සීත මාරුතේ -15

මල් ලබා ගැනීම සඳහා හරිතාගාර වල වවනා පැළ සඳහා නිසි වෙලාවේ දී කෘමි විකර්ෂක, දිලීර නාශක හා පොහොර වර්ග යනාදිය ලබා දිය යුතු වේ. මේ රසායනික වර්ග බින්දු විසිරුම් හෙවත් ස්ප්‍රේ ක්‍රමයෙන් මුළු වගාවට ම නියමිත නිශ්චිත කාල පරාසයන් යටතේ ලබා දේ. නිරෝගී හා විශාල ප්‍රමාණයේ මල් ලබා ගත හැක්කේ එතකොට ය. 

රසායන ද්‍රව්‍ය ස්ප්‍රේ කිරීම පිරිමි කම්කරුවන් අතින් සිදු වේ. නමුත් සුපර්වයිසර්වරයා ඒ වෙලාවට ඒ කටයුතු අධීක්ෂණය කළ යුතු ය. නිසි පරිදි සෑම පැළයකට ම කෘමි නාශක හා පොහොර ස්පර්ශ වන්නේ දැයි විමසිලිමත් විය යුතු ය. සැබවින් මෙය රසායන ද්‍රව්‍ය වලට ඍජු ව විවෘත වන අවස්ථාවකි. නමුත් මල් වල සුවඳ ද ලස්සන ද විඳිනට උරුමකම් ඇති අප ඒ අවදානම ද දරා ගත යුතු ය.

“මෙතන සුපර්වයිසර් වෙනව කියන්නෙ ඔය කොයි දේත් උරුමයි කියන එක තමයි”

මා ඒ ගැන විමසූ වෙලාවක දිසානායක මහතා කීවා මතක ය.

මුණිවර ගැයූ ගීතය නිසා දුකෙන් ආතුර ව තිබි මගේ පෙම් හිතට, මේ උදයේ මේ වගේ වැඩක් යෙදී තිබීම සහනයක් ම විය. වැඩ වැඩි වෙන විට එක හිතිවිල්ලක එල්ලී ගෙන ඒ ගැන දුක් වෙවී හිඳීමේ අවස්ථාවක් නැති වී යයි.

 දිලීර නාශක ස්ප්‍රේ කිරීම ගැන මම උනන්දුවෙන් විමසිලිමත් වීමි. ඒ දිසානායක මහතා ගිය පසු ඒ කාරිය කරනා ප්‍රථම වතාව ය. මල් පැළයක් ගානේ ඇවිද යමින් ද ඒවායේ පත්‍ර වල පිටුපස පවා හරවා බලමින් ද මම ඒ කටයුත්තේ සාර්ථක බව තහවුරු කරමින් සිටියෙමි. මුණිවර හරිතාගාරය තුළට පැමිණ සිටිනවා මා දුටුවේ එවෙලේ ය. මා දුටු හෙතෙම හී ගසක් සේ මවෙත ආවේ ය.

“කෝ මාස්ක්…”

ඔහු තදින් විමසී ය. මා මුව ආවරණ පැළඳ නොමැති බව පවා මට සිහි වූයේ ඒ වෙලාවේ ය.

“කෙමිකල් ස්ප්‍රේ කරන වෙලාවට මාස්ක් නැතුව මේක ඇතුලෙ ඉන්න හොඳ නෑ කියල දන්නෙ නැද්ද…”

ඔහු කෑ ගැසුවේ කෝපාවිෂ්ඨ ව ය. ඒ වගේ පොඩි දේකට ඒ තරම් හයියෙන් ගිරිය පුප්පා ගෙන කෑ ගසන එක ගැන මා තුළ නො රිස්සුමක් ද ඇති විය.

“කමක් නෑ. වෙන ඩැමේජ් එකක් වෙන්නෙ මටනෙ”

මා තුළ වූයේ මගෙන් ම පළි ගැනීමේ සිතිවිල්ලකි. පෙර දා රිදුම තව දුරටත් හිතේ පැලපදියම් වී ද තිබි සෙයකි. වචන වල මොන දැඩි බව වී ද මගේ ස්වරයේ වූ දුර්වල කම ගැන දන්නේ මා පමණකි.

“ගෝ අවුට්. අවුට්සයිඩ් ඔෆ් ද ග්‍රීන් හවුස්”

ඔහු අත දිග හැර ඇඟිල්ල ද හරිතාගාරයේ දොර දෙසට උරුක් කරමින් කෑ ගැසුවේ ය. ඒ කෑ ගැසීමට වැඩ කරන කිහිප දෙනෙක් ම හැරී බලනවා මම දුටිමි. තව මොහොතක් හෝ එතැන නො රැඳුණ මම පිටතට නික්ම ගියෙමි.

මා සිටියේ මුළුමනින් අසහනයට පත් ව ය. හැම දේ ම මට අවාසි වන ලෙස සිදු වෙමින් පවතී. මාස්ක් එක අමතක වන්නට ඇත්තේ ත් මගේ හිතේ වූ වියවුල් සහගත බව නිසා ය. නමුත් එය ඔය තරම් කෑ ගැසිය යුතු වරදක් ද? වෙන හානියක් වෙන්නේ ත් මට මිස මල් වලට හෝ හරිතාගාරයට නොවේ. කේන්තිය වැඩි කමට මම ස්කූටියෙහි නැගී කාබනික ගොවිපළවල් පැත්තේ ගියෙමි. සරුවට වැඩුණ උඩරට එළවළු වර්ග දකිත්දී හිතට සනීප ය. මුණිවර මේ සියල්ල සැලසුම් කොට ඇත්තේ කෙතරම් තීව්‍ර මනසකින් සිතා බලා දැයි ගොවි පොළ පුරා ඇවිදිත්දී දැනෙන්නේ ය. සත්ව ගොවිපොළ තුළින් ඉවත් කෙරෙන සත්ව මළ පහ ද, මුළුතැන්ගෙයින් ඉවත් කෙරෙනා අප ද්‍රව්‍ය ද උද්‍යානයේ තණකොළ කැපීමෙන් ඉවත් කෙරෙනා කොටස් යනාදිය ද මගින් ජීව වායු ඒකකයෙන් නො මිලයේ ම ගෑස් නිශ්පාදනය කෙරේ. මුළුතැන්ගෙයි කටයුතු වලට භාවිතා කෙරෙන්නේ ඒ ගෑස් ය. ජීව වායු ඒකකයෙන් කොම්පෝස්ට් බවට පත් වූ පොහොර ඉවත් කෙරේ. ඒවා ද ගොම හා කුකුළු පොහොර ද වගාවන් සඳහා යොදා ගනිමින් සාරවත් කාබනික වගාවක් සිදු වේ. දීප්තිමත් රතු පැහැයකින් ඉදුණු ස්ට්‍රෝබෙරි වගාව අතරේ මම හිත සන්සුන් වන තෙක් සිටියෙමි.

සන්සුන් වුව ද දුක්බර යමක් හිතට වැටුණ විට ඒ තුවාල සුවපත් කර ගන්නට පහසු නැත. එය ගෑනු ගතියක් ද කියා මම නො දනිමි. සමහර විට එය මට ආවේණික දුර්වල කමක් වන්නට ද ඇත. සමනල උයන පැත්තේ ද කරක් ගසා මා යළි කැබින් එකට එන විට දිවා ආහාර වේලාව ද පසු වී තිබිණි. බොහෝ දින වල මා කෑම ගන්නේ ගිනුම් අංශයේ තරුණ තරුණියන් කිහිප දෙනා සමග ය. නමුත් එය නිශ්චිත නැත. මගේ කටයුතු වලට අනුව මා තනිව කෑම ට යන දින ද වන්නේ ය. මුණිවර ලැප් ටොප් පරිගණකයට මූණ ඔබා ගෙන සිටිනු මම දුටිමි. ඔහු මදෙස බැලුවේ හෝ නැත.

කෑම රුචියක් හෝ කුස ගින්නක් කියා දෙයක් දැනෙන මානයක නොවූවා ට මම කෑම එක ද ගෙන භෝජනාගාරය වෙත ගියෙමි. එහි වන්නේ හතරැස් කුඩා මේස ය. මේසයක් වටා පුටු හතර බැගින් වේ. විශාල සේවක පිරිසක් සේවය කරනා ආයතනයක් වශයෙන්, ඒ සියලු දෙනා ට එක වර ඉඳ ගෙන කෑම ගත හැකි තරම් ඉඩ කඩක් එහි වේ.අවශ්‍ය නම් කෑම රත් කර ගත හැකි මයික්‍රොවේව් අවන් කිහිපයක් එහි තබා ඇත. මේ ශීතල දේශගුණය තුළ එය ආයතනයකින් සේවකයන් වෙත සැපයිය යුතු ම පහසුකමක් කියා මට සිතී තිබේ. 

කෑම එක රත් කර ගන්නේ නැතිව ම මම මේසයක් වෙත ගියෙමි. බත් පත හැරියාට මට කන්නට සිතුණේ නැත. මම එය එහෙම ම වසා පසෙකට කොට ජංගම දුරකතයට හෑන්ඩ්ස් ෆ්‍රී එක සවි කොට යූ ටියුබ් එකෙන් ‘මේ ගී කාටදැයි’ සොයා ගතිමි. කම්මුලක් මේසය මතින් තියා, ඉහලින් වන සවනෙහි එක් ඉයර් ෆෝන් එකක් සවි කොට ගතිමි.එච් ආර් ජෝතිපාල ශූරීන් ගේ ගැඹුරු හැඟීම් දනවනා හඬ මගේ ඇස් පියවා දමන ලදී. 

අඳුරු මිහිදුම් රාත්‍රියක් ද, ගිනි මැලයක බුරමින් නැගෙනා ගින්දර ද, මත් වූ බමන පිරිමි දෑසක උමතු බැල්ම ද මගේ මනසේ කිසි දා නො දුටු දසුනක සිතුවම් මවමින් තිබිණ. සැබවින් ඒ වූ කලී මා දෑසින් දුටු දර්ශනයක් නොවේ. නමුත් දුටුවා සේ ම එය හදවතේ ලේ මස් වලින් කෙටී ඇත්තේ ය.

ඒ සියල්ල ට වඩා හද පාරමින් තිබුණේ ඒ හඬ ය. මිනිස් ස්වර සංඝතියකට තවත් මිනිස් හදවතක් ඒ තරම් බරපතල ලෙස සුසර කළ හැක්කේ කෙසේ ද? ඇස් වල තෙතමනයක් මට දැනිණ. කඳුකර කුඩා දිය උල්පත් වල දිය කඳුරු එකතු වී දිය දහරක් උපදින්නා සේ ඒ ඉසියුම් තෙත අංශු එක්කාසු වී කඳුළු බින්දු ඉපදෙන හැටි දෑස් පියා ගෙන ම මම බලා සිටියෙමි. ඒ කඳුළු, වසා උන් නෙත් පියන් අතරින් අමාරුවෙන් රිංගා ගෙන පහළ නිම්න දිගේ ගලා විත් නාසය මුලින් පල්ලම් බැස මේසය ට වැටුණේ ය. ඒ සීතල දිය පාර දිගේ මම සිතින් ඇවිද ගියෙමි.

යළිත් මා නෙතු හැරියේ ඒ මායාකාරී පිරිමි හඬ හොඳට ම මා මුසපත් කොට නිහඬ වීමෙන් පසු ය.

විවර වූ දෑස් අදහා ගන්නට බැරි ව මා කෙතරම් කලබල වූයේ ද යත්, නැගිටින්නට යාමේ දී මුණිවර අභිෂේක් බණ්ඩාර විසින් කනේ ගසා ගෙන සිටිනා ලද මගේ හෑන්ඩ්ස් ෆ්‍රී එකේ අනිත් කොන ගැලවී ගියේ ය. නමුත් ඔහු කිසි කලබලයක් නැති මුණිවර දෑසකින් බලා සිටියේ ය. නැගිටින්නට ගිය මම යළිත් ලෑලි පුටුව මතට කඩා වැටුණෙමි.

මුණිවර එතැනට ආවේ කොයි වෙලාවේ ද කියා මා දන්නේ නැත. ඒ මා හෑන්ඩ්ස් ෆ්‍රී එක ගසා ගෙන කම්මුල මේසය මතින් තියා ඇස් පියා ගත්තා ට පස්සේ බව නම් සහතික ය. සපත්තු ගැටෙනා හඬවල් කිහිප වර ඇසුණා ට මා හිස නගා බැලුවේ නැති බව මතක ය. ඒ භෝජනාගාරයට නිරන්තර එක එක්කෙනා පැමිණෙන බව මා අත්දැකීමෙන් දන්නා නිසාවෙනි. මුණිවරත් ඒ කොයියම් හෝ වෙලාවක එන්නට ඇත. මට නො දැනී මගේ දැහැන නො බිඳ ඔහු මට යාබද පුටුවේ අසුන් ගන්නට ද ඇත. නිදහස් ව එල්ලෙමින් තිබි හෑන්ඩ්ස් ෆ්‍රී එකේ අනිත් කෙලවර සිය සවනෙහි රඳවා ගෙන ඔහු කොතැනකින් හෝ අරඹා ඒ ගීය  අසන්නට ඇත. මගේ ඇස් වලින් පළා ගිය කඳුළු පේලිය ඔහු නො දැක්කා වෙන්නට ද බැරි ය. 

“කන්න බෑ වගේ නිසා මං සින්දුවක් අහං හිටියෙ”

මා කල් ඇතිව ම නිදහසට කාරණා කීවේ කෑම පැය ඉක්ම ගොස් ඇතැයි ඔහු මතක් කර දෙන්නට පෙර ය. 

“වැඩි වෙලා නෑ මං ලන්ච් වලට ඇවිත්”

“කෑම එක රත් කර ගෙනත් නෑ. කන්නෙ කොහොමද ඔහොම…අම්…ආ මේක කන්න”

කියමින් ඔහු ඉදිරියේ තිබූ කෑම පිඟාන හෙතෙම මා සිටි තැනට තල්ලු කළේ ය.

“එපා. මට කන්න බෑ”

මම වහා කීවෙමි. මුණිවර මා කීව නෑසුණා සේ ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේ ය.

“අප්පු. තව කෑම ප්ලේට් එකක් ගේන්න. ආ…අප්පු…මීට පස්සෙ මිස් මන්දාකිණීට කිචන් එකෙන් ලන්ච් එක එවන්න”

මා බලා සිටියේ ඇස් ලොකු කර ගෙන ය. ඔහු හැසිරෙන්නේ උදේ හරිතාගාරය තුළ වූ කිසිත් මතක නැතිවා වාගේ ය..නැත්නම් ඔහු මේ හදන්නේ ඒ වරද නිවැරදි කරනු වස් මා සනසන්නට ද?

“එපා”

ඔහු දුරකතන සම්බන්ධය බිඳ දැමූ ගමන් මම කඩා පැන්නෙමි.

“මට ඇයි ස්පෙශල්…මාත් අනිත් වර්කර්ස්ල වගේම ගෙදරින් කෑම එක ගේනව”

“ඔයාට ස්පෙශල් නෑ කොහොමත්. මං විශේෂයක් කළේ රන්මුතුගේ සර්ට. මොනා වුණත් සර්ගෙ දුව ගෙදරින් ගෙනාපු සීතල කෑම කද්දි මං කොහොමද සර්ගෙ මූණ බලන්නෙ”

එකෙනෙහි මුණිවර ගේ බත් පත මේසයට ආවේ ය. තව දුරටත් ප්‍රතික්ෂේප කිරීම නොපනත් කමකැයි මට සිතිණ. කෑම කන්නට ගත් පසු ඔහු වචනයක් හෝ කතා නො කළේ ය. අප කෑවේ වෙන වෙන ම ලෝක දෙකක සිට ය.  මට කලින් කෑම කා ඔහු යනවා කියන්නේ හෝ නැතිව නික්ම ගියේ ය. ඔහු නික්ම ගිය පසු මම මගේ කුඩා රිදී පැහැති වතුර බෝතලය ට මුව තබා වතුර බීගෙන බීගෙන ගියෙමි.

“තියන අහංකාර කමක් විතරක්…සින්දු අහ අහ ඇයි ඇඬුවෙ කියලවත් ඇහුවෙ නෑ. දුෂ්ට නපුරා. ජූජක බමුණෙක්ම තමයි”

නමුත් උදේ සිට හිතේ වූ හෝන්දු මාන්දු ගතිය තුනී වී ගොස් තිබිණ. ජයග්‍රාහී හසරැල්ලක් මට නවතා ගත නො හැකි ලෙස මගේ මුහුණේ දඟ කරන්නට ගත්තේ ය.

කෑම ගෙන මා කැබින් එකට ගිය මතින් මුණිවර මවෙත ආවේ ය. මම තරමක  පුදුමයට පත් වීමි. සාමාන්‍යයෙන් ඔහු මා එහි කැඳවනවා මිස මෙහි එන්නේ නැත. 

“ගමනක් යන්න තියනව. යමු”

එය කිසි සේත් මගේ කැමැත්ත විමසීමක් නොවේ. විධානයකි. සාමාන්‍යයෙන් රාජකාරී කාලය තුළ ඔහු කරන්නට කියනා ඕනෑ ම රාජකාරියක් මා කළ යුතු ය. නමුත් මීට පෙර කිසි දාක මුණිවර මට පිටතට යන්නට කතා කොට නැත. ෆාම් එකට අදාල සියලු අංග මේ පරිශ්‍රය තුළ ම වේ. ඉතින් පිටතට යාමේ හේතුවක් මට සිතා ගත නො හැකි විය.

“කොහෙ යන්නද මිස්ට මුණිවර…”

මුණිවත රැකිය නො හැකි තැන මා එසේ විමසුවේ ඔහු රියට නැග ගත් පසු අනිත් පස දොර අල්ලා ගෙන රියට ගොඩ නොවී ම ය.

“ඇයි බයයි වගේද එන්න…එහෙනං එන්න එපා. අවුලක් නෑ”

ඒ තරම් අහංකාර කමක්! මම වහා එහි නැග ගතිමි.

“මං කාටවත් බය නෑ. මං ඇහුවෙ කොහෙද යන්නෙ කියල දැන ගන්න”

කැත්තට පොල්ල සේ එසේ කියා මම කවුළු වීදුරුවෙන් ඉවත බලා ගතිමි. කොහේ ගියත් ආයේ වදනකිනුදු විමසීමක් නො කරන බවට හිත තද කොට ගතිමි. මා සිටියේ ඉවත බලා ගෙන ම අත් දෙක පපුවේ බැඳ ගෙන ය. ටර්පන්ටයින් වනාන්තරය අප පසු කරමින් පසු පසට ඇදිණ. ඒ ඇදෙනා වේගය අනුව රියෙහි වේගය ඒ තරම් නොවන බව සිතා ගත හැකි විය. ඒ අතරේ මා බලාපොරොත්තු නොවූ මොහොතක මීදුම් දුමාරයේ ගීතවත් වන්නට පටන් ගත්තේ ය. මම වහා හැරී බැලුවෙමි. එය ක්‍රියාත්මක වූයේ ඉදිරි අසුන් දෙක අතර අවකාශයේ වූ ඔහු ගේ ජංගම දුරකතනයෙනි.

“මීදුම් දුමාරයේ..සීත හැන්දෑ යාමේ..සීන ඇන්ද සානුවේ…ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…කොළ පාට හැළුණු ඈත නිම්නයේ…කොළ පාට හැළුණු ඈත නිම්නයේ…”

මගේ හද ගැස්ම වේගවත් වී තිබිණ.මම මුණිවර ගේ මූණ දෙස බැලුවෙමි. ඔහු කිසිත් නො දන්නා සෙයින් සන්සුන් ව ඉදිරිය බලා ගෙන රිය පදවයි. ඔහු දෙස බලා උන්නා වැඩි යයි දැනුණ මොහොතේ මම වහා හිස හරවා, රිය කවුළුවෙන් පිටතට නෙතු පා කළෙමි.

“නිශා නින්ද ඇහැරවා…මල් බිඟුන්ටත් හොරා…ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..කොළ පාට හැළුණු ඈත නිම්නයේ..කොළ පාට හැළුණු ඈත නිම්නයේ…”

හදවත උතුරා වාං දමනා කිසිදු හැඟීමකට දිය හැකි නමක් මම නො දනිමි. ඈත ඈතින් කොළ පාට හැළුණු මිහිදුම් නිම්න මගේ දෑස් ඉදිරියේ දිග හැරේ. සිද්ධ වෙන කිසිවක් මගේ පාලනයෙන් බැහැර ය. නමුත් ඒ සියල්ල දැඩි ලෙස මගේ හදවතත් එක්ක සෙල්ලම් කරයි. 

“වළාවකින් හැඩ දමා..කූඩාරමක් එහි තනා…ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…කොළ පාට හැළුණු ඈත නිම්නයේ..කොළ පාට හැළුණු ඈත නිම්නයේ…”

මම පැති වීදුරුවේ කම්මුලක් තියා ගතිමි. සීතල වහ වහා මගේ සිරුර ට පැන උණුහුම් වූ සෑම අංශුවක් සමග ම සීතල යුද්ධයක් කරන්නට විය. උණුහුමත් සිසිලසත් එකට ගැටෙනා තැන ඇති වෙන හැඟීම් ගැන යමක් කියන්නට මම ඉක්මන් නොවෙමි. සීතල ම වලාකුළු දෙකක් වුව එකට ගැටෙත්දී අකුණු උපදියි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles