ලෝක උරුමයක් වුණු පොම්පෙයි නගරය

සුඛෝපබෝගී නිවාස සහ සුවිශාල ගොඩනැගිලි වලින් වටවූ ඉපැරණි පොම්පේ නගරය සශ්‍රීක සහ ධනවත් නගරයක්ව පැවතියා. 

ඉතාලියේ කැම්පානියාවේ පිහිටි මේ කාර්යබහුල නගරය ආසන්න වශයෙන් 11500 කට පමණ පිරිසකට නිවහන වූවා. 

නමුත්, ක්‍රිස්තු වර්ෂ 79 ග්‍රීස්ම සෘතුවේ එක් සුන්දර සැඳෑවක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොම්පේ නගරය සදහටම එකතැන නතර වුණා. 

නගරය සහ ඒ ආසන්න ප්‍රදේශය නිරන්තර භූමිකම්පා වලින් යුතු වුණා.

DCIM\100MEDIA

එසේ වුනත්, ගිනිකඳු විධාරණයක් ගැන විශේෂ දැනුවත් කිරීමක් හෝ අනතුරු හැඟවීමක් නගර වැසියන්ට නොලැබී තිබූ ක්‍රිස්තු වර්ෂ 79 අගෝස්තු 24 වන දින සැඳෑවේ විධාරණය වූ විසූවියස් ගිනිකන්දෙන් නිකුත් වූ ලාවා මේ සුන්දර නගරය වසාගෙන ගලාගියා. 

මේ සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ තොරතුරු මත පදනම්ව රෝම කතුවරයෙකු සහ පරිපාලකයෙකු වූ ප්ලිනි විසින් සුප්‍රිසිද්ධ රෝම ඉතිහාසඥයෙකු වූ ටැසිටස්ට යවන ලද ලිපි දෙකක් මඟින් ඒ සැඳෑවේ සිදූවූයේ කුමක්ද යැයි ඊට පසු පරම්පරාවල් වල ජීවත් වන්නවුන්ට දැනගැනීමේ හැකියාව ලැබුණා. 

විසූවියස් විධාරණය වී ලවා ගලා ඒමට ප්‍රථම ඉන් නිකුත්වූ ගිණිකඳු අළු පොම්පේ වැසියන්ගේ සිරුරු වටා තද බදාම තට්ටුවක් සේ තැම්පත් වුණා. 

මේ අළු වලින් සෑදුනු බදාම තට්ටුව නිසා උන් ඉරියව්වෙන්ම ගල් ගැසුණු ඔවුන්ට ලාවා වලින් බේරී පලායාමට හැකියාවක් ලැබුණේ නෑ. 

පොම්පේ නගරය වසාගෙන දින දෙකක් පුරා ගලාගිය ලාව වලින් පොම්පේ වැසියන් බොහෝදෙනෙක් ජීවිත බේරාගත්තත් එලෙස ගල් ගැසුණු ආසන්න වශයෙන් 2000 කට පමණ පිරිසකට සිය ජීවිත අහිමි වුණා. 

මෙම අළු සහ ගිණිකඳු විධාරණය නිසා පිටවූ විෂ සහිත වායූන් අවට වාතය දූෂණය කරමින් කිලෝමීටර් 32 ක් දක්වා විහිදී ගියා. 

විසූවියස් විධාරණය වීමෙන් ඒ අවට පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 400 දක්වා ක්ෂණිකව ඉහළ යන්නට ඇතැයි ඒ පිළිබඳ පර්යේෂකයන් විශ්වාස කරනවා. 

මෙලෙස ගිනිකඳු අළු, ලාවා, විෂ දුම් සහ ක්ෂණිකව ඇතිවූ අධික උෂ්ණත්වය මරණීය සාධක ලෙස පැතිර ගොස් තිබුණා. 

මෙලෙස සම්පූර්ණයෙන් අතුරුදහන් වූ නගරයක් ලෙස කාලයේ වැළි තළාවෙන් වැසීගිය පොම්පේ නගරය වර්ෂ 1748 දී නැවත සොයාගනු ලැබූවා

ගිනිකඳු අළු වලින් සෑදුනු බදාම තට්ටුව උඩින් ලාවා ගලාගියත් බදාම තට්ටුව විනාශ නොවී තිබීම නිසා ඉපැරණි පොම්පේ නගරයේ බොහෝ සාක්ෂි ඒ අයුරින්ම ආරක්ෂා වී තිබුණා. 

අළු යට සැඟවුනු ධනවතුන් වාසය කල කාර්යබහුල වෙළඳ නගරයක සටහන් එලෙස නැවත ලොව හමුවේ ගෙනහැර දැක්වීමට එමඟින් ඔවුන්ට අවස්ථාව ලැබුණා. 

ආකර්ෂණීය රෝම ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිමකල සුඛෝපබෝගී නිවාස, අලංකාර කලාකෘති, උස් පදික වේදිකා සමඟ තැනූ මංමාවත්, පදිකයින් මඩෙන් ආරක්ෂා කිරීමට සෑදූ පඩිපෙළවල්, විවේක ගැනීමට ස්ථාන, නාන තටාක සහ අශ්ව රේස් ධාවන පථ ආදී සුඛෝපබෝගී නගරයක සාක්ෂි බොහොමයක් මෙලෙස නැවත මතුකර ගැනීමට පරේක්ෂකයන්ට හැකියාව ලැබුණා. 

නමුත්, ඒ සියල්ලටම ඉහළින් මරණයක සැබෑ අත්දැකීම් සහ වේදනාව ගලින් කෙටූ ලෙස සනිටුහන් කරමින් මියගිය පොම්පේ වැසියන්ගේ මරණීය ඉරියව් ඒ අයුරින්ම ඉතිරි වී තිබුණා. 

මරණ බයෙන් දිවගිය, මරණයේ වේදනාවෙන් පීඩාවිඳි මෙන්ම මරණය හමුවේ සිය ආදරණීයන් වැළඳගත් කාන්තාවන්, පිරිමින් සහ කුඩා දරුවන්ගේ සිරුරු වල අභ්‍යන්තරය දිරා ගියත් ඒ වටා ගිනිකඳු අළු වලින් සෑදුනු ඝනකම් බදාම තට්ටුව එලෙසම ආරක්ෂා වී පැවතුණා.  

පසුකාලීනව යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ පොම්පේ නගරය අද වන විට ඉතාලියේ ජනප්‍රියම සංචාරක ස්ථාන වලින් එකක් බවට පත්වී තිබෙනවා. විසූවියස් ගිනිකන්ද යට මල් පිපෙමින් අද බොම්බේ නගරය නැවත කාර්යබහුල වී තිබෙන්නෙ අතීත පොම්පේ වැසියන්ගේ ජීවමාන මතක සමඟින්මයි. 

පළමුව ඛේදවාචකයක් ලෙසත් දෙවනුව විහිළුවක් ලෙසත් ඉතිහාසය නැවත සිදුවන බව කාල් මාක්ස් වරක් පවසා තිබුණා.

වසර 2000 කට පෙර සිදුවූ පොම්පේ ඛේදවාචකය එලෙසම නැවත සිදුනොවනු ඇතැයි කිසිවෙකුට පැවසීමට හැකියාවක් නැතත් එලෙස සිදු නොවේවා යැයි මනුෂ්‍යත්වයේ නාමයෙන් අපි එකසිතින් ප්‍රාර්ථනා කල යුතුමයි. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles