“ඔයාට ආයෙ එන්න බැරිද ෂෝබිතා ප්ලීස්, දරුව ගැනවත් හිතල ආයේ එන්න” කියා අනුප ෂෝබිතාට කෙටි පණිවිඩයක් යැවුවේ සිය වන වරට පමණය. කිසිදු දුරකතන ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට හෝ පිලිතුරු නොදෙන්නට තරම් ෂෝබිතා දරුණු වූයේ කෙසේද යන්න ගැන අනුපට වූයේ මහත් පුදුමයකි.
ඇය හිඳින්නේ දමිත් සමග බව දැනගත් වෙලේ එක කඳුලකදු නොහෙලා ඒ බව දරාගන්නට ෂෝබිතාගේ මවට සහ පියාට හැකියාව ලැබුනේ මෙවන් දෙයක් වීමට හැකි බවට ඉඟියක් ඔවුන්ට කලින්ම සිත ඇතුලතින් ලැබී තිබුණ නිසාද යන්න අනුප දැන හුන්නේ නැත.
එහෙත් කුලරත්න මහතා සහ මහත්මියට එය දාරගන්නට හැකියාවක් තිබුනේ නැත.
අසරණ වී හිඳින්නේ දුලන්‍යා පමණක් නොවේ.
තම දරුවාත් දරුවාගේ දරුවාත් යන දෙදෙනාම මේ ප්‍රශ්නය ඔස්සේ අසරණ වී තිබේ. එය මවක් පියෙක් ලෙස දරාගන්න අපහසු කාරණාවකි.
“දැන් ඒ සම්බන්ධෙ තියෙද්දිද පුතාට ෂෝබිතාව කසාද බන්දල දීලා තියෙන්නෙ?”
කු;අරත්න මහතා එසේ ඇසුවේ වීරවිල යුවල නික්ම ගියායින් පසුවය. ආරියලතා උන්නේ හඬමින් උන් දුලන්‍යාව නිදි කරවන්නට වෙහෙසෙමිනි. එහෙත් එය කරන්නටවත් සිත තුල නිස්කලංකයක් නැති බව දනිද්දී වුව ආරියලතා දුලන්‍යාව වඩාගෙන උඩුමහලට ගෙන ගියේ වැඩිහිටියන්ගේ වැරදි වලට දරුවන් වන්දි ගෙවනට අවශ්‍ය නොවන නිසාවෙනි.
ඉකිබිඳිමින් හුන් දුලන්‍යා හැඬීම නිසාම ඇඟට දැනුන වෙහෙස නිසාවෙන් ඉක්මන් නින්දකට වැටුනද ආයේ ඇහැරුන මොහොතක අම්මා සොයන බව අරුමයක් නොවේ. ඒ වූ කලී පැනයක් නැති පිලිතුරකි.
අම්මා කෙනෙකුට මෙසේ කල හැකිද යන පැනය සිතට නැගෙද්දී පවා ආරියලතා උන්නේ අම්මා කෙනෙකු ලෙස තම දරුවාට අත් වූ අභාග්‍ය සම්පන්න ඉරණම ගැන තැවෙමිනි.
පුතුත් ලේලියත් අතර බහින්බස් වීම් වනු ඇසුණද එය කිසිසේත්ම ලේලියගේ අනියම් සබඳතාවයක් නිසා ඇති වුන එකකැයි දැන උන්නේ නැත.
අනෙක් අතට තම පුතුගේ බිරිඳ එවන ගැහැණියක් වනු ඇතැයි කිසිම අම්මා කෙනෙකු හෝ තාත්තා කෙනෙකු සිතනවාද යන්න පවා ආරියලතාට ගැටලුවකි.
දුලන්‍යාට නින්ද ගියයින් පසුව ආරියලතා පහලට එද්දි තාත්තාත් පුතාත් අතර වූ සංවාදය නිමා වී තිබුනේ නැත. වෙනදාක නම් මෙවන් සංවාදයක් වෙද්දී අඩුපාඩු පුරවන්නටත් සංවාදය දිග් ගස්සාගන්නටත් තේ කෝපි පිලියෙල කරගෙන ඒම පුරුද්දක් වුවද අද රාත්‍රී ආහාරය සකසන්නටවත් සිතක් ආරියලතා මහත්මියට තිබුනේ බෑ.
“ඒ මනුස්සයව කසාද බඳිනවට ෂෝබිතාලගෙ අම්මල කැමති වෙලා නෑ. ඒක නිසා තමයි ඒ අෆෙයාර් එක නතර වෙලා තියෙනෙ. එහෙම ඉද්දි තමයි ෂෝබිතා මාත් එක්ක යාලු උනේ. ඒත් එයා ඒ මනුස්සය ගැන මට කිව්වෙවත් මම ඒ ගැන ඇහුවෙවත් නෑ ඉතින්. පරණ දේවල් දැන් මොකටද කියල මම හිතුවේ”
ඒ වචන තුල වූයේ සැබෑ ආදරයක ලක්ෂණ නොවේද යන්න එවෙලේ එතන හුන් කිසිවෙකු සිතුවාද යන්න පැනයකි. එහෙත් අදත් හෙටත් ඔබට ආදරය කරන්නට මට ඊයේ දිනය ගැන දැනගන්නට අවශ්‍ය නැතැයි කියන ආදරයේ සැබෑම පණිවිඩය එසේ අනුපගේ සිතෙන් බිඳ වැටෙමින් තිබුනි.
ආදරයට අතීතයේ වූ වැරදි හෝ කරුණු අත්‍යවශ්‍ය නැතැයි කියන බොහෝ අය මෙලොව සිටිති. ඒ අතරම අතීතයෙ වූ වැරදි ගැන කියවමින් රණ්ඩු සරුවල් වන මිනිසුන්ද සිටිති. එහෙත් එවන් ලෝකයක හිමි වූ පිරිසිඳු දිය දෝතක් බඳු ආදරය ගැන ෂෝබිතා මොහොතකටවත් නොසිතා අතීතයේ හැරදමා ආ ආදරය සොයා ගියේ ඇයිදැයි කියන කාරණයට උත්තරයක්වත් කුලරත්න පවුලේ කිසිවෙකුත් දැන හුන්නේ නැත.
“ඒ ඔය කියන මනුස්සයව පුතා දැකල තියෙනවද?”
අම්මා එසේ ඇසුවේ උඩු මහලේ සිට පහත මාලයට බසින පඩිපෙල දිගේ මගක් දුර එන ගමන් ය. ඒ ප්‍රශ්නයට පිළිතුරක් තිබුණද, ෂෝබිතා ඔහු සමග හෝටලයකට යනු දුටු බව පවසන්නට පුලුවන් කමක් අනුපට තිබුනේ නැත. එය තම පිරිමිකම අවතක්සේරු කරගැනීමකටත් වඩා පුතෙක් ලෙස මවකට කියන්නට අපහසු කතාවකි.
එහෙත් මෙතරම් කාලයක් සියල්ල මවගෙන් සහ පියාගෙන් සඟවා හිඳිමින් තමන් විසින්ම විසදා ගන්නට යාමේ ප්‍රතිවිපාක විදිමින් හුන් මොහොතක තවත් දේවල් අම්මාගෙන් සහ තාත්තාගෙන් වසං කරගන්නට අනුපට අවශ්‍ය වූයේ නැත.
එහෙත් ඒ සත්‍යය පවසා ෂෝබිතාගේ ආත්ම ගරුත්වය තවදුරටත් බිඳ දමන්නටද අනුපට උවමනාවක් තිබුනේ නැත. මේ මොහොතේ වෙන නිවසක වෙනත් තරුණයකු සමග උන්නද ඇය තවමත් නීත්‍යානුකූලව තම බිරිඳය. වසර හය හතකට ආසන්න කාලයක් එකම සයනය බෙදාගත් බිරිඳයි.
ඒ සියල්ලටම වඩා තමා දිවිහිමියෙන් ආදරය කළ යුවතියයි. ඉතින් ඒ ආදරය වෙනුවෙන් දෙමව්පියන්ට වුවද ඇත්තෙන් අඩක් පමණක් පවසන්නට නොහැකියාවක් වේද?
“ඒ අර දමිත් සිංහවර්ණ”
“කවුරු රාජ්‍ය මන්ත්‍රී දමිත් ද?”
තාත්තා ඇසූ පැනයට අනුප උත්තර දුන්නේ හිස හෙලවීමේනි.
ඒ පිලිතුර අවසානයේ අම්මාත් තාත්තාත් එකිනෙකා අතර හුවමාරු කරගත්තා වූ බැල්මේ වූයේ කම්පනයකි. ඒ ෂෝබිතා නිවසින් පිටව යාම ගැන සිත ඇති වූ කම්පනයට වඩා “දෙයියනේ මොන වින්නැහියක් වෙන්න යනවද?” කියන ආකාරයේ කම්පනයකි.
දමිත් සිංහවර්ණට ඇති මැර බලය ගැන නොදත්තෙකු නැති තරම් ය. ආණ්ඩු පක්ෂයේ බොහෝ හැඳුනුම්කම් තිබෙන, ජනාධිපතිගේ ළඟම හිතවතකු ලෙස කටයුතු කරන දමිත් සිංහවර්ණ යනු අනුප කුලරත්න වැනි සාමාන්‍ය, බිරිඳ විසින් අත හැර දමා ගිය අයෙකුට තරග කර දිනිය හැකි අයෙකු නොවේ.
ඔහු වන් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයකු ළඟ තම පුතුට අතුරු ආන්තරාවක් වේද යන ගැටලුව එවෙලේ කුලරත්න යුවලගේ සිත තුල හොල්මන් කළහ.
“අනේ මන්ද පුතේ” කියමින් මවගේ මුවින් පිටවූ වචන වලත් නිහඬව හිස උඩ පහල හෙලමින් කල්පනා කරමින් හුන් තාත්තාගේ ඉරියව්වේත් ඒ වේදනාව, බය සහ කම්පනය තිබූ බව අනුපට පැහැදදිලි කරගන්නට අපහසුවක් වූයේ නැත.
මේ වූ කලී පිලිතුරක් නැති පැනයක් නොවේ. පිලිතුරක් සොයාගන්නට අපහසු පැනයකි.
පිලිතුරක් නැති පැනයකට වඩා පිලිතුරක් සොයා ගන්නට අපහසු පැනයක් දරාගැනීම අපහසුය. මක් නිසාද යත් පිලිතුරක් නැති බව දන්නා ප්‍රශ්නයක් නම් එය අතැර දමා ඉදිරියට යන්නට හැකියාව තිබුණද, පිලිතුරක් ඇති බව දන්නා ප්‍රශ්නයකට එකී ඵිලිතුර සොයන්නට මිනිස් සිත වෙහෙස වන බැවිනි.
මේ මොහොතේ ෂෝබිතා හැර දමා ගොස් තිබුනේ තමන් පමණක් නම් ඇයව දික්කසාද කර ඇය මෙතරම් කාලයක් සෙවූ ආදරය ඇය වෙත ලබා දී පිටමන් වන්නට සිතීම අනුපට අපහසු කාරණාවක් නොවෙ. එහෙත් දුලන්‍යාව එසේ මවක් අහිමි දරුවෙකු කරන්නට හැකි ද? අනෙක් අතට ෂෝබිතා කිසිසේත්ම ඇයගේ අලුත් ජීවිතයට දුලන්‍යාව ගෙන නොයන බව අනුපට පැහැදිලි ය.
කුලරත්න නිවස එසේ අන්දකාරයේ ගිලී හිඳිද්දී ෂෝබිතා උන්නේ සතුටෙනි.
වසර ගණනාවක් පෙම් කල තැනැත්තා හා අවසානයේ එකතු වීමට සියල්ල හැර දා ඒම ගැන දුකක් හෝ සන්තාපයක් ඇයගෙ සිත ඇතුලේ තිබුනේ නැත.
ඒ වෙනුවට මෙතෙක් කාලයක් පුරාවට සිතට ආවේ නැති වසන්තමය සුන්දරත්වයක් සිත බදා ගෙන හිඳින බව දැන ඇය උන්නේ සතුටෙනි. දමිත්ගේ වාහනය විත් නිවස අසල නතර වෙද්දී ෂෝබිතා උඩු මහලට වී සූදානම් වෙමින් උන්නේ මේ දෛවෝපගත ගමන ආසාවෙන් ආරම්භ කරනු පිණිසය.
“දික්කසාදය දෙන්නෙ නෑ” කියා කොතෙක් කීවද තමා මේ නිවස හැර දමා දමිත් සමග වාසය කරන්නට ගිය පසු අනුපට දික්කසාදය දෙනු හැර ගත හැකි වෙනත් කිසිදු තීරණයක් නොවන බව ෂෝබිතා හොඳින් දනී.
අනෙක් අතට යුතුකමක් ලෙසවත් අනුපට මේ ගන්නට යන තීරණය ගැන පවසන්නට උවමනාවක් ෂෝබිතාගේ සිත ඇතුලේ වූයේ නැත. වාහනය නතර කරන හඬට පඩිපෙල බසිමින් පහත මාලයට යන ගමන හරස් වූයේ අම්මාගේ හඬිනි.
“ දූ කොහේ හරි යන්නද?”
“මම යනවා. මම අනුපට ඉන්ෆෝම් කරන්නම්”
එසේ පමණක් කියා නිවසින් පිටවෙද්දී අනුපගේ අම්මාගේ පිටුපසින් හුන් දුලන්‍යාව ෂෝබිතාගේ ඇස නොගැටුණා නොවේ.
එහෙත් එවෙලේ මවක් ලෙස සිතට කිසිදු වේදනාවක් දැනුනේ නැත්තේ ඇයිද කියන කාරණාව ගැන ෂෝබිතාට මතක් වූයේ නැතිම තරම් ය.
අනෙක් අතට දුලන්‍යා ළග තමනට නොවේ අනුපටය. එසේ හෙයින් ඇය පිලිබඳව දුක් විය යුතු නැති බව ෂෝබිතා සිතට හඟවමින් උන්නාය.
“ඔයා එද්දි ගෙදරින් කවුරුවත් ඇහුවෙ නැද්ද කොහෙද යන්නෙ කියල”
“මම කිව්ව අනුපට කියනව කියලා”
“ඉතින් ඔයා මිනිහට කිව්වද?”
“පස්සෙ කියනව”
“ඌට පිස්සු හැදේවි නේද ඔයා මෙහෙම ගියා කියල දැනගත්තම”
දමිත් එය පැවසුවේ හුදෙක් පවසන්නට උවමනා මිසක තමාගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව ෂෝබිතා දැන හුන්නාය.
එහෙත් ඒ වෙනුවෙන් දෙන්නට පිලිතුරක් සිත ඇතුලේ පෙග ගැෂෙමින් තිබුනි.
තමාට කිසිදිනක අනුපව තෝරාගන්නට අවශ්‍ය වූයේ නැතැයි කිව නොහැක. දමිත් ගේ හැරයාමෙන් පසුව සමාජය අසන ප්‍රශ්න වලට පිලිතුරක් ලෙසටත්, සිත තුලත් ජීවිතය තුලත් වූ හිඩැස මකා ගනු පිණිසත් අනුපට තම ජීවිතය ඇතුලට එන්නට පාර හදා දුන්නද තමා දැනුවත්ව හෝ නොදැනුවත්වම ඔහුට තම ජීවිතය ඇතුලේ ලැබී තිබෙන්නෙ දෙවන තැන බව ෂෝබිතාට පසක් වූයේ අහඹුවකින් මෙන් යලිත් වරක් දමිත් හමුවීමෙනි.
එහෙත් අනුපට දෙවන තැන දෙන්නට හෝ දමිත් ව යලිත් වරක් ජීවිතයෙන් අහිමි කරගන්නට අවශ්‍යතාවයක් නොතිබූ සිත විසින් මේ අරුම පුදුම තීරණය ගත් බව සැබෑවකි.
ඒ තීරණය මුලු මහත් සමාජයම පිලිකුලින් හෙලා දකින්නක් වුවද තම සිතට එකඟව කටයුතු කිරීම වඩා හොඳ බව ෂෝබිතා සිතට කියා දෙමින් උන්නාය.
අනුව තව දස දහස් වරක් වුව අතැර ගන්නට හැක.
එහෙත් දමිත්ව අතැරගන්නට නොහැක.
“පිස්සු හැදුණට කමක් නෑ මට ඩිවෝස් එක දෙනවනම්”
ඒ වචන නිහඬතාවය බිඳිමින් පිට වුවද එයට පිලිතුරක් සපයන්නට දමිත් කටයුතු කලේ නැත.
ඔහු උන්නේ දිගු කල්පනාවක් ගිලී ය.