විහඟ පියාපත් 24

0
4698

අකලංක සඳුදා සවස පෙරළා එන්නට සූදානම් වනතුරුම ශයිනි අමයුරු ගේ ගිණුමට පිළිතුරු එවා තිබුනේ නැත. අකලංක ඉන් පසුව ඇයට පණිවිඩ යොමු කලේ නැතිවා වුවද, පැයකට කිහිප වතාවක් වන සේ මැසෙන්ජරය ට එබුණේය. ඇය කුමක් හෝ කලබල තීරණයක සිටිනවාදැයි යන තිගැස්ම විටින් විට අකලංකට වද දුන්නේය.

 තමා දන්නා කාරණා සියල්ල පිළිබඳව ශයිනි දැනුවත් කෙරූ බව ප්‍රබාත්ට තවම පවසා නැත. ඒ නිසාම මෙවෙලෙහි ඔහු සමඟ කිසිත් දොඬමලු විය නොහැක. 

අම්මාත් තාත්තාත් රැගෙන යෑම සඳහා ආහාර මලු සකසන හඬ ඇසෙයි. මල්ලී ඔවුන් හා ව්‍යාජ අමනාපකම් පෙන්වමින් කෑ ගසන හඬද ඇසෙයි. කොළඹ ජීවිතය අතැර ගමට වී සිටින ජීවිතයක් ලැබෙනවානම් කියා අකලංකට එක්වරම සිතුනේ ඒ මොහොතේ ප්‍රහර්ශයෙන් ඔහු පිරී ගිය නිසාය. එහෙත් ශයිනිගේ උවන සිහි විය. කොළඹ ජීවිතය පවා නරකක් නැති වග අකලංක ට සිතෙයි. 

පෙරළා එන ගමනට සුක්කානම බාර ගන්නට වූයේ අකලංකට ය. එනිසාම ඔහු ජංගම දුරකතනය පසෙකට කර තැබුවේය. අන්තර්ජාල සම්බන්ධතාවය පවා විසන්ධි කලේය. එලෙස තැබූ විට ඇති වෙන බලාපොරොත්තුවේ මිහිරියාවෙන් මේ පැය කිහිපය ගමන් කල හැක.

ප්‍රබාත් ශයිනි පිළිබඳව විමසූයේ කොළඹ ට කිට්ටු කර තිබියදීය. අකලංක වචනයෙන් දෙකෙන් පිළිතුරු නිම කලේය. සැබැවින්ම සිදුව ඇත්තේ කුමක්දැයි දැන ගැනීමෙන් පසුව සියලු තොරතුරු ප්‍රබාත් ට පැවසිය හැක.

අකලංකලා නවාතැනට පැමිණියේ රාත්‍රී ආහාරයද රැගෙනය.  රැගෙන ආ  පාර්සල් ලෙහා අස් කිරීම ප්‍රබාත් ට ඉතිරි කල අකලංක එහෙමම නින්දට වැටුණේය. පසුදින යළි ගාල්ලේ රූගත කිරීම් සඳහා යනවාය යන මතකය සමඟ ඔහු ඉතා ඉක්මනින් නින්දට වැටුණි. 

පසුදින අකලංක පිටත් වූයේ ප්‍රබාත් නැගිටින්නට පෙරය. හෝටලයට ළඟා වනවිට උදෑසන අට පසු වූවා පමණි. තුන්වෙනි දර්ශන වාරයත් අවසන් කර තිබූ අතර, අකලංක ගේ දර්ශන වාර තිබුණේ සවස් වරුවේය.

“මේක් අප් එකට එන්න එකට විතර …”

සහාය අධ්‍යක්ෂවරයා අකලංක පසු කලේ කලබලෙන් එලෙස පවසමිනි. අකලංක ඔහුට හිස සැලුවේය. ඒ අතරේ කිසිවෙක් සොයන තීක්ශණාත්මක දෑස් එහෙ මෙහෙ සැරිසැරුවේය. එහෙත් සාපේක්ෂව පාලු පරිසරයක් මිසෙක කිසිවෙකු මුණ ගැසුණේ නැත. අකලංක නඩත්තු අංශයේ සේවය කරන අයෙකු අසලින් නැවතුණේය 

“මල්ලී… මොකෝ හොටෙල් එක වහලාද ? ..”

“ඔව්නේ සර්…ඊයේ පොඩි ප්‍රශ්නයක් වෙලා මැඩම් සති දෙකකට හෝටලේ වැහුවා… දැන් ඇතුලේ ඉන්න දෙතුන් දෙනා හෙට යනවා.. ඊට පස්සේ නාට්‍යයේ අය විතරයි …”

“අහ්හ්…”

අකලංක ට ඉන් එහා කිසිවක් විමසන්නට ඉඩ නොතබාම නඩත්තු අංශයේ තරුණයා පසෙකට ඇවිද ගියේය. සිදුවන්නට ඇත්තේ කුමක්දැයි අකලංක ට වටහා ගැනීම අපහසු නැත. මෙවෙලෙහි ඇය දකින්නට ඇතිනම් ඔහු ඒ ඉඩ මඟෑරගන්නේ නැත. එහෙත්, ඇය සිටිනවාද කියාවත් තවම හරිහැටි දන්නේ නැත  

අකලංක ඉතා ඉක්මන් ගමනින් හෝටල් පරිශ්‍රයේ පෝරුව සකස් කර තිබූ පෙදෙසට ඇවිද ගොස්, ඒ පෙනෙන තෙක් මානයේ පටන් ගණනකට නැතිව මෙන් සෙම්න් ඇවිද ගියේය. කිහිප දෙනෙකු ඒ අසළ සිටිනු පෙනෙයි.

තමා ඒ දෙසට ඇවිද යාම කෙතරම් සුදුසු වේදැයි අකලංක ට අදහසක් නැත. එහෙත්, මෙවෙලෙහි සිදුවන්නේ කුමක්දැයි දැනගත යුතුය. ශයිනි ගෙවුණ දිනයේම නිහඬව සිටිනවාය යන්නේ අදහස ඇය මේ කිසිවක් පවසන්නට උත්සුක නොවන්නේය යන්නය. 

එම ස්ථානයට තවත් ලං වෙද්දී එතැන සිටින්නේ ශයිනි, චරිත් සහ තිළිණි වග අකලංක හඳුනා ගත්තේය. ඔහු වටපිට බලමින් , ඔහේ ඇවිද යන්නාක් මෙන් අකලංක එදෙසටම ඇවිද ගියේය. 

ඔහු ඒ දෙසට පැමිණෙන බව පලමුව දුටුවේ තිළිණිය. තිළිණි ඒ බව ශයිනි ට පවසනුද, ඇය ආපසු හැරී බලනුද අකලංක දුටුවේය. අකලංක එතැනින් නැවතුණේය.ශයිනි ඔහු දෙසට ඇවිද ආවාය. තිළිණි සහ චරිත් උන් තැනම කතාබහක නියැලුණෝය. 

“ගුඩ්මෝනින් මිස්ටර් අකලංක …”

ශයිනි වෙනස්ම ස්වරයක උන්නාය. අවසන් වතාවට තමා මුණ ගැසෙද්දි ඕ සන්තකව තිබූ යමක් අහිමිව ගොස්ය යන හැඟීම අකලංක ට එක එල්ලේම දැනුණි.

“ගුඩ්මෝනින්…මොකද මේ ?”

ඔහු ඒ බව පසෙකට සඟවාගෙන, ගලවා දමා තිබූ පෝරුව දෙස බලමින් විමසුවේය. ශයිනි ඉතා ඉක්මනින් ව්‍යාජ කතාවක් ගොතමින් එය අකලංක ඉදිරියේ දිග හැරියාය.  ඉන් පසුව අලුත්වැඩියා කටයුතු සඳහා හෝටලය වසා දමා ඇති වගද පැවසුවාය. අකලංක සියල්ල අසා සිටියේ ඇය මවා පෙන්වන්නට උත්සාහ කරන කතන්දරය හොඳින්ම විශ්වාස කරන වගද පෙන්වමිනි.

“පහුගිය දවස් ටිකේ ගමේ ගියා …”

අකලංක ඒ කතාව එතරම් ගණනකට නොගත්තා සේ පෙන්වමින් කීවේ ශයිනිද පෙරළා ඔහුගෙන් කිසිවක් නොවිමසා එය හිස සලා අසා සිටීම පමණක් කරද්දීය.

“එන්නම් එහෙනම්..”

“හරි.. රූම්ස් වල පොඩි චේන්ජස් ටිකක් උනා..අර ඒඩී මල්ලීට කියලා තියෙන්නේ…”

අකලංක එයට හිස සැලුවේය. සහාය අධ්‍යක්ෂවරයා හමුවී තම කාමරයේ වෙනසක් නොවූ වග දැනගෙනම ඔහු කාමරය තුලට වූයේය. ශයිනිගේ පැහැදිලි වෙනස ඔහුට ප්‍රහේලිකාවකි. අකලංක අමයුරු දිසානායක ගේ ගිණුමට පිවිසුනේය. 

” මොකද නිහඬ ? සුබ උදෑසනක් …”

ශයිනි ජංගම දුරකතනය අතට ගන්නවා ඔහු උන්නේ බලාගෙනය. ඇය කිසිවක් නොකරම ජංගම දුරකතනය යළි සාක්කුවේ දමා ගන්නවාද ඔහුට පෙනුණි. 

ඇතැම්විට ඇය සිතනු ඇත්තේ තමා ඇය අභිබවා යමින් පාලනය කෙරූ බව විය හැක. ඇය එවැන්නකට සූදානම්ව නොවී සිටියාද විය හැක. ඇය ඉතා විශ්වාසයෙන් උන් සියල්ල තමා අතින් බිඳී ගියාට පසු, තමා ඉදිරියේ පෙර ආත්ම අභිමානයෙන් සිටින්නට ඇයට නොහැකිවාද විය හැක. 

අකලංක යළි ජංගම දුරකතනය දෙස බැලුවේය.

“ප්‍රශ්න විසඳගනා බැරිව ගියාද ? මගෙන් මොකක්ද වෙන්න ඕනි ?”

අමයුරු දිසානායක ලෙසින් යලි විමසූවේය. ශයිනි ජංගම දුරකතනය යළි සක්කුවෙන් එලියට ගත් අයුරු ඔහු දුටුවේය. එවර නම් සැනින් එය සාක්කුවට දැම්මේ නැත. ඒ වෙනුවට ඒ දෙස බලා උන්නාය 

“මට ටිකක් තනියෙන් ඉන්නයි ඕනි…”

අකලංක ඇය දෙස බලාගෙන්ම ඒ පණිවිඩය කියෙව්වේය. ඇයට එවන් හුදෙකලා වීමක් ලබා දිය යුතුද කල්පනා කරන්නට තරම් කාලයක් තිබුනේ නැත. 

“මේක නෙවෙයි ඒකට වෙලාව…”

“ප්ලීස් … ඔයාගේ වැඩක් කරගන්න…”

“මට තේරෙනවා ඔයාට හිතෙන දේ…”

“මොකද්ද ?”

“පරාජිත හැඟීමක්… නේ ??”

ශයිනි හිස පසෙකට කර සොළවා යමක් ඒත්තු ගන්වා ගන්නටම උත්සාහ කරම්න් ඉන් පසුව යලි ජංගම දුරකතනය දෙසට නෙතු යොමු කරනු අකලංක බලා උන්නේය. ඇයට රිදෙන විට සිහින් රිදුම් තැනීම සිදු වන බව දැන් ස්ථිරය. ඒ රිදුම් වලට හේතු පාඨ ලියන්නට හිත ශක්තිමත් නැත. එහෙත් එහෙම රිදුම් ඇත. 

“වැඩ ඉවර කරගෙන එන්න.. මම බලන් ඉන්නම්…”

අකලංක එලෙසින් පවසා අන්තර්ජාල පිවිසුමෙන්  මිදුණේය. මෙවෙලෙහි ශයිනි කලබල කිරීමෙන් ඇයට අවැඩක් සිදුවන බව පැහැදිලි ය. ඇය ගේ සැලැස්මට අනුව වැඩ කරන්නටදී, ඉන් පසුව දොඬමලු වීම යුතුය.තමා සිටින්නේ පෙනෙන මානයේ නිසා සොයා බැලීමේ පහසුවේ සැනසීම අකලංක ට නොඅඩුව දැනුණි.

කලකට පසු,  අකලංක ස්ත්‍රී ප්‍රාණියෙකු වෙනුවෙන් වද වෙන්නේය. ඇරඹුමෙහි වූ නොරිස්සුම පරයමින් නැගෙන දයාර්ද බවකින් ඔහු ලතෙත් බව විඳින්නේය.

| අපේක්ෂා ගුණරත්න | 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here