කල් තියාගන්න පුළුවන් කෑම රෙසිපි තුනක්

කාර්යබහුල කාන්තාවන්ට විවේකී සති අන්තයේ දී කරන්න පුළුවන් නුවණැති ම වැඩක් තමයි කල් තියාගන්න පුළුවන් ආහාර කීපයක් හදලා තියාගන්න එක. ඔබ රැකියාවට යන කෙනෙක් නම් සතියෙ දවස් වල දී ප්‍රයෝජනයට ගන්න පුළුවන් ආහාර වර්ග කිහිපයක් ඔබ සතුව තියෙන එක ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඉතින් අද කියන්න හදන්නෙ ඒ වගේ කල් තියාගන්න පුළුවන් කෑම රෙසිපි තුනක් ගැනයි

සීනි සම්බෝල

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

  • ලොකු  ලූනු  250g
  • උම්බලකඩ 50g
  • ලුනු  අවශ්‍ය  පමණ
  • සීනි  අවශ්‍ය  පමණ
  • සියඹලා ඉස්ම ස්වල්පයක්
  • එනසාල්
  • රම්පේ
  • කරපිංචා
  • කහ කුඩු තේ හැදි 1
  • මිරිස්  කුඩු  තේ හැදි 3 හෝ 4
  • පොල්තෙල් ස්වල්පයක්

හදන්නෙ මෙහෙමයි

භාජනයක් ලිප තබා එය හොඳින් රත් වෙන්නට හැර පොල්තෙල් ස්වල්පයක් එකතු කර ගන්න. 

එය මදක් රත් වී ගෙන එන විට එයට උම්බලකඩ ,තලාගත් එනසාල් ,රම්පේ  , කරපිංචා එකතු කරගන්න.

විනාඩියක් දෙකක් පමණ එය පිසෙන්නට හැර   එයට කපාගත් ළූණු ටික එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න 

දැන් එයට කහ ,ලුණු ,මිරිස්  එකතු කර ළූණු ටික තැම්බීගෙන එන විට එයට සීනි හා සියඹලා ඉස්ම  එකතු කර නැවතත් හොඳින් මිශ්‍ර කර ඉතා අඩු ගින්දරේ හොඳින් පිසගන්න.

හොඳින් පිසුනු පසු ලිප නිවා , සීනි සම්බෝල නිවෙන්නට හරින්න 

නිවුනු තම්බා හොඳින් වේලා ගත් , පියන හොඳින් වැසෙන වීදුරු බෝතලයක අසුරා ගන්න

ඇඹුල් තියල් 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

  • තලපත් මාලු  500g
  • මිරිස් කුඩු මේස හැඳි 1 
  • වියලි මිරිස් 
  • තුන පහ කුඩු මේස හැඳි 1 
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 2 
  • රස අනුව ලුණු 
  • ගොරකා
  • කරපිංචා 

හදන්නෙ මෙහෙමයි 

මාලු කපා හොඳින් සෝදා පිරිසිදු කර ගන්න

තාච්චියක් ලිප තබා මිරිස් , තුනපහ සහ වියලි මිරිස් හොඳින් බැද ගන්න 

එය ලිපෙන් ඉවත් කර ගෙන , එයට ලුණු , ගම්මිරිස් සහ ගොරකා සහ වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කර ගෙන පේස්ට් එකක් සකස් කර ගන්න

මාලු වලට එම තුනපහ මිශ්‍රණය එකතු කර හොඳින් අතගා මාලු ටික පැයක් පමණ පදම් වීමට හරින්න

ඉන්පසුව මැටි හට්ටියක් ගෙන එහි පතුලට කෙසෙල් කොළයක් අතුරා එයට උඩින් නැවුම් කරපිංචා තට්ටුවක් අතුරන්න

එම කරපිංචා තට්ටුවට උඩින් සූදානම් කර ගත් මාලු කෑලි අතුරන්න

තුනපහ මිශ්‍රණය ඉතිරි නම් එයත් මාලු වලට උඩින් අතුරන්න

ඉන්පසුව අවශ්‍ය පමණට වතුර එකතු කර මද ගින්දරේ හොඳින් පිස ගන්න 

ඇඹරැල්ලා කරි 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

  • පොතු හැරගත් ඇඹරැල්ලා ගෙඩි 10
  • කපාගත් සුදුළූණු බික් 4
  • තුනපහ කුඩු තේ හැඳි 1
  • මිරිස්කුඩු තේ හැඳි 3
  • කහ කුඩු තේ හැඳි 1/2
  • කෑලිමිරිස් තේ හැඳි 1
  • සීනි තේ හැඳි 4 – 5
  • කරපිංචා ස්වල්පයක්
  • ලුණු රස අනුව
  • මිටි කිරි කෝප්ප 1 

හදන්නේ මෙහෙමයි

මුලින්ම ඇඹරැල්ලා කපා ලුණු සහ කහ එකතු කර හොඳින් තම්බා ගන්න 

භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතුකර මිරිස් කුඩු , තුන පහ කුඩු සහ කෑලි මිරිස් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න

එම මිශ්‍රණයට සීනි එකතු කර විනාඩියකට පමණ පසු තම්බාගත් ඇඹරැල්ලා එකතුකර නැවතත් හොදින් මිශ්‍ර කරන්න 

සියල්ල විනාඩියක් පමණ තෙම්පරාදු කර ගෙන ඇඹරැල්ලා වැහෙන ප්‍රමාණයට වතුර එකතු කර නැවතත් මිශ්‍ර කර මඳ වෙලාවක් තම්බා ගන්න 

ඉන් පසු මිටිකිරි එකතු කර රස අනුව ලුණු ද එකතු කර හොඳින් උතුරවා කිරි හිඳෙන තුරු පිස ගන්න

Related Articles

Don't Miss


Latest Articles