සදාතන සැනසිලි සුවය අත්පත් කර ගනිමින් සිටියේ ය. ජීවිතය තුළ තමන් ගේ මාර්ගය තෝරා ගැනීම කියනා තීරණය ගැනීම තුළින් සමාදානයේ ශාන්තිය අත්පත් කර ගනිමින් සිටියේ ය. සදාතන කහවණුගොඩ, සියපත් සඳපිනි සූරියගොඩ ට පෙම් කරයි. සිරි පා ගිරි හිසට මත්තෙන් සූර්යෝදය සිදු වෙනවා සේ, ඔහු එය පැහැදිලි ලෙස වෙන් කොට හැඳින ගත්තේ ය. සදාතන ගේ දෙතොල් අතරට හිතුවක්කාර සිනහවක් ඇවිත් නතර විය.
මේ ඔහු ගැහැනියක ගැන හැඟීමක් ඇති කර ගත් ප්‍රථම අවස්ථාව ය. යොවුන් වියේ දී අසීමිත ලැජ්ජාව හා අඩම්බරය නිසා ම ඔහු ට ඒ අවස්ථාව අහිමි වී යන ලදී. ගෑනු ළමයෙකු ජීවිතයේ සිටියා නම් හොඳය කියා ද කිසි දා ඔහු ට සිතී නැත. සැබවින් එහෙම අඩුවක් දැනෙන්නට තරම් හිස් තැනක් ජීවිතයේ නො තිබුණා ම නොවේ. නමුත් ඒ හිස් තැන් වලට පිරෙන්නට දේවල් ඕනෑ තරම් තිබිණ. අම්මා නැති වී ද මදිරා ගේ ආදරය ඒ අතරින් සුවිශේෂී ය. පාසල් සමයේ දී ඔහු බොහෝ ගෑනු ළමයින් ව අක්කා සමග සසැඳුවේ ය. මදිරා ට සම වන්නට ඒ කිසිවෙකුට හැකි වූවා නොවේ. මදිරා ට තියෙන්නේ ඒ තරම් සරල සුන්දරත්වයකි. අම්මා කෙනෙකු ගේ ආදරයෙන් හද පිරුණු කල ගැහැනියක් තවත් පරිපූර්ණ වන්නී ය. ගැහැනු දෑසක් වඩා දීප්තියෙන් බබලන්නේ පරිපූර්ණ ආදරයක් නිසා ය. අම්මා කෙනෙකු වාගේ නිවුන් සොයුරන් දෙදෙනෙකු වෙනුවෙන් කැප වූ මදිරා ගේ ඇස් වල වූ සුන්දරත්වය, සම වයස් කිසිදු ගෑනු ළමයෙකු ගේ දෑසක දකින්නට සදාතන ට හැකි නොවිණ. එ් බොහොමයක් ඇස් වල ළදරු පෙනුමක් විය. එසේ නොවිණි නම් සරාගයෙන් ඇවිළුණ ඒවා විය. සදාතන හෙව්වේ එහෙම දෑසක් නොවේ. එහෙම ස්නේහයක් නොවේ. එහෙම ස්ත්‍රියක නොවේ.
මදිරා ගේ රිය අනතුරෙන් හා අනපේක්ෂිත ලෙස සිදු වී මානසික ගරා වැටීමෙන් පසු සදාතන ගේ හිස මත වගකීම් යුතුකම් රාශියක් පැටවිණ. අක්කා සුව කර ගැනීමට අමතරව දැවැන්ත ව්‍යාපාරයක වගකීම් ද හිස මතට ගන්නට ඔහු ට සිදු විය. එතැන්හිදී ස්ත්‍රියකගේ ප්‍රේමය නොමැති අඩුවක් නො දැනී යන තරමට ඔහු කාර්ය බහුල වූයේ ය. වියානා නමැති තරුණිය ගැන කිසිදු හැඟීමක් නො දැනෙන්නට ඔහු අසංවේදී වූයේ මන්දැයි සදාතන නො දනී. ඔහු ඇයට කතා කළේ නැත. කතා කරන්නට ඕනේ කියා සිතුණේත් නැත. එනයින්, කතා කළා නම් යම් හෙයකින් ඇති වන්නට තිබූ බැඳීමකට අවස්ථාව නැතිව ම ගියේ ය.
කාලයක් තිස්සේ පාළුවට ගොස් තිබූ හුදෙකලා පිරිමි හද විලක් මැද සියපතක් පිපී හිනැහේ. ඇය සැබවින් මලකි. ඒ නම මතක තියා ගැනීම මුල් දවසේ ඔහු ට පහසුවක් නොවිණි ද වතුරේ පිපෙන මල් ගැන ඔහු ගේ විශේෂ කැමැත්තක් විය. සියපත් විශේෂ වන්නට හේතු වූ ප්‍රාථමික හා ක්ෂුද්‍ර වූ නිමිත්ත උත්පාද වන්නේ එතැනිනි.
ඇය ඇගේ තියුණු දෑස නමැති හංස තුඩගින් සිය පිරිමි හැඟුමන් හාරා පාරා විකසිත කළ බවක් වටහා ගන්නා විටත් සදාතන ස්ත්‍රී පුරුෂ ප්‍රේමයේ දිග පළල හැඳින උන්නා නොවේ. මුලින් ම දැනුණේ ඇය දැකීමේ උවමනාවකින් නිරන්තර දෑස් හා හදවත කකියනා බවට හැඟීමකි. වසර ගණනාවක් තිස්සේ ජීවිතය සමග බද්ධ වී පැවති ගෑනු ළමයින් සම්බන්ධ ලැජ්ජාවේ අළු ගසා දමමින් නැගී සිටින්නට ඇය ළඟදී ඔහු උත්සාහ කරමින් සිටිනා බවක් සදාතන හැඳින ගත්තේ ය. ඇය සම්බන්ධ ඊර්ෂ්‍යාවකින් කිහිප විටක් ඔහු දැවුණේ ය. සනාතන කිසිදු අපහසුවකින් තොරව ඉතා සාමාන්‍ය මිත්‍රශීලී බවකින් සියපත් හා ගනුදෙනු කරත්දී, කවදාවත් ඔහු ට එසේ කර ගත නො හැකි වාතාවරණයක් සැලසී තිබීම ගැන සදාතන තමන්ට ම දොස් නගා ගත්තේ ය. මව් කුසයේ සිට ම එක ට එක ම ජීවිතයක් බෙදා හදා ගත් සොයුරා ගැනත් ඇතැම් අවස්ථා වල ඊර්ෂ්‍යා සිතීම ගැන ඔහු ගේ හද තුළ සමාවක් නැත්තේ ය. සනාතන කියන්නේ සදාතන ට ඔහු ගේ ම ප්‍රාණය ය. ඔහු ගේ ම ජීවය ය.
සියපත් ට තිබෙන්නේ ආදරයේත් කරුණාවේත් ප්‍රතිමූර්තියක් වන් දෑසකි. ඒ දෑස් වල ගැඹුරු පත්ලේ සිට ම වන්නේ පවුලක් ගැන කතාවකි. ඇය මුළු පවුලක් හදවතින් දරා ගෙන සිටියා ය. අම්මා තාත්තා ට වඩා හොඳ ජීවන තත්වයක් සලසා දීම සාමාන්‍ය පෙළ පන්තියේදීත් ඇගේ ජීවන අපේක්ෂාව විය. උසස් පෙළ කඩඉම ඇයව ඒ පාලමෙන් හලා දැමුවේ ය. නමුත් එක ම ගමනාන්තයකට යන්නට වුව පාරවල් ගණනාවක් තිබිය හැකි බව විශ්වාස කළ ඕ ඒ පාරක් හොයමින් සිටියා ය. පංකජී ව ජාතික සරසවි පාරේ රැගෙන යාම දැන් ඇගේ හීනයකි. ඇගේ නෙළුම් පෙති ඇස් වල වන්නේ ඒ මහා අධිෂ්ඨානය ය. ඒ මහා ආදර කරුණාව ය. පවුලක් හිස මත දරා ගත් අප්‍රතිහත ධෛර්යය ය. සියපත් ගේ ඇස් වලට සමාන දෑසකට සදාතන දැක තිබුණේ මදිරා ගේ දෑස ය. සියපත් ගේ තරම් ගැඹුරු නොවී ද ඒ කරුණා සාගරය අක්කා ගේ දෑසට සම ය.
“මීට පස්සෙ සර් මාව පික් කරන්නවත් ඩ්‍රොප් කරන්නවත් එන්න එපා සර්… ඩ්‍රයිවර් කෙනෙක් නැති වුණත්..පිටින් බලන අයට ඕන දෙයක් හිතන්න පුළුවන්නෙ. වියානා මිස් වුණත් ඒක වැරදියට දකින්න හිතන්න පුළුවන්නෙ සර්…”
සියපත් ගේ මේ වචන ටික කී වතාවක් හදවතින් විශ්ලේෂණය කළා ද කියා සදාතන ම නො දනී. වියානා වූ කලී ඔහු ගේ හදවත මත ඔහු විසින් රෝපණය කරනා ලද බීජයක් නොවේ. වෙනත් කිසිවෙකු විසින් කොහෙන් හෝ ගෙනැවිත් සිටුවන ලද පැළයකි. නමුත් සියපත් සිටින්නේ ඒ ගසෙන් එපිට ය. ඇය පැහැදිලි ලෙස ම අවධාරණය කළේ ඒ ගස අතික්‍රමණය කරන්නට කිසිදු අවසරයක් ඔවුන් දෙදෙනාට නැති බවයි.
සදාතන කහවණුගොඩ සියපත් සඳපිනි සූරියගොඩ ට පෙම් කරමින් සිටියි. කවුරුන්වත් ගෙනැවිත් සිටවූ පැළයක් සිය හදවත මැද අනවසර වෘක්ෂයක් සේ වැඩෙන්නට පෙර එය ඉවත් කළ යුතු බව සදාතන නිවී සැනසිල්ලේ තීරණය කළේ ය. වියානා ගේ සෙවනැලි සහිතව සියපත් අභියස අවංක හා ඍජු පිරිමියෙකු ලෙස සිට ගත නො හැකි බව සදාතන වටහා ගෙන සිටී. ඔහු සැනසීමට පත් කොට තිබෙන්නේ එකී අවබෝධය ය.
මුලින් ම මේ ගැන සනාතන සමග කතා කරන්නට සදාතන තීරණය කළේ ය. ඔවුන් දෙදෙනා කුඩා කල පටන් හොඳ ම මිතුරන් ය. උනුන් හා කතා කරන්නට බැරි දෙයක් ඔවුන් දෙදෙනා ට තිබී නැත. සනාතන ඔහු ගේ කෙටි කාලීන ඇසුරේ හිඳිනා හැම කෙල්ලක ගැන ම සදාතන සමගින් කියා තිබේ. සදාතන එක අකුරක් හෝ අපතේ නො යවා ඔහු කියනා දේ අසා හිඳී.
“ගෑනු ළමයින්ගෙ ජීවිතත් එක්ක සෙල්ලං කරන්න එපා හරිද…”
ඒ හැම කතාවක ම අවසානයේ සදාතන ට කියන්නට තියෙන්නේ එහෙව් කතාවකි. එතකොට සනාතන සෝපාහාසී සිනහවක් නගා ගනී.
“තමුසෙ දන්නෑ කෙල්ලො ගැන. කෙල්ලො කියන්නෙ රට කාල ඉන්න ජාතියක්. උං අපිව ආශ්‍රය කරන්නෙත් ආතල් එකකට විතරයි”
“මං කියන්නෙ අහිංසක ගෑනු ළමයි ගැන”
“කොහෙද එහෙම උන් ඉන්නෙ…”
සදාතන මල්ලී සමග ඊට වඩා දුර දිග වාද නොකරන්නේ ඔහු ඒ විෂය ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන නිසාත් තමන් අත්දැකීම් අතින් අඳ බාලයෙකු බව දන්නා නිසාත් ය.
මේ ඔහු මල්ලී සමග ගෑනු ළමයෙකු ගැන කතා කරන්නට යන ප්‍රථම අවස්ථාව ය. සදාතන ගේ දෙතොල් අතරේ ආඩම්බර සිනහවක් ඇඳිණි. නමුත් ඔහු එය කැඩපතින් දුටුවේ අහිංසක සිනහවක් විලස ය.
අත් ඔරලෝසුවෙන් ඔහු වෙලාව බැලුවේ ය. රාත්‍රී දහය ද පසු වී තිබේ. නමුත් හෙටට කල් නො දමා මේ දැන් ම මේ ගැන සනාතන සමග දෙඩීමේ නො ඉවසිල්ලක් ඔහු ට දැනිණ.
සදාතන ගේ හා සනාතන ගේ කාමර දෙක වන්නේ මතු මහලේ එක ම පටු කොරිඩෝවක සම්මුඛව ය. සදාතන ගේ කාමරයේ දොර හැරෙන විට ම සනාතන ගේ කාමරයේ දොර ද විවර විය. ඔවුන් දෙදෙනා ගේ ම මුහුණ වල නැගුණේ එක ම සිනහවකි.
“නිදි නැද්ද තාම…”
ඒ ප්‍රශ්නය ද එකට එක වර ම දෙදෙනා ගෙන් නැඟිණ.
“කියන්න දෙයක් තියනව”
ඒ ප්‍රකාශය ද එකට ම දෙදෙනා ගේ ම මුවින් පිට විය. ඉන් අනතුරුව උනුන් ගේ මුහුණු බැලූ සොයුරන් දෙදෙනා ම නැවත ද සිනහවක් නගා ගත්හ. සදාතන සනාතන ගේ කර මතින් අතක් දමා ගත්තේ ය.
“හරි හරි එහෙනං ඉස්සෙල්ල තමුසෙ කියනවකො. ඕකත් ශුවර් එකටම තව කෙල්ලෙක් ගැන වෙන්නැතිනෙ”
“හරි හරි මං ඉතිං හැමදාම කියන එකනෙ. ඔයා මොකද්ද කියන්න ගියේ..”
ඔවුහු ටෙරසයට ගොඩ වූහ. එහි කහ පාට එළියක් විහිදෙන විදුලි පහනක් දැල්වෙමින් තිබිණ. වේවැල් පුටුවක හිඳ ගන්නා ගමන් සදාතන අහස දෙස බැලුවේ ය. තාරකාවක් දෙකක් තන් හි තන් හි යන්තමින් දිළේ. මේ වස්සාන සමය නිසාවෙන් තාරකා හැංගී ගෙන ය. සනාතන ද පුටුවක් ඇද අසුන් ගත වූයේ ය.
“ඒකට කමක් නෑ. සනාතන කියන්නකො. මගෙ කතාව ටිකක් දිග වැඩියි. අනිත් එක…ටිකක් කම්ප්ලිකේටඩ්. ඇත්තටම…අවුල් ටිකක් තියනව ලිහාගන්න. ඔයාගෙ කතාව කියන්නකො”
“අවුල් කිව්වෙ…මොනා ගැනද ඔයා කියන්න යන්නෙ…කම්පනි එකේ ප්‍රශ්නයක්ද…”
“නෑ නෑ ඔයා ඉස්සල්ල කියල ඉන්නකො. ඕක කොහොමත් කෙල්ලෙක් ගැනනෙ ඉතිං”
එහෙම කියත්දී වෙනදා නො දැනෙන ගින්නක් ක්ෂණික ව සදාතන ගේ පපුවේ ඇවිළිණි. ඔහු ට සියපත් සිහි විය. එය තමන් ගේ හිතළුවක් සේ සිතන්නට ඔහු උත්සාහ ගත් අතර ඒ සිතිවිල්ල ගැන මඳහසක් ද උපදවා ගත්තේ ය. සනාතන සියපත් කෙරේ හැසිරෙන්නේ සොයුරියක ගේ ස්නේහයෙන් විය යුතු ය. ඉස්සර මදිරා සුවෙන් සිටියදීත් ඔහු සියපත්ගේ වාගේ ම ඇගේ කොණ්ඩයෙන් ඇද්දේ ය. අතේ ඇති දෙයක් උදුරා ගත්තේ ය. උසුළු විසුළු කළේ ය.
“කෙල්ලෙක් ගැනනං තමයි. ඒත් මේක ටිකක් ස්පෙශල් මං හිතන්නෙ”
“ස්පෙශල් කිව්වෙ…”
“සදාතන හැමදාම කිව්වෙ ගෑනු ළමයින්ගෙ ජීවිතත් එක්ක සෙල්ලං කරන්න එපා කියලනෙ. මං හිතන්නෙ…මං මැරි කරන්න කැමති විදිහෙ ගෑනු ළමයෙක් දැන් මට හම්බ වෙලා ඉන්නව”
“හම්…මෝ…ලොකු දෙයක්”
ඒ සැනසිල්ලට යටින් අර ගින්දර ද නැවතත් බුර බුරා උඩ ආවේ ය. නමුත් සදාතන මඳහස වියැකෙන්නට ඉඩ දුන්නේ නැත.
“මං හිතන්නෙ…ඒ ළමගෙ පවුලෙ තත්වෙ අපේ ගෙදර අය ප්‍රශ්නයක් කර ගන්නෙ නැති වෙයි…එයා අපේ පවුලට ඕන කරන විදිහෙ ගෑනු ළමයෙක්. අපි කවුරුත් ගැන හොයල බලන…අපි හැමෝම ගැන ආදරෙන් හිතන ගෑනු ළමයෙක්. වෙන කවුරුත් නෙවෙයි සදාතන. එයා…සියපත්…”
එය ගින්දරක් නොව ගිනි කන්දක පුපුරා යාමකි. සදාතන ඒ විදාරණයට හසු වී තත්පර ගණනක් එසේ ම සිටියේ ය. විදාරණයටත් වඩා දරුණු, ගිනියම් ලාවා වලට දැවෙත්දී ය. දත් ඇඳි දෙක ටකස් ගා එක මත එක වැදිණි. සදාතන අතකින් මුව හා නිකට වසා ගත්තේ ය. සිය මුහුණෙන් කිසිදු හැඟීමක් පිටතට ප්‍රකට නො කිරීම මුලින් ම ඔහු ට ඕනෑ වූ දෙයයි. හුස්ම ගන්නට අසීරුවක් ඔහු අත්වින්දේ ය. නමුත් සදාතන ඒ බවක් හෝ සනාතන ට පෙන්වන්නට ගියේ නැත.
“සදාතන හිතන්නෙ…තාත්ත මේකට කැමති වෙන එකක් නැද්ද…”
සදාතන මුල් ඉරියව්වේ ම සිට නෙතු නගා සොයුරා දෙස බැලුවේ ය.ලෝදිය වාගේ ඔහු ගේ හද හැඟුමන් දැවේ. උණු වේ. දිය වේ. වැගිරේ. නමුත් දැන් ඉතින් ඒ කිසිදු හැඟුමකට වටිනාකමක් ඇත්තේ නැත. ඒ සියල්ල උපන් ගෙයිම මියැදිය යුතු ය. මිය ගිය තැන්හි ම මිහිදන් ද විය යුතු ය. ඒ හද සුසානය කිසි දා කිසිවෙකු නො දැකිය යුතු ය. නො හෑරිය යුතු ය. ඔහු ත් සමග ම දිනෙක ඒ සියල්ල පොළොවේ පස් වී යා යුතු ය. නැතහොත් ගින්නේ අළු වී යා යුතු ය.
සදාතන ට සිය ජීවිතයට වඩා සනාතන වටී. සොයුරා ගේ සතුට වටී. සියපත් ඔහු ට තවත් එක කෙල්ලක පමණක් වී නම් සදාතන කිසි සේත් ඊට ඉඩ දෙන්නේ නැත. නමුත් සනාතන ගේ අපේක්ෂාව සියපත් විවාහ කර ගැනීම ය. ඔහු ඊට එරෙහිව වදනකුදු දොඩන්නේ කෙසේ ද? එක ම මොහොතක එක බඩ වැල කඩා ගෙන උපන් සහෝදරයාගේ සතුට විනාශ කොට සිය සතුට ගැන සිතන්නේ කෙසේ ද?
“අවුල් වගේද…”
සනාතන යළිත් විමසී ය. සදාතන දත් ඇඳි තද වී තිබියදී ම අසුනෙන් නැගිට සනාතන ඉදිරියට ගියේ ය.
“කෙල්ලව අතරමගකදි අත් අරින්නෑ නේද…”
“පිස්සුද…මේක සීරියස් කරන්නෙ”
“සියපත් දන්නවද…එයාට කිව්වද…”
“නෑ. එයාට කිව්වෙ නෑ. මුලින්ම සදාතනට කියල ඉන්න ඕන කියල හිතුව. මට අකමැති වෙන්න සියපත්ට හේතුවක් නෑ නේද…”
සනාතන ද අසුනෙන් නැගිට ගෙන සිටියේ ය. සදාතන මල්ලී ව වැළඳ ගත්තේ ය. කිව යුතු වෙනත් යමක් ඔහු ට සිහි වන්නේ නැත. වළකා ගන්නට බලවත් උත්සාහයක් ගත් මුත් කඳුළක් ඇස් වලට උනා ආවේ ය. සදාතන එය අතැඟිලි වලින් චප්ප කොට දැමි බවක් සනාතන දන්නේ හෝ නැත!