පතිදම්වැල් 24

“දන්නවනෙ ඉතින් කොල්ලො බිව්වම ඔය වගේ පිස්සු නටනවා”

අනුප එසේ කිව්වේ මේසයේ එහා පසින් වාඩි වී බීම වීදුරුවේ සීත බිඳිති අතෙන් බිඳලමින් උන් උශාලි වෙත නැවීය.

අරුණි සහ මධුකගේ විවාහ මංගල්‍ය උත්සවයේදී දුලන්‍යාගේ ගුරුතුමිය දකින්නට වේයැයි අනුප බලාපොරොත්තු වූවා නොවේ.

එහෙත් ඇය නිරත්තරයෙන් සිත මත්තට පැමිණෙමින් තමාගේ දැවුණු හිතට වැස්සක් මෙන් ඇද වැටුණා නොවේද? ඒ බැල්මේත්, හඬේත් වූ සිහිලස තමාට සැනසුමක් ගෙන ආවා නොවේද? 

විවාහකපිරිමියෙකු වුවද, දියණියකගේ තාත්තා කෙනෙකු වුවද තමා හමුවන හැම මොහොතකම ඇයගේ ඇස්වල වූ දීප්තියට හේතු වූ ආදරය හඳුනාගන්නටත් ඒ බැල්ම මග හරින්නටත් අනුපට හැකියාව තිබුණේ නැත. අනෙක් අතට එදා ඇයව වාහනයෙන් නාවලින් බස්සවා ගිය දින වුව වාහනය ඇතුලේ රැඳී තිබුණ ඇගේ සුවඳ හිතේ කෙළවරක රැඳී තිබීඇති බවත් එය ඇයව දුටු මේ මොහොතේදී ඒ සුවඳ හිත මත්තට විත් සුවඳ දෙන බවත් අනුපට දැනුනි.

කහ පාටත් කොළ පාටත් මුසු වූ ඉන්දියානු සාරියක් හැඳ කෙස් කළඹ ගෙල මුලට කර බැඳ සුදු මල් ගවසා හුන් ඇයව අනුපගේ නෙත මත  ඇඳුණේ අරුණි සහ මධුකගේ පෝරුව චාරිත්‍ර සිදු කරන මොහොතේය.

අශ්ටක කියන හඬ ඇසෙන්නට වෙනත් කිසිත් හඬක් නොවූ ඒ මොහොතේ උත්සව ශාලාව තුල වූ ඒ අරුම පුදුම නිහඬතාවය මත දෑස් එහෙ මෙහෙ කරකවමින් බලා හුන් අනුපගේ නෙත් පෝරුව දෙසටම නෙත් යොමා ගෙන අරුණි දෙස බලා කඳුලු පිරෙන දෑස ටිශු කඩදාසියකින් පොඟවන කෙල්ල දෙස බලා උන්නේ අහේතුකවය.

පැත්තෙන් බැලූ විට පෙනෙන ඇයගේ කම්මුල් මත්තේ ඉහිරි ඇති ලා රෝස පාට අතැඟිලිවලින් ගෙන බලන්නට තරම් සිතෙයු. එහෙත් ඒ නොඉඳුල් මලකි. තමා වන් පිරිමියෙකු ඇය දෙස බැලීම පවා නුසුදුසු නොවේද?

දෛවය ජීවිතයේ වන සියල්ලම තිරණය කරන බවට අදහසක් අප සිත් තුල ඇත. ආදරය යනු ඔබේ හදවතට රහස් පවසන මෘදු සුළඟක් වැනි ය, ඔබේ ආත්මයේ උයනේ සියුම් මලක් මෙන් පිපෙන ඇදහිල්ලකි.

ආදරය සහ විශ්වාසය අපගේ ජීවිතයේ අහසේ දීප්තිමත්ම තරු මෙන් වන අතර ඒවා වඩාත් බැබළෙන්නේ අනපේක්ෂිත අවස්ථාවන්වලය.

වල්ගා තරුවක් අඳුර හරහා ගමන් කරන්නාක් මෙන්, ජීවිත්අයට පැමිණෙන මෙම අනපේක්ෂිත අවස්තාවන් ජීවිතය වඩාත් සුන්දර කරන බව අප විශ්වාස කරයි. එම අනපේක්ෂිත කාලවලදී, අපගේ හදවතේ වටිනාම නිධානයන් අපි සොයා ගන්නා අතර ආදරය සහ විශ්වාසය සැබවින්ම සමෘද්ධිමත් වන්නේ එහිදීය.

කලබලයෙන් පිරුණු සෙනඟ මැද ඔහුගේ දෑසට සැනසීමක් ලැබුණේ ඔහු තවමත් හිතෙන් ළඟ ගතෙන් දුර ඇයගේ දසුන මත නෙත රඳවා ගෙන හිඳීමෙනි.

ඒ වූ කලී කුමන හේතුවක් නිසාවෙන් සිතට කළ මෙහෙයවීමක් දැයි නොදන්නා හේතුවකි.

 වශීකෘත තනුවක් සේ ඔහුගේ බැල්ම ඇද ගන්නා අපූර්ව චමත්කාරයක් ඈ සතු විය.

පෝරුව චාරිත්‍ර අවසන් වීමෙන් පසු එළඹුනේ නිති ප්‍රකාරව විවාහය ලියාපදිංචි කිරීමේ මොහොතයි. මධුකගේ පාර්ශ්වයෙන් විවාහයට අත්සන් කිරීමට අනුපට ආරාධනා කිරීමම ඔහු මේ විවාහ උත්සවයට ඒමට හේතුවක් විය.

මංගල ඇරයුම් පත ලැබුණ මොහොතේ මිස්ට ඇන්ඩ් මිසිස් අනුප කුලරත්න ලෙස එහි ලියා තිබෙනු දුටු මොහොතේ සිතට ආ වේදනාවේත් ලැජ්ජාවේත් හැඟුම් කැලතුම් දහස හදවත තුලදී නිවා සනසාලන්නට අනුපට හේතුවක් වූයේ ඒ ඇරයුම් පත දෙද්දී මධුක කියූ වචනයි.

“හොඳම, ළඟම සෙට් එක විතරයි බං එන්නෙ. හදිසියේ දාගත්තෙ අරුණිගෙත් වීසා ඇපෘව් උන නිස. දෙන්නටම එක පාර යන්න පුලුවන්නෙ. උඹට පුලුවන් නේද මගෙ පැත්තෙන් සයින් කරන්න?”

ඒ වනාහී ප්‍රතික්ශේප කර ලිය හැකි අන්දමේ ඇරයුමක් නොවේ.

අනුපත් මධුකත් කුඩා අවදියේ හිඳම හොඳම මිතුරන් ය. එක වසර පංතිවල සිටම බොහෝ කාලයක් එක පංතිවල ඉගෙනුම ලැබූ අනුපත් මධුකටත් වාණිජ විශය ධාරාවන් හැදෑරීම නිසාවෙන් උසස් පෙල පංතිවලදී ආයෙත් වරක් හමුවූයේ දෛවය විසින් නියම කලාක් මෙනි. එතනින් ඇරඹුණ මිතුදම එකම විශ්ව විද්‍යාලයක එකම පීඨයක ඉගෙනුම ලබද්දී තව තවත් ශක්තිමත් විය.

උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුව කැනඩාව බලා ගිය මධුක ලංකාවට ආ කිහිප වරකදීම අනුප හමුවන්නට ආ අතර අනුපගේ විවාහ මංගලය්‍යට ආ බව පවා අනුපට අමතක නැත.

එහෙත් ඒ මතකයන් සිතට ගෙන එන්නේ වේදනාවකි. “ෂෝබිතාට ගෙදර හදිසි වැඩක් නිසා එන්න උනේ නෑ මචං” කියා විවාහ උත්සවයට පෙර මධුක හමු වූ පළමු මොහොතේම අනුප කියා දැම්මේ සත්‍ය පැවසීමට ඇති නොහැකියාව නිසාවෙනි.

මධුක යනු කිසිවෙකුගේ පෞද්ගලික කාරණා හුවා දක්වමින් කතා බහ කරන විනිශ්චය කරන අයෙකු නොවුවද බිරිඳ තමා අතහැර ඇයගේ පැරණි පෙම්වතා වෙත ගියායැයි කියන කාරණාව මිතුරෙක් සමගවත් බෙදාගන්නට හැකිද යන්න අනුපගේ සිතේ නොතිබුනා නොවේ.

ඉතින් සමහර අවස්තාවල ඇත්ත පැවසීමට වඩා ඒ ඇත්ත බොරුවකින් වසා දැමීම සිතට පහසුවක් ගෙන දෙයි.

දිවා ආහරයෙන් පසුව මත් පැනින් සප්පායම් වූ මිතුරන් පිස්සුවෙන් මෙන් නටන්න පටන් ගනිද්දී විවාහ උත්සවයට ඇවිදින් හුන් සියල්ලන්ම පාහේ මනාල යුවලද වට කරගෙන නටද්දී අනුප කෙලවර මේසයක අසුන් ගෙන තමා ඉදිරිපිට තිබූ මත් පැන් වීදුරුව සෙමෙන් තොලගාමින් ඉන්නට විය.

නටන්න කෙසේවත් ප්‍රිය නැති තමුන් මේ හිඳින්නේ නටන්නට හැකි සිතුවිලි පිරුණු අවකාශයක නොවන බව එහෙත් දැන උන්නේ අනුප පමණකි.

කේසර විත් අනුපව නැටුම් බිමට ඇදගෙන ගියේත් පිස්සුවෙන් මෙන් නටමින් හුන් දෙවනි මනමාලියකගේ අතක වැදී කවුරුන්දෝ කෙල්ලක විත් කේසරගේ සහ අනුපගේ ඇඟේ හැපී නතර වූයේත් බීමතින් උන් කේසර ඇය දෙස කුතුහලයෙන් බලද්දී වැටෙන්නට ගිය කෙල්ලව අනුප අල්ලා ගත්තේත් එකම මොහොතක වාගේය.

වත්සුණු තැවරූ සුන්දර මුහුණ මතු පිට ලැජ්ජාවේ වර්ණ ගැල්වෙද්දී ඇයගේ දෙනෙතේ කඳුලු පිරෙනු දුටු අනුපට සැබවින්ම දැනුනේ දුකකි.

වැටෙන්නට ගිය ඇයව කෙලින් කර නැටුම් බිම මත තැබුවද ඇය වේගයෙන් ඇවිද ගොස් ශාලාව කෙලවර වූ මේසයක අසුන් ගත්තෙ ලැජ්ජාව නිසා බව අනුපට නොතෙරුනා නොවේ.

බීමතින් උන් කේසරට ඒ ගැන වගක් වත් සියල්ල අමතක කර මෙන් නටමින් හුන් අන් කිසිවෙකුට ඒ ගැන දැනීමක්වත් තිබුනේ නැත.

කෙලවර මේසයක අසුන් ගෙන හුන් කෙල්ල දෙසට යන්නට සිතුනේ ඇයිද කියා හෝ අනුප දැන හුන්නේ නැත. එහෙත් කෙල්ලකගේ ලැජ්ජාවෙන් බරිත වතක් ඒ තරම් සුන්දර විය හැකිය යන අදහසක් කිසි දිනක අනුපට දැනී නැත. දැක තිබුනේද නැත.

ඉතාම ශෝභාමත් ෂෝබිතාගේ මුහුණේ පවා වූයේ කලාතුරකින් කෙල්ලකගේ දැකිය හැකි අන්දමේ යුරෝපීය සුන්දරත්වයකි. එය සිත වශී කරන අන්දමේ සුන්දරත්වයකි. තමා ඇයට වශී වන්නට එම රූපය ද හේතුවක් වන්නට ඇති බව අනුපට පලමු වරට සිතුනේ මේ දුඹුරු පැහැ කුඩා කෙල්ල දෙස බලා සිටිද්දීය.

එහෙත් දස දහස් වාරයක් පමණ දැක තිබෙන ෂෝබිතාගේ හෝ වෙනත් කිසිදු කෙල්ලකගේ මුහුණේ දැක නොතිබුනු අන්දමේ නිකැලැල් ලැජ්ජබරිත සුන්දරත්වයක් එම වතේ විය.

එය ආකර්ශනයකි. නෙත් ඇඳ ගන්නා රැහැනකි.

නැටුම් බිමෙන් එළියට ඒමට එයම මාර්ගයක් කරගත් අනුප ඇය වාඩි වී හුන් අසුන වෙත ගියේ එක අතකින් තම බීම වීදුරුවද රැගෙනය.

“වෙච්ච දේ එච්චර ගණන් ගන්න එපා” කියමින් අනුප එහි වාඩි වෙද්දී ඇයගේ නෙත් තුල වූයේ විස්මයේ ලකුණුය. ඒ නොසිතූ මොහොතක නොසිතූ තැනකදි තම පෙර පාසලේ ඉගෙනුම ලබන දරුවෙකුගේ තාත්තා කෙනෙකු දැකීම නිසා සිතට ආ විමතියද නොඑසේනම් නැටුම් බිම මත වූ දෙයින් පසුව තමා විත් ඇය සමග කතා කිරිම නිසා සිතට පීලිපන් විමතියද යන්න ගැන අනුපට පහදා ගන්නට හැකි වූයේ නැත.

අනෙක් අතට කිසිදු වදනකට පිළිතුරු නොදී ඇය උන්නේ මේසය මත වූ බීම වීදුරුවේ සීත බිඳිති ඇඟිල්ලෙන් බිඳ දමමිනි.

“දන්නවනෙ ඉතින් කොල්ලො බිව්වම ඔය වගේ පිස්සු නටනවා”

එහෙත් ඇය නිහඬය.

“ඔයා නටන්න කැමති නම් අර මේ පැත්තෙ ගර්ල්ස් ලා නටන තැනට ගිහිල්ල නටන්න. ඒ හරියෙ ටිකක් ඉඩත් තියෙනවා”

“මට ලැජ්ජයි එහෙම නටන්න. මම එතන හිටගෙන බල බල ඉද්දි තමයි කවුද මාව ඇදගෙන ගිහින් අත ඇරියෙ”

සෙමෙන් ඔලුව එස වූ ඇය මද මුදු සිනා සලන්නේ පිලිතුරක් දී අවසාන යේය. ඒ  නෝක්කාඩුව අවසානයේ ඒ සිනහව අනුපගේ මුව මතට බෝවිණි.

“ඔයා මාව දන්නව නේද?”

කෝකටත් කියා එසේ ඇසුවේ සැබවින්ම ඇය තමා නොදන්නවා කියා සිතා වුවද මද සිනාවකට පසු හිස සොලවා ඇය උත්තර දුන්නේ එම සිතුවිලි බොරුවක් කරමිනි.

“මට මතකයි”

කාවද? මාවද කියා අසන්නට සිතුණට එය අපහසුවෙන් සිත තුල සිරකරගෙන අනුප කතා කලේය.

“මම ආව ගමන් ටීච ඉන්නව දැක්කා, ඒත් ඉතින් එහෙම එකපාර ඇවිල්ල කතා කරන්න හොඳ නෑනෙ.ඒකයි මම කතා නොකලෙ. අරුණිගෙ සයිඩ් එකෙන්ද වෙඩින් එකට ආවේ?

කතාබහ දිගට ඇදගෙන යන්නේ මද මත් බවද යන්න ගැන අනුපට හරියාකාර අදහසක් තිබුනේ නැත. එහෙත් ඒ මද බව විසින් සිත තුල අතුරා තිබූ සැහැල්ලුව ගැන අනුපට වූයේ සතුටකි.

ඒ සැහැල්ලුව එපමණකට සනීපය. දින ගණනාවක වෙහෙසකර සිතුවිලි වලින් බරිත හිතකට අහඹුවකින් හෝ මේ දැනෙන සැහැල්ලුව ගැන තිබුනේ හදවතින්ම වැළඳගත හැකි අන්දමේ ආදරයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles