එයා ඇඬුවම ඔයා ඕන දෙයක් කරනවද ?

“ ඒ මිනිහ කියන කියන දේ ඇයි අනේ ඔයා කරන්නේ ? ”

උමාලි සචිනිගෙන් එහෙම ඇහුවෙ පුදුමාකාර කේන්තියකින්. ඇයි අනේ මේ “ මට නම් බෑ ඒ මිනිහ එක්ක තව මොහොතක්වත් ඉන්න, මට එපා වෙලා කියල” අඬල ඉවර වෙලා ආයෙ පොඩි වෙලාවකින් බලද්දි මෙන්න දෙන්න කුරුලු ජෝඩුව වගේ.

සචිනිගෙ අඬෝවැඬියාව අහන් ඉඳල බැරිම තැන තමයි උමාලි තරහෙන් වගේ එහෙම ඇහුවෙ.

තිමේශ් එක්ක සචිනි දැන් අවුරුදු තුනක් විතර යාලුවෙලා ඉන්නව. ඒ අවුරුදු තුනටම මන් හිතන්නෙ දෙන්න අවුරුදු දෙකහමාරක් විතරම කරල තියෙන්නෙ රණ්ඩු වෙන එකයි ආය යාලු වෙන එකයි විතරයි.

“ අනේ ඒ උනාට එයා කතා කරල අඬද්දි කොහොමද අනේ ඉවසගෙන ඉන්නෙ. දුකේ බෑ.”

“දැන් එතකොට මුලු ජීවිත කාලෙම ඌ මොන වරද කරල ඇවිල්ල ඇඬුවත් සමාව දෙන්නද ඔයා හිතාගෙන ඉන්නෙ ?”

උමාලි අහපු ඒ ප්‍රශ්නෙට උත්තරයක් නම් සචිනි ළඟ තිබුනෙ නෑ.

ඒත් මේ “එයා අඬාගෙන ආවම ඔයා ඕන දෙයක් කරනවද?” කියන ප්‍රශ්නෙ අපි ඕන තරම් අහල තියෙනව වගේම ඇහිලත් තියෙනවා. ඉතින් අපි හිතුව අද ලිපියෙන් ඒ ගැන කතා කරනවා කියල.

සබඳතාවයක් ඇතුලෙ සිත් රිදීබ් සහ බිඳීම් ඕන තරම් වෙනවා. සමාව ඉල්ලීම් සහ සමාව දීමුත් ඒ වගේම වෙනවා. ඒත් සමහර දේවල් තියෙනව අපි සමාව දෙන්නම ඕනද කියල දෙතුන් පාරක් හිතන්න ඕන තැන්.

එක එක විදියෙ සහකරුවන්ව අපිට හමුවෙනව. සහකරුවන් විතරක්ම නෙවෙයි සබඳතාවයකදි අපිට එක එක විදියෙ මිනිස්සුන්ව හමු වෙනව. සමහර මිනිස්සු සීතල සුලඟක් වගේ අපේ ඔක්කොම දුක් වේදනා සමනය කරාට සමහර සබඳතාවලදි අපිට හමුවන මිනිස්සු එක්ක ජීවත් වන එක හරි අපහසුයි.

සබඳතාවයක් ගත්තම ඉතාම ඉවසිල්ලෙන් ප්‍රශ්නයකදි හැසිරෙන අය වගේම ඉතාම කලහකාරී විදියට හැසිරෙන. එහෙම අය අතරෙ අපිට හමුවෙනව හරිම බොළඳ විදියට, අනුකම්පාව දිනාගන්න අඬාගත්ත ගමන් ඉන්න මිනිස්සුත්.

මං කිව්වට විශ්වාස කරාවිද දන්නෙ නෑ? හැබැයි එහෙම කෙනෙක් ඔයාගෙ ජීවිතෙත් ඉන්නවනම් මට ඔයාගෙන් අහන්න තියෙන්නෙ බුදු හාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුව වගේම ප්‍රශ්නයක් තමයි.

“ඔබ සර්පයා දුටුවෙහිද?”

මේ බැලුවොත් ඇත්තම් ඕනම දේකට අඬන මිනිස්සුන්ට ඔයාගෙ මනසට කරන්න පුලුවන් හානිය කොච්චර ද කියල කියන්න මට වචන නෑ.

හරිම අහිංසක, බොලඳ ඉක්මනට හිත උණුවන මනුස්සයෙක්ගේ වෙස් මූණ දාගෙන එයාලගෙ කඳුලු එයාලා පාවිච්චි කරනවා ඔයාගෙ සිතුවිලි වලට තීරණ වලට මාර විදියට බලපෑම් කරන්න. (මට හම්බෙලා තියෙනව මෙහෙම මිනිස්සු ඕන තරම්. ආදර සබඳතා ඇතුලෙ විතරක්ම නෙවෙයි ඔෆිස් එකේ, ඉගෙන ගන්න තැන වගේම පවුලෙ මිනිස්සු අතරෙත් මෙහෙම අය ඉන්න බව අමතක කරන්න එපා)

ඉතින් එහෙම මනුස්සයෙක් හම්බ උනොත් ඔයාලා මොකද කරන්න ඕන?

හොඳින් ඇහුන්කම් දෙන්න:

ඔය අඬාගෙන ආව ගමන් ඒවට කම්පා වෙලා උත්තර දෙන්න යන්න එපා. එහෙම කරන්න ඕන නැ. මොකෝ සමහර විට ඔයා හිතනවට වඩා ලොකු ප්ලෑන් එකක් එයාලගෙ ඔය කඳුලු අස්සෙ හැංගිල තියෙන්න පුලුවන්. ඉතින් මොකද්ද ඔය ඔය තරම් අඬන්න හේතුවෙච්ච අවනඩුව කියන එක ගැන හොඳට ඇහුම්කම් දෙන්න.

තේරුම්ගන්න බව අඟවන්න:

ඒ වගේම තමයි කැත්තට පොල්ල වගේ ඉන්න යන්නත් එපා. එහෙම ඉඳල මේ ප්‍රශ්නෙ විසඳන්න පුලුවන් කමක් නෑ. එයාට කියන්න ඔයා එයාව තේරුම් අරගෙන ඉන්නෙ කියල. “අඬන්න එපා, මට තේරෙනව ඔයාගේ වේදනාව” වගෙ වචන පාවිච්චි කරන්න අමතක කරන්නත් එපා. සමහරවිට එයාලා මේ කඳුලු පෙරාගෙන ඉන්නෙ කිසිම තේරුමක් නැති දේකට වෙන්නත් පුලුවන්. ඒත් ඉතින් පොඩ්ඩක් ඔය හිත සැනසෙන්න වචනයක් කියන එකෙන් කාටවත් පාඩුවක් වෙන්නෙ නෑ නේද?

හිත සනසන්න උදව් වෙන්න:

පොඩ්ඩක් ළඟට වෙලා කතා කරන එකෙන්, ඔලුව අතගාන එකෙන්, වැළඳ ගැනීමකින් එයාලගෙ හිත සනසන්න උදව් වෙන එකත් ඉතාම හොඳ දෙයක්. හැබැයි මේ කිසිම වෙලාවක අමතක කරන්න එපා ඔයා දෙන උත්තරයක් දෙන්න ඕන,ගන්න තීරණයක් ගන්න ඕන හොඳට හිතල බලල බව.

ඒ වගේම එයා අඬල ඔයාට කියල වැඩක් කරගන්න හදන හැම වෙලාවකම හොඳට හිතන්න. මම එයාට අනුකම්පා කරලා සමාව දුන්නොත් මට වෙන්නෙ මොකද්ද කියන එක අමතක කරන්න එපා.

ඒ වගේම මේ එයා ඔහොම අඬපු පලවෙනු අවස්තාව නෙවෙයිනම් තව හොඳට හිතල බලන්න. ආදරේ නිසා, එහෙමත් නැත්තම් මේ අඬන ඒව අහගෙන දරාගෙන ඉන්න බැරි නිසා “හරි හරි මම එහෙම කරන්නම්” කියන වචනෙ ඔයාගෙන් පිටවෙන්නෙ ඔයත් නොහිතම වෙන්න පුලුවන්.

ඒත්ඒ මොහොතේ එයාගෙ කඳුලු වලින් ලැබෙන මානසික පීඩනය අඩු කරගන්න කිසිම වෙලාවක මුලු ජීවිත කාලෙ පුරාවටම විඳවන්න වෙන තීරණයක් නම් ඔන්න අරගන්න එපා.

මනුස්සයෙක්ට පුලුවන් ගහල බැනල වගේම, හොඳින් ඉවසල කතා බහ කරල වගේම, මේ වගේ බොරුවට අඬල කරල ඔයාගේ හිත එයාගෙ පැත්තට නම්ම ගන්න.

ඔයා ලව්ව එයාට අවශ්‍ය දේ කරගන්න. ප්‍රශ්නයක් උනාම කතාබහ කරන මිනිස්සු වගේම ගහන බනින මිනිස්සු ත් ඉන්න අතරෙම මේ බොරු අනුකම්පාවකින් තමන්ගෙ පැත්තට හිත නම්ම ගන්න හදන බොරුකාරයින්ගෙන් බේරෙන්න මේ කාරණා හොඳටම මතක තියාගන්න.

ඒ විස්තර වලට අමතරව මම මේ ආටිකල් එක ඉවර කරන්න කලින් මට අහන්න දකින්න වෙච්ච දේකුත් කියලම ඉන්නම්කෝ.

මගෙ යාලුවෙක් යාලුවෙලා හිටියා කොල්ලෙක් එක්ක. යාලුවෙලා ටික කාලයක් ගියාට පස්සෙ තමයි දැනගත්තෙ ඒ මනුස්සයට තව කෙල්ලෙක් ඉඳල බව. අම්මේ අඬපු තරම් ඒක අහුවෙච්ච වෙලේ! අඬන්න ඕන මිනිහ නෝමල් එකේ ඉද්දි මේ වරද කරපු මිනිහ ඇඬුවෙ අන්තිමේ.

“අනේ මට සමාවෙන්න. මම එහෙම කරේ හිතල නෙවෙයි”

“එයා මට සලකන්නෙ නෑ නංගි. මං ගැන හොයන්නෙවත් නෑ.”

“ඔයා මං ගැන හොයන නිසා තමයි මම ළංවුනේ”

“ආදරේ නැත්තම් කොල්ලො අඬනවද නංගි” කියාගෙන ඇඬුව ගඟක් පිරෙන්න.

අපේ ගොන් ගහත් අනේ ඕව ඇත්ත කියල හිතල තව පොඩ්ඩෙන් උන්දැට සමාව දෙනවා. ඔහොම රවට්ටපු මනුස්සයට ඔයාව මුලු ජීවිත කාලෙම අඬවන්න පුලුවන් බව මතක් කරල දුන්නට පස්සෙ තමා බේරගන්න ඇහැක් උනේ.

ඒ නිසා මෙහෙම මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න.

මතක තියාගන්න සමහර කඳුලු වැටෙන්නෙ අපිව රවට්ටන්න බලාගෙන. ඒ කඳුලු වලට රැවටිලා මුලු ජීවිත කාලෙම ඔයා අඬන්න හිතන්න නම් එපා ඔන්න!

ඒ වගේම ඔයාගෙ හිත රිදවන මේ වගේ ඕනම ප්‍රශ්නයක් ළඟදි ඔයා වෙනුවෙන් අපි ඉන්න බව අමතක කරන්න එපා.

ඉතින් එහෙම වේදනාවක් වෙලාවට අපිට කතාකරන්න. ඒක නිර්ණාමික පෝස්ට් එකක් උනත්, මට එවන මැසේජ් එකක් උනත් ඒ ඕනම මොහොතක ඔයා වෙනුවෙන් අපි ඉන්නවා!

ඉතින් රැවටෙන්න එපා, රවට්ටන්නත් එපා!

Related Articles

Don't Miss


Latest Articles