අනුප වාහනය යලිත් නාවල වෙත පැදවූයේ පුදුමාකාර සන්තෝසයකිනි.ඒ සතුටට හේතුව මෙයැයි කියා පැහැදිලිව විග්‍රහ කරන්නට නොහැකි දෙයක් වුවත් එහා පස අසුනේ අසුන් ගෙන වීදුරුවෙන් ඉවත බලාගෙන, මද සිනාවක් දෙතොලේ අමුණා හිඳින උශාලි ඒ සතුට තම සිත තුල පැල කර උයන් පල්ලා යැයි සිතට ස්තිරය.
ආදරය මෙයැයි කියා, මෙසේ හමුවේයැයි කියා කියන්නට නොහැකි බව කොහෙදීදෝ පොතක කියා තිබු බව මතකය. ඒ හැඟීම් ඇත්තක් බව උශාලි තේරුම් ගත්තේ අද ය.
ඒ ගෙවී ගිය සුලු වේලාව වුවත් යලි යලිත් මතක් කර සිතෙන් අතගා බලා සුවඳ විඥ්ඩිය හැකි එතරම්ම ඉමිහිරි මතකයකි. ඒ ගෙවී ගිය මොහොතේ තමත් ඔහුත් ලංවූයේ ගතින් පමණක් නොවේ. සිතෙනි. ආත්මයෙනි.
“තරහද?”
“නෑ කියල ඔලුව හැරෙව්වට තරහ හින්දා නේද අහක බලන් ඉන්නෙ?”
හිස එහෙට මෙහෙට හරවමින් ඔහුගේ නෙතු තම නෙතු හා යා කරන්නට උත්සහ කරමින් උන් අනුප අසද්දී මුව මත්තට ආ සිනහව වලක්වා ගන්නට හැකියාවක් හෝ උවමනාවක් උශාලිට වූයේ නැත. ඒ කොහේවත් සඟවා තබන්නට නොහැකි සතුටකි. කැඟුමකි.
“ඇස් හොඳටම රතුවෙලා, වන්ස් අගේන් අයෑම් සොරි”
“ඒකට කමක් නෑ, මමයි කලබල උනේ” කියමින් ඔහුගේ පපුව මතින් අකමැත්තෙන් මෙහා එහාට වී අසුන මත එහෙත් ඔහුට සමීපව අසුන් ගත්තාය.
එහෙත් තවමත් ඔහු තාම තමන්ගේ දෑත අතාරින්නට සූදානම් නැති සෙයකි. ඒ දෑත එසේම ඔහු දැත මත රැඳී තිබේනම් එය වඩාත් සතුටට කාරණාවකි.
“කොණ්ඩෙ හොඳටම තෙමිල” කියමින් හිසකෙස් එක්කර ගසා තිබූ පුංචි කටුව අයින් කර අනුප මුහුණට වැටුන තෙත බරිත කෙහෙ රොදවල් කිහිපය අතෙන් පිසදාද්දී උශාලිට සිතුනේ මේ මොහොත ගෙවී නොයා මෙසේම රැඳී තිබේනම් මොනතරම් අපූරුද කියාය.
“ඔයාට මොකද හිතුනෙ මම අර මැසේජ් එක එව්වම?”
ඔහු අසන්නේ සෙමිනි. පසුතැවීමකින් මෙනි.
“මම හිතුවෙ ඔයා මම එනවට අකමැති නිසා එහෙම කිව්ව කියල”
“අනේ නෑ, ඇත්තටම නෑ. ඔයා දන්නවනෙ මම එහෙම කරන මනුස්සයෙක් නෙවෙයි. අපි උදේ ඉඳල ඔක්කොම ලෑස්ති කරල තිබුනෙ හවස පාටි එකට. හිතුවෙවත් නැති විදියට තමයි ෂෝබිතා ආවේ”
ඇය ගැන කතාකරන්නට බියය. එහෙත් කතා නොකරද බැරිය.තවමත් ෂෝබිතාට අනුප පිළිබඳ නෛතික අයිතිය ඇති බවත් තමාට ඇත්තේ වචනයෙන්වත් තවමත් නොකිය ලද ඒක පාර්ශ්වීය ප්‍රේමයක හිමිකම පමණක් බව දැනගෙන ඉද්දී වුවත් මේ ප්‍රශ්නව නොඅසා ඉන්නට පුලුවන් කමක් නැත.
ජීවිතය පිළිගත යුත්තේ ඒ එන හැටියට නොවේද?
“එයා මොකද කියන්නේ?”
ඒ වදන් වලට පිලිතුරු දෙන්නට පෙර අනුප විසින් හෙලන ලද ගැඹුරු හුස්මේ වූයේ දරාගන්නට තරම් අපහසු කන්දක බරකි. ඒ බර තුල සැඟවී ඇත්තේ කුමනාකාරයේ බරැති හැඟුමක්ද කියා වටහාගන්නට තවමත් අපහසුය.
“එයා කියන්නෙ මොනවද කියල එයාටවත් තේරුමක් තියෙනවද කියන්න මම දන්නෙ නෑ”
අනුප ඉන්නේ පුදුමාකාර හිත් වේදනාවක බව තේරුම් ගන්නට අපහසු නොවේ. එහෙත් ඒ වේදනාව සමනය කරනු පිණිස තමාට කල හැකි යමක් වේද යන්න ගැන සිතාගන්නට අපහසුය. ඉතින් නිහඬවම අසා සිටිනවා හැරෙන්නට කල හැකි දෙයක් නැත.
එළියෙන් වැටෙන වැස්ස දැන් මද වැස්සකි. එහෙත් වාහනය තුල උණුසුම එහෙමමය. ඒ උණුසුම ආදරයේ උණුසුමත්, වේදනාවේ උණුසුමක් එකට එක්වූවකි. දෙසිතක එකමාකාරයෙන් ගැල්වුණකි.
“එයා ආයෙ එන්නද හදන්නේ?” ඒ ප්‍රශ්නය ගිලිහුනේ උගුර යටිනි. උගුරේ විශාල කෙල ගුලියක් සිරවී කතා කරගන්නට අපහසුතාවයක් ඇති බවක් උශාලිට දැනෙමින් තිබුනි. ඒ ප්‍රශ්නය අනුපගේ දෙනෙත් දෙස බලා අසන්නට බැරි දෙයකි.
“එයා දන්නව එයාට ආයෙ එන්න බැරි බව. මම දන්නෙ නෑ මේ වෙලාවෙ එයාගෙ ජීවිතේ ඇතුලෙ මොන වගේ දෙයක්ද වෙන්නෙ කියල. එයාට එන්න අදහසක් නැ. ඔක්කොටම වඩා එයාට තරහ ගියේ එයා කතා කරාට දුලා එයා ළඟට නොගිය එක”
“පව්”
ඒ වැඩිය සිතා බලා නොදුන් උත්තරයක් වුවද හද පත්ලෙන්ම නැගුණකි. තමන්ගේ දරුවා විසින් තමන්ව ප්‍රතික්ශේප කරන්නට යෙදීම මවකට දරාගන්නට අපහසු කාරණාවක් බව උශාලිගේ හැඟීමයි.
“පව් කියන්න ඕන ෂෝබිතාට නෙවෙයි දුලාට”
“ඇයි එහෙම කිව්වෙ?”
ගැඹුරුතම සුසුමක් නැහැයෙන් පිටට ඇදී ආවේ හදවත අග්ගිස්සේ තිබූ කන්දක් තරම් සුවිසල් වේදනා ගින්නක් නිවුණු පසුව ඒ අලු දුහුවිලි වලින් නැගි එන දුමාරය මෙනි. ඒ සුසුම තුල සැඟවී තිබුණ වේදනාව, දුක, ශෝකය සහ ආත්මානුකම්පාව තේරුම් ගන්නට අපහසුවක් නොවුනි. එහෙත් ළංව ඒ හිස අතගා “මම ඔයා ළඟ ඉන්නවා” යැයි කියනට සිතට ආ හැඟීම නොපෙන්වා සිටින්නට අපහසුය.
“නොතේරෙන වයසකදි අම්මා කෙනෙක් නැතිවෙන එක, ඒකත් අම්ම දාලා යන එක, අම්මගෙ ආදරේ ලැබෙන්නෙ නැති එකටත් වඩා මට දරාගන්න අමාරු උනේ ඒ වෙලාවෙ දුලා ෂෝබිතා දිහා බලාගෙන ඉඳපු විදිය. හරියට..හරියට මේ කිසිදවසක දැකපු නැති කෙනෙක් දිහා බලාගෙන ඉන්නව වගේ.
ඒ වෙලාවෙ දුලාගෙ ඇස් වල තිබ්බෙ හරි තේරුම් ගන්න බැරි බවක්. හරියට එයාටම මම අම්ම ලඟට යනවද නැද්ද කියල හිතාගන්න බැරුව ඉඳපු වෙලාවක් වගේ.
පොඩි කාලේ දරුවන්ගෙ ඔලුවට යන දේවල් එක්ක නේද උශාලි දරුවො උස් මහත් වෙන්නෙ. ඔයාලට ඒව උගන්නල ඇති නේද.
මම කාටවත් වරදක් කරේ නැති කෙනෙක් කියල මට ඇත්තටම කියන්න පුලුවන්. මං ෂොබිතාව බලෙන් කසාද බැඳගත්තෙ නෑ. කොටින්ම..කොටින්ම එයා අර මනුස්සය එක්ක යාලුයි කියල දැනගත්ත වෙලෙත් මම කිව්වෙ ඒ හැමදේම අමතක කර උනේ නෑ කියල හිතල අලුතෙන් අපි ලයිෆ් එක පටන් ගමු කියල. එයාටයි ඕන උනේ ඩිවෝස් වෙන්න. එයාමයි දැන් මේ ආයෙ ආයෙ හොල්මන් කරන්න පටන් අරගෙන තියෙන්නෙ.
කිසිම වරදක් අපි දෙන්නටම කරේ නැති අපෙ දරුව මේ දේවල් නිසා විඳවන්න ඕනද උශාලි? මං කොහොමද තාත්තා කෙනෙක් විදියට ඒක දරාගන්නේ?”
එක දිගට කියාගෙන යන වචන අවසානයේ දෑතින්ම මුහුණ වසා ගත් අනුප දෙස බලා හිඳින්නට බැරිම තැන උශාලි සෙමෙන් ඒ උරහිස මතින් අත තැබුවාය. ඔහු උන්නේ අඬමින් නොවේ එහෙත් පුදුමාකාර වේදනාවකිනි. ඒ වේදනාව මේ මොහොතේ නිවාලන්නට හැකි නම් ඒ වෙනුවෙන් තම ජීවිතය උනත් පුද දෙන්නට හැකිය යන සිතුවිල්ලක් සිතට ආවේ ඇයිදැයි නොදත් නමුත් ඒ සිතුවිල්ල වචන කරන්නට උශාලි පමා නොවුණාය.
“ඔයයි දුලායි වෙනුවෙන් මට කරන්න පුලුවන් දෙයක් තියෙනවද?”
දෑතින් දෙනෙත වසාගෙන හුන් මොහොතේ තමා තිගැස්සෙනු අනුපට මතකය. ඒ උශාලිගේ වචන නිසාවෙන්ද නොඑසේනම් ඒ වචන වල තැවරී තිබුණ මෙතෙක් දිනක් අප්‍රකාශිතව තිබුණ ආදරයත්, ඒ ඔස්සේ ඇය කරන්නට තනන කැපකිරීමත් නිසාවෙන් නැගී ආ තිගැස්මකි.
එහෙත් තමන්ගේ සිතත් ඉල්ලන්නේ එයම නොවේද?
“මං මේක තවත් හංගගෙන ඉන්න එක තේරුමක් නැතුව ඇති. මං මෙච්චර කාලයක් හිතුවෙ ෂෝබිතා මාව රැවැට්ටුවෙ වෙන මනුස්සයෙක් එක්ක යාලුවෙලා. මට ඔයාව ඒ වගේ තැනකට ඇදල දාන්න බෑ. ඔයා මේ මාස කීපෙට මගෙයි දුලාගෙයි ජීවිතේට මොනතරම් සැනසීමක් ගෙනාවද කියල ඔයා දන්නෙ නෑ. ඒක මට තවත් හංගන්න ඕනත් නෑ. හංගන්නත් බෑ. ඒත් මම මේ වෙලාවෙ කිසිම දෙයක් කියන්නෙ නෑ. මොකද ඔයාව මට සෑහෙන වටිනවා. ඒ නිසා මට කියන්න ඕන දේ කියන්න වෙලාව එනකම් මම ඉන්නව.
ඒත්
ඒත්
මට ඔයාව ගොඩක් වැදගත්. මම මේ හැමදේම ඔයා එක්ක බෙදාගත්තෙ මට ඒව කියන්න වෙන කෙනෙක් නැති හන්ද නෙවෙයි. ඔයාව තරම් වෙන කවුරුවත් විශ්වාස කරන්න මට මේ ප්‍රශ්නෙදි බෑ කියල මගෙ හිත කිව්ව හන්දා.
ඒ හන්දා මගෙන් අද වෙච්ච වරදට සොරි. මේ කතාවෙ අවසානෙ කොතන වෙයිද කියන්න මම දන්නෙ නැ. ඒත් අද වගේ මං හන්ද ඔයාට ආයෙ අඬන්න මම ඉඩ තියන්නෙ නෑ කියල විතරක් මම පොරොන්දු වෙන්නම්”
ඉතින් ඒ ආදරයම මිස වෙන කුමක්ද?
අනෙක් අතට ආදරය කියන්නට හරිම වේලාව ආදරය දැනෙන මොහොත නොවෙයිද?
අනුපගේ කතාව සිතට සැනසුමකි. එය මිහිරිතම හැඟීමකි. සොඳුරුතම සංවේදනාවකි. දරාගත හැකි ඉවසීමකි.
ඉවසීම සැනසීම ගෙනත් දෙන බව ඇත්තකි.
එහෙත් මේ මල් පිපෙන්නේ අවාරයක නොවේ. මේ මල් වැසි ඇද හැලෙන වස්සානයයි. ඉතින් මල් පිපෙන්නට හොඳම කාලය මෙයනම් ඒ මල් සිඹින්නට තවත් ඉවසා හිඳින්නේ ඇයි?
“අනුප”
“ම්ම්ම්ම්”
තමන්ගේ දෑස් මතම දෑස් අලවා සිටින මේ සොඳුරිය කියන්නට යන්නේ දිගු කතාවක් බව සිතාගන්නට අපහසු නොවේ. ඒ වචනවලින් නොකී, එහෙත් හිත ඉල්ලන යමක් දීප්තිමත්ව ඇගේ ඇස්වලින් විහිදෙන නිසාවෙනි.
“අනුප”
“ම්ම්, කියන්න ළමයො”
“මම ඔයාට ආදරෙයි”