

ඔහු වෙනුවෙන් කිව යුතු ම දේ කියා ගන්නට අවස්ථාවක් උදා වුණ එක ගැන සියපත් ගේ සිත සතුටෙන් පිම්බී ආවේ ය. ඔහු තවත් වචනයක් හෝ නො කියා පිය ගැට පෙළ නැගෙත්දීත්, මොණරෙකු පිල් විහිදත්දී වන් ආඩ්බරයක් ඇගේ හිත පිනවමින් තිබිණි. සියපත් මදිරා ගේ කාමරයට ගියේ ප්‍රීතිමත් සිතකිනි. රෝහලට ගොස් පැමිණීමෙන් පසු දිය නෑ මදිරා සියපත් එන තුරු හිස කේ වල තෙත පිසදමමින් සිටියා ය.

“බඩගිනියි වගේ. කමුද…”

මදිරාගේ කෑම සමගින් සියපත් ගේ දිවා ආහාරය ද කාමරයට ගෙනෙනා ලෙස මදිරා මුල දී ම පාලිකාව දැනුවත් කොට තිබිණි. නමුත් මේ වගේ සතුටු ආරංචියක් ලැබුණ දවසක මදිරා කෑම මේසයට ගොස් පවුලේ අයත් සමග එක්ව ආහාර නො ගන්නේ මන්දැයි හදිසියේ ම සියපත් ට සිතිණි.

“අක්කට දැං පුළුවන්නෙ ගෙදර අයත් එක්ක එකට ඉඳගෙන කෑම කන්න. කට්ටිය කතා කර කර එහෙම කෑම කන එකත් සතුටක් නේද…ඇක්සිඩන්ට් එකකින් ඩැමේජ් එකක් වෙලා ඇවිදින්න තාවකාලිකව බැරි වෙනව කියන්නෙ ජීවිතේ හැම දේම නැති වෙනව නෙවේනෙ. ඔයා ගැන අද ඒගොල්ලො සතුටෙන් ඉන්න දවසෙ…එහෙම ස’ප්‍රයිස් එකක් කියන්නෙ එයාලට ගිෆ්ට් එකක් වෙයි නේද…”

සියපත් ගේ ඇස් කතා කරත්දීත් සිනහ වෙයි. මදිරා ඒ පිපුණ ගමන් මලක් වන් නැවුම් මුහුණ දෙස බලා සිටියේ හිත ඇතුළේ මීදුමක් සේ ගලනා ආදරයක් එක්ක ය. 

“ඔයා කියන දෙයක්”

අවසන ඇය තීන්දුව දුන්නා ය. වසර දෙකක් තිස්සේ කිසිවෙකුට කර ගත නො හැකි වූ දේ ඇය කරත්දී, මදිරා ව රෝද පුටුවේ නංවා ගෙන කෑම මේසය වෙත කැටිව යත්දී, පාලිකාව පවා සියපත් දෙස බැලුවේ පුදුමයෙනි.

සදාතන මතු මහලට යන විටත් සනාතන සිනහ වෙමින් වියානා සමග දොඩමින් සිටියේ ය. ඔහු දුරකතන සංවාදය නිමා කොට සදාතන අතට දුරකතනය දුන්නේ “මට බෑ ඕයි මේක කරන්න” යයි කියමිනි. සදාතන සිනහවක් නගා ගත්තේ ය. බෑ කීවාට සනාතන ඔහු ඉල්ලන දෙයක් නො කර සිටින්නේ නැති බව සදාතන දනී. ඔවුන් තිදෙනා අතරේ ඒ තරම් සමගියක් හා ආදර බැඳීමක් ඇති වෙන්නට හේතුව මව ගේ මිය යාම ය. කුඩා කල ම අම්මා අහිමි වූ දරු තිදෙනෙකු ලෙස ඔවුන්ට ඔවුන් ගේ ආදරය ඉතා තදින් අවැසි විය. මදිරා අක්කා කෙනෙකු ට හැකි උපරිමයෙන් මල්ලිලා දෙන්නා ට ආදරය කළා ය. ඔවුන් දෙදෙනා ද එසේ ය. අම්මා නැති වීමේ අඩුව හොඳින් දැන උන් ඔවුන් ට අක්කා වෙනුවෙන් කරන්නට බැරි දෙයක් නැත්තේ ඒක ය.

ඔවුන් දෙදෙනා කෑම මේසයට එන විට මයිකල් අසුන් ගත වී සිටියේ ය. මදිරා ගේ රෝද පුටුව තල්ලු කර ගෙන සියපත් කෑම මේසය දෙසට ආවේ ඔවුන් සිය පතට බත් බෙදා ගන්නටත් පෙර ය. ඒ දසුන දැක තාත්තාගේත් පුතාලාගේත් හදවත් එක මොහොතකට නතර වෙන්නට ඇත. මදිරා සිනහ වෙවී ආවා ය. රෝද පුටුව නවතා සියපත් සනාතන දෙස බැලුවේ මදිරා ව පුටුවක හිඳුවීමට ඔහු ගෙන් උදව් පතන්නා සේ ය. වහා නැගිටගත් සනාතන දෑතින් මදිරා ව පුළුන් පොදක් සේ ඔසවා මේස පුටුව මතින් තැබුවේ ය.

“සියපත්ගෙන් වදේ…ඩයිනින් ටේබල් එකට ගිහින් ගෙදර කට්ටියත් එක්ක කෑම කන්න කියල”

“සියපත් ඔයත් එන්න. ඉඳගන්න”

ඒ ඇරයුම සනාතන ගෙනි. යුවතිය සිනහ වී පසෙකට වූවා ය. 

“තෑන්ක් යූ සර්…මං ඇතුළට ගිහිං කන්නං”

සදාතන එක බැල්මක් ඇය වෙතට හෙළුවේ ය. ඒ වෙලාවේ ඇය බලා සිටියේ සනාතන දෙස ය.

“ඉඳගන්න පුතා. අපිත් එක්ක ම කෑම ටිකක් කමු”

සියපත් විශ්මිත කරමින් ගෘහපති මයිකල් කහවණුගොඩ කාරුණික ලෙස ඇරයුම් කොට සිටියේ ය. සියපත් ට දැනුණේ ඇය පාෂාණිභූත වෙමින් යන්නා සේ ය.

“එන්න සියපත්”

සිහිනයෙන් වාගේ මදිරා ගේ මිහිරි හඬ ද ඇසිණ. නමුත් සනාතන අසුනෙන් නැගිට ඇගේ දෙඋරහිස් වලින් අල්වා ඇය අසුන්ගත කරවාවියි සියපත් බලාපොරොත්තු වූයේ ම නැත. ඒ අතරවාරයේ ඇගේ ඇස් එක මොහොතකට සදාතන ගේ ඇස් හා එක රේඛාවක හමු විය. ඔහු වහා ඇස් පිය බිමට හැරවූයේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles