නාවල අනුපගේ නිවසට හැරෙන තැන සිට කෙතරම් දුර ඇවිද ආවේදැයි උශාලිට මතකයක් තිබුනේවත් නැත.දෑස් වලින් ගලන කඳුලු වළක්වාගන්නට අපහසු වැයමක නිරත වෙමින් මහ පාරේ පිස්සියක මෙන් ඇවිද යද්දී තමා මේ හිඳින්නෙ කිසිවෙකුට නොපෙනෙන තැනක නොව දෙනෝ දාහක් සෙනග ගැවසෙන මහ මාර්ගයක බව උශාලිට මතක් වුණේ වැහි බිඳු එකින් එක සියොලඟ සිප ගනිද්දීය.
ගතට සිසිලසක් දැනුනද සිත තිබුනේ වේදනා ලෝ දියෙන් උණුසුම් වෙමිනි.
“ඩෝනට් කම්” කියා අනුප එවා තිබූ පණිවිඩය බලන්නට ගද්දී තවත් පණිවිඩ කිහිපයක් ආ බව කියවෙන නාදය ඇසුණද ඒවායේ ලිය වී ඇති වේදනාබර වදන් බලන්නට සිත හදාගන්නට නොහැකි තැන මහ වැස්සේම සෙවණක් බලා ඇදුණේ කරකියා ගන්නට දෙයක් නොමැති තැනය.
යන්න තැනක්ද නැත. ගෙදර යන්නටද නොහැක. ගෙදර ගියහොත් අම්මා අසන දේවල් වලට දිය යුතු පිලිතුර කුමක්දැයි සිතාගන්නට නොහැකි නිසාවෙන් මෙන්ම, සියලු වේදනා දිය කර හරින්නට මෙන් අම්මා ඉදිරියේ හැඬුණොත් කුමක් කල යුතුද යන්න ගැන නිසියාකාර පිලිතුරක් නැති නිසාවෙන් මෙසේ වැස්ස පායන තුරු සෙවණක් යට හිඳීම හොඳය.
මහ වැස්සේ කුඩ අස්සෙ මිනිසුන් නොතෙමී යන්නට වෙර දරමින් විසල් නුග ගහ යට උශාලි උන්නේ අපහසුවෙනි. ගහ යට වැහි දෙකකි. එහෙත් වැෂ්සේ වෙනත් සෙවණක් බලා යාමට නොහැකි මෙන්ම ගත ද ඇත්තේ අඩපණ වී මෙනි.
අනුපගේ ඇමතුම ආවේ ඒ මොහොතේය.
ඇමතුම මගහරිනවාද අරගන්නවාද යන ප්‍රශ්නය අතර දෝලනය වෙද්දි එක්වරක් නාද වී අවසන් වුණ ඇමතුම දෙවන වරත් දුරකතනය හා සම්බන්ධ වී හඬයි.
ඒ “අනේ මා අමතන්න” කියන්නාක් මෙනි.
“හෙලෝ”
“කොහෙද ඉන්නේ?”
“මම ගෙදර යන ගමන්”
“හරි කොහෙද ඉන්නේ?”
“ඔයා එන්න ඕන නෑ මම…”
“කොහෙද ඉන්නේ?”
ඒ හඬෙහි වූයේ පසුතැවීමකි. එහෙත් එක්තරා අයුරක විධානයකි. ඒ විධානයට සවන් නොදී දුරකතන ඇමතුම නිමකරන්නට ඉඩකඩ ඕනවටත් වඩා තිබුනද සිත නැඹුරු වන්නේ ආදරයටයි. ආදරය ඒ විධානයට නතු වීමට සිගන්ල් එවන්නේ මොලයට නොව හදවතටයි.
“මම ඇවිදගෙන ආවා ඩයලොග් එක හරියට”
“ඔයා ඉන්නෙ ඩයලොග් එකේද?”
“නෑ එතන ඉස්සරහ නුග ගහක් තියෙනව. ඒක යට?”
“වහිනවද?” ඒ හඬේ තිබුන විධානයත්, වචන බර කර ගතියත් කොහෙදෝ තැනක අතරමං වී ඒ හඬට වේදනාවකුත්, සියුම් බවකුත් ආරූඩ වී තිබුනි. ඒ තමා කෙරේ හිතේ හටගත් අනුකම්පාව ප්‍රකාශ කිරීමක් ලෙසද කියා දන්නේ නැත. එහෙත් හිත ඉල්ලන්නේ අනුකම්පාව නොවේ ආදරය නොවේද?
මහ වැස්සේ වුවද කුරුල්ලෙකු මෙන් පියඹා ආ අනුපගේ වාහනය නැවතුනේත්, උශාලි පියවරක් ඉදිරියට තැබුවේත් අනුප මහ වැස්සේම වාහනයෙන් බැස උශාලි වෙත දුවගෙන ආවේත් එකම සරකිනි.
“යන්” කියමින් තම අත අල්ලාගෙන, අනෙක් අතින් තම අත වූ තෑගි මල්ලද අතට ගෙන අනුප දුවගෙන් මෙන් අවුත් උශාලිව වාහනයට නග්ගා තමාද වාහනයට නැගුනේ ඇසිල්ලකිනි. ඒ ඇසිල්ල වුවද ඔහුව තෙත බරිත කරන්නට සමත් වූ බව වාහනයේ සීතල වායූ දහරාව නිසාවෙන් වෙවලන ඔහුගේ දෙතොල දෙස් දෙයි.
වදනක්වත් නොකියා විනාඩි කිහිපයක්ම වාහනය පැදවූ අනුප වාහනය ගෙනවිත් නතර කරේ නිවාස කිසිවක් නොවූ තැනකය. මහ වැස්ස නිසාවෙන්දෝ කිසිවෙකුත් දකින්නට වූවේ නැති වුවද ඉඳහිටක වේගයෙන් හඬතලමින් යන රියක් ඒ අවට වූ නිහඬ බව බිඳ හෙලන්නට විය.
වාහනයේ සීතල අවායු දහරාව අඩු කර, තෙතබරිත ගත උණුසුම් කරවනු පිණිස වායු සමීකරණ අංගෝපාංග සකසා අවසානයේ තමා දෙසට යොමු වූ ඒ නෙත් වල වූ හැඟුම් දහරාව විඳ දරාගන්නට අපහසුවෙන් මෙන් බිම නෙත් බිමට බරවුණි.
ඔහුගේ අත ඇදී අවුත් උකුල මත වූ තම අත මත රැඳවුණේත් කඳුලු බිංදුවක් නෙතින් ගලාවිත් ඔහුගේ අත මතට වැටුනේත් එකටය.
“අයෑම් සොරි”
“ඒකට කමක් නෑ” යැයි කියන්නට වචන මුවින් පිටකරගන්නට අපහසු තැන හිස දෙපසට සොලවනා හැරෙන්නට වෙන කල හැකි දෙයක් එවෙලේ තිබුනේ නැත.
“අපි ඔක්කොම රෙඩි කරල තිබුනෙ පාටි එකට. හිතුවෙ නැති වෙලාවක ෂෝබිතා ආවෙ. එයා එහෙම ඒවි කියල අපි හිතලවත් තිබුනෙ නෑ. මම ඔයාට එන්න එපා කිව්වෙ එයා ආව ගමන්මයි.එයා ඔයාව දකින එක හොඳ නෑ සහ ඔයාට ප්‍රශ්නයක් වෙයි කියල හිතල මිසක් වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි. අපි සන්තෝසෙන් ප්ලැන් කරන් ඉඳපු හැමදේම ඉවර වෙන්නෙ ගියේ පොඩි වෙලාවයි. දුලායි අම්මලයිත් හරි අප්සෙට් ඒකෙන් පස්සෙ.”
මෙතරම්ම පසුතැවිලි වන්නටත්, හේතු පැහැදිලි කරන්නටත් හේතුවක් නෑ නොවේද? තමාත් ඔහුත් අතර ඇති නමක් නොමැති ඒ බැඳීමට මෙසේ හේතු පැහැදිලි කරන්නට ඔහු බැඳි නැත. තමන් වුවද එවන් දෙයක් අපේක්ෂා කරන්නේ නෑ නොවේද?
“ඒකට කමක් නෑ. අයෑම් සොරි. ඔයා එහෙම මට එක්ස්ප්ලේන් කරන්න ඕන නෑ. මම කලබල උනා වැඩියි. ඒකට අයෑම් සොරි. ඔයා ආවෙ අපරාදෙ මෙහෙම”
ඒ වදන් පිටකලේ තරහකින් නොවේ. තරහවක් පිරිමසා ගන්නටද නොවේ. එහෙත් අනුපට එය දැනුනේ උශාලිගේ වචන හී පහරක් වී අවුදින් හදවත පසාරු කරගෙන යනවාක් මෙනි.
“එහෙම කියන්න එපා ප්ලීස්. මම එහෙම කරේ ඔයාට රිද්දන්න හිතාගෙන නෙවෙයි, ඔයාට රිදෙන එක අඩු කරන්න. මට ඔයාව වටින්නෙ නැත්තම් මං මෙහෙම එයි කියල ඔයා හිතනවද?”
ඔහුගේ වදන් වල වූ වේදනාව, සංතාපය දරාගත නොහැකි නිසාවෙන් තප්පර කිහිපයක්ම එක දිගට ඔහුගේ නෙත් අස්සේම සැරිසරන්නට විය. ඒ හේතුවක් රහිතවය. ඒ ඇස් අස්සේ කුමක් හෝ සිත සනසාගත හැකි හැඟීඅක් හොයන පරිද්දෙනි.
වාහනය කෙමෙන් කෙමෙන් උණුසුම් වෙද්දී හදවත වුයේද කෙමෙන් උණුසුම් වෙමිනි. ඒ තවමත තමාගේ අත අල්ලාගෙන හිඳිනා අනුපගේ අතැඟිලි ඔස්සේ තම හිත වෙත හුවමරු වන උණුසුමක් දැයි නොතේරේ.
“ඉස්සරහ දැන් රස්නෙ වැඩි නේද?”
“ටිකක්”
ඒ කතා බහ එසේ වෙනස් වූ එක එක්තරා විදියකින් අපූරුය. පෙර වදන් වල වූයේ දරාගත නොහැකි තරම් බරකි. තෙතබර ගතියකි.
“අපි පිටිපස්සට යන්ද ඔයා මුකුත් හිතන් නැත්තම්” ඔහු අවසර ඇසුවාට එයට හා කියන්ටද බෑ කියන්ටද කියා සිතාගත නොහැක. කිතිකවන හැඟුම් දහරාවක බලපෑම නිසාවෙන් හිස දෙපසට හැරවුනේ අනිච්චානුගවය.
මුලින්ම පිටුපසට ගියේ අනුපය. තම කෙට්ටු එහෙත් උස් ශරීරය ඉදිරිපස අසුනේ හිඳ, බ්මට නොබැස පිසුපස අසුනට ගෙනයාමට මහත් පරිශ්‍රමයක් දරන්නට වූයේ එවන් දෙයක් මින් පෙර කල නොතිබූ නිසාවෙනි. සෙමෙන් සෙමෙන් උණුසුම් වන වාහනයේ ඉදිරිපස උණුසුම දරාගත නොහැක. එහෙත් මේ තෙතබරිත ඇඳුම් වල නැවත තමා නිවසට යාම සහ උශාලිව ඇගේ නිවසට ගෙන යාම ගැටලු ඇතිකරවන්නක් විය හැකි බැවින් ඒ උණුසුම අවම කිරීමේ හැකියාවක්ද නැත.
පිටුපස අසුනේ හරිබරි වී වාඩි වී පසු බැලුනේ තවමත් බිම බලා හිඳින ඇය දෙසය. දෙනෙත් රතු වී, කොණ්ඩය තෙමී ගොසින් ඇයගේ සුපුරුදු වසත් සුන්දරත්වයක් තැවරුණ වත මත්තේ අද ඇඳී ඇත්තේ දුක්බර සේයාවකි. එයට හේතුව වූ කාරණාව තමන් යැයි සිත කීම ඊටත් වඩා වේදනාවකි.
“එන්න පුලුවන්ද?”
අනුප අත දිගු කලේත්, ඒ අතේ එල්ලී උශාලි සෙමෙන් අසුනෙන් නැගිට පිටුපසට එන්නට තැනුවේත්, අසුනේ පය පැකිලී අනුපගේ විසල් පපුව මතට උශාලි බරවූයේත් ඇසිල්ලකිනි.
ඒ දෛවෝපගත තීරණය. අපගේ අනුදැනුමකින් තොරව, සොබා දහමේ උවමනාවෙන්ම පමණක් සිදුවන කාරණාය.
“තරහද?”
අනුප ඇසුවේ කෙඳිරිලි හඬකිනි. එය කෙඳිරුම් හඬකටත් වඩා කුමක්දෝ මින් පෙර නොවිඳි හැඟුමක මිහිර රැඳවුණ හඬකි.
“නෑ” කිසා හිස දෙපස හෙලුවේ වචනයෙන් එය කියාගන්නට බැරි තරමේ ලැජ්ජාවක් එවෙලේ හිතේ තිබුණ නිසාය. අනුපගේ පපුව මතට බර වී හිඳිඳ්දී ඔහුගෙ වම් අත තම ඉණ වටාත් අනෙක් අත තමා නොවැටෙන ලෙස උරහිස මතත් රැඳී තිබුණි. එහෙත් ඒ ගැන සිත තුල අමනාපයක් නැත. කෝලබවක් මිස. කෙලින්ම ඔහු දෙස බලන්නට බැරි තරම් සමීප ඔහුගේ අන්දකාර පැහැ ගැඹුරු දෑස් තුල ඇඳී උන්නේ තමාම පමණකි.
එයත්, ඒ මොහොතත් තව ආත්ම ගණනාවක් ඔහු හා ආදරයෙන් වෙලී ඉන්නට හේතුවක් කරගන්නට ඉතින් අපහසුවක් නැත.
වැස්සක් කඩන් වැටෙමින් තිබුනේ අහසින් පමණක්ම නොවේ. ආකාශයේ වූ අන්ධකාර බව තරම්ම අඳුරු වේදනාවකින් සිත් අහස බර වී සිත ඇතුලටද වැස්සක් වැටෙමින් තිබිණි.