“අයියා ඔයාට බැන්නද?”
තමන් අනුප සමග ඔහුගේ වාහනයේ නැගී කොල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙත යනු අයියා දැක තිබුණ බව කීමෙන් පසු අනුපගේ කටහඬ වෙනස් වූ ආකාරය නොදැනුනා නොවේ. ඒ භීතියම තමන්ගේ සිතද බියපත් කර ඇත.
ආදරය ගැන වදනක්වත් එකිනෙකා සමග හුවමාරු කරනොගත්තා වුවද තමන් දෙදෙනාගේ ලංවීමට හේතුව වූයේ හිත අස්සේ කොහේ හෝ තැනක ඉපදුන ආදරයකි.
ගෙදර දී මේ ගැන කතා බස් කරන්නට අපහසු නිසාවෙන් අනුප අමතන්නට පෙර පාසලට යන තෙක් හිඳිනට වීම ගැන උශාලිගේ සිතේ තිබුනේ නොඉවසිල්ලකි. මේ ඉවසා හිඳින්නට හැකි නිමේෂයක් නොවන මග සිතට කොතෙක් තේරුම් කර දුන්නද තේරුමක් නැත. අනෙක් අතට සිත කුමක් කීවද එය ක්‍රියාවට නැංවීම වළකනා බාහිර හේතු සාධක රැසක් ද ඇත. අයියාගේ දැක තිබුනේ තමන් පිරිමි ලමයෙකු සමග අවන්හලකට යාම පමනක් වුවද අයියාගේ හඬේ වූයේ “මේ ගැන මම හොයල බලන්නම්” කියවන විධානයක් බව තේරුම්ගන්නට අපහසුවක් තිබුනේ නැත. අනෙක් අතට අයියා කතාබහ අවසන් කර ගියපසුව කතා කරන්නට පටන් ගත් අම්මාගේ මුහුන දෙස බලන්නට අපහසුවක් වූයේ අම්මාත් අයියාත් නොදන්නා යම් අමිහිරි ඇත්තක් තමාගේ හිත දන්නා නිසාද කියා පැහැදිලි නැත.
“හංග හංග කරන්නෙ මොකද ළමයො. අපි කියල නෑනෙ කාත් එක්කවත් යාලු වෙන් එපා කියල. එහෙම එකේ ඔය තැන් තැන් වල රස්තියාදු ගහන්න කලින් ගෙදර ඇවිත් කතා බහ කරානම් නරකද?”
රෑ කෑම සඳහා සකසමින් උන් ලූණු ඇඹුලට දෙහි මිරිකමින් අම්මා අසද්දී උශාලිට දැනුනේ ඒ දෙහි සැර ඇස් වල තැවරී ඇතුවාක් මෙන් දැවිල්ලකි. අම්මාගෙන් දෑස් සඟවා ගන්නට සිතුවේ වචන කරනට අපහසු හැඟීම් ගොන්නක්, රහස් ගොන්නක් සිතේ පිරී ඇති නිසාවෙනි.
“මම කියන්න හිටියේ”
“කවද්ද? දැන් අයියා දැක්ක හන්දනෙ අදවත් අපිට ඔහොම දෙයක් දැනගන්න ලැබුනෙ”
ඉන්පසු ඇති වූ නිහඬතාවය දරාගන්නට අපහසු තරම් ය. අම්මාගේ දෑස්වල තැවරී ඇත්තේ අමනාපයක්ද බියක්ද යන්න පවා නොතේරෙන සුලුය. ඒ දෑස් දෙසත් අම්මා දෙසත් බලන්නට අපහසු නිසාවෙන් කුස්සියේ ඇති ජනේලයෙන් එලියේ පෙනෙන අන්ධකාර සලු සෙමෙන් පොරවගන්නා ආකාශය දෙස බලාගෙන ඉන්නට විය.
එදා රෑ නින්ද නොගිය තරම් ය. අම්මාගෙත් අයියාගේත් කතාබහේ ඉන්පසුව වෙනසක් නොවුවද දෑස්වල රැඳී තිබුණ අමුත්ත නිසාවෙන් එදා රාත්‍රි කැම මේසය පවා අමුතුම අකාරයක සීතලකින් වෙලී තිබුනා වැනිය.
නිහඬව කෑම ගත්තා මිසක වෙනදා මෙන් අලුත් යමක් කතා නොකරන ගෙවී ගිය ඒ හෝරාව උශාලි විඳ දරා ගත්තේ අපහසුවෙනි
“අයියා බැන්නෙ නෑ. ඒත් ඇහුව කාත් එක්කද ගියේ? කොහෙද ගියේ එහෙම කියල”
“ඉතින් ඔයා මොකද කිව්වේ?”
“මම කිව්වා යාලුවෙක් කියල”
අනුප ඒ පිළිතුර භාරගත්තේ කුතුහලයක් සමගිනි. “යාලුවෙක්” යන වදන සිතට බරකි. තමා කුමනාකාරයේ දෙයක් සිතුවද ඇතැම් විට ඇයට තමාව පෙනෙන්නේ යාලුවෙක් විදියට පමණක් විය හැක. එහෙත් එය දරාගන්නට සිතට හැකිවේද යන්න ගැටලුවකි. අනෙක් අතට ෂෝබිතා සමග විවාහය අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් හිඳින මොහොතක උශාලිට ප්‍රේමාරාධනාවක් ගෙන ඒමේ හැකියාවක් නොමැති බව අනුප නොදන්නවා නොවේ. දික්කසාද වන්නට නියමිතව තිබුනද තමා තවමත් විවාහයක පැටලී හිඳින මිනිසෙකි. දරුවෙකුගේ තාත්තා කෙනෙකි. එහෙම මිනිසෙකුට තමන්ගේ දුවව භාරදෙන්නට තරම් ඒ පවුලේ මව් දෙමව්පියන් සහ සහෝදර සහොදරියන් කැමති වේද යන ගැටලුවද ඇත.
“අයියා ඒක පිලිගත්තද?”
“දන්නෙ නෑ. එයා මුකුත් කිව්වෙ නෑ ඊටපස්සෙ”
“අම්මා මොනවද කිව්වේ?”
“එහෙම ලොකු දෙයක් කිව්වෙ නෑ ඉතින්”
“ඔයාට බැන්න නම් මට ඒක කියන්න හොඳේ. මගේ ප්‍රශ්න විසඳන්න ඇවිත් ඔයා ප්‍රශ්නවල පැටලෙනවට මම ආස නෑ උශාලි. එහෙම කරන එක වරදක්. ඔයාගෙ අයියා අම්ම මොන දේ කිව්ව කරත් ඒකෙ වරදක් නෑ. කසාද බැඳල ළමේක් ඉන්න තාත්තා කෙනෙක් එක්ක තමන්ගෙ දුව එහෙ මෙහෙ යන එක වැරදි කියන දේ මම පිලිගන්නව. දුලන්‍යා ලොකු උනාම මමත් එහෙමම හිතාවි”
“එහෙම දෙයක් නෑ. කරන්නෙ වරදක් නම් ඒ වරද කරන්නෙ අපි දෙන්නම එකතුවෙලා නේද? අනික මම හිතන්නෙ නෑ අපි දෙන්න වරදක් කරනව කියල. අපි නරක දෙයක් කරේ නෑනෙ. ප්‍රශ්න ගැන කතාබස් කරා විතරයි. ඒකෙ වරදක් නෑ නේද?”
දුරකතන ඔස්සේ ඇදී එන උශාලිගේ වදන් වල ගැබ් වී තිබෙන සිතුව්ලි තේරුම්ගන්නට අපහසු ඒවා නොවේ. එහෙත් මෙතෙක් දිනක් නොසිතුනු දෙයක් ගැන සිතන්නට ඉඩක් ලැබුනේ අද ය. අනික් අතට තමා ඇයව වාහනයේ දමාගෙන යාම ලෝකය දකින්නේ කෙසේද ගැන මෙතෙක් දිනක් සිතා තිබුනේ නැත. ෂෝබිතා තම නිවසින් නික්ම ගියේ අනියම් සබඳතාවයක පැටලීම නිසාවෙනි. අනෙක් අතට තමා තවම වචනයෙන් උශාලිට හො උශාලි තමාට ආදරය ප්‍රකාශ කර නොතිබුනා වුව දැස් ඔස්සේ විද්‍යාමාන වන ආදරයේ අරුම පැහැයන් නොතේරුම්ගන්නට තරම් තමා බොළද අයෙකු නොවේ. සිත තුල ආදරයේ හැඟීම් රඳවාගනිමින් කරන මේ කතා බහ වුවද ලෝකය අනියම් සබඳතාවයක් ලෙස දකින්නට හැකි නොවේද යන කුකුස අනුපට සිතුනේ පලමු වරටය.
“අපි දැන් මේක කතා නොකර ඉමු. ගෙදර අය මොනවහරි ඇහුවොත් මම ඒක ශේප් කරගන්නම්. ඔයා බයවෙන්න එපා මම නිසා ඔයාට ප්‍රශ්නයක් වෙන්න මම ඉඩ තියන්නෙ නෑ”
ඔහු මෙසේ නිහඬව හිඳින්නේ කම්පනය නිසා බව නොදන්නවා නොවේ. එහෙත් මේ නිහඬතාවය සිතට බරකි. අවට වාතකයේ වූයේ උදෑසන සිසිලස වුවද හිත තුල ඇත්තේ පුදුමාකාර රස්නයකි. ඒ රස්නය දරාගන්නට අපහසු දෙයකි.
ඒ වදන් වලට පවා වුව අනුපගේ පැත්තෙන් එන්නේ නිහඬතාවයකි. ඉඳහිට නිහඬතාවට බිඳලන්නට මෙන් සුසුම් සරක් විත් දුරකතන මුහුණතේ වැදෙන හඬ දරාගත නොහැකි තරම් ය.
“ඔයා තාම යන ගමන් නේද? පරිස්සමෙන් යන්න. අපි පස්සෙ දවසක හම්බෙලා මේ ගැන කතා කරමු”
“නෑ පොඩ්ඩක් ඉන්න ෆෝන් එක තියන්න එපා, ඔයා මාත් එක්ක තරහද?”
“මම මොකටද අනේ තරහවෙන්නෙ? පිස්සුද. ඔයා ගිහිල්ල මට මැසේජ් එකක් දානවද?”
“හරි, මේ තව දෙයක්, නෙක්ස්ට් සැටඩේ දුලා ගේ බර්ත්ඩේ එක. ලොකු දෙයක් කරන්නෙ නෑ. අපි ගෙදර පොඩියට කේක් එකක් කපනව කියල හිතුවෙ. ඔයා එනවද?”
“අනේ මම එන්නම්. ඒත් ඇයි පොඩියට කරනව කිව්වෙ. ඔයාලගෙ ගෙදර බර්ත් ඩේ සෙලිබ්‍රේට් කරන්නෙ නැද්ද?”
“එහෙම දෙයක් නම් නෑ. ඉස්සර නම් අපි කරා. ඒත් මේ පාර නෑයන්ට හරි ළඟ පාත අයට හරි කිව්වොත් ෂෝබිතා නැති එක ගැන ඒ මිනිස්සු මොනව හිතාවිද කියල මට බයයි. කවුරුවත් තාම දන්නෙ නෑ ඩිවෝස් වෙන්න යන එක. මම ඔක්කොම දේවල් ලෝයර් එක්ක නම් කතා කරා. ඒත් කාටවත් අපි මේ ගැන කිව්වෙ නෑ තාම”
“මම ආවොත් අම්මල බලාවි නේද?”
“ඔයා එන්නකො. මම කියන්නම් අම්මට ඔයා දුලාගෙ ක්ලාස් ටීච. දුලා තමයි එන්න කියල තියෙන්නෙ කියල”
මේ සොඳුරු වචනත්, ක්‍රියාකාරකමුත් අයිතිවන්නේ ආදරය කරන මිනිසුන්ට පමණක් ද යන්න සිතෙන් නැගෙද්දී දෙතොල් මත්තට ආ සිනා මල් වලට පිපෙන්නට අවසර ලැබුණේ නිරායාසයෙනි. ඒ සිනා මල් සුවඳ සිත සුවපත් කරද්දී ඔහුට සමු දී උශාලි පංති කාමරය වෙත ආවාය.
උදෑසන අභ්‍යාස වලින් පසුව වැඩ පටන් ගත් පසු දොළහ දොලහමාර වන තුරුම දුරකතනය දෙස බලන්නට ඉඩක් ලැබෙන්නේ එහෙමත් මොහොතකය. දරුවන්ගේ අකුරු වැඩ පොත් බලමින්, වැරදි හදමින්, සිංදු කියමින් ඉද්දී කාලය ගෙවී යන්නේ පුදුම තරම් නොඉවසිල්ලකිනි.
“චීච මගෙ බර්දේ එක තියෙනව”
පෙර පාසල ඇරී යන්නට මත්තෙන් තමන් අසලට විත් සාරි පොටින් අදිමින් දුලන්‍යා කියන්නට තනන්නේ රසබර කතාවක් බව උශාලි නොදන්නවා නොවේ.
එහෙත් ඇයගේ තාත්තාගෙන් මේ බව දැන හුන්නා යැයි පවසා මේ පොඩිත්තියගේ සිතේ ඉපදුණ සතුටු බුබුලු බිඳ දමන්නට උශාලිට උවමනා නැත.
“ශා කවදද?”
“බර්ත් දේ එක දවසෙ”
“ඉතින් කවද්ද බර්ත් ඩේ එක තියෙන්නේ?”
“අයියෝ චීච බර්ත් දේ එක තීන්නෙ බර්ත් දේ එක දවසනෙ”
කෙල්ලගේ කතාවට සිනා යන්නට ආවද උශාලි ඒ සිනාව මැඩගත්තේ ලැජ්ජ හිතේවි යැයි බියෙනි. දඟකාර කටකාරකම් තිබ්බද මේ පොඩ්ඩි දන්න දෙයක් නැත.
“චීච එන්නම්කෝ”
“චීච අපේ ගෙදල එන්න හොඳේ”
“හරි හරි මම එන්නම්කො. මොනවද දැන් මම ආවොත් දෙන්නෙ”
“කේක් දෙනවා, චීච මොනවද ගේන්නෙ බබාට”
ඒ නම් ඉතින් ලේසියෙන් බේරී යා හැකි ප්‍රශ්නයක් නොවන බව උශාලි නොදන්නවා නොවේ.
“මොනවද ඔයාට ගෙනත් ඕන?”
සිනාසෙමින් ඇඹරෙන් පොඩ්ඩිගේ සිනාවෙන් කියවෙන්නේ ලැජ්ජා සහගත රහසක් බව පෙනේ.
දණ බිම නමා ඇය වෙත නැඹුරු වූ උශාලි ආයෙ වරක් “මොනවද ඕන?” කියා ඇසුවේ රහසිනි