සියක් සියපත් 26

රියදුරු ජගත් ට කියා සියපත් හන්දියේ බොජුන් හල අසලින් රිය නවතා ගත්තා ය. ඇය ඇතුළට ගියේ වියානා ගේ අතින් අල්වා ගෙන ය. සුජීවා සේ ම ශාන්ත ද ඒ ලස්සන හුරුබුහුටි කෙල්ල දෙස බැලුවේ මඳ විමතියකිනි. සියපත් ගේ මිතුරියන් හැම කෙනෙකු ම වාගේ ඔවුන් හඳුනයි. ඇය වැඩිපුර මිතුරු ඇසුරක් කළ දැරියක නොවේ. අතේ ඇඟිලි වලින් ගැනිය හැකි ඉන්නා මිතුරන් ගැන අම්මලා දැන සිටියහ. ඇය පාසල් වියේ සිට ම ගෙදර කතා බහ කරත්දී ඒ මිතුරියන් ගේ නම් විශේෂයෙන් කීවා ය. 

“වියානා මේ තමයි මගෙ අම්මයි තාත්තයි”

වියානා පෑ සිනහවේ අතිශය ළෙංගතු කමක් තැවරී තිබිණ. ලොකු පවුලක ගෑනු ළමයෙකු යයි හඟවන බැල්මකුදු ඇය හෙළුවේ නැත.

“අම්මෙ මේ…මිස් වියානාව එහෙ සර් කෙනෙක් මැරි කරන්න ඉන්නෙ. මෙයාල රට ඉඳං ඇවිත් ඉන්නෙ වෙඩින් එක ගන්න. මාත් එක්කත් දැං යාළුයි. මෙයාට අද අපේ ගෙදර ඉන්න එන්න ඕන කිව්ව”

සුජීවා හුස්ම ඉහළට ඇද්ද පාරට අතින් මුව වැසිණි.

“අනේ පුතේ ඉතිං මේ මිස්ට ඉන්න පුළුවන් ද අපේ ගෙදර…ඔයා කිව්වෙ නැද්ද ඒ ගැන…අනේ මිස්…අපේ ගෙදර හරියකට මිස්ට නිදා ගන්නවත් දෙන්න තැනක් නෑ”

“අයියෝ අම්ම. ඒ ගෙදර සර්ලත් නෑ මං මිස් කෙනෙකුත් නෙවේ. හරි ඉතිං මං මේ සැප ගන්න කියල හොටේල් එකකට ආව නෙවේනෙ. මං ආවෙ සියපත් එක්ක ඉන්නනෙ. එයා නිදියන තැනක මටත් ඔය චුට්ටක් ඉඩ ලැබුණහම ඇති. අම්ම ඒ ගැන වොරි වෙන්න එපා”

ඇය කෙතරම් නම් නිහතමානී ද? ඇතැම් විට මිනිසුන් අපමණ හොඳ වෙනවාට වඩා ටිකක් හෝ නරක වෙනවා නම් කියා සිතේ. එතකොට හිතට වදයක්, බරක් නැත. ඔවුන් ද අනිත් මිනිසුන් වාගේ ම යයි සිතා නො සලකා හැරිය හැක. නමුත් ඕනෑවටත් වඩා අහංකාර වීමට හේතු ඇති වියානා වාගේ යුවතියක ඕනේවටත් වඩා නිරහංකාර වෙත්දී එය දරා ගැනීම සියපත් ට අපහසු හැඟීමක් නො වූවා ද නොවේ.

“එහෙනං පුතේ මේ මිස්ට හොඳට මොනා හරි හදල කන්න බොන්න දෙන්න වෙයිනෙ. අපි එහෙනං ඉක්මනට කඩේ වහල එන්නං”

ඒ කලබලකාරී තීරණය ශාන්ත ගේ ය. 

“අනේ ඕන නෑ තාත්ත. හොඳට මොනාද…ඕගොල්ලො කන විදිහටම මටත් කෑම චුට්ටක් ලැබුණහම ඇති”

“අනේ පුතේ එහෙනං මිස්ව ගෙදර එක්කං යන්න. ඉන්න මං ඉක්මනට බිත්තර ආප්ප ටිකක් දාල දෙන්නං. මිස්ට හොඳ රහට තේ එකකුත් හදල දෙන්න පුතේ”

“බිත්තර ආප්ප කන එකනං හොඳයි තාත්ත. හැබැයි ඔන්න ඔයාගෙ දුවට වගේ මටත් පුතා කියනවනං තමයි මං කැමති හොඳේ. මිස් කිව්වහම මං ඕගොල්ලංගෙන් දුරයි වගේ දැනෙන්නැද්ද…අද රෑට අපි එක ගෙදරක නිදියන එකේ මාවත් ඕගොල්ලංගෙ පවුලෙ කෙනෙක් කර ගන්නකො අනේ”

සියපත් සිනහ වී සිටියේ හඬන්නට බැරි කමට ය. වරින් වර ඇගේ ඇස් තෙත් නොවුණා ද නොවේ. ආප්ප ටිකත් සිලි බෑගයක දමා ගෙන ඔවුන් ගෙදරට ගියේ පයින් ඇවිද ගෙන ය. ඕනේ නම් ත්‍රීරෝද රියක් ගෙන යන්නට තිබිණ. නමුත් හිතේ තෙරපී ඇති පීඩනය මඳක් හෝ තුනී කර ගන්නට ඒ පයින් යාම හේතුවක් වෙතැයි සියපත් සිතුවා ය.

“බලන්න සියපත්. මං දැං අර මනුස්සයගෙ මූණවත් බලන්නෙ කොහොමද…ඊයා අප්ප. මට ලැජ්ජත් එක්ක. මට කොහොමවත් කැමති නැති මනුස්සයෙක්ගෙනෙ මං මේ ටිකේම ඇඟේ එල්ලි එල්ලි ඉන්න හැදුවෙ. මෙහෙම ලැජ්ජාවක් කවදාවත් වෙලා නෑ”

ඇවිද යන ගමන් වියානා කියවූයේ ම ඒ ගැන ය. කොහොම ඇගේ හිත හදන්නද කියා සියපත් දැන සිටියේ නැත. ඇගේ හිත හදන්නට කියනා ඕනෑ ම වදනක් රැවටිලි බසක් සේ අද නැත ද යම් කිසි දිනෙක ඇයට දැනෙන්නට පිළිවන. සදාතන ගේ ජීවිතයෙහි ඇයට හිමි වෙන්නට තිබූ ඉඩට වියානා ට පෙර සියපත් ඇවිත් යයි දැන ගත හොත් ඇය ට කෙසේ දැනේවි ද? ඇය මොනවා සිතාවි ද?

“දුක් නොවී ඉන්න. හැම දේම හොඳට වෙයි”

සියපත් එපමණක් කීවා ය. එසේ වන්නයි හදවතින් ම පැතුවා ය. ඒ මාතෘකාවේ එල්ලී සිටීම තේරුමක් නැති දෙයක් සේ වියානා ද තීරණය කළෙන් ඉන් පසු ඔවුන් කතා බහ කළේ වෙනත් දේ ගැන ය. වියානා ටත් පංකජීටත් ආප්ප කන්නට දී සියපත් තේ සැදුවා ය. ගෑනු ළමයින් තුන් දෙනෙකු ගේ සිනා කතා හඬ ඒ පැරණි නිවස පුරා පිළිරැව් නැගුණේ ය. සියපත් රයිස් කුකරයට බතක් ගසා අල හොද්දක් ඉව්වා ය. එදා ඉක්මනට කඩය වසා දැමූ ශාන්ත හා සුජීවා එන ගමන් ෆාම් ශොප් එකෙන් කුකුළෙකු ගත්හ. ඉක්මනින් කුකුළු මස් කරිය පිස තවත් ව්‍යාංජන දෙකක් හදා සුජීවා රෑ කෑම සූදානම් කළා ය. කෑම වල සුවඳින් ගේ පිරී පැවතිණ. කෑම පිළියෙල කරත්දී සුජීවා ගේ අත් ගුණය යනු ගමේ ප්‍රකට දෙයකි. දානේ ගෙවල් වල කෑම උයන්නට ඇය නැතිව ම බැරි ඒක ය. නමුත් ගෙදර මෙහෙම ප්‍රීති අවස්ථාවක් උදා වන්නේ කලාතුරකිනි. වියානා යනු ඔවුන් ගේ ගෙදර රැයක් ගෙවාවි කියා සිතන්නට හෝ බැරි විදිහේ දෙව් ලොවකට අයත් දේවතාවකි. නමුත් වෙන්නට බැරි දෙයක් මිහි මත ඇත්තේ නැත. සුරංගනාවන් ට ද දිව්‍යාංගනාවන්ට ද ඒ ලෝක වලින් පොළොවට හෝ ඇතැම් විට අපායට වුව ගොඩ බහින්නට සිත් දෙන අවස්ථා උදා විය හැක.

කහවණුගොඩ මැදුරේ වාගේ දිග ම දිග ලොකු කැටයම් කෑම මේසයක් සියපත් ගේ ගෙදර නැත්තේ ය. ශාන්ත ගේ මව් පියන් විසින් කාලයකට පෙර මිල දී ගෙන වසර ගණනාවක් තිස්සේ පට්ට ගසමින් පාවිච්චි කරන ලද පරණ කළු ගැහුණු කොස් මේසයක් එහි වන්නේ ය. ඉස්සරහාට ලාච්චු දෙකක් තිබුණ බවට හිස් තැන් දෙකක් එහි සලකුණු වශයෙන් තිබේ. නමුත් දැන්  ලාච්චු නැත. පළතුරු ගෙඩි වල පින්තූර සහිත ඉටි කොළයක් කාලයක සිට එහි මතුපිටට එළා තිබේ. කාලයක් තිස්සේ පිස දැමීම නිසා තැන් තැන් වල පළතුරු පින්තූර මැකී ගොසිනි. මේස පුටු හතරක් වූවාට ඔවුන්ට කවදාවත් මේසයට කෑම යවනා හෝ මේසයට හිඳ කෑම කන පුරුද්දක් ඇත්තේ නැත. හතර දෙනාම රෑ වී එකට කෑම කත්දී, සුජීවා කුස්සියේ මේස තට්ටුව මත තබා ගන්නා පිඟන් හතරට බත් මාළු පිනි බෙදයි. ශාන්ත සමග එක වහළක් යටට වූ දා පටන්, මඤ්ඤොක්කා අලයක් තම්බා ගත්තත් මුට්ටියෙන් පළමු කොටස ඇය බෙදුවේ ඔහු ට ය. ඒ ආදර ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම බලයෙන් ඇති කර ගත් එකක් හෝ කාලයත් එක්ක නැති කර ගත හැකි වූවක් නොවේ. මඤ්ඤොක්කා අලය හෝ උපයා සපයා ගන්නට දහඩිය හෙලූ මිනිසාට පිඟාන දෝතින් පිළිගන්වත්දී ඇය හැමදාමත් ඔහු ට දෙවියන්ගේ ආශිර්වාදය හදවතින් පැතුවා ය. දරුවන් දෙදෙනා ට බෙදු පසු අවසාන වශයෙන් සිය පතට බත් බෙදා ගැනීම සුජීවා ගේ සිරිතයි. ඇගේ පිඟාන බොහෝ විට මැටි කෝප්පයකි. 

“අම්ම මේකෙ කන්නෙ බත් පිඟන් දෙකක් විතර එක පාර බෙදා ගන්න පුළුවන් නිසා”

ශාන්ත දූවරු දෙදෙනා ට සමහර වෙලාවට එහෙම කියා විහිළු කොට තිබේ. නමුත් බොහෝ විට ඇයට ඉතිරි වන යමක් මැටි කෝප්පය පත්ලේ ගෑවෙන්නේ හෝ නැති බව ඔහු දනී. ඉව්වේ යන්තම් අත පත ගා එකතු කොට ගත් හාල් ටිකක් නම්, එදාට ශාන්ත ට කන්න බැරි වන්නේ ය. බත් පතින් අඩක් කා ඉතුරු ටික ‘කන්න බෑ’ කියා ඔහු සුජීවා අතට දෙයි. ඒ ඇගේ කුසයට වැටෙන්නේ දංකුඩ බත් කටක් දෙකක් පමණක් බව ඔහු දන්නා නිසා ය.

යහමින් අත මිට ඇති දාක නම් ඇය රස කොට ව්‍යාංජන දෙක තුනක් හැදුවා ය. එතකොට ශාන්ත බත් කෑවේ පරණ අතීත කතා මතක් කරමින් හා ඒවා රස කර කියමිනි. ඒ ඇතැම් කතාවක් දෙතුන් වරකට වඩා අසා ඇති බව සියපත් දනී. 

“අයියෝ ඕක කී සැරයක් කියල තියෙනවද තාත්තෙ” කියා පොඩි කාලේ දී පංකජී කීවාට සියපත් නම් කී වාරයක මතකයක් තිබී ද එහෙම කියන්නේ නැත.  

අද නම් සියපත් ලා ගේ ගෙදරට මගුල් සලකුණක් සේ ය. වියානා එක්ක කෑම වේලක් කන්නට ලැබුණ ප්‍රීතිය අම්මා හා තාත්තා සමරන හැටි සියපත් බලා උන්නේ ප්‍රීතිය ද ශෝකය ද කැළතුණ මිහිරකිනි. මේසය පුරා ම කෑම වර්ග කොතෙක් තිබුණේ ද යත් එහි ඇඟිල්ලක් ගහන්නට ඉඩක් වූයේ නැත. ඔවුන් ගේ කඩයෙන් තෝසේ ද වඩේ ද ඒවා සඳහා සාම්බාර් හොදි හා සම්බෝල ද පිට්ටු ද පොල් කිරි ද වඩේ ද ඉඳි ආප්ප ද ගෙදර හැදූ බත් මාළු ද…පිඟානක් තබන්නට හෝ මේසයෙහි ඉඩක් වූයේ නැත.

“දෙයියනේ මෙච්චර කෑම…කඩෙං ගෙනාවනං ඇයි අනේ ගෙදරත් ඇවිත් මහන්සි වෙලා තව ඉව්වෙ…”

ඒ කෑම මේසය දැක වියානා විශ්මිත වූවා ය. සියපත් මඳහසක් පෑවා පමණකි.

“හෙමිහිට කතා කර කර කමු පුතේ රෑ වෙනකල්ම කයියක් ගහගෙන…”

“අනේ මං මේ ගෙදරට හරි ආසයි තාත්ත. ඇත්තටම ඕගොල්ලන්ට හරි ආදරේ හිතෙනව. මෙහෙම ලස්සනට ජීවිතේ විඳිනව කියන එකම මොන තරං දෙයක්ද…දවසක අපේ අම්මිවයි තාත්තිවයි එක්කං එන්නං මෙහේ. මට ආසයි එයාලට පෙන්නන්න”

වියානා එහෙම කීවා ට ඔවුන් කැටුව එන්නේ නැති බව සියපත් සිතුවා ය. මේ වාගේ තැනකට එන්නට ඔවුන් එකඟ වන්නේ ද නැත.

ශාන්ත කීවා සේ ම ඒ රෑ කෑම වේල මැදියම් රැය තෙක් ම විහිදිණි. වියානා එහි වූ හැම බොජුනකින් ම ටික ටික අනුභව කළා ය. ඔවුන් ට කතා කරන්නට දේවල් ඉනුවා සේ ය. පංකජී ද එදා පාඩම් නො කොට මේ සල්ලාපය මැදට වී සිටියා ය. අන්තිමට ඔවුන් නින්දට ගියේ මැදියම් රැය ඉක්මවූ පසු ය.

සියපත් හා පංකජී නිදනා සුව පහසුවක් නැති යුගල යහනේ හරස් අතට ඔවුන් තිදෙනා ම වැතිර ගත්හ. “ඔයාට ඉඩ මදි ඇති අප්ප” කියා කිහිප වතාවක් ම සියපත් ට කියවිණි ද ආදරය කියනා පොදු ගුණාකාරයෙන් බැඳෙනා මිනිසුන්ට අල්ලක් තරම් ඉඩක වුව සතුටෙන් ජීවත් විය හැකි බව ඇය පසක් කරමින් සිටියා ය.

“මගෙ ජීවිතේ ගත වෙච්ච විශේෂ ම දවසක් අද…ලස්සන ම පැය කීපය තමයි මේ ගෙවෙන්නෙ”

යහනට වන් කල වියානා මිමිනුවා ය. 

“අපිට ලං කර ගන්න බැරි දේවල් ගැන වද වෙනවට වඩා අපි වටේට තියන දේවල් එක්ක සතුටෙන් ඉන්න එක මොන තරං සැනසිල්ලක්ද..නේද..”

සියපත් හ්ම් මිටි තැබුවේ හෝ නැත. ඇගේ හදවතේ වේදනාකාරී ඉදිමුමක් ඇති වී, කුටීර වලින් රුධිර පොම්ප කිරීම පවා නිසි පරිදි සිදු නොවෙනා සෙයක් ඇයට දැනිණ. වියානා ඉක්මනින් නින්දට වැටුන ද සියපත් ට නින්ද ගියායි සිතිය නො හැකි ය. ගෙදර ආ වෙලේ පටන් ඇය දුරකතනය ක්‍රියා විරහිත කර ගෙන සිටියා ය. අත්‍යවශ්‍ය කරුණකට හැර සදාතන දුරකතන ඇමතුම් දෙන්නේ නැති වී ද දැන් දැන් ඔහු ගෙන් එන කෙටි පණිවිඩ ගණන වැඩි වී ඇත්තේ ය. දුරකතනය එවන් සංඥාවක් දෙනකොට ම සියපත් ගේ හදවත රස ගුලාවක් බවට පත් වන්නේ ය. නමුත් ඔහු එවූ ඉමෝජියක් හෝ නෙතු ගැටුණොත් වියානා ගේ හිත බිඳී යනු ඇතැයි සිතූ සියපත්, උදේවත් දුරකතනය ක්‍රියාත්මක නො කළා ය. ශාන්ත හා සුජීවා වැළඳ ගෙන වියානා ඔවුන් ගෙන් සමු ගත්තේ ඉක්මන් දවසක නැවත ද කරදර කරන්නට එන බව කියමිනි.

“මොන කරදරයක්ද මැණිකේ. අපේ කෙල්ලට මේ වගේ ලොකු පවුල් වල චූටි මිස්ල වෙනසක් නැතුව මෙහෙම ආදරේ කරනව දකින එකම අපිට ආඩම්බරයක්. එකම කණගාටුව අපිට හරියට සැප පහසුකම් සලස්සන්න බැරි එක විතරයි”

 වියානා සුජීවා ව වැළඳ ගෙන ටික වෙලාවක් ඒ ග්‍රහණය නො මුදා සිටියා ය. මේ මිනිසුන් සංසාරේ කවදා හරි දවසක එකට ම හිටියා වාගේ දැනෙන්නේ ඇයි දැයි ඇය ට සිතිණ.

රාත්‍රියේ කිහිප විටක් ම සියපත් ව දුරකතනයට සම්බන්ධ කර ගන්නට උත්සාහ කළ සදාතන, ඇය රැගත් මෝටර් රථය මිදුලේ නතර වන තුරු හිටියේ නො ඉවසුම් ව ය. වියානා සියපත් ලා ගේ ගෙදර ගියායි උදේ ජගත් ගෙන් දැනගත් ඔහු තව දුරටත් කළබල විය. නිසැක ලෙස ම වියාන යමක් සියපත්ගේ කටින් අල්ලා ගන්නට ඇතැයි ඔහු සැක කළේ ය. මෙයින් පසු තත්වය කෙසේ වේවිද කියා විශ්වාස නැත. එන දේකට මූණ දෙන්නට ඔහු හිතා ගත්තේ ය.

මෝටර් රථය නැවතෙන විට සදාතන හා සනාතන දෙදෙනා ම හිටියේ ආලින්දයේ ය. 

“ආ…මං හිටියෙ අල්ලගන්න තමයි”

කියා ගෙන සනාතන වෙත ගිය වියානා, දෑතින් ම ඔහු ට පහර දෙන්නට පටන් ගත්තා ය.

“මොකද්ද මෝඩයො ඒ කරපු වැඩේ…කුළියට ගත්ත ෆියොන්සෙ කෙනෙක් වුණේ…ලැජ්ජ නැද්ද…දැං කවුද මේ වෙච්ච වැරදි හදන්නෙ ආ…”

“හරි හරි. ඇති ඇති. දැං මේ පහර දෙන එක නවත්තල පොඩ්ඩක් සාකච්චා මාර්ගෙට අවතීර්ණ වෙමුකො…අම්මෝ…රිදෙනව අප්ප”

සනාතන අත් දෙක උරහිස් වල බැඳ ගත්තේ ය.

“පොඩ්ඩක් කතා කරන්න කිව්වහම වෙඩින් ප්ලෑන් කරන්නත් ගියාද බූරුවො”

පෙර දා රාත්‍රියේ සදාතන කීව ද මේ මොහොතේත් සනාතනට යළි සිහි වන්නට විය. අන්තිමට ඔහුට දෙපැත්තෙන් ම චෝදනා එල්ල වෙමින් තිබේ.

“සාම සාකච්චා තමයි. සාම සාකච්චා කර ගන්න ඔය දෙන්නා අපේ තාත්ති එක්ක. මංනෑ ඕවට..සියපත්ට අයිය කෙනෙක් හිටියනං ඇත්තමයි මං එයාව බඳිනෝ”

“ඈ…”

“බලන්න එයාගෙ අම්මයි තාත්තයි මට කන්න දීපු තරං…එහෙම සංග්‍රහයක් මට වෙන කොහෙදිවත් ලැබිල නෑ”

ජංගම දුරකතනයෙන් පෙර දා රාත්‍රියේ දී ගනු ලැබූ ඡායාරූප ටික වියානා සනාතන ට පෙන්වන්නට ගත්තා ය. සදාතන ද ඇවිත් ඒ දෙසට හොර බැල්මක් හෙළුවේ ය. සියපත් අහිංසක සිනහවකින් ඔවුන් දෙස බලා සිටින්නට වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles