ටේලර් 

නිර්මලා ගෙදර ආව වෙලාවේ ඉඳන් මූණ එල්ලගෙන ඉන්න හැටි සනත් බලාගෙන හිටියේ. වෙනදාට ළමයි දෙන්නා එක්ක හරි හරියට දොඬමළු වෙන, ඒ අතරේ තමන් ඉන්න දිහාවටත් ඇවිල්ලා මොකක්ම හරි කියලා යන නිර්මලාගේ නිහඬ බව සනත්ට වෙනසක් විදියටම දැනුණා. පහුවෙනිදා ට  නියමිත ඇඳුම් ඇණවුම් ටික පාර්සල් කරලා ඉවර වෙනකනුත් නිර්මලා  කාමරේ පළාතටවත් ආවේ නැති නිසා සනත් තේරුම් ගත්තා නිර්මලා ඉන්නේ මොකක්ම හරි පටලැවිල්ලක බව. 

ඒත් එදා රෑ දෙන්නාට ඒ ගැන කතා කරන්නවත් ඉඩක් නොලැබුනේ සනත්ගේ අක්කලා හිටපු ගමන් එහෙ ආව නිසා. අක්කගේ දුවගේ උපාධි ප්‍රධානෝත්සවය ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ට යන්න පහසු වෙන්න අක්කලා එහෙ නවතින්න ඇවිල්ලා තිබුණේ නොකියාම. අක්කලා ආවට පස්සේ නම් සනත්ට නිර්මලාගේ වෙනසක් පෙනුනේ නැහැ. අක්කා එක්ක කියෝ කියෝ ඉන්නවා ඇහුණා. දඩි බිඩියේ කෑම ලෑස්ති කරනවා දැක්කා. හැබැයි පහුවෙනිදා උදේ නිර්මලා වැඩට යනකොට ආයේ ඒ වෙනස තිබුණා. 

සනත් නිර්මලාට ගත්ත ඇමතුමට පිළිතුරු ලැබුණෙත් නැහැ . නිර්මලා  ඉස්කෝලේ ඉන්න වෙලාවට   දිගුන් දිගටම ඇමතුම් ගන්න පුරුද්දක් සනත්ට නොතිබුණ නිසා සනත් එක් ඇමතුමකින් නැවතුණා. ඊට පස්සේ ඇඳුම් ඇණවුම් එක්කල කාර්‍යබහුල වුණා. 

සනත් කියන්නේ ඒ පැත්තටම හිටපු හොඳම ඇඳුම් මහන්නා. ඇඳුම් මහන්නෙක් කිව්වට සනත් සාමාන්‍ය ඇඳුම් මහන්නෙකුගේ කාර්‍යබාරයෙන් එහාට සෑහෙන්නම වගකීම් පාරිභෝගිකයා වෙනුවෙන් ඉශ්ඨ කලා. ගැලපෙන මෝස්තර හොයලා දීලා, අලුත් මෝස්තර නිර්මාණය කරලා, අලුත් යෝජනා කරලා ගැලපෙනම ඇඳුමක් සාධාරණ මුදලකට දෙන නිසා දුර ඈත පැති වලිනුත් සනත්ව හොයාගෙන ආව අය හිටියා. 

නිර්මලා සනත්ට හමුවෙනකොට නිර්මලා උපාධි විරහිත තරුණියක්. ලිප්ටන් එකේ උද්ඝෝෂණයක් ඉවර වෙලා ගෙදර යමා ඇවිල්ලා කොටුවේ අතරමං වෙලා වගේ ඉන්න්කොට තමා නිර්මලාට සනත්ව මුණ ගැහුණේ. සනත් එදා ඇඳුම් මහන ආම්පන්න වගයක් අරගෙන යන්න ආව ගමන් හිටියේ. ඒ ඇඟෑලුම්කම ට දෙපැත්තෙන්ම ආශිර්වාද ලැබුණ නිසා දෙන්නා අවුරුද්දක් ඇතුලත විවාහ වුණා. ඊට මාස ගානකට පස්සේ නිර්මලාට පුංචි දූ ලැබුණා. ඊටත් අවුරුද්දකට පස්සේ තමයි ඟුරු තරඟ විභාගේ සමත්වෙලා ඟුරු පත්වීම ලැබුණේ. එතනින් දෙන්නාගේ ජීවිතේ වෙනස්ම පාරකට වැටුණා. අවුරුදු දෙකක් යනකොට තව පුතෙක්ගෙන් ගෙදර පිරුණා. සනත් තව තුන් දෙනෙක්වත් වැඩට අරගෙන පොඩිවට ගෙදරම ගාර්මන්ට් එකක් දැම්මා. නිර්මලා හවසට අහල පහල දරුවන්ට පන්ති කලා.   ඒ කොහොම වුණත්, ඒකාකාරී වෙන්න නොදී ජීවිතේ ගලාගෙන ගියා. 

එහෙම ගෙවුණ ජීවිතේ මේ ගෙවුන දවස ගැන  ආයෙම සනත්ට කල්පනා වෙන්න ගත්තේ නිර්මලා ගෙදර එන්න කිට්ටු වුණාම. නිර්මලා ගෙදර එනකොට පොඩි දෙන්නවත් එක්කරගෙනමයි එන්නේ. ඒ ඇවිල්ලා ඒ දෙන්නව සෝදවලා , කවලා ඉවර වෙලා තමයි අනෙක් වැඩ.අදත් ඒ පිළිවෙලටම දේවල් වෙනවා සනත් අහගෙන හිටියේ. ඒත් සනත් එක්ක එකට කන්න බෙදාගෙන එන බත් පිඟාන එක්ක නිර්මලා එදා ආවේ නැහැ. නිර්මල වෙනුවට දූ බත් එක ගෙනල්ලා දුන්නා. 

හවස සනත්ගේ අක්කලා උපාධි ප්‍රධානෝත්සවය ඉවර වෙලා ආවම ගෙදර වෙනදා වගේම පිරිලා තියෙනවා කියලා සනත් හිතුවා. ඒත් නිර්මලා මූණ නොදෙන එක සනත්ට තදටම දැනුණා. එදා රෑත් දෙන්නාට ඒ ගැන කතා කරන්න වුනේ නැහැ.

පහුවෙනිදා සෙනසුරාදා. නිර්මලා වෙනදා සෙනසුරාදා උදේ පාන්දර නාන්නේ නැති බව සනත්ට මතකයි. ඒත් අද නිර්මලා ඉන්නේ පාන්දර ම නාලා. 

සනත් කුස්සියේ දොර ළඟින් එළිය බලාගෙන හිටගත්තා. නිර්මලා තේ කෝප්ප වලට කිරි තේ වත් කරමින් හිටියේ. 

“ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද ?”

සනත් ඇහුවේ  නිර්මලා තේ කෝප්පේ අරගෙන ආපහු හැරෙන වෙලාව වෙනකල් බලන් ඉඳලා. 

නිර්මලා හිනාවෙලා සනත්ගේ කම්මුලක් මිරිකලා ඒ කම්මුලම ඉම්බා. ඊට පස්සේ තෙත කොණ්ඩේ උරිස්සෙන් ඉස්සරහට දාගෙන සනත්ට තුරුළු වුණා.

“මට සමාවෙන්න …”

නිර්මලා හෙමින් එහෙම කිව්වත්, සනත්ට ඒ වැකියට අදාල ප්‍රස්තූතය වැටහුණේ නැහැ. 

“ඒ මොකටද ?”

“ඉස්කෝලේ මිස් කෙනෙක් බඳිනවා… එයා බඳින්නෙර් නේවි එකේ ලෙෆ්ටිනට් කෙනෙක්ලූ..එයා එනවා කිව්වා ඔයා මුණ ගැහිලා බ්‍රයිඩ්ස්මේඩ් කොස්ටියුම් ඩිසයින් කරගන්න…. ඒ වෙලාවේ ඔය ඇඳුම් මහන ඒවා ගැන කට්ටිය කතා කලා…”

නිර්මලා හෙමින් කියනවා.

“ඉතින්…?”

“එතකොට එක මිස් කෙනෙක් කිව්වා, නිර්මලාගෙ හස්බන් නම් ටේලර් කෙනෙක් නේ ඉතින් .. නිර්මලාට සාරි හැට්ට මහන්න යන ගාන ඉතුරුනේ කියලා ….”

“ඉතින්…?”

“එවෙලේ මට ලැජ්ජ හිතුණා.. අනේ මන්දන්නේ නෑ.. මට ඒ වෙලාවේ හරි අමුත්තක් දැනුණා…”

“නිර්මලා… අපි ජීවිතේ අල්ලගෙන ඉන්න ඕනි නාම පද නෙවෙයි … ක්‍රියා පද….තේරුනාද?”

සනත් කිව්වේ එච්චරයි.  නිර්මලා සනත්ව තව හය්යෙන් බඳාගත්තා.

.

.

.

දැන් සනත්ට අවුරුදු හතලිස් නවයක්. සනත්ගේ අලුත්ම විලාසිතාගාරය අදින් ජනතාවට විවෘත වෙනවා. රටේ නමගිය නළු නිළියෝ , නිරූපණ ශිල්පියෝ, ගායක ගායිකාවෝ  සෑහෙන්නම දෙනෙක් ඒ උත්සවයේ ඉන්නවා. සනත්ගේ දුවයි පුතයි දෙන්නා වෛද්‍ය විද්‍යාලයේ මිතුරු මිතුරියන් එක්ක කඩිමුඩියේ ඒ වෙනුවෙන් වැඩ.

නිර්මලා සනත් ළඟින් ඉඳගත්තා. සනත් නිර්මලා දිහා බැලුවා. 

“අපි ජීවිතේ අල්ලගන්න ඕනි ක්‍රියා පද නෙවෙයි …නාම පද… ඒ නාම පද වලින් තමා ඔයා අර කීව ක්‍රියා පද උපදින්නේ…..

. ඔයා ඒක කලා… ටේලර් කෙනෙක් කියන්නේ ආඩම්බරකාර ගමනක් යන මිනිහෙක්ට අයිති , ප්‍රහර්ශණීය නාම පදයක්… මට ඔයා ගැන හරිම ආඩම්බරයි …”

නිර්මලා ටීචර්ගේ ළඟ  කඩවසම් පෙනුමට ඉන්න සනත් මහත්තයා එක්ක ෆොටෝ එකා ගන්න නිර්මලා ටීචර් ගේ ඉස්කෝලේ හිතවන්තියෝ පෝලිමේ ඉන්නවා ඊට පස්සේ පෙනුනා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles