ප්‍රේමයේ අභිමන් 24

බත් කූරු සංදර්ශනය දිගට ම සිදු වූයේ අපරාජිතා ගේ හිත ඔවුන් වෙත යොමු කරවා ගෙන දුක් කල්පනා වලින් මුදවා ගන්නට මෙනි. බත් කූරන් ට එසේ හෝ කළ හැකි වී ද ඈ වෙනුවෙන් ඔහුට කළ හැකි යමක් නෑ නොවේ දැයි සිතෙත්දී සසංක තුළ හිස් හැඟීමක් ඇති විය. ඔහු දෑත් කලිසම් සාක්කු වල ඔබා ගෙන සක්මන් කිරීම නවතා බැල්කනි තාප්පයට බර වූයේ ය. නෙතගට අපරාජිතා පෙනේ. ඇගේ කඳුළු සැලීම දැන් තරමක් වියැකී තිබේ. සසංක ඉදිරිය බලා ගෙන කතා කළේ ය.

“මට…මොනාද කරන්න පුළුවන්..”

අවුරුදු දාසයක පොඩි කොලු ගැටයෙකු ඔහුට වඩා වයසින් වැඩි තරුණියක ගෙන් ප්‍රේමය විමසත්දී වාගේ සසංක ගේ හඬ වෙව්ළුම් කෑවේ ය. අපරාජිතා ‘මුකුත් නෑ’ යන්න හැඟවූයේ හිස දෙපසට සැලීමෙනි. තවත් තත්පර කිහපයකට පසු නිහඬව ම ඔහු පිය ගැට පෙළ බැස ගියේ ය.

සසංක දිය නෑවේ හීටර ජෝගුව පේනු ගත කොට ය. ඔහු එන විට වතුර උතුරමින් පැන්ට්‍රි මතුපිට තෙත බරිත වෙමින් තිබිණ. ග්‍රීන් ටී බෑග් දෙකක් ගත් හෙතෙම, රිදී ඉරක් වැටුණ තනි සුදු කෝප්ප දෙකක් තුළ ඒවා බහා උතුරන වතුර වත් කළේ ය. ඔහු දන්නා තේ හැදීම එපමණ ය.

දෑතින් තේ කෝප්ප දෙක ගෙන සසංක මිදුලට බසිත්දීත් අපරාජිතා බැලුකනියේ ඒ ඉරියව්වේ ම ය. බත් කූරෝ ඇගේ තනියට සිටියහ. සසංක ඉහළ බලා හිසින් ම ඇය ඇමතුවේ ය. අපරාජිතා හෙමිහිට පහළට ආවා ය. ඇගේ කොපුල් මත කඳුළු පැල්ලම් ද අතක සසංක ගෙනා වඩේ බෑග් එක ද විය. අලුතෙන් මඳහසක් ඒ මුහුණට එක් වී තිබිණ.

“ග්‍රීන් ටී එකක්”

ඔහු ගේ ඇඟිල්ලක හෝ සිය අතැඟිලි නො ගැටෙන සෙයින් පරිස්සමට ඇය තේ කෝප්පය ගත්තා ය. සසංක ගේ මුහුණට අඩ සිනහවක් ආවේ ය. ඒ සිනහව තුළ පිරිමි පාට දෝරෙ ගැළුවේ ය. ඔහු ළඟින් ශැම්පු හා බොඩි වොෂ් වල සුවඳ හැමුවේ ය. කතා නැතිව ඇය ඔහු ට ඉඩ තබමින් බංකුව කොනක අසුන් ගත්තා ය. දෙදෙනා අතරේ වූ වඩේ බෑග් එකෙන් සසංක ඇය ට එකක් ගෙන දී ඔහු ද එකක් කන්නට පටන් ගත්තේ ය. 

දෙදෙනා අතරේ වූයේ සිතිවිලි දොල පහරකි. මේ කොල්ලා හමු වූයේ ඇයි දැයි ඇය නො දැන සිටියා ය. ගැහැනු හිතක් රිදවීම බුදුන් ට වදාරන්නට අමතක වූ ආනන්තරීය පාප කර්මයකැයි ඔහු සිතී ය. ඇය ළඟින් හැමු කඳුළු සුවඳ ඔහු ගේ හිත සෝ බර කළේ ය.

“අනන්‍යා හරිම අවුලෙන් ඉන්නෙ. ඒක තරහක් එක්ක පැටලිච්ච දුකක්. අරවින්දගෙ වයිෆ් ප්‍රෙග්නන්ට්ලු. අනන්‍යා වෛර කරනව තාත්තට. ඩිවෝස් එකෙන් පස්සෙ සැනසිල්ලෙ ජීවත් වෙන්න පුළුවන් කියල මං හිතන් හිටියට…ඒකත් ලේසි නෑ වගේ”

ඉතා සරල හා සියුමැලි මඳහසක් ඇගේ දෙතොල් අතරේ විය. දැන් කඳුළු මුළුමනින් වියළී ගොසිනි. ඇය තරමක සැහැල්ලුවකට පත් ව ඇති බවක් පෙනේ.

“ඔයාටත් දුක ඇති. සමහර විට ඒක ජෙලසි ෆීලින් එකක් වෙන්නත් පුළුවන්”

සසංක වචන තෝරා බේරා ගත්තේ පරිස්සමට ය. නමුත් මේ වෙලාවේ සැත් කටුවකින් හාරා පාරා සිරුර තුළ වන අහිතකර සෛල වර්ධනයක් පාදා ගන්නා ශල්‍ය වෛද්‍යවරයෙකු සේ, ඇගේ හිතේ ඇනී ඇති කටුව සොයා ගන්නා කුහුලක් ඔහු තුළ නැගී ආවේ ය.

“මං ඒ ෆීලිංස් ඔක්කොම ගෙදරදිම කපල කොටල රී ග්‍රෝත් එකක් නැති කරලයි එළියට බැස්සෙ. දෙයක් අපේය අපිට ඕනය කියල හිතෙද්දි තමයි ඒ ඊරිසියාව දුක වගේ දේවල් දැනෙන්නෙ. ඒ කියන්නෙ අපි බැඳිච්ච දේවල් නිසා. එහෙම බැඳීමක් නැති තැන එහෙම හැඟීමකුත් නෑ. මට දරා ගන්න බැරි කෙල්ලගෙ හිත. ලොකු ගෑනියෙක් වගේ පෙන්නන්න හැදුවට..එතන තියෙන්නෙ තාත්ත වෙන පවුලකට අයිති වෙච්ච දුකයි කේන්තියයි. අරවින්දට රිද්දන්න මේ ළමය මොන මොනව කරයිද කියලයි මට හිතා ගන්න බැරි. එහෙම වුණොත් මට එයාව ආයෙ ගෙන්නගන්න වෙනව”

“එයාට හිතිල ආවොත් මිසක්…ඔයාට ඒක කරන්න පුළුවන් වෙයි කියල හිතන්න එපා”

“ඇයි…”

“එයා දැන් ජීවිතේ නිදහස කියන්නෙ මොකද්ද කියල දැකපු නිසා. ඉගිල්ලෙන එක කොච්චර සුන්දර හැඟීමක් දෙනවද කියල ඉගෙන ගත්ත කෙනෙක් කූඩු කරන්න ලේසි වෙන්නෙ නෑ”

අපරාජිතා ග්‍රීන් ටී එක තොල ගෑවේ ඉතා සෙමෙනි. මිනිස් දුවක ගේ ලක්ෂණ ඉක්මවා ගිහින් ඇය දේවතා ඛාණ්ඩයට වඩාත් ළඟ සේ දැනෙන්නේ ඇයි දැයි සසංක ඇදෙස බලමින් ද අමාරුවෙන් නො බලා හිඳිමින් ද සිතුවේ ය. ඉනික්බිති ඕ ගැඹුරු නිහැඬියාවකට පිලිපන්නා ය. සසංක හුස්මකිනුදු බාධා නොකර ඇය ට ඇගේ ලෝකයට වී ඉන්නට හැරියේ ය. ඔහු ට නිර්ණාමික ලියන්නී ගේ කවියේ වචන තැන් තැන් වලින් සිහි වෙමින් ද අමතක වෙමින් ද ගියේ ය. 

රාත්‍රී අඩ අඳුර අත වැනුවේ නො සන්සුන් ව ය. සන්සුන් වීමක් සසංක ට උවමනා වී තිබිණ. ඔහු දොර වසා ගෙන මිදුලට ආවේ රෑ වන තුරු කොහේ හෝ ඇවිදිමින් සිට හිත සන්සුන් වූ පසු ගෙදර එන්නට ය. එතකොට ම අපරාජිතා පියගැට පෙළ බැස ගේට්ටුව දෙසට යමින් සිටියා ය. සැහැල්ලු ඉන්දියානු කපු පෑන්ට් එකකින් ද ඇත් දළ පැහැති කුඩා බ්ලවුසයකින් ද සැරසී උන් ඕ දුඹුරුවන් කෙටි වරල උනා දමා සිටියා ය. අඩැසින් සසංක දැක ඇය යන්තම් හැරී බැලුවා ය.

“කොහෙ යන්නද…”

නිකමට ඒ පැනය නැගුවාට ඇය රෑ කෑම කඩයකට යන බව සසංක අනුමාන කළේ ය.

“ඇවිදින්න”

“ඇවිදින්න…”

සසංක එය පුනරුච්චාරණය කළේ මන්දහාසයකට ඉඩ දෙමිනි. 

“පයින්…”

ඇය අත මෝටර් රථයේ යතුර නොමැති බව ඔහු දුටුවේ ය.

“හ්ම්. ඩ්‍රයිව් කරන්න හිත එක තැනකට ගන්නැතුව ටිකක් ඔහේ පාර දිගේ ඇවිදිනව කියල හිතුව. සසංක කෑම ගන්න යන්නද…”

“මටත් හිතුනා ටිකක් ඇවිදින්න කියල. බෙල්ලන්විල වැව පැත්තට යන්නයි හැදුවෙ. කැමතිනං යං”

එය විවෘත ආරාධනයකි. කිසිදු බල කිරීමක් හෝ පෙළඹවීමක් නැත. අපරාජිතා කපු කලිසමේ සාක්කුවක අතක් ඔබා ගෙන දුරකතනය එහි තිබේ යයි සැක හැර දැන ගත්තා ය. 

“යං”

ඒ ඇය වොක්ස්වැගන් බීට්ල් එකට නැගුණ ප්‍රථම වතාව ය. ඒ තුළ දී දැනෙනා හැඟීම වෙනම ම එකක් කියා අපරාජිතා සිතුවා ය. ඒ තුළ සසංක ළඟ දැවටී ඇති පිරිමි සුවඳ පිරී තිබුණේ ය. අපරාජිතා රිය කවුළුවෙන් පිටත බලා ගත්තා ය.

සැඳෑවත් රාත්‍රියත් එකට හමු වන තැන ලෝකය අමුතු සුන්දරත්වයක් දරා සිටින්නේ ය. හුඟක් වෙලාවට මිනිසුන් ඒ නො දකින්නේ ඒ වෙලාවට නිවෙස් තුළට ගාල් වී සිටින නිසා හෝ කලබලයේ ගෙවල් බලා දුවමින් සිටින නිසා විය හැක. සමහර තැනෙක වීදි පහන් දැල්වෙමින් ද සමහර තැනෙක නො දැල්වෙමින් ද තිබිණ. රිය පදවා ගෙන යත්දී දැකිය නො හැකි ලෝකයක්, නිදහස් මගියෙකුට දැකිය හැකි ය. මේ වෙලාවේ අපරාජිතා එවන් නිදහස් මගියෙකු වී සිටියා ය. මග තොට තවමත් ඇවිස්සුන කඩි ගුලක් සේ ය. වත්තෙගෙදර බෝ ගස ළඟින් හයිලෙවල් පාරට හැරෙනා තැන වාහන තදබදයක් පැවතිණ. පිටත සිටිනා මිනිසුන් උස් හඬින් කරනා කතා බහ අපැහැදිලි ලෙස ඇසෙමින් තිබිණ. මග අයිනේ වන කඩ සාප්පු තුළ දැල්වෙනා විදුලි පහන් එළියෙන් , දහවලට එතුලට ගිය ද දැකිය නො හැකි යම් යම් දේ පෙනුණේ ය. විදුලි පහන් එළිය තුළ දී, සූර්යාලෝකය යටතේ දී ට වඩා සියල්ල පෙනෙන්නේ වෙනස් තලයකින් යයි ප්‍රථම වතාවට අපරාජිතා සිතුවා ය.

මහරගම මන්සන්ධිය තද බද වී තිබිණ. රිය පදවත්දී ක්ලමථ හෝ විශාධී හැඟීමක් දනවන හුරු පුරුදු ඒ තදබදය වුව, රියදුරෙකු නොවෙත්දී වෙනස් ආකාරයකින් විඳිත හැකි යයි අපරාජිතා  ට සිතිණ. සසංක අතුරු පාරකින් දකුණට හරවා යළි මහරගම පොළ පාරෙන් මතු වූයේ ඩිපෝව හරියේ දී ය. හිතේ වූ සාංකාමය හැඟීම් ටික ටික තුනී වී ඇති සෙයක් දැනේ..අපරාජිතා විවර කළ කවුළුව මත දෑත් තබා, රෑ සුළඟට මුහුණ සිප ගන්නට ඉඩ හැරියා ය. 

ඒ වෙලාවේත් බෙල්ලන්විල වැව් ඉවුරේ සෙනග ගැවසුනහ. ඇවිදින හා බයිසිකල් පදින මං පථ ද කාර්ය බහුල වූයේ ය. සසංක හා අපරාජිතා වැව් තාවුල්ලේ ඇවිද යන්නට වූහ. වැව් දිය පිස හමන්නා වූ සුළඟ සිහිලැල් වූයේ ය. අපරාජිතා නො දැනී ම ඇගේ දෑත් ළය මත බැඳී තිබිණි. සසංක සිය බොටම් කලිසමේ සාක්කු වල දෑත් ඔබා ගෙන සිටියේ ය. 

“අනන්‍යා පොඩි කාලෙ අපි එනව මෙතනට…”

අපරාජිතා අතීතයෙන් කතා කළා ය.

“අනන්‍යා එයාගෙ තාත්ත එක්ක බයිසිකල් පැදල එනකල් මං කොහෙන් හරි ඉඳගෙන වැව දිහා බලන් ඉන්නව. කෙල්ලට ෆුඩ් වේව් එකෙන් උළුඳු වඩේයි පූරියි ඕනමයි. අපි හිත් වලින් කොච්චර ඈතින් හිටියත් අනන්‍යා වෙනුවෙන් කිසි දෙයක් මගඇරියෙ නෑ. මට ඩිවෝස් එකක හදිස්සියක් නොතිබුණෙ ආයෙ මැරි කරන්න ඕන කමකුත් තිබුණෙ නැති නිසා. ඒක අනන්‍යාට මේ විදිහට බලපායි කියල මං හිතුවෙ නෑ. මං දැන දැන එයාට වරදක් කළේ නෑ”

ඇගේ අත යන්තමින් හෝ අල්ලා ඈ සනසන්නට සසංක ට නො හිතුණා නොවේ. නමුත් ඒ ගැන ඇගේ ප්‍රතිචාරය කෙබඳු වේදැයි ඔහු ට කිසි සේත් සිතිය නො හැකි ය. ඇය නැත්තට ම නැති කර ගන්නවාට වඩා මේ විදිහට දුරින් හිඳ බලා ඉන්නා එක සැනසීමකි. 

ඇය කවුරුන්දැයි තවමත් ඔහු නොදනී.  ඇය ඔහුගේ කවුරුන් හෝ කියා දැනෙනා හැඟීම කොහේ සිට පැමිණියක් ද කියාත් ඔහු නො දනී. ඇය වූ කලී ස්ත්‍රී ආත්මය විනිවිද දැකිය  හැකි කැඩපතකි. නමුත් තව අතකින් එතුල වන කිසිත් කියවා ගත නො හැකි භාෂාවකින් ලියැවුන පුස්තකයකි. වටහා ගැනීමේ කලබලයකින් තොර ව ඒ භාෂාව ට හුරු විය යුතු ය.

“මගෙ ඔළුවෙ තියනව ෆිල්ම් එකක්..ඒක හරියට සම්පූර්ණ නැති එහෙං මෙහෙං පැටළුණ හීනයක් වගේ. මේ වගේ රෑ වෙලා එළියට බැස්සහම…බාගෙට වියපු පැදුරක් වගේ තැන් තැන් වලින් පන් රැලි එල්ලි එල්ලි මට ඒක තැන් තැන් වලින් මැවෙනව. කළුවරයි එළියයි එකට හම්බ වෙන තැන් වල ඒක මට වැඩිපුර කතා කරනව කියල දැනෙනව”

සසංක ඔහු ට හිතෙනා තැනකින් කතාව පටන් ගත්තේ ය. 

“මන් දන්නෑ මට මැරෙනකල්ම ඒ ෆිල්ම් එක කරන්න පුළුවන් වෙයිද කියල…හැබැයි කැමරා ඈන්ගල්ස්…ලයිටින්…ඒ ඔක්කොම මගෙ හිතේ තියනව”

“ස්ක්‍රිප්ට් එකක් වුණේ නැති කතාවක් අපි කාටත් තියනව”

“පර්ෆෙක්ට්ලි සෙයිඩ්. ස්ක්‍රිප්ට් එකක් වුණේ නැති කතාවක්. එෆ් එම් චැනල් එකේ ස්ටූඩියෝ එක ඇතුළෙ වාඩි වෙලා ඔයා ඉන්නව දැක්ක වෙලාවෙත් මගෙ ෆිල්ම් එක මගෙ හිතෙන් එළියට ආව”

“ඔයා මාව දැක්කද…”

අපරාජිතා ගේ ඇස් දිළිසිණ. සසංක ඒ තුළට එබී බැලුවේ ය. ඔහු ව ඒ අගාධයෙහි නො ගිල්වා අපරාජිතා වහා ඉවත බැලුවා ය.

“ජීවිතේ සමහර තැන් හරි පුදුමයි අපූ”

එවර ඔහු කතා කළේ ඈත ඈත මන්දාකිනියක ආලෝක වර්ෂ ගණනකට පෙර මිය ගොස් තිබිය හැකි තරුවක එළිය දෙස බලා ගෙන ය. ඒ බැල්ම තුළ වන ගුප්ත මිහිරියාව තුළ අපරාජිතා මොහොතකට නිමග්න වූවා ය. ඔහු අපූ කී රිද්මය, තාරකා වලින් එන ආලෝක වර්ෂ ගණන් ඉපැරණි කිරණ කදම්බ හා සමපාත විය හැක්කකි. 

“ස්ක්‍රිප්ට් එකක් නැතිවම ඒ ඩ්‍රාමා එක ශූට් වෙනව”

“ස්ක්‍රිප්ට් එකක් ලියනව…ඉරණම…”

“ඉරණම..දෛවය වගේ වචන ගැන මට ලොකු අදහසක් නෑ. ඒත් මොනා හරි වෙනව කියල දැනෙනව”

අඳුර මෝරා වැඩෙමින් තිබිණ. කිසිදු පිළිවෙලකින් තොර ව යටි හිත් පතුල් වල කාලයක් තිස්සේ නිදන්ගත ව තිබි රහස් සිතිවිලි කිසි බියකින් සැකයකින් තොර ව ද විශ්වසනීය බවකින් ද පිටතට එන බවක් දැනෙන්නට විය. ඇවිදිනා මං තීරයෙහි විශාල දුරක් මඳ වේගී පා ගමනේ යෙදුණ ඔවුහු ඒ වටය සම්පූර්ණ කොට විමසීමකින් හෝ එකඟතාවයකින් තොරව ම ප්‍රධාන මාර්ගය ට අවතීර්ණ වී සිටියහ. සසංක ඇවිද ගියේ ෆුඩ් වේව් දෙසට ය. අපරාජිතා ප්‍රශ්න කිරීමකින් තොරව ඔහු අනුගමනය කරමින් සිටියා ය. සසංක කොත්තු එකක් හා ඩෙවල් ඇනවුම් කළේ ය. 

අතීතය වර්තමානයේදීත් ඉදිරියට පැමිණිය හැකි බව අපරාජිතා තේරුම් ගත්තා ය. එය අතීතය තුළ සඟවන්නට වෙහෙසෙනවාට වඩා ඊට මුහුණ දෙන එක පහසු ය. නමුත් අතීතය වුව මුල් ස්වරූපයෙන් තොර ව අලුත් ස්වරූපයකින් සම්මුඛ විය හැකි බව සසංක ඔප්පු කරමින් සිටී. ඇය අවන් හල සිසාරා නෙතු යවමින් සුසුමකින් පෙනහලු පුරවා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles