ඈත දුර ආකාසේ -27

රනුක දුරකථනයට සම්බන්ධ වෙනතුරු සඳලිට වූයේ නොඉවසිල්ලකි.ඔහුට දැන් සිදු වූ සිද්ධිය ඉක්මනින් පැවසීමේ උවමනාව ඇයට තදින්ම දැනෙන්නට විණි.

“අපි එන ගමන් සඳූ.”

රනුක එසේ කියමින් ඇමතුමට ආවේ ය.සඳලි හුස්මක්වත් නොගෙන සිදුවීම හෙළි කරන්නට පටන් ගත්තා ය.

“ආදිත්‍ය දැන් ඇත්තටම ඉන්නෙ අවුල් වෙලා.මිනිහා හිතන්න ඇත්තෙම අක්කා හොස්පිටල් එකෙන් ඩිස්චාජ් වෙලා අපි එක්ක ආව කියල.දැන් මේ ප්‍රහේලිකාව එයාට මාර අවුලක්.අපිව අවුරුදු ගාණක් පටලවපු මිනිහා ඔන්නොහෙ පැටලි පැටලි ඉන්නැතැයි.”

සඳලි එසේ කියා හිනැහුණා ය.රනුක ඇමතුම අවසන් කළේ ද පහව නොගිය සිනාවකිනි.ඔහු අනතුරුව යාබද අසුනේ හුන් අරුණි දෙස බලමින් රිය පණ ගැන්වූයේ ය.

“ආදිත්‍ය සඳලිලගෙ ගේම පීරලා තුරුලිව හොයලා අක්කා..ඔයාලගෙ ගෙදරටත් යයිද දන් නෑ..”

ඔහු එසේ කියද්දී අරුණි කල්පනාකාරී බැල්මක් නගා ගත්තා ය.එය වීමට නොහැකියාවක් නැත.පාසල් කාලයේ ආදිත්‍ය වතාවක් දෙකක්ම තර්ජනය කරන්නට මියුරු සොයා ආ අන්දම ඇයට මතක ය.ඒ මියුරු තුරුලිව ඒක පාර්ශවික ප්‍රේමයකින් හුන් කාලයේ ය.

“ඊයේ අක්කා ඇවිල්ලා කියනකම්ම අපිටත් නිකමටවත් හිතුණෙ නෑනෙ තුරුලිව කොහෙහරි හංගන එක හොඳයි කියල. වෙලාව තමයි..”

විවාහය සැබෑවටම නීත්‍යානුකූල එකක්නම් ආදිත්‍ය තුරුලි රැගෙන යාමට කලබල කරන්නට වැඩි ඉඩක් පවතින බව ඊයේ කල්පනා වූයේ අරුණිට ය. ඉතා හදිසි තීරණයක් මත රනුකගේ නිවසට ඈ හැරලවන්නට ඊයේ රාත්‍රියේම අරුණි සහ රනුක ක්‍රියා කළ හ.අරුණි ඈ තරමටවත් තුරුලිට පීඩා නොවිඳීමට ඉඩ දිය යුතු බව කල්පනා කළ අතර ඒ වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම කරන්නට තරම් ආදරණීය වූවා ය.ඇගේ මෝටර් රථය පවා ගමන යන්නට රනුකට ලබා දී තුරුලිගේ තනියට එන්නට තරම් අරුණි තුරුලි කෙරෙහි සහෝදර ප්‍රේමයකින් බැඳී සිටියා ය.

“මට තුරුලිට මෙච්චර උදව් කරන්න හිතෙන්නෙ අපි එකම ඉස්කෝලෙක ඉගෙන ගත්තු හින්ද නෙවෙයි මල්ලි.එයා මගෙ මල්ලිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හින්දත් නෙවෙයි.මං පුතා ලැබෙන්න හිටිය කාලේ වින්දේ ගෑනියෙක් විඳින්න ඕන නැති තරම් දුක්.ලස්සන වෙඩින් එකක් අරන් බැඳලා හැම සැපසම්පතක්ම තිබ්බ ගෙදරක ජීවත් වෙලත් එච්චර දුක් කසාදයක් දික් කසාදයක් වෙනකං අරන් යන්න මට සිද්ද වුණා.හදිස්සියෙ අකුණක් පිපිරුවා වගේ තුරුලිට මේ වෙච්ච දේ නිසා එයාට ආදිත්‍යගෙ වයිෆ් වෙන්නම උනොත් මට වඩා අවාසනාවක් එයාට අයිති වෙනවා.අපි නම් ජීවන්තගෙන් කොහොමහරි ඩිවෝස් එක ගත්තා.මේ යකා ඕක දෙන්නෙත් නෑ..”

අරුණි කියවාගෙන ගියේ පැහැදිලි වේදනාවකිනි.වේදනාව උතුරා හැලෙන කුල ගෙයක කටුක බව තමන් තරම් දන්නා කෙනෙකු වේදැයි ඇය නැවත නැවතත් සිතුවා ය.

“අක්කා..මට හිතෙන්නෙම තුරුලිට ඩිවෝස් නඩු නම් දාන්න වෙන් නෑ. ඕක හදිසියේ ප්ලෑන් කරපු හොර කසාදයක්..”

රනුක සිටියේ දැඩිව ඒ සැකයේ එල්බගෙන ය.විවාහ වීමට බැරි බවට මනමාලිය ඝෝෂා කරද්දී කිසිම විවාහ රෙජිස්ටාර්වරයෙකු “ඔන්න ඕක අත්සන් කරන්න ළමයො.අපිටත් තව වැඩ නැද්ද..”අසා පොරොන්දු කියවීමකින් තොරවම අත්සන් ගන්නට ඉඩ නැත.තුරුලි පවසන අන්දමට ඇයට සිදු වූයේ එවැන්නකි.

“මේ මිනිස්සු බැඳීම් අල්ලන් ඉන්නෙම වැරදියට කියල මල්ලිට හිතෙන් නැද්ද..”

අරුණි එසේ අසද්දී රනුක ඇය දෙස බැලුවේ අඩ සිනාවකිනි.බොහෝ ප්‍රවේසම් සහගතව බැඳීම් ළං කර ගන්නා ඔහු නිකමටවත් එවගක් සිතා තිබුණේ නැත.

“මිනිස්සු කසාද බඳින්න හොයන ගොඩක් දේවල් දෙන්නෙකුට එකතු වෙලා උපයා ගන්න පුලුවං දේවල්..ආදිත්‍ය වහ වැටිලා ඉන්නෙත් තුරුලිගෙ සල්ලිවලට.කවදාහරි තුරුලිගෙ තාත්තා ඉන්න රටට යන හීනවලට.මට ජීවන්ත ළං වුණෙත් සමාජ තත්ව ගැන හිතලා.අන්තිමට ආදරේ කියලා යාන්තන් දෙයක්වත් ඉතුරු නෑ.ජීවිතේ එපා වෙලා යනවා..”

ජීවිතය ගැන බොහෝ අත්දැකීම් ද කලකිරීම් ද සහිතව සිටි අරුණි කියවා ගියේ සැබෑ වේදනාවකිනි.වැරදීමක් සිදු වූ පසු එය නිවැරදි කර ගන්නට දැරිය යුතු වෙහෙස නිසා හති වැටී හුන් ඇයට තුරුලිට උදව් දීමට තිබුණේ දැඩි උනන්දුවකි.

“කොහොම උනත් ඔතන ඩිවෝස් එකක් නොතිබ්බත් ආදිත්‍ය කාරයට නඩුවක් දාන්න ඕනමයි අක්කෙ.අක්කට එහෙම හිතෙන් නැද්ද..කෙල්ලක් පැහැරගෙන ගිහින් බොරු කසාදයක් හරි කරනව කියන්නෙ ලේසි අපරාදයක් නෙවෙයිනෙ..”

රනුක සිටියේ මෙය කෙසේවත් අත නොහරින තැනක ය. ඔහු සඳලිගේ අක්කා තමන්ගේ එකම සහෝදරිය කරගත්තේ ආදරයෙනි.ඇය රැක බලා ගැනීම තමන්ගේ වගකීමක් බව සිතූ රනුක තුරුලිව පැහැර ගැනීමක් නොවන්නට රැක ගැනීමට නොහැකි වීම ගැන අප්‍රමාණව කම්පා වූයේ ය.

“අපි ෆයිට් කරමු..ආයෙ කවදාවත් ඔහොම දේවල් නොකරන්න පාඩමක් ආදිත්‍ය ඉගෙන ගන්නම ඕන මල්ලි..”

අරුණි එසේ පැවසුවා ය.අලුත් පවුලක් එවැනි ආදරයකින් තුරුලි වටා මහා පවුරක් ව ගොඩ නැගෙමින් තිබිණ.ඇය රිදවීම ආදිත්‍යට සුළුපටු කාරණාවක් නොවූයේ ද ඒ නිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles