පතිදම්වැල් 27

ආයෙමත් හමුවන බලාපොරොත්තුවක් සිත තුල නොතිබුණද දුලන්‍යා තම පෙර පාසලේ ඉගෙනුම ලබන තෙක් ඔහු හමුවන්නට සිදු වන බව උශාලි නොදැන උන්නා නොවේ.

එහෙත් ඒ තමාට අයත් ඉඩක් නොවන බව තේරුම්ගෙන හිඳීම වඩා යහපත් ය. හමුවන වාරයන්හි වැඩිය කතා නොකර හිඳීම හොඳය. මක්නිසාද යත් කොතෙක් ඇත්ත තේරුම් ගන්නට උත්සාහ කලද සිත යනු මුරණ්ඩු අයෙකි.

සම්මතයට එරෙහිව යමින් මුරණ්ඩුකම් කිරීමට රුචිකත්වයක් දක්වන සිතේ විධානය ඔස්සේ ඔහුව දකින වාරයක් පාසා නෙත කාන්තිමත් වීමත් මුවඟට සිනා ඒමත් වළක්වාලන්නට නොහැක.

සිතෙන් ඔහුව ඉවත් කර දමන්නට හැකි වූවා නම් මේ සියල්ල පහසුවන්නට තිබුණා කියා සිතුවද සිහිනයෙන් විත් නිරතුරුවම සිනාසෙන ඔහුව අමතක කරන්නට හැකියාවක් සිතට තිබුනේ නැත.

“ඔයා ආපහු ඇවිත්”

“ඇයි එහෙම කිව්වේ?”

ඔහු උන්නේ සුපුරුදු පරිදිම ඔරුව හබල් ගාන ගමන් සිනාවන් තමා වෙත එවමිනි. ඒ දෑස තුල වූයේ පෙර දකින්නට වූ කාන්තිමත් බව පරදා ගිය ගැඹුරු අන්දකාරයකි. එහෙත් ඒ වූ කලී වශීවන සුලු අන්දමේ අන්දකාරයකි.

තමා හිඳින්නේ වශී වී මෙන් ඒ අන්දකාර පැහැති ගැඹුරු දෑස දෙස බලගෙන එහි ගිලීගෙන මෙනි. එහෙත් ඒ දෑසින් කියන්නට තනන කතන්දරවල අරුත් වටහාගන්නට හැකියාවක් එවෙලේවත් නින්දෙන් අවදි වූ වේලාවේවත් උශාලිට හැකි වූයේ නැත.

“ඔයා ආපහු එන්නෙ නෑ කිව්වනෙ”

“ඔව් ඒත් මට ආයෙම එන්න උනා”

“ඇයි ඒ?”

“කියන්නකො ඇයි ඒ?”

හබල වැදීමෙන් දිය කැළතෙන හඬ පමණක් ඇසෙද්දී උශාලි උන්නේ එකම ප්‍රශ්නය ඔහුගෙන් විමසමිනි. එහෙත් මද මුදු සිනා රැල් එක එල්ලේ බලා හිඳිනවා හැරෙන්නට ඔහු ඒ පැනයට කිසිත් පිළිතුරක් දුන්නෙ නැත.

මහ හඬින් කොහෙන්දෝ ඇසෙන හඬ කුමක්ද ඒ හඬ ඇසෙන්නේ කොහෙන්ද යන්න විමසන්නට හිස හරවා බැලූ උශාලි නැවත බලද්දී ඔහු ඔරුව මත හිඳියේ නැත. මෙතෙක් වේලා ඔරුව වටා පැවතුණ සුන්දර, සෞම්‍ය, ආලෝකමත් වටපිටාව වසාගෙන අන්දකාරයකුත්, මහා ශබ්ධයකුත් පමණක් ඇසේ.

උශාලි ගැස්සී ඇහැරුණේ ඒ තිගැස්ම සමගිනි.

පෙර පාසල් යාම සඳහ සූදානම් වීමට තැබූ එලාමය මහ හඬින් නද දෙයි. එය නිහඬ කර පසුවත් මද වේලාවක් උදෑසන සීතලට ගුලි ගැසී ඇඳ මත හිඳගෙන උශාලි කල්පනා කරමින් උන්නේ ඔහු ගැන ය.

සැබෑ ජීවිතයේදී ඔහුව දකින්නට පෙර පවා තමා ඔහුව සිහිනයෙන් දැක්කේ අනාගතය ගැන යම් අනාවැකියක් ලෙසින්ද?

නොඑසේනම් මෙසේ හමුවන්නට නියමිත බව අඟවන පිණිසද? ඒ හමුවීමක් ද පැවතීමක් ද?

සීතල වතුරෙන් මුහුණ දොවාගෙන නිදිබර ගතියෙන් මිදුණද සිත තුලින් මොහොතෙන් මොහොත නැගී එන ඒ ප්‍රශ්න වැලෙන් මිදෙන්නට හැකියාවක් උශාලිට තිබුනේ නැත.

අනෙක් අතට මේ ඒවා පිළිබඳව සිතමින් හිඳිනට වේලාවක් නොවේ. අද පෙර පාසලේ අවුරුදු උත්සවයයි. උදෑසනම ගොසින් අවසන් කරන්නට තිබෙන රාජකාරි බොහොමයකි.

අවුරුදු උත්සවය නිසාවෙන් සියලුම ගුරුවරියන් ඔසරි හඳින්නට තීරණය කර තිබුන එක එකාතකින් පහසුවකි. සාරිය මිස ඔසරිය හැඳ පුරුද්දක් නැති බැවින් අම්මා තකහනියේ සකසා දුන් ඔසරිය හැඳ ගන්නට වැඩි වේලාවක් නොයයි.

දුඹුරු පැහැ හැන්ඩ්ලුම් ඔසරිය හැඳ කෙටි කොණ්ඩය අමාරුවෙ වුවත් ගෙඩියක් කොට බැඳගෙන උශාලි එදිනත් පෙර පාසලට යන්නට පිටත් වූයේ ත්‍රි රෝද රියෙනි.

“කිරිබත්, කැවුම්, කොකිස් ටික නම් හරි, කේකුත්  කැපුවනම් හරි නේද?”

උශාලි විවේකාගාරයට ඇතුලු වෙද්දීත් දිස්නා උන්නේ කෑම බීම ආදිය සකසමිනි.

කුඩා දරුදැරියන්ගේ මව් දෙමව්පියන්ට ආහාර පාන සකසාගෙන ඒමේ රාජකාරිය භාර දී තිබුන බැවින් වැඩ කටයුතු පහසු වූ නිසා සැරසිලි කටයුතු සඳහ පමණක් පෙර පාසල් අධ්‍යයන කටයුතුවලින් පසුව මද වේලාවක් රැඳී හිඳ සැරසිලි කටයුතු සූදානම් කරගන්නට උශාලි සහ දිස්නා ඇතුලු මිතුරියන්ට අපහසු වූයේ නැත.

කාඩ් බෝඩ් වල පාට කොල අලවා කැවිලි වල හැඩයට කැපූ සැරසිලි වලින් සරසා තිබූ පෙර පාසලට රෙදි හැට්ටද සරම් පොඩිද හැඳගෙන ආ පොඩ්ඩන් දකිද්දීත් සිතට ගෙන එන්නේ සතුටකි.

එදින පැවැත්වෙන උත්සවය සඳහා දරුවන්ගේ දෙමව්පියන්ටද ආරාධනා කලේ වාර්ශිකව පැවැත්වෙන මෙවන් උත්සව සඳහා දෙමව්පියන්ටද ආරාධනා කිරීමද පුරුද්දක් නිසාය.

පෙර පාසල කාර්‍යබහුල වී ඇති උණුසුම අස්සෙ, කැවිලි පෙවිලි වල සුවඳ අස්සේ නෙතත් සිතත් ඇදී යන්නේ ඔහු දකින්නට බව නොරහසකි. එහෙත් අද ගෙදරින් පිටත් වූයේද ඔහු කෙරේ හිතේ හටගත් ඒකපාර්ශ්වීය ආදරය සිතෙන් ඉවත් කරගන්න බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් ඔහුව තමා හිඳිනා මේ වටපිටාවේම හිඳිනා බව දන්නා නිසා සිත මෙච්චල් කරගන්න විදියක් උශාලි නොදනී.

ආදරය බොහෝ විට ආරම්භ වන්නේ බැල්මකින්, විස්තර කළ නොහැකි සම්බන්ධතාවයක් ඇති කරන ඇස්වල අහඹු හමුවීමකිනි. ඒ මොහොතේ අපේ ඇස්වලින් පෙනෙන්නේ ආදරය ගෙනෙන කුතුහලය, උද්යෝගය සහ ආනන්දයයි. මිනිසුන් පිරී හිඳින ජනාකීර්ණ තැනක වුවද, කිසිවෙකුත් නොවන ගැඹුරු නිහඬතාවයකින් පිරුණ තැනක වුවද  එම පළමු බැල්ම තවමත් ලියන්නට ඇති කතාවක ආරම්භක පේළියක් වැනි, බලාපොරොත්තුවෙන් සහ ආනන්දජනක හැඟීමක් පිළිබඳ පොරොන්දුවෙන් පිරී ඇත.

ආදරය ගැඹුරු වන විට, ආත්ම දෙකක් අතර හුවමාරු වන පෙනුමද එසේමය. එය හරියට වචනයක්වත් නොකියා වඩාත් ගැඹුරු හැඟීම් ප්‍රකාශ කරන ඇස් රහස් කේතයක් බවට පත් වන්නාක් මෙනි. ප්‍රීති කාලවලදී, ඔවුන් එක් වී සිනහවක් මුහුණ මත පැළඳගන්නා අතර, දුක්ඛිත අවස්ථාවන්හිදී, ඔවුන් වැගිරවිය නොහැකි තරම් බර කඳුළු එක්ව දරාගෙන සිටිති. ප්‍රේමයේ නිහඬ දෙබස් ලියැවී ඇත්තේ එක් ඇස් යුගලක් අනෙකා සැනසීමෙන් සහ අවබෝධයෙන් අල්ලාගෙන සිටින අයුරිනි.

එහෙත් මේ ප්‍රේමයේ අවබෝධයන් ගැන කතාබහක් නොවේ. තවත් අයෙකුට නීතියෙනුත් සිතෙනුත් ගතිනුත් බැඳී හිඳින්නියකට හිමි වන කුමන ආකාරයේ තරාතිරමක් ඉදිරියෙන් වුවද අනියම්‍ යන වදන ලියැවී ඇත.

අනෙක් අතට එය මහත් පාපකර්මයක් නොවන්නේද? ඒකපාර්ශ්වීය ආදරයක් වුව ඒ ආදරයේ නිදහස් රැහැන් දිශාගත වී ඇත්තේ වෙනත් අයෙකුට හිමි ප්‍රේමයක් පිළිබඳවය.

ඒ වනාහී සියුමැලි හිතක් ඇති උශාලි වැන්නියකට දරාගන්නට හැකි බරක් නොවේ.

ඔහුව දුටුවේ අවුරුදු උත්සවය ඇරඹී පෙර පාසල් විදුහල් පතිනිය විසින් කතාව කරන්නට සියල්ලන්ටම අසුන් ගන්නට යැයි කියූ මොහොතේය. දුලන්‍යා උකුල මත හිඳුවාගෙන කතාවට අවදානය දෙමින් හුන් ඔහු අසලින් ඔහුගේ හිමිකාරිය දැකගන්නට හැකිවේ යැයි සිතුවද එහි උන්නේ වයසක කාන්තාවකි. කොණ්ඩය ගෙඩියක් බැඳ ඔසරියක් හැඳ උන් ඒ වැදගත් පෙනුමැති කාන්තාවට ඔහුගේ මවකගේ හෝ ඥාතියකුගේ තනතුර දිය හැකිවුවද ඔහුට එපසින් බිරිඳ තනතුර දරන්නී නොවන්නේ ඇයිද යන කුකුසෙන් මිදෙන්නට හැකියාවක් උශාලිට තිබුනේ නැත.

“දොං ජිං ජිං දොන් තරිකිට හඬන රබානේ

රන්වන් වන් රැඟුම් රඟමු ටිකිරි විමානේ

සල්පිල දා රෑක ගමේ කිඳුරු කතා නාඩගමේ

සඳ කිඳුරා නැටූ නැටුම් නටමුද යාලු”

ගුරුවරියන් එක්වී පොඩ්ඩන්ට පුරුදු පුහුණ කල රංගනයන් දෙස මව් පියන් බලා හිඳින්නේ සිනාවත් ආදරයත් විසිරෙන දෑසිනි. මෙතෙක් දිනක් තමන් තුරුලේ හුන් පොඩිත්තන් අලුත් අලුත් අංග පුරුදු වෙමින් ජීවිතය සොයා පියමං කරනු බලද්දී සංවේගයක් මුසු සන්තෝසයක් සිත ඇතුලේ බිහිවන බව උශාලිට හැඟේ.

දුලන්‍යාද එම නැටුමේ නටමින් හිඳින බැවින් ඔහු ද සිනාසෙමින් නැටුම දෙස බලන ආකාරයද වරින් වර පුටුවෙන් ඉහලට එසවී දුරකතනය ගෙන එය රෙකෝඩ් කරගන්නා අයුරුද උශාලි දකී.

තාත්තා කෙනෙකු වීම මෙතරම්ම සතුටක් ද? එහෙත් ඒ සතුටට යටින් කුමක්දෝ නමක් නොදිය හැකි දුකක සේයාවක් ඒ ඇස් අස්සේ හැංගී තිබෙන බව මෙතරම් දුර සිටම වුව උශාලිට දකින්නට හැක. ඒ දෑස් ගෙන එන්නේ පෙරදාක රැයක දුටු සිහිනයක මතකයයි. ඒ සිහිනයේ හුන් මොහුගේ රුව ගත් තම ප්‍රේමයට තිබෙන්නේද අන්දකාර පැහැති දෑසකි. ඒ දෑස ගැඹුරුය. නොඑසේනම් ඒ දෑස මත ඇඳී ඇති අන්දකාර පැහැයට තුඩු දෙන වේදනාව ගැඹුරුය.

දහවල් තුන පමණ වෙද්දී උත්සවය අවසන් වෙද්දී දෙමව්පියන්ද දරුවන්ද ගුරුවරුන් ද උන්නේ වෙහෙස මැද්දේ උවත් අපමන සතුටකය. ගෙදර දී අවුරුදු උත්සව සමරද්දි මෙතෙක් චාරිත්‍ර වාරිත්‍ර නොකරන බැවින් අපගේ සංස්කෘතික සහ කලා අංග ගැන දැන ගැනීමට හැකියාවක් පොඩ්ඩන්‍ ට ලැබීම සතුටකි.

දෙමව්පියන් පැමින ඒ ගැන අදහස් ප්‍රකාශ කරේද සතුටිනි.

දුලන්‍යාද පිටවීයන්නට පෙර ඇයගේ තාත්තාත් අනෙක් වැඩිහිටි කාන්තාවද සමග සතුට ප්‍රකාශ කරන්නට ආවේ උශාලි ළඟටය. ඒ ගැඹුරු දෑස තුල වූයේ සතුටකි. ඔහු තමන්ව හඳුනාගත් බවත් තමන්ව මතක බවත් හැඟවෙන නිහඬ තේරුමකි.

“අම්මා මේ තමයි දුලාගේ ක්ලාස් ටීචර් මිස් උශාලි”

ඒ හඳුන්වාදීමේ වදනකට වඩා තමන් මතක බව දෙස් දෙන වදන් පෙළකි. ඔහුගේ කාන්තිමත් සිනාවන දෑස මගහැර ඔහුගේ මව වෙත දෙනෙත් රැඳ වූ උශාලි සිනාසුනාය.

“අනේ මට මතකයි. එදා අපි හම්බුණානේ ටීචව, අනික ඉතින් මෙයා ගෙදර ඇවිල්ල ටීච ගැන හරියට කියනවා”

ඒ අම්මාගේ ඒ වදන් උශාලිගේ සිතට සතුටකි. අම්මාට තරම්ම ඔහුටද තමාව මතක බව ඔහුගේ දීප්තිමත් දෑස කියයි.

“මෙයා ටීචට වද දෙන්නෙ නෑ නේද?” කියා ඇය සිනාසෙමින් දුලන්‍යා දෙස බලද්දී තාත්තාගේ කකුල් වල එල්ලී මුහුණසඟවා ගනිමින් පොඩිත්තිය ලැජ්ජා බරිත සිනා නංවයි.

“නෑ නෑ මෙයාලගෙන් එහෙම කරදර නෑ, නේද දුලන්‍යා?” සිනාවට ඉතින් කතාබහට පෙරගමන් සකසයි.

“ඇත්තටම හොඳයි ටීච මේ වගේ දෙයක් ඇරේන්ජ් කල එක. ගෙදර අවුරුද්ද සැමරුවට ඉතින් මේ වගේ දේවල් කෙරෙන්නෙ නෑනෙ

නේද පුතා?”

අම්මාගේ කතාව සනාත කරන්නට මෙන් ඔහු සිනා රැල් නංවන බව මවගේ මුහුණ දෙසම බලා හිඳින උශාලිට නෙත් කොණින් පෙනේ. එහෙත් එක එල්ලේ ඔහුගේ මව ඉදිරියේ ඔහු දෙස බලන්නට හැකියාවක් උශාලිට තිබුනේ නැත.

මල් වැස්සක් සෙමෙන් සෙමෙන් අහසින් වසින බව පෙනේ. එහෙත් එහි මහ හඬක් නැත. ලතාවකට තුරු පත් මත සෙමෙන් පතිත බේරී ගොසින් පොළෝ තලය සිපගැනීම් පමණකි.

තමන්ගේ යාලුවෙකු අත්තම්මාට හඳුන්වා දෙසු පිණිස දුලන්‍යා අත්තම්මාට කතා කල පසු ඇය ඒ වෙත නික්ම ගියේ උශාලිත් අනුපත් අතර කෝලවන්ත ඉඩක් තනමිනි. ඔහු දෙස බලන්නට අපහසු බවක් දැනුනද සිත කිතිකවන බවක් දැනේ.

“ඇයි බිම බලන් ඉන්නේ?”

“එහෙම දෙයක් නෑ”

“එහෙම දෙයක් නෑ කිව්වට තාම බිම බලාගෙනනෙ ඉන්නෙ. මූණ බලන්න බැරි තරම් මම කැතද?”

“අනේ නෑ” කියමින් හිස එසවුනේ ඔහුගේ නෙත් මත දෙනෙත අලවාය. අහස් නිල් පැහැ කමිසයකට කලු පැහැ කලිසමක් හැඳ හුන් ඔහු තාත්තා කෙනෙකු කියන්න යැයි බැරි තරම් ඔහු සුන්දරය. කඩවසම් ය. මනස්කාන්ත සීතල සුවඳක් ඔහු වෙතින් ඇදී විත් හිත අස්සේ නතරවෙයි. ඒ සුවඳ නැහැයෙන් හිත වෙත ඇදගන්නට උත්සහ කරද්දී පපුව උස් පහත් වන්නේ ලතාවකටය.

“එහෙනම් ඇයි බිම බලාගෙන ඉන්නෙ?”

“හ්ම්ම්”

“ලැජ්ජාව නිසාද?”

ඔහු සියල්ලම අසන්නේ අර වශීවන සිනහව දෙතොලේ රඳවාගෙනය.

“අද නිවාඩු දැම්මද?”

“ඔව් අම්මාව තනියෙන් එවන එක පව්නෙ. අනික දුලාටත් දුක හිතෙයි ආවෙ නැත්තම්. අනික…”

කියවගෙන ආ කතාව ඔහු නග නතරකලේ සිනහවක් සමගිනි.

“ඇයි?”

“ම්ම්ම්”

“කියන්නකො”

ඒ වචන කියන්නට තහනම් ආදර උත්තේජනයකි. හැඟීම් පුපුරායන මොහොතකි.

“කිව්වොත් තරහ වෙයිද දන්නෙ නෑ කියල කියන්න බයයි”

“තරහ වෙන් නෑ ඉතින් කියන්නකො” ඔහු බලා හිඳින්නේ සිනාව මුවින් අත හැර ගන්නේ නැතුවමය. ඒ සිනහවේ වූයේ දරුවෙකුගේ කෝල බව සුරතලය ආදරයෙන් දරාගන්නා තාත්තා කෙනෙකුගේ ආදරයයි. ඒ ආදරයම තමාගේ හිත මතටත් වරුසාවක් මෙන් ඇද වැටෙන බව උශාලිට දැනේ.

“මට හිතුනා ඔයාවත් බලල යන්න එන්න ඕන කියල”

මෙතෙක් වේලා නොතිබුන රත් පැහැයක් කම්මුල් මත ඉහිරී ගියේත් දෙතොලින් සඟවන්නට අපහසු සිනහවක් විත් උශාලිගේ දෙතොල මත රැඳුණේත්, දෙනෙත් බිමට හැරවුණේත් එකටය.

“ඒත් මට ඉල්ලපු ඒව නම් අරගෙන එන්න බැරිවුනා”

“ඉල්ලපු ඒව? මම මුකුත් ඉල්ලුවෙ නෑනෙ”

“තාත්තිට කියල මටත් ස්ට්‍රෝබෙරි ගෙනත් දෙන්න් කියල දුලාට කිව්වෙ නැද්ද?” ඒ මන බන්ධනීය සිනහව විසුරුවමින් ඔහු අසද්දී ඒ සිනහවට එක් නොවී හිඳින්නට උශාලිට හැකියාවක් තිබුනේ නැත. 

“දුලා හරි ආසයි ජග්‍රෝ එකෙන් ස්ට්‍රෝබෙරි කන්න, කතා කරොත් එනවද?”

ආදරණීය නිරුත්තර වීම් සුන්දරය. ලැජ්ජාබරිතය. අරුමැසිය.ඔහු ඇසූ දෙයට පිලිතුරු දුන්නේ හිස සෙලවීමෙන් සහ සිනහවක් පිදීමෙනි.

ඉන්පසු ඇති වූ නිහඬතාවයේ ඔහු උන්නේ එලියේ වැටෙන ලා වැස්ස දෙස බලමිනි. “අපි දෙන්න හම්බෙන හැම දවසකම වහිනවා යැයි කියන්න තිබුනානම් අපූරුය”. එහෙත් ඒවා කියන්නට මේ සුදුසු මොහොතක් නොවන බව සිත කියයි. 

කිව යුත්තේ කුමක්ද කියා සිතමින් හිඳින මොහොතක අසන්නට කිසිත් දෙයක් නොවුණද උශාලිට ඒ ප්‍රශ්නය අසන්නට සිතුනේ ඇයිදැයි ඇයවත් දැන උන්නේ නැත.

එහෙත් ඒ දෑස්වල හදිසියේ හටගත් කලබලයත්, පිළිතුරක් සොයාගන්නට වචන කල හරඹයත් දුටුවාය.”දුලන්‍යාගේ අම්මා ඇයි ආවෙ නැත්තේ? අම්මලනේ ආස මේ වගේ ඒව බලන්න”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles