ඉඳුදුන්න -24

ඉඳුවර කැළඹීමෙන් ද නොසන්සුන් බවින් ද දින ගෙවා දැම්මේ ය.මේ කාරණා කිසිවක් සිදු නොවන්නට අමන්දීගේ එදා එරෙහි වීමට එකඟ වූවානම් කියා ඔහු සිතුවේ ය.එසේ නම් මෙවැනි වියවුල් නැති ජීවිතයක් අයත් වන්නට ඉඩ තිබිණ.
නමුත් දැන් ආපසු හැරෙන්නට නොහැක.කළ හැක්කේ නොනවත්වාම මේ ගමන යාම ය.

“දැන් ඉතින් තියෙන්නේ දිගටම ඕවට මූණ දෙන්න.අනික මඩක් වැදුණත් නෙවෙනෙ.උඹව පරිස්සං කරන්න ගිහින් විතරනෙ..”

සිතිජ එසේ කියා හිනැහුණේ ය.ඔහු ඉඳුවරට ඇද වැටෙන්නට දුන්නේ නැත.තාරකාවක ලෙස ඉඳුවරගේ ගමනේ දුර වැඩි බව සිතිජ දැන සිටියේ ය.ඒ නිසා ඔහුට උදව් නොකර හිඳින්නට සිතිජට හිත හදා ගන්නට නොහැකි විණි.

“මේ ෆීල්ඩ් එකේ මට වඩා දුරක් තියෙන්නෙ උඹට මචං..ඒ ගමන පරිස්සමින් පලයං..”

සිතිජ එසේ පැවසුවේ සැබෑ හිතවත්කමිනි.ඉඳුවර වියවුලෙන් කල්පනාවට වැටුණේ ය.සමහරවිට ෂෙරිල්ව පිළි ගත්තානම් මෙය මෙසේ නොවන්නට තිබිණ.එහෙත් ඈ එවිට ඔහුට සමීප වන්නට ඉඩ හරින්නේ ද ඇයට ඕනෑ ගැහැනුන්ට පමණි.තරිඳිගේ අනාගතය එසේ විනාශ වන්නට ඉඩ හැරීම අවුල්සහගත බව ඔහු සිතුවේ ය.

“මලිත්ගෙ ස්ක්‍රිප්‍ට් එකේ හැටියට මං අයිති ඔයාට තමයි..”

රූගත කිරීමක් අවසානයේ නිවසට යමින් සිටියදී තරිඳි පැවසුවා ය.ඇයට තමන්ගේ කාරයෙන් නිවසට යා හැකි බව පැවසුවේ ඉඳුවර ය.තරිඳි ඒ ගැන ඉතා ප්‍රීතියෙන් පසු වූවා ය.ඇයට එවැනි යෝජනාවක් පැමිණියේ මුල්ම වතාවට ය.ඒ ඈ ඉතා ප්‍රිය කරන තරුව වීම නිසා තරිඳිට වූයේ ඉගිල්ලෙනසුළු සන්තෝසයකි.

“හරියට ඇක්ට් නොකරොත් මිස්ට වික්‍රමබාහු මට වෙන පාට්නර් කෙනෙක් දෙයි..”

ඉඳුවරගේ මන නන්දනීය සිනාවේ කිමිද ගත් තරිඳි මන්මත් වන්නට ගත්තා ය.ඉන් අනතුරුව ඈ දෑස පියා ගත්තා ය.මේ සිහිනයක් බව සිතන්නට ඇයට ඕනෑ විණි.

සිහිනය ඇරඹුණේ ඉනික්බිති ය.

“ස්ක්‍රිප්ට් එකට විතරක් මට අයිති වෙන්නද කැමති..”

ඔහු ඇසුවේ ටෙලි තිරයට වඩා බොහෝ ප්‍රේමණීය ව ය.තරිඳි ගැස්සී ගියා ය.ඈ ඉඳුවර දෙස බලා සිටියේම කඳුළු පිරුණු මුහුණකින් ය.කෑගසා හඬන තරමේ හැඟීමකින් ඈ පිරී ගියා ය.

“මං ආසයි තරූ ඔයා මට ඇත්තටම අයිති වෙනවනම්..”

ඒ හඬ ඇසුණේ එහා ලොවකින් වාගේ ය.තරිඳි ඇගේ අත කොනිත්තා ගත්තා ය. ඇය තරු තරගයට ආවේම ඉඳුවර දකින්නට ආසාවෙනි.දුර සිටි හෝ ඔහු සමඟ කතාබහ කරන ආසාවෙනි.තරගයෙන් ඉවත් වන්නට වූ දා ඔහු තමන් සනසද්දී ඈ සිතුවේ කිරුළ තම හිස රැඳුණු බව ය.ඉනික්බිති ආවේ ඔහුගේ තිරයේ පෙම්වතිය වන කාලය ය.දැන් ඔහු ඈ සිහිනයෙන් නිතර ඇසූ වදනක් තෙපලමින් සිටියි.

“මං ඔයාට ආදරෙයි තරූ..මං හිතනව මගෙ ගමනට ගැලපෙන්නේ ඔයා.මාත් එක්ක ඉන්නවද?”

රාත්‍රිය මධ්‍යම යාමයට ළඟා වෙමින් තිබිණ.නියොන් එළි සහසක් දැල්වෙමින් තිබුණේ බලාපොරොත්තුවක ආලෝකය රැගෙන බව තරිඳි සිතුවා ය.මේ රාත්‍රිය ඇගේ ය.මේ ඇගේ බලාපොරොත්තුවේ රාත්‍රිය ය.

“මමත් ඔයාට ආදරෙයි ඉඳුවර.”

ඇය කල් නොගත්තා ය.කාලයක් හදවත පෙළූ හැඟීම එසේ මුදා හැරියා ය.

අමන්දී, කොළඹින් බොහෝ දුරක සිට අවදි වූයේ දහඩිය පෙරාගෙන ය.ඇය මහ හඬින් කෑගැසූ බව ඇසුණේ ඈ අසල නිදා හුන් අවිශ්කට ය.

“නංගි, ඇයි…ඇයි මොකද වුණේ?”

අමන්දී දහඩිය වැකුණු මුහුණ පිසදා ගත්තා ය.අවිශ්ක වතුර වීදුරුවක් අත තබන තුරුම ඈ සිටියේ වෙව්ලමිනි.

“මං නරක හීනයක් දැක්ක.”

අවිශ්ක අමන්දීගේ හිස පිරි මැද්දේ ය.ගොයම් කපා හිස් වූ වෙල් යායේ නරි හූ කීම රාත්‍රිය පුරා පැවතිණ.අමන්දී නින්දට ගියේ ඒ හඬට බියෙනි.තවම මේ පරිසරය ඈට නුහුරු ය.ඈ හිඳින්නේ ඒ නුහුරු පරිසරයෙන් භීතියට පත්ව ය.

“මං පිරිත් දාන්නම්..ඔයා නිදා ගන්න..”

අවිශ්ක සාලයට යන්නට නැගී සිටියේ ය.

“මං ගිහින් එනකං ඉන්න බයනම් එන්න මාත් එක්ක..”

ඔහු ඇසූවද අමන්දී නැතැයි කියන්නට හිස සැලී ය.අවිශ්ක පහළ මාලයට ගියේ ඉහළ මාලය පුරා විදුලි පහන් දල්වා ය.

අමන්දී වහා දුරකථනය අතට ගත්තා ය.ඉනික්බිති සනුරිට පණිවිඩයක් ලියූවා ය.මේ මධ්‍යම යාමයේ සනුරි අවදියෙන්දැයි ඈ නොදන්නී ය.නමුත් ඇය පණිවිඩය ලියා යැවූවා ය.

“ඉඳුවර හොඳින්ද කියල බලනවද..මං එයා කාර් එකත් එක්ක මහා අඳුරක ගිලෙනවා දැක්කා..උදව් ඉල්ලලා කෑගැහුවා..”

ඈ ඉඳුවර අඳුරු අගාධයක ගිලෙන අන්දම සිහිනයෙන් දුටුවා ය.ඔහු ඇගෙන් උදව් ඉල්ලා කෑගසමින් සිටියේ ය.

ඒ ඉඳුවර තරිඳිට ආදරය බව කී මොහොත ය.හරියටම ඒ මොහොත ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles