සියක් සියපත් 36

දැන් ගෙදර තිබූ සිනා කතා හඬවල් කිසිත් නොමැති ව පාළුවට ගොසිනි. හැම හදවතකට ම ඒ පාළුව දැනෙන්නට ඇත. නමුත් එවැන්නක් අන්‍යන්ට නො හඟවා තම තමන් තුළ ඒ දරා ගන්නටත්, ළඟ ඉන්නා තමන්ගේ ම අය වෙතින් කිසියම් සුරක්ෂිත බවක් හා සංහිඳියාවක් විඳ ගන්නටත් ඔවුන් උත්සුක වන්නට ඇත. ගෙදර ප්‍රධාන දොරකඩ හිඳ ගෙන උන් දියණියන් දෙදෙනා මැද්දට ගොස් ශාන්ත ඔවුන් අතරින් හිඳ ගත්තේ, හදවතක දුරස් බවක් හෝ ඔවුන් අතරේ නැත කියා දැනෙන්නට මෙනි.

“අපේ චූටි කෙල්ල අපි හිතුවට වඩා චණ්ඩියෙක් නේ පුතේ…”

මුල් ම ප්‍රශ්නය සියපත් වෙත යොමු කරමින් ශාන්ත දියණියන් දෙදෙනාව දෑතින් තවත් තමන් වෙතට නැඹුරු කොට ගත්තේ ය.

“චණ්ඩි තමයි…එක තප්පරයක් හරි ගැස්සුණානං එහෙම”

සියපත් ආදරණීය නෝක්කාඩුවක් පෑවා ය.

“අන්තිම මොහොතෙ හරි මොළ් කල්පනා කරල සදාතන අයියට කතා කරපු නිසා හොඳට ගියා. ඔය වගේ භයානක වීරකං කරන්න යන්න ඕන්නෑ කියලයි මන්නං කියන්නෙ. සුපුන් අද මෙයාව උස්සං ගිහිං තිබුණනං එහෙම…මේ වෙනකොට අපි මොන ගින්දරකද තාත්තෙ…”

“මේ…ඔතන දොරකඩට වෙලා කළුවරේ ඕව කතා කරන්නැතුව ගෙට ඇවිත් දොර වහගෙන කතා කරන එකක් කතා කර ගන්න. දැං ඉතිං මේ ගමේ අපිට එක හතුරෙක් හරි ඉන්නවයි කියල අමතක කරන්න එපා. ඉස්සරට වඩා බය වෙන්න ඕන දැං. පරිස්සං වෙන්න ඕන දැං. මොකද අපි මෙහෙම ඩිංග ඩිංග ඔළුව උස්සන එක ගැන සුපුන්ලට වඩා ඊරිසියා කරන අය ඉන්නව. සුපුන්ල පිටින් තියල මේ වෙලාවෙ ඕන දෙයක් වෙන්න පුළුවන්. අමතක කරන්න එපා අපිට ඉන්නෙ කොල්ලො නෙවෙයි…කෙල්ලො දෙන්නෙක්. මේ කළුවරේ යක්කු පෙරේතයො හිටියත් පේන්නෑ”

පිටුපසින් ඇසුන හඬ සුජීවා ගේ ය. කෑලි කැපිය හැකි මිදුලේ කට්ට කළුවර දෙස බලා ගෙන අම්මා ගේ හඬ ශ්‍රවණය කළ සියපත් ගේ හිතට අලුත් ගැස්මක් එක් විය. සදාතන ලා නික්ම ගියාට පස්සේ මිදුලේ විදුලි පහන් නිවා දැමුවේ සියපත් ම ය. ඇය කුඩා කල පටන් පුරුදු වූයේ අරපරෙස්සමටයි. ජීවිතය ඔවුන් ඉදිරියේ කෙතරම් අකාරුණික ද කියා හැඳින ගන්නා විට ඇය කුඩා දැරියකි. පාසල් නිම වී ඇවිත් කන්නට බත් ටිකක් නැති දවස් අපමණ ඔවුන් ගේ අතීතයේ වේ. තියන දවසට හාල් මිටක් මුට්ටියකට අයින් කිරීම ගැන කතාවක් ඇය කියවූයේ පොතක තිබී ය. ඒ අනුව කුඩා සියපත් එහෙම කරන්නට පටන් ගත්තා ය. හාල් කිලෝ එකක් ගේන්නට මුදලක් අත නැති දින වල ඒ හාල් මුට්ටිය අත පත ගා වේලක් දෙකක් පිරිමසා ගත හැකි වූ දවස් සුජීවා ට තිබේ. එහෙම වෙලාවට ඇයට සියපත් ව දැනුණේ අම්මා කෙනෙකු වාගේ ය. 

“දෙක තුනක් හදන්න ඕන්නෑ අම්මෙ. අපි එක ජාතියක් විතරක් හදමු. එතකොට අනිත් ජාති දෙක තව දවස් දෙකකට තියා ගන්න පුළුවන්නෙ”

කියා පොඩිකමට සියපත් සුජීවා ට උපදෙස් දී තිබේ. අනවශ්‍ය තැනක විදුලි පහනක් දැල්වෙමින් තිබුණොත් වහා එය නිවා දැමීම ද ඇයට පුරුද්දක් වූයේ ඒ දුෂ්කර කාලයේ දී ය. මුදල් ගෙවිය යුතු වතුර බින්දුවකුදු ඕ අපතේ යන්නට නුදුන්නා ය. 

“අපේ අක්කගෙ ලෝබකම”

කියා එහෙම විටෙක පංකජී කියන්නී ය.

“ලෝබ කම නෙවේ. අපිට සල්ලි නෑනෙ නංගි. ඒක නිසා අපි පරිස්සමට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනෙ. අපේ ඉස්කෝලෙ හෝම් සයන්ස් රූම් එකේ බෝඩ් එකක් එල්ලල තියනව…’අරපරෙස්සම යනු ලෝබකම නොවේ’ කියල”

සියපත් ට මේ දැනුත් ඒ කතා බහ ඇසෙන්නා සේ ය. මිදුලේ විදුලි පහන් නො නිවා තිබෙන්නට හරින්න තිබුණායි හදිසියේ ම ඇයට සිතිණ. මේ කට්ට කළුවර අතරේ සිදු වෙන්නට බැරි දෙයක් නැත. නපුර වඩාත් සක්‍රිය වන්නේ අඳුරේ දී වන බැවිනි.

“දොර වහල ඉමු”

සියපත් නැගී සිටියා ය. ඔවුන් සිවු දෙනාගේ ම හිත් වල යමක් වන්නට ඇත. මේ රැය ඉතා දිගු නොවී ඉක්මනින් පහන් වෙනවා නම් හොඳ ය. 

“කෝපි එකක් බොමුද තාත්තෙ…”

සියපත් එසේ විචාලේ රැයෙන් තවත් ටිකක් හෝ අවදියෙන් හිඳින්නට ඇයට වූ ඕනෑකම නිසා ය. ගැහැනුන් තිදෙනෙකු රකින්නට ගෙදර සිටින එක ම පිරිමියා තාත්තා ය. ඇය මිදුල වටේ ම විදුලි පහන් දැල්වූවා ය.

“අද ලයිට් දාල තියමු. සුපුන්ගෙ කට්ටියගෙ හිත් වල මොනා තියනවද කියන්න බෑනෙ”

“හහ්. එහෙනං ඉතිං උන්ට ගිය රට”

එහෙම කීවාට ශාන්ත දොර පොල්ල දෙස බැලුවේ ය. කෝපි හැදෙන තුරු සිව් දෙනා ම හිටියේ කුස්සියේ කුඩා බංකු වල වාඩි වී ගෙන ය. සියපත් වතුර ළිප තැබුවාට කෝපි හැදුවේ සුජීවා ය. දවල් දවසේ ම කුස ගින්නේ සිට, තාත්තා කුළියක් හොයා ගෙන ආ අතීතයේ දිනෙක රෑට කන්නට බත ඉදෙන තුරු කුස්සියේ ගුලි වී සිටියේත් මෙසේයි සියපත් ට සිහි විය. ඒ අතීතය කටුක වුවත් ආදරණීය ය. හදවතට සමීප ය. 

“අර ළමයට එන්න කියල කෑම ටිකක් කන්න දෙන්න ඕනෙ”

කෝපි සුවඳ ඉස්සර කර ගෙන සුජීවා කීවා ය. ඇස් හයක් වහා ඇය වෙත යොමු විය.

“සදාතන ළමයට නේද…”

“ඔව්. අද ඒ ළමයිම ගෙනාපුවනෙ කාල ගියේ”

“ඇත්ත ඇත්ත. ඒ ළමය කළේ සුවල්ප වැඩක් කියලද…පොඩි කෙල්ලට හීරීමක්වත් වෙන්න නොදී අපි ළඟට ගෙනත් දුන්නනෙ. අපිට ඉතිං මහ ලොකු දේවල් දෙන්න නෑනෙ. අනික ඒ මහත්තුරුන්ට අපි මොනා දෙන්නෙයි කියලද…ඒක නිසා…කෑම වේලක් හොඳට හදල කන්න දීල අපේ ගෞරවේ දක්වන එක තමයි කරන්න ඕනෙ”

පංකජී අඩ සිනහවකින් සියපත් දෙස බැලුවා ය. ඒ සිනහවේ තිබූ කතාව ඒ තරම් හොඳ නැතැයි දැනී, සියපත් නො දැක්කා සේ ඉවත බැලුවා ය.

“අපි එහෙනං ඉරිදට එන්න කියමුද මැණික…”

“ම්…මං කියල බලන්නං අම්මෙ”

ඔවුන් නිදන්නට සූදානම් වූයේ කෝපි බීමෙනුත් සැලකිය යුතු වෙලාවකට පස්සේ ය. ගෑනු ළමයින් දෙදෙනා කාමර වලට යන්න හදත්දී සුජීවා ඔවුන්ටත් සිය යහනේ ම නිදන්නට කතා කළා ය. ඒ පැරණි යුගල ඇඳේ ගුලි වී හරස් අතට නිදන්නට එදා ඔවුන්ට සිදු විය. සැබවින් පාන්දර වන තුරු කිසිවෙකු තද නින්දකට වැටුණා ද නොවේ. නමුත් ඒ රාත්‍රිය හදවතින් බදා වැළඳ ගත හැකි එකකි. තමන් ගේ සවන් මානයේ උනුන් ගේ හුස්ම හඬ ඇහෙනා එකේ සැනසිල්ල ඔවුන්ට විය. සෙනසුරාදා නිසා පංකජී පාසල් යා යුතු නො වීම සියපත් ට සැනසිල්ලක් විය. ගුරු පාර කෙළවරට නොයා ඇය ද ජගත් වාහනය ගේ ළඟට ගෙන එන තුරු බලා සිටියා ය. එදා කහවණුගොඩ මැදුරේ දී මුල් ම වතාවට වියානා දකිත්දී නම් අලුත් ම ගැස්මක් සියපත් ගේ හදවත ට දැනිණ. 

“මං ඉතිං ඔක්කොම දන්නව හරිද…දැං මට බොරු කරන්න ඕන නෑ”

වියානා සියපත් ගේ අතින් අල්වා ගෙන උඩු මහළ වෙත ඇය ඇද ගෙන වාගේ ගියා ය. උගුර කට වියළී ගිහින් ශ්වසනය අවහිර වෙමින් ඇති බවක් සියපත් ට දැනිණ.

“මං තරහ නෑ”

වියානා සියපත් ව වැළඳ ගත්තා ය.

“අනේ…මට සමාවෙන්න වියානා”

“ළමයො. සමාවෙන්න කියන්න වැරැද්දක් කරල තියෙන්න ඕනනෙ”

“අනේ වියානා…මං දන්නෑ සනාතන අයිය වගේ හිනා වෙලා කතා කරලවත් නැතුව අහංකාරකමට මූණ දිහාවත් බලන්නැතුව හිටිය සදාතන සර්ට මගෙ හිත බැඳුණෙ ඇයි කියල. එයා මට ආදරේ කරන්න හේතුවක්නං කොහොමවත් මට හිතා ගන්න බෑ. එයාට ප්‍රපෝස් කරපු කෙනෙක් ඉන්නව කියල දැනං හිටියනං…මං කීයටවත් මගෙ හිතට එහෙම තැනක නතර වෙන්න ඉඩ දෙන්නෑ වියානා. ඒ හැම දේම වුණේ මාව වැරදිකාරයෙක් කරන්නම වෙන්නැති..ඒත්…ඕන ම වෙලාවක මං නතර වෙන්න ලෑස්තියි. මං ආදරෙයි තමයි…ඒත්…”

සියපත් බිම බලා ගත්තා ය. ඇස් වල කඳුළක් නැත ද ඇගේ හිතේ රිදුමක් විය.

“ළමයො…මං කෝල් කළාම ෆෝන් එක සනාතනට දීල මගඇරිය මනුස්සයෙක්ව මං කොහොමටත් මැරි කරන්නෑ. එයා එහෙම කරල තියෙන්නෙ මට කැමති නැති නිසානෙ”

“ඉස්සරහට මොනා වෙයිද කියල හිතෙද්දිත් මට බයයි. මං වගේ මෙහෙ වැඩට ආව කෙල්ලෙක් නිසා මේ ගෙදර ඔක්කොම ප්ලෑන්ස් අවුල් වෙලා කියල දැනගත්තහම…ලොකු සර් වුණත්..”

“ඔයා මේ ගෙදරට කොච්චර වටිනවද කියල මේ ගෙදර හැම කෙනෙක්ම දන්නව. මයිකල් අංකල් වුණත්. පාවාඩ එලල ඔයාව මෙහෙට කැන්දං එයි ඒගොල්ලො. ඒ ගැන චුට්ටක්වත් වද වෙන්නවත් බය වෙන්නවත් එපා. අනිත් එක…මං ඔයාට කිසිම ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියන්නෑ. මාව විශ්වාසයි නේද…”

ඒ වෙලාවේ නම් සියපත් ට නො හඬා සිටිය නො හැකි විය. 

“ඇයි දෙයියනේ සත පහකට වටින්නැති මට ඕගොල්ලො මෙච්චර ආදරේ දෙන්නෙ…බැනල එළියට ඇදල දැම්මනං මට දරා ගන්න පුළුවන් නේද මෙහෙම කරන්නැතුව..”

“සිය…පත්…”

සමහර හැඟීම් එහෙම ය. දරා ගන්නට බැරි තරම් බර ය. ලෝකය හොඳ ම වෙනවාට වඩා ලෝකය නපුරු වෙන එක හොඳයි කියා හිතෙනා තරම ය. එතකොට ලෝකයා ගේ නපුරුකම් ගැන සිතා අපට හිත සකසා ගත හැකි වේ. නමුත් ඉතා යහපත් මිනිසුන් වෙනුවෙන් අපට එක හොඳක් හෝ කර ගත නො හැකි වෙත්දී, ඔවුන් ගේ යහපත්කම් වෙනුවෙන් කළගුණ සැලකිය නො හැකි ව යත්දී ඒ බව උහුලා ගැනීම පහසු වන්නේ නැත. 

“ඔයාල දෙන්නම හිත් රිදෝගන්නැතුවයි තරහ වෙන්නැතුවයි මේ ප්‍රශ්නෙට ෆේස් කරපු එක මට ලොකු සැනසීමක්”

මදිරා කීවා ය.

“ඔය දෙන්නටම මං හරි ආදරෙයි. මොකක් හරි අවුලක් වුණොත් මට ඔය දෙන්නගෙන් එක්කෙනෙක් අත්ඇරල අනිත් කෙනාගෙ පැත්ත ගන්න බෑ. ඒ ගැන මං හරි වේදනාවෙන් හිටියෙ. දැන් ඒක නෑ. මොනා වුණත්…මොනා වෙන්න නියමිත වුණත් දැන් අපි ඔක්කොමල අපිව තේරුං අරං ඉන්නවනෙ. ඒක නිසා විසඳගන්න බැරි වෙන දෙයක් නැති වෙයි. අපේ තාත්තයි වියානා ගෙ තාත්තයි තරහ නොවී.. වෙනද වගේ ම ඒ දෙන්නගෙ බිස්නස් කරගෙන යන්න පුළුවන් බැක්ග්‍රවුන්ඩ් එකක් හදල දෙන්න අපි උත්සාහ කරමු”

වියානා සිතමින් හිටියේ ඒ ව්‍යාපාර ගැන නොවේ. සිය පියා ගැන ය. ජිතේන්ද්‍ර ජයකොඩි වූ කලී සිය දියණිය නිසා ම වෙනස් – තැන්පත් මිනිසෙකු වූ පුරුෂයෙකු බව ඇය මව, දියමන්ති වෙතින් අසා තිබේ. ජිතේන්ද්‍ර තුළ වියානා කෙරේ වූ ස්නේහය එක්තරා උමතුවක් සේ ය. ඔහු ට ඇය වෙනුවෙන් කරන්නට බැරි දෙයක් නැත. දියණිය ගේ විවාහ යෝජනාව අහේතුකව විනාශ කොට ඔවුන් ලෝකය ඉදිරියේ ලැජ්ජාවක් බවට පත් කළ කෙල්ලකගෙන් පළි ගන්නවා කියන එක ඔහු ට ඉතා ම නොගිනිය හැකි තරමේ සෙල්ලමකි. ලෝකයේ කවර කොනක ජීවත් වන කුමන කෙල්ලට එසේ වුව ද සියපත් ට එහෙම වෙනවා කියා සිතන්නට වියානා ට ඕන නැත. ඇය සිය පියා ඉදිරියේ හිඳ “සදාතනව බඳින්න බෑ” කියා කීවේ ප්‍රශ්නයේ වගකීම පුළුවන් තරම් තමන් වෙත පටවා ගනිමිනි.

“හේතුව…”

“හේතුව මං එයාට කැමති නෑ”

“ඒක බොරුවක් වියානා. ඔයා එයාට අකමැත්තෙන් හිටියෙ නෑ. අනික මේක සෙල්ලමක් නෙවෙයි. දැන් හැම කෙනෙක්ම දන්නව අපේ පවුල් දෙක අතරෙ මැරේජ් එකක් වෙන්න යනව කියල. අපිට ලෝකෙ ඉස්සරහ ලැජ්ජ වෙන්න බෑ”

සිදු වී ඇති සියල්ල ඔහු දැන ගත හොත්, සිය දියණිය මුල සිට ම රැවටීමකට ලක් වී ඇති බව දැන ගත හොත්, ජිතේන්ද්‍ර හනුමන්තා කෙනෙකු වෙන එක වළකා ලිය නො හැකි ය. නමුත් මේ දෙකොන ගිනි තැබිය යුතු මොහොතක් නොවන බව වියානා දැන සිටියා ය.

“ඒක ඇත්ත තාත්ති. එයත් මාව මැරි කරයි තමයි. හැබැයි ඒ මට තියන ආදරයක් නිසා නෙවෙයි. මේක බිස්නස් මැරේජ් එකක් නිසා විතරයි. එයා ආදරේ කරන ගෑනු ළමයෙක් ඉන්නව. කුරුලු කූඩුවකට ගල් ගහල මට අලුත් කූඩුවක් හදන්න ඕන නෑ තාත්ති”

වියානා වචන තෝරා බේරා ගත්තේ ඉතාමත් පරිස්සමට ය. නමුත් ජිතේන්ද්‍ර සමච්චල් සිනහවක් පමණක් නගා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles