ශරදාකාසේ – 10

වෙනදා සේ රැකියාවට යන උනන්දුවක් ශාරද ට වූයේ නැත. ටික කලක සිට ගෙදරින් පිට වීම ඔහු ට වෙනම ම සතුටක් ගෙන ආවේ ය. එය වූ කලී පංචලී ව මුණ ගැහීමේ සතුට ම නොවන බව හෙතෙම දැන සිටියේ ය. නිදහස්කාමී ඕනෑ ම සත්වයෙකු කූඩු වී සිටිනවා ට වඩා නිදහස් ව සරන්නට කැමති ය. කූඩුව තුළ ආදරය හෝ අවධානය අඩු වෙත්දී ඕනෑ ම සිතක් එය බාහිරයෙන් සොයන්නට පෙළඹෙනා සුළු ය. නමුත් අප උසස් මනසක් ඇති මනු සත්වයන් වශයෙන්, අයාලේ යා නොදී දමනය කළ යුතු ඉඳුරන් ඇත්තෝ වෙමු. අප ට මනසක් හිමි ව තිබෙන්නේ ඊට ය. අප අධ්‍යාපනයක් ලබන්නේ ඒ වෙනුවෙන් ය. අප ආගමකින් හික්මවනු ලබන්නේ ඒක ය.

යහන මත හිඳ ම ශාරද පංචලී ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. මේ ඔහු මීට පෙර කිසි දා කළ දෙයක් නොවේ. ගෙතුළ දී ඇය ට කතා කොට ප්‍රශ්න ඇති කර ගත යුතු නැති බව මුල සිට ම හෙතෙම සිහියේ තබා ගත්තේ ය. 

“ශාරද…”

පංචලී ගේ හඬෙහි ගැස්මක් විය. එය ශාරද සමග ප්‍රේමයෙන් බැඳීමත් එක්ක නිරායාසයෙන් ඇය වෙත පැමිණියකි. හැම නාඳුනන දුරකතන අංකයක් ම ඇය ව තිගස්සන්නට සමත් විය. අම්මා තාත්තා ඉන්නා මානයකදී ශාරද ගෙන් එන ඇමතුමක් වුණත් ඇය ව අපහසුවට පත් කළේ ය. ඒ වැරදිකාර හැඟීම කරුමයක් කියා ඇය ට සිතී ඇති වාර ගණනෙහි නිමක් නැත. 

“මං අද ඔෆිස් එන්නෑ”

ඔහු ගේ හඬෙහි ආදර ආලිංගනයක් නො තිබුණා කීවොත් මුසාවකි. නමුත් අසරණ කමක් ද එහි ඇතිල්ලී තිබිණ.

“හා. මං ඔයාගෙ වැඩ ටික කම්ප්ලීට් කරන්නං”

“එහෙනං..තියන්නද..”

“අවුලක් නෑ නේද…”

“නැත්තෙමත් නෑ. හෙට කතා කරමු”

දෙ අන්තයේ ම වූයේ උනුන්ට කියා ගන්නට බැරි වූ කතා කැබලි ය. නො කියූ කතා ය. බාගෙට කියූ කතා ය. තේරුම් ගත් හා නො ගත් කතා ය. ඒ කවරක් වී ද හිත් බෙහෙවින් බර කළ කතා ය. 

ශාරද කාමරයේ දොර හැර ගෙන පිටතට ආවේ ය. නිශාමනී නිදනා කාමරයේ දොර තව දුරටත් වැසී තිබිණ. ඇය මේ තරම් දවල් වන තුරු නිදනා ගැහැනියක නොවේ. අළුයම පිබිද හැල්මේ වැඩ කරනා ගැහැනියකි.

“මොකද අප්ප ඔය පිනි බබා මිදුල අතු ගාන්නෙ…ඔයාට හෙමිහිට ඕව කර ගන්න පුළුවන්නෙ…දවල්ට ගෙදරනෙ ඉන්නෙ”

හිමිදිරියේ උයා පිහා නිම වූ ගමන් නිශාමනී මිදුල අමදිනු දුටු කිහිප වතාවක ම ශාරද එසේ කියා තිබේ.

“ඉක්මනට වැඩ ඉවර කළාම ලේසියි”

එතකොට ඇය කියයි. ඉක්මනට වැඩ නිම කිරීමෙන් සතුටු වුණු ඇය මේ විදිහට දොරගුළු ලා ගෙන නිදා සිටීම ගැන මුලින් ම ශාරද තුළ ඇති වූයේ නො රිස්සුමකි. ඊළඟට ඔහු තුළ සංකා හැඟීමක් මෝදු විය. ඇය ගේ මෙහෙවර ගැන කවදත් ඔහු අගය කිරීමක් නො කළේ ය. එය අපහාසයට උපහාසයට ලක් කරනු මිස එය ට වටිනාකමක් නොදී මගහැර ගියේ ය. ඇස් දෙක ඇරෙනකොට ම තේ එක ඇඳ ළඟට එත්දී, බඩගිනි දැනෙනකොට කන්නට බත් මුලක්, ඇය අළුයම පටන් අවදියෙන් සිට පිළියෙල කොට දී තිබියදී, ඔහු ගේ ය කියනා සෑම කටයුත්තක් ඔහු ත් නො දැන ම කර දී තිබියදී ඒ විවාහක බිරිඳක ගේ වගකීමක් ලෙස මිස ඇගේ අසීමිත කරුණාව සේ දකින්නට ඔහු පෙළඹී ඇත්තේ ම නැත. අවදි වී ත් උදෑසන කිරි එක නැතිව හිස් බඩ හාමත් බව දැනෙත්දී ඔහු නිශාමනී දොර අරිනා තුරු නො ඉවසිලිමත් ව ආලින්දයේ සක්මන් කළේ ය.

“මොකද…”

ආකාස නාන කාමරයේ සිට කාමරය වෙත යමින් සිට ශාරද ව දැක කතා කළේ ය.

“තාම නැගිටල නෑ. මන්නං අද ලීව්. ඒත් මල්ලි ඔෆිස් යන්න ඕනනෙ. තේ එකක්වත්…”

ආකාස ගේ මුවට සිනහවක් නැගුණි. ඔහු තෙත් තුවාය රෙදි රාක්කයෙහි දමා යළි ශාරද වෙත ආවේ ය.

“වයිෆ් තේ එක හදල දෙනකල්ම ඉන්න ඕන නෑ. කලින් නැගිට්ටෙ තමුසෙනං තමුසෙට පුළුවන් වෙන්න ඕන එයාටත් එක්ක තේ එකක් හදන්න”

“එහෙනං ඉතිං කසාද බඳින්න ඕන නෑනෙ”

“ආ..තමුසෙ කසාද බැන්දෙ තමුසෙගෙ වැඩ පළ ටික කරගන්න ගෑනියෙක්ද…එහෙම හිතන එවුන්ට ලව් කරන්න එකියක් පිටින් හොයා ගන්න හිතෙනව තමයි”

ආකාස කුස්සියට ගොස් විදුලි කේතලයට වතුර පුරවා එය පේනු ගත කළේ ය. ඊළඟට කෝප්ප ටික සෝදා සීනි පිටි බෝතල ලං කර ගනිත්දී නිශාමනී කුස්සියට ආවා ය.

“අනේ…මට ටිකක් නින්ද ගියා මල්ලි. දෙන්න මං තේ හදල දෙන්නං”

ශාරද මේසයට හේත්තු වී බලා සිටියේ ය. නිශාමනී ඔහු ව ගණන් ගත්තේ හෝ නැත. ඔහු ගේ තේ එක පැන්ට්‍රි කබඩ් එක මත ඉතිරි ව තිබිය දී ඇගේත් ආකාස ගේත් තේ දෙක ගෙන ගෙට ගියා ය. ශාරද ගේ හිත කොනිති ගැසිණි. සැබවින් ඔහු ට නො සලකා හැරීමේ රිදුම දැනුණේ ය. සුසුමක් අත් හළ හෙතෙම මේස පුටුවක් ඇද වාඩි වී කල්පනා බර ව තේ එක බීවේ ය. 

වෙනදා මෙන් කඩියෙකු සේ වැඩ කරනා උද්‍යෝගයක් නිශාමනී කෙරේ වූයේ නැත. තේ එක බීමෙන් පසුව ද ඇය එසඳි තුරුලු කර ගෙන යහනේ වැතිර සිටියා ය. ආකාස රැකියාවට යන බවත් ශාරද අද ගෙදර සිටිනා බවත් පිටත කතා බහ අනුව ඇය ට නිගමනය කළ හැකි විය. 

“අයියයි මල්ලියි ශිෆ්ට් එකට මාව පරිස්සං කරන්න ගෙදර ඉන්නව වගේ”

ඇය අහිංසක නොවන සිනහවකින් යුතු ව සිතුවා ය. 

සැබවින් නිශාමනී ගේ හිත දැඩි වෙමින් තිබිණ. ඒ කාලේ ඇය ශාරද ගේ මූණ බලා සිනහ වූයේත් ලැජ්ජාවෙන් බයෙන් බව ඇය ට මතක ය. කරපින්නා ගෙන ආ සියල් යොවුන් සිහින දෙපා මුල ම කුඩු පට්ටම් වී තිබේ. සසල බවක් දැනුණ ද දැන් ඇය ට සියල්ල අග සිට මුලටත් මුල සිට අගටත් මෙනෙහි කළ හැක. නිවී සැනසිල්ලේ පෙර දා රාත්‍රියේ ඒ අභ්‍යාසයෙහි නිරත වෙත්දී, යුග දිවිය නම් පැදුරෙහි පන් රටා වල නො ගැලපෙන, නො විය යුතු හා අසම්පූර්ණ බොහෝ තැන් හැඳින ගන්නට ඇය ට හැකි විය. හිතා මතා හුස්මකින් හෝ වරදක් කරන චේතනාවක් ඇයට නොවී ද, වැරදුණ තැන් නොවූවා ම නොවේ. 

“ශාමි”

ආකාස නික්ම ගිය පසු ශාරද නිශාමනී හා එසඳි නිදන කාමරයට එබුණේ ය. නිශාමනී යහනෙහි හිඳ ගත්තේ පිළිසඳරක් සඳහා ඇය සූදානම් බව නො කියා කියමිනි. ශාරද විත් යහන කොනක හිඳ ගත්තේ ය. හඬ අවදි කර ගන්නට ඔහු ට තත්පර ගණනාවක් ම ගත විය. 

“මට සමා වෙන්න ශාමි. ඔයාවයි දුවවයි අත්අරින්න හිතා ගෙන මං කිසි දෙයක් කළේ නෑ”

ඒ වෙලාවේ නම් නිශාමනී ට හිතුණේ ම ඔහු ගේ ගෙල තද කොට අල්ලා ගන්නට ය. නමුත් ඒ තරම් ආවේගශීලී ව රැක ගන්නට තරම් දෙයක් දැන් ඉතිරි ව නැති බව අනිත් අතට ඇය සිතුවා ය.

“ඒ කියන්නෙ…මාත් මෙහෙම ඉන්න ගමන් එයත් එහෙම තියා ගන්නයි හිතං හිටියෙ…”

ඇය සමච්චලයට කට ඇද කළා ය. බිම බලා ගැනීම හැරුණ කොට ශාරද ට වෙන කරන්නට දෙයක් තිබුණේ නැත.

“ඔයා මෙහෙම කෙනෙක් වෙයි කියල මං හීනෙකිංවත් හිතුවෙ නෑ”

“ඔයා කැමති විදිහකට හිතා ගන්න”

“ඔය කතාව තව එක සැරයක්වත් මට ඇහෙන්න කියන්න එපා ශාරද”

එවර ඇය කොටි දෙනක සේ කඩා ගෙන පැන්නා ය. ඒ ඇස් කෝප දීප්ත ව තිබිණ. ඇගේ හඬින් එසඳි නෙතු හැර බැලුවා ය.

“මං කැමති විදිහට තමයි හිතා ගෙන හිටියෙ. අර මුද්ද හම්බ වුණෙ නැත්තං..ඒ කෝල් එක ආවෙ නැත්තං…මං තාම ඒ විදිහට තමයි හිතං ඉන්නෙ. ශාරද කියන්නෙ මං ඇරෙන්න වෙන ගෑනියෙක් පතන මිනිහෙක් නෙවෙයි…මට ගෑනු දාහක් එක්ක එයාව තනියම තියන්න පුළුවන්…ඕ මං එහෙම තමයි හිතං හිටියෙ. මොන තරං ගොං බූරු ගෑනියෙක්ද මං කියල හිතෙන්නෙ දැං තමයි. ගෑනු දාහක් මැද්දෙ තනියම තියන්න පුළුවන් වුණාට එක ගෑනියෙක් ඉන්න තැනක තියන්න බෑ”

එවර ඇගේ හඬෙහි වූයේ පිළිකුල් සහගත බවකි. ඒ වූ කලී  සාම්ප්‍රදායික සිතිවිලි පන්නයක සැරිසරනා ඕනෑ ම බිරිඳක මේ වෙලාවේ අත් විඳිනා අප්‍රසන්න හැඟීම ය. ශාරද සිය ගෙල පහලට ම කඩා වැටෙන්නට හැරියේ ය. ඔහු ට ලැජ්ජාවක් නො දැනුණා නොවේ. නමුත් එවැන්නක් නො වන බව හඟවන්නට ඕනෑ වූයේ ය. 

“අම්…මි..”

කියා ගෙන එසඳි නිශාමනී ගේ ගෙලෙහි එල්ලුණේ ඒ වෙලාවේ ය. හුරු පුරුදු නැති උස් හඬින් ඇය තරමක් තැති ගෙන ඇති බවක් දැනිණ.

“බොරුවට කෑ ගහල ළමයවත් බය කරනව”

ශාරද නිසඟයෙන් ම උත්සාහ කොට තිබුණේ නැවතත් පුරුෂාධිපත්‍යය නම් බල පරාක්‍රමය නැගිටුවා සිටින්නටයි. නමුත් නිශාමනී එක් බැල්මකින් ඒ ආධිපත්‍යයට ගිනි තැබුවා ය.

“ඔයා ළමය ගැන හිතපු හැටිනං මට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ ශාරද. දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් විදිහටද ඔයා වැඩ කළේ…ඔයාට ගෙයින් එළියට ගියාට පස්සෙ මතක් වුණාවත්ද ඔයාට දුවෙකුයි ගෑනියෙකුයි ගෙදර ඉන්නව කියලවත්..”

“නිශාමනී. මං දැන් සැරයක් කිව්වනෙ. වැරැද්දක් වුණා. හරි. දැං ඒක ඉවරයි. වැරැද්දක් කළා කියල මට මැරෙන්නද කියන්නෙ….”

“ඔයා හිතං ඉන්නෙ ඔයා වැරැද්දක් කළා සමා වෙන්න කියා ගෙන එන එන පාරට දෙන්න සමාව බන්දේසියක තියං බලං ඉන්න ගෑනියෙක් මං කියල.අනේ නෑ..මං ගැන එහෙම හිතං ඉන්නනං එපා. ආදරේ විශ්වාස කරල අම්ම තාත්තගෙ ගෙදරිං දොට්ට බැස්ස මං ඒ ආදරේට වැරදි කරපු කෙනෙකුට සමාවක් දෙන්නෑ. මගෙ ළඟ සමාවක් ඇත්තෙත් නෑ”

ශාරද ලොකු සුසුමක් හෙළුවේ ය. කඳුළු වලට මොනවා වී ද කියා නිශාමනී සිතුවා ය. මේ විදිහට මේ කාරණය ගැන ශාරද සමගින් කඳුළු නැති ව කතා කරන්නට හැකි යයි ඇය සිතුවේ ම නැත. 

“දැං එතකොට ඔයා මොකද්ද කරන්න හදන්නෙ…”

ශාරද ගේ ස්වරය වෙව්ලා ගියේ ය. ඔහු ගේ මුහුණේ මාංශ පේශියක් ගැහුණේ ය. ඉමහත් අවිනිශ්චිත බවක් ද භීතියක් ද මුළු මහත් ඔහු වෙතින් දැකිය හැකි විය.

“අපි වෙන් වෙමු ශාරද”

ඇය කෙලින් ම කීවා ය. නො සැලී කීවා ය. මෙතුවක් කළු ගලක් වගේ සිටියත් ඒ අන්තිම වාක්‍යය කියත්දී නම් නිශාමනී වාවා ගත හැකි වූයේ නැත. ඇගේ ස්වර තන්ත්‍ර බිඳී ගියේ ය. උගුරට ලේ රහක් දැනිණ. එසඳි ට යමක් දැනුණා සේ ඕ අම්මා ගේ ගෙල වටා දෑත් යවා තදින් ඈ ග්‍රහණය කර ගෙන බෙල්ලේ මූණ සඟවා ගත්තා ය.

“ශා…මි…”

විශ්මය ද ප්‍රශ්නාර්ථය ද කෝපය ද සම අනුපාත වලින් මිශ්‍ර කරමින් ශාරද නිශාමනී විනිවිද බැලුවේ ය.

“තමුසෙට වෙන මිනිහෙක් ඉන්නවද…ඌත් එක්ක යන්න ඕන වෙලාද  මගෙ වැරදි හොයන්නෙ…”

ඔහු යක්ෂාවේශයෙන් කඩා ගෙන පැන්නේ ය. ඇය සිහින් සිනහවක් දෙතොල් හි ඇඳ ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...

එයා වගේ යාළුවෙක්

“හායි! අසේලා” “හායි! හායි! ශානා ….ඔයාගේ ලස්සන…..” “ආ,ඔයා විතරයි මට ලස්සනයි කිව්වෙ.මග දිගට දකින දකින අය...

හිමගිරි අරණ -19

"එකට වැඩ කරන නිසා අයියේ අක්කේ නංගි මල්ලි කියා ගත්තෙ නැතුවට මම අක්කා තමයි." හිමාෂා කියන්නේ හිනැහෙමිනි.කාර්යාලයේ හිඳින වයසින්...

(අ)හිමි සිහින -123

මම මගේ ක්ෂේත්‍රයේ මට හැකි උපරිමයෙන් ඉදිරියට එන්නට වෙනකොට කටයුතු කරමින් සිටියා.හැබෑවටම මම ඒ වෙනකොට රටේ බොහෝ පිරිසක් දන්නා චරිතයක් බවට පත්වෙමින්...

ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ...