ඒ දෛවෝපගත දිනය සතියකට පසු නොව කිසිදිනක තමාට අමතක කරන්නට බැරි බව පමනක් අනුප දැන උන්නාය.
“අනේ පුතේ ෂෝබිතා ගෙදරින් යනව කියල බඩු ඔක්කොම අරගෙන ගියා”
දුරකතනය ඔස්සේ ආ අම්මාගේ හැඬුම්බර කටහඬත් ඉන් එහායින් ඇසෙන දුලන්‍යා “අම්මා” කියමින් හඬන් හඬත් අනුපගේ සිත කීරිගස්සන්නට විය.
ෂෝබිතාගේ දුරකතනය ඇමතුවද එය නාද වී නිහඬ වනවා මිස කිසිවෙකු එහා පස හිඳ අමතන්නේ නැත. ඇය සියලුම සමාජ මාධ්‍යවලින්ද තමාව ඉවත් කර ඇති බැවින් ඇයව කිසිත් ආකාරයකට සම්බන්ධ කරගන්නට නොහැකිව අනුප උන්නේ දැවෙමිනි.
ෂෝබිතාට තම විවාහක නිවස හැරදමා ගෙදර යන්නට කිසිත් හේතුවක් තමා ඇති නොකළ බව පමණක් අනුපට සහතිකය.
කුලගෙය හැරයන්නටත්, තමා රවටන්නටත් සිතුවේත් ක්‍රියා කරේත් ඇයම මිසක කිසි දිනයක ඇයව අතාරින්නට හෝ නිවසින් පිටමං කරන්නට අදහසක් නොවූ අනුපට ෂෝබිතා යෑමටත් වඩා සිත රිදවන්නක් වූයේ දුලන්‍යාගේ හැඬීමයි.
පවුලේ එකම දරුවා වීම අම්මා සහ තාත්තා දෙදෙනාටම එක හිතින් ආදරය කරන්නට හේතුවක් බව තම පවුලේත් එකම දරුවා වූ අනුපට අලුත් කාරණාවම් නොවේ.
එබව හොඳින් දැනගෙන ඉද්දීත් තම දරුවා හැර යන්නට ගිය ෂෝබිතා ගැන අනුපට ඇත්තෙ පුදුමයකි.
කෝපයකට වඩා එහා ගිය පුදුමයකි.
වාහනග වේගයෙන් ගරාජයට දමා නිවස තුලට යද්දීත් අනුප උන්නෙ ඒ පුදුමය සිතින් දරාගෙන ය.
“අම්මා” කියමින් දුලන්‍යා මහ හයියෙන් හඬමින්, කඳුලු වගුරුවමින් සාලයේ බිම වාඩි වී හිඳිනු දුටු මොහොතේ අනුපගේ සිත තුළ වූ ඒ පුදුමය ෂෝබිතා මරන්නට තරම් කෝපයක් බවට පරිවර්තනය වූයේ තප්පරයකින් හෝ දෙකකිනි.
“අඬන්න එපා බබී” කියමින් තමාව වඩා ගත් තාත්තගේ විසල් උරහිසේ මුහුණ රුවා ගනිමින් කඳුලු ගංගාවකින් තාත්තගේ කමිසයේ පදාසයක්ම තෙමාලන්නට විය.
වාහනයක් පැමිණ මහ හඬින් බ්‍රේක් ගසා ගේට්ටුව අසල නතර වූයේත් උඩු මහලේ සිට ෂෝබිතා විශාක ගමන් මල්ලක් රැගෙන පහල මාලයට ආවේත් එකම මොහොතේ මෙනි. දුලන්‍යාට සවසට කන්නට හැලප හදමින් උන් ආරියලතා මහත්මිය කුස්සියේ සිට සාලය දෙසට ආවේ ඒ හඬටය.
තම ලේලිය උන්නේ බොහෝ දුර ගමනක් යන්නට මෙන් විශාල ගමන් මල්ල රැගෙන නිවසේ ප්‍රධාන දොරටුවෙන් පිටවෙන්නට සුදානමිනි.
දුලන්‍යා උන්නේ අත්තම්මාට පිටුපසින් සිට ගෙන හැලපයක් අතේ තබාගෙන කුතුහලයෙනි. අම්මා තමාට එතරම් සමීප නොවන බව දැන හුන්නද දුලන්‍යාගේ සිත තුල අම්මාත් අත්තම්මාත් තාත්තාත් සීයත් හැරෙන්නට වෙන කිසිවෙකු නොවූ තරම් ය.
කුඩා මනසකින් වුවද අම්මා තමා හැර දමා ගමනක් යන්නට සැරසෙන බව පමණක් දුලන්‍යාට තේරුම් යමින් තිබුණාය.
“දූ කොහෙ හරි යන්නද?” කියමින් අසද්දී පවා ආරියලතා මහත්මිය අතේ පොල් පැණි හැඳිගාමින් හුන් හැන්ද අතේ විය.
“මම යනවා. මම අනුපට ඉන්ෆෝම් කරන්නම්”
කිසිදු ගරුසරුවක් නොමැතිව එසේ වදන් කිහිපයක් පමණක් පිළිතුරු ලෙස විසිකල ෂෝබිතා ඉක්මන් අඩි තබා නිවසින් පිටව ගොස් වාහනයට නැග්ගේත් ආරියලතා මහත්මිය අතේවූ පොල් පැණිහැන්ද බිම වැටුණේත් දුලන්‍යා කඳුලු සලමින් බිම වාඩිවූයේත් එකම වරය.
නිවසේ පහල මාලයේ ඇඳේ හාන්සිවී කෙටි නින්දකට වැදී හුන් කුලරත්න මහතා ඇහැරුණේ තම බිරිඳගේ හැඬුම් හඬිනි.
“අනේ මහත්තය, ෂෝබිතා ගෙදරින් යනව කියල ගියා”
නින්දත් අඩ නින්දත් අතර හුන් කුලරත්න මහතාට එය ඇසුණේ සිහිනයෙන් මෙනි.
“ආ”
නිදා හුන් ඉරියව්වෙන්ම මදක් හිස ඔසවා කුලරත්න මහතා එසේ ඇසුවේ තමන්ටඇසුණ දෙය ඇත්තක්දැයි පැහැදිලි කරගන්නටමෙනි.
බිරිදගේ කඳුලින් බර මුහුණට එහයින් ඇසෙන්නේ මිනිපිරිය අම්මා කියමින් හඬලෑමයි. ඉතින් මේ ඇසුනේ සත්‍යයක් බව පිළිගන්නට එකී සාක්ෂි පමණක් ප්‍රමාණවත් ය.
“ෂෝබිතා කොහෙද ගියේ?” කියා අසමින් ඇඳෙන් නැගිටමින් කුලරත්න මහතා එසේ ඇසුවේ සරම ගැටගස ගනිමිනි.
“අනේ දන්නේ නෑ, මම යනව කියල බෑග් එකක් අරගෙන ගිහින් වාහනේකට නැග්ගා ගියා”
“කාගෙ වාහනේද? කාත් එක්කද ගියේ?”
“අනේ දන්නෙ නෑ, මම දන්නෙ නෑ දෙයියනේ. මම දන්නෙ නෑ කොහෙද ගියේ කියල. අනෙ අර දරුව බිම වැටිල අම්මා කිය කිය අඬනව මහත්තයො. දෙයියනේ අපි දැන් මොකද කරන්නේ? අනෙ පුතාට කතා කරන්න ඕන. පුතාට කතා කරන්න ඕන” කියමින් කලබලයෙන් දුරකතනයේ අංක ඔබන බිරිඳව පසුකර සාලයට ආ කුලරත්න මහත දුටුවේ බිම වැටී තිබෙන පොල් කටු හැන්ද අසල බිම වාඩි වී එකාතකින් අල්ලාගත් හැලපයක් සහිතව අනෙක් අත කට ඇතුලේ රුවාගෙන හඬමින් සිටින මිණිපිරියයි.
එතරම් දුක්බර දසුනක් තමා මින් පෙර කෙදිනක හෝ දැක තිබේද යන්න ගැන කුලරත්න මහතාට ඇත්තේ ගැටලුවකි. මේ මින් පෙර මෙසේ කඳුලින් බරව තිබූ නිවසක් නොවේ. ප්‍රස්න රැසක් මැද්දේත් සිනාමුසු මුහුනින් ඒවාට මූණ පෑ නිවසකි. ඒ කුටුම්භය දෙදරවා බිම පතිත කරවමින් ලේලිය ගොස් ඇත්තේ කොහේද යන්න කියන එක ගැන පවා තවමත් පැනයකි.
“පුතා එන ගමන්” කියමින් ආරියලතා කාමරයේ සිට එද්දීත් කුලරත්න මහතා උන්නේ ඒ ගැටලුවේ එරී ගොඩ එන්නට අපහසුවෙනි.
“නෝනා ෂෝබිතාට කෝල් එකක් දීල බැලුවද?”
“නෑ මට මේ කලබලේ ඒක අමතක උනා”
“අරන් බලන්නකො මොකද වෙලා තියෙන්නෙ කියල, අපි කලබල උනාට සමහරවිටඒ ළමය මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ගියාද කියල”
ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙන බව පසක් කරමින් කුලරත්නමහතා මේ ප්‍රශ්නය විය හැකි හොඳම විදි ගැන සිතන බව් තේරුණද සිත අස්සෙන් කුමක් හෝ විපතක අඬෝවැඩියාවක් නංවන බව පමණක් ආරියලතා ට තේරුණි.
නාද වී නිහඬ වන දුරකතනය දෙස් දෙන්නේ ෂෝබිතා නොඑන්නට බලාගෙන ගොසින් යන්නයි.
ආරියලතා මහත්මිය හඬමින් හිඳින දුලන්‍යා සනසන්නට කටයුතු කළද ඇය උන්නේ නොනවතින හැඬුමට යටත්වය. අනෙක් අතට කුඩා වුවද දරුවන්ට පවා වේදනාවේ කාරණා නොතේරී තිබෙන්නෙ නැත. හැලපය අල්ලාගෙනම හඬමින් හුන් දුලන්‍යා දකිද්දී මහෝඝයක් මෙන් හිත අස්සෙන් නගින වේදනාව නිසා රිදෙමින් තිබූ පපුව අල්ලා ගනිමින් කුලරත්න මහතා අසල වූ වේවැල් පුටුවක වාඩි වූවේය.
ෂෝබිතා සහ අනුප අතර ප්‍රශ්නයක් තිබෙන බව දැන උන්නා වුවද එ පිළිබඳව නොවිමසා නිහඬව සිටීම මේ ප්‍රශ්න මෙතරම් දුරදිග යන්නට හේතුවක් වූවාද අසමින් හිත අස්සෙන් නැගී හිඳින පසුතැවිල්ල මගහැරගන්නට හැකියාවක් නැත.
අනෙක් අතට මේ ප්‍රශ්න මග හැර යා හැකි මොහොතක් නොවේ.
එකාතකින් දුලන්‍යා හඬමින් අම්මා ඉල්ලයි. අනෙක් අතින් ලේලිය නිවසින් ගොස් ය. ඒ හරියාකාරව කිසිවක් නොපවසමිනි.
පුතු එන්නට තව පැය භාගයක් පමන වේලා යන බව දන්නවා වුවද “අර බලන්න, අඬන්න එපා පුතේ දැන් තාත්ති එනවනෙ, අපි තාත්තිට කියමු අම්මිව එක්කන් එන්න කියල” යැයි පවසමින් හඬන මිණිපිරිය නලවන්නට බිම හිඳගෙන හිඳින බිරිඳට “ඔය දරුවට බොරු කියල රවට්ටන්න එපා නෝනා” යයි කියන්නට අවැසි වුවද කුඩා දුලන්‍යාගේ අසරණ මුහුණ බලමින් එවන් ඇත්තක් පවසන්නේ කෙසේද යන ගැටලුව ළඟ කුලරත්න මහතා උන්නේ නිරුත්තරවය.
අනුප ආවේ එවන් මොහොතකය.
විදුලි පහන් නොදල්වා අන්ධකාරයේ ගිලී හුන් නිවසේ සාලය මැද හඬමින් හුන් දුලන්‍යාත්, අම්මාත් තාත්තාත් වටා නෙත් යැවූ අනුපට ඒ මොහොත දැනුනේ පණපිටින් ගින්දරක දැවෙන්නාක් බඳු ඉහිලුම් නොදෙන වේදනාවක් සමගිනි.
අනුප ෂෝබිතාගේ නිවසට ඇමතුවේ ජංගම දුරකතනය ඔස්සේ ඇයව සම්බන්ධ කරගන්නට බැරිම තැන ය.
“හෙලෝ”
එහාපසින් ෂෝබිතාගේ මවගේ හඬ ඇසෙද්දී අසන්නට නියමිත පැනය අසන්නට බැරුව අනුප උන්නේ වේදනාවෙනි. එහෙත් තම දරුවා වෙනුවෙන් ඇයගෙන් ඇගේ දරුවා ගැන අසනවා මිස අනුපට වෙන පිළිතුරක් තිබුනේ නැත.
“අම්මා”
“හලෝ පුතා”
“අම්මා ෂෝබිතා ඉන්නවද?”
“ෂෝබිතා? මෙහෙ? නෑනෙ පුතා එයා මෙහෙ ආවෙ නෑ. ඇයි එයා මෙහෙ එනව කිව්වද?”
“එයා එයා…”
“පුතා ඇයි? මොකක්ද ප්‍රශ්නෙ? කේසර මේ අනුප කෝල් කරනවා”කියා අසමින් ඇය මාමණ්ඩියවද කතවට එක්කරගත්තේ මේ එසෙ මෙසේ ගැටලුවක් නොවන බව තේරුණ බැවින් විය යුතුය.
“ෂෝබිතා මම වැඩට ගිහින් ඉද්දි ගෙදරින් ගිහින්. හරියට දෙයක් කියලවත් නෙවෙයි කියල ගිහින් තියෙන්නෙ. ෆෝන් එකට අන්ස්වර් කරන්නෙත් නෑ.
මම හිතුවෙ එයා අම්මලහ ඇවිත් කියල”
ඒ ඇමතුමකින් විසඳාලිය නොහැකි ගැටලුවක් බව තේරුම්ගත් වීරවිල යුවල කුලරත්න නිවසට ආවේ සිතාගත නොහැකි වියවුලකින් සිත අවුල්ව ගොස් තිබෙද්දීය.
“ෂෝබිතා ආයෙ එයාගේ පරණ බෝයි එක්ක යාලුවෙලා. මම එයාට කිව්ව කීප සැරයක්ම ඒ අෆෙයාර් එක නවත්තන්න කියල. ඒත් එයාට ඕන උනේ ඩිවෝස් වෙන්න. ඊයෙ රෑ පොඩ්ඩක් අපි දෙන්න ඒකට වාද උනා.
ඒත් මම හිතුවෙ නෑ එයා මෙහෙම කරාවි කියල. අනික මට හිතාගන්න බෑ එයා කොහෙද ගියේ කියල”
වීරවිල යුවල මුහුණට මුහුණ බලාගත්තේ පුදුමයෙනි. දියණියට උන් අතීත පෙම්වතා ගැන තමන් දන්නා වග අනුපගෙන් සැඟවීම තේරුම් රහිත බව දන්නවාක් මෙන් කේසර වීරවිල අනුප දෙස බැලුවේය.
“ෂෝබිතා ගිහින් තියෙන්නෙ එයා එක්කද?”