“දමිත් මට ඔයා එක්ක කතා කරන්න ඕන”
ෂෝබිතා ඒ කෙටි පණිවිඩය දමිත් වෙත යවනු ලැබුවේ කීවන වතාවටද කියා ඇයටද නිසියාකාර මතකයක් තිබුනේ නැත. තමා පසුගිය කාලයම ගෙවා ඇත්තේ කුමක් හෝ මත්වීමක බව සිහිවෙද්දී ඒ මත්බව ජීවිතයෙන් ඉවත් වී ගොස් තිබුන නමුදු ඒ මත් වීම නිසාවෙන් තමා විසින් කල කී දේ තිබුනේ ජීවිතය යකා නැටූ පිටියක් බවට පත් කර බව ෂෝබිතාට තේරුම් යමින් තිබුනාය.
එහෙත් තමා ජීවිතයේ නැතිකරගත් බොහෝ දේ නැවත ලබාගන්නට බොහෝ සේ පමා වී ඇති බව තේරුම් යද්දීවත් ජීවිතය ගැනපසුතැවෙන්නට හේතුවක් සොයාගන්නට, තමා කල කී දේ ගැන දුක්වෙන්නට හේතුවක් සොයාගන්නට ෂෝබිතා අපොහොසත් විය.
මුල් දිනවල දමිත් තමා වාසය කරන නිවසට විත් ගෙවන කාලය කෙතරම් වුවද දැන් මාසයක එකහමාරක පමණ කාලයක හිඳ ඔහු තමව නිරතුරුවම මග හරින බව තේරුම් යමින් තිබුණි. ඒ හේතුව කුමක්දැයි අසන්නටවත් දමිත් නිවසට නොඑන තැන ඔහුට දුරකතන ඇමතුම් දෙන්නටත්, කෙටි පණිවිඩ යවන්නටත් සිදු වුනද දමිත් ඒ කිසිවකට පිලිතුරු නොඑවීම සිත ගිනිබත් කරන්නට හේතුවක් විය.
කතා බස් කරන්නට උවමනා යැයි තමා විසින් පසුගිය කාලය පුරාවට යවන ලද කෙටි පණිවිඩ රැසකි.එහෙත් ඒ කිසිවකටත් පිලිතුරක් නොඑවන්නට තරම් දමිත කාර්‍යබහුල විය හැකිද යන ගැටලුව සිත පෙලන්නකි.
රාත්‍රියට කන්නට දෙයක්වත් හදන්නට උවමනාවක් ෂෝබිතාට තිබුනේ නැත. බඩගිනි වුවද කිසිවක් ඇණවුම් කර ගෙන්වා ගන්නට තරම් වත් උවමනාවක් නොවෙද්දී ඇඳ මත වැටී දෑස් පියා කල්පනා කරන්නට බොහෝ දේ තිබෙන වග පමනක් ෂෝබිතා දැන හුන්නාය.
තමා සහ දමිත් අතර තිබුනේ සැබවින්ම ආදරයක්ද යන පැනය පලමුවරට සිත මත කිරිස් කිරිස් හඬින් ඇදී යනු දැනේ. ඒ දරාගන්නට අපහසු හැඟීමකි.
බාගදා තමාව මෙතරම්ම නොසලකා හිඳින්නට තමා නොදත් යම් කිසි හේතුවක් දමිත්ට තිබෙන්නට හැක. ඒ වනාහී වෙනත් යුවතියක් විය හැකි නොවේද යන සිතුවිල්ල නොසිතා සිටින්නට හැකි නම් අපූරු වුවද ඒ සිතන්නටම සිත විසින් පොළඹවන සිතුවිල්ලකි.
තමා විසින් හැරදමා ආ අතිතය ගැන කිසිත් දුකක් පසුතැවීමක් සිත තුල නොවුනද අනුපටත්, දුලන්‍යාටත් තමා විසින් කලේ නොකල යුත්තක් බව ඒ මොහොතේ සිතෙමින් තිබුණි.
දුරකතනය නාද වූයේ ඒ මොහොතේය.
දමිත් යැයි සිතා දුරකතනය අතට ගත්තද එහා පසින් අමතන්නිය නැගණිය අම්‍රිතාය. ඒ ඇමතුම ගන්නවාද නැද්ද කියන හැඟීම නිසාවෙන් මද වේලාවක් දුරකතනය දෙසම බලා උන්නද නංගී ලේසියෙන් එසේ අමතන්නියක නොවන බව දන්න නිසාවෙන් ඒ ඇමතුම හා සම්බන්ධ වුයේ සිතේ බලකිරීමටය.
“හෙලෝ”
“කොහෙද ඉන්නේ?”
නංගී කිසිදිනක නොවන පරිද්දෙන් එසේ ඇසුවේ ඇයිදැයි යන්න සැකයක බීජ සිත පුරා වපුරුවන්නකි. මෙතෙක් වේලා සිත අස්සේ නොතිබුන කුමක්දෝ දුකක් මිශ්‍රිත හැඟීමක් වලාකුලක් මෙන් අවුදින් සිතට උඩින් නතර වී බිය වැස්සක් මෙන් සිත මතට වට්ටවයි.
“ගෙදර, ඇයි?”
එහෙත් ඇමතුමේ එපසින් කිසිවක් නොඇසෙන තරම් ය.
“ඇයි ගෙදරද කියල ඇහුවෙ?”
“අනුප අයියා ඔයාට කතාකරනවද?”
නංගී කියන්නට යන්නේ අනුප ගැන යමක් යැයි කිසිසේත් තමා නොසිතා තිබුන වග ෂෝබිතාට සහතිකය. ඒ සිතුවිල්ල තිගැස්මක් වන්නට ගියේ මොහොතක කාලයකි. තමා අනුප අතහැර දමා සිත් බොහෝ කාලයක් ගෙවී ඇති නමුත් තමා ඒ ගමන විත් තිබෙන්නේ හදවතින් අනුපව සදහටම හැරදමාද යන සැකය සිත තුල කුතුහලයට නතරවෙන්නට හේතු සපයයි.
“එයා මොකටද මට කතාකරන්නේ?”
“ඔව් ඒකනම් ඇත්ත. ඔයානෙ එයාව දාල ආවෙ. අනික ඉතින් කතාකරා කියලතේරුමක් නැති බව අනුප අයියත් දැන් තේරුම් අරගෙනද කොහෙද”
සමච්චල් සහගත සිනාවක් සමග නංගී කියන්නට යෙදුණ කතාව බොහෝ දුර ඇදෙන්නට නියමිත කතාවක් බව සිතුණේ ඇයිද කියා සිතන්නට පෙරම වදන් මුවගින් ගිලිහුණි.
“ඔයා දැන්මේ එකපාර මට කතා කරේ ඒ මිනිහ මට කතාකරනවද කියල දැනගන්නද?”
කෝපයක ගිනිසිලු වදන් ඔස්සේ වුව විහිදෙන්නට හැකිබව අක්කා ඇසුරේ බොහෝ කාලයක් ගෙවූ අම්‍රිතා නොදන්නා කාරණාවක් නොවේ. එහෙමකට කියා මහ ලොකු බැඳීමක් එකිනෙකා අතර නොවුවද මේ තමන්ගේ අක්කා බව සිතා නොඉඳිනට හැකියාවක් නැත.අක්කා විසින් තමකුලගෙයට ගිනිතබා ඉන් පිටව එද්දී අක්කා නොදැනුවත්වම ඒ ගින්දරෙන් කොටසක් ඇයගේ ජීවිතයත් ගිනිබත් කර තිබෙනබව අක්කා නොදැක්කද සමාජය දකිනබව ද අම්‍රිතා දුටුවාය.
“නෑ ඒක කියන්න නෙවෙයි. ඔයා බලාපොරොත්තු තියාගෙන හිටියත් අනුප අයියා කොහොමත් ඔයාට ආයෙ කතා කරාකරන එකක් නෑ කියල කියන්න”
“ඒ කිව්වේ?”
නංගී විසින් කියන්නට තනන කාරණාව තමා සිතුවාට වඩා බරපතල බවත්, වේදනාත්මක විය හැකි බවක් හැඟෙද්දී වුව ඒ ගැන නොඅසා හිඳින්නට හැකියාවක් ෂෝබිතාට තිබුණේ නැත.
“අනුප අයියට වෙන අෆෙයාර් එකක්තියෙනවා, මම අද දැක්කා ඒ දෙන්නව පාර්ලිමන්ට් ග්‍රව්න්ඩ්ස් හරියෙදි. ලස්සන ගර්ල් කෙනෙක්”
නංගිගේ වදන් සවන් මත තැවරුණේ සිහිනයෙන් මෙනි. ඒ තැවරුමක් යැයි සිතුවාට යගුලකින් සවන් හාරන්නාක් මෙන් වේදනාවක් ඇති කරන්නට සමත් වූවකි.එහෙත් නංගිගේ මුවින් ගිලිහුනක් වුවද ඒ වචන විශ්වාස කල නොහැකි අන්දමේ මායාවකින් වෙලී ඇතැයි යන හැඟීම සෙමෙන් වුව සිත සනසන්නට වූයේ ඇයිදැයි ෂෝබිතාට තේරුම් ගන්නට අපහසුය.
තමා විසින් අනුපව හැරදමා ආවේ ඔහු කෙරේ තම සිත තුල ආදරයක අංශුමාත්‍රයක් වත් නොමැති නිසාවෙන් යැයි තමා මෙතෙක් කලක් සිතා උන්නද ඔහුව අහිමි කරගැනීමකට නොකැමැත්තක්, ඔහු අහිමිවේය යන බියක් හිත පත්ලේ කොහේ හෝ තැනක නැංගුරුම් ලා හිඳ තිබෙන බව ෂෝබිතා තේරුම්ගත්තේ නංගී විසින් කියන්නට යෙදුණ ඒ වචන ඔස්සේය.
ජීවිතයේ කෙදිනක හෝ දිනයකතමාට වුවමනා මොහොතක ආපසු යාමටහැකි පරිද්දෙන් අනුප තමාඑනතුරු මග බලාගෙන හිඳිනු ඇතැයි සිත තුල වූ හැඟීම ගල් පහරක් වැදී බිඳීගිය වීදුරු මුහුණතක් මෙන් බිඳී ගිය බව ෂෝබිතාට දැනුනි.
“බොරු කියන්න එපා”
අක්කාගේ වචන ඔස්සේ තමන්ගේ සවන් මතට ඇදී ආ වදන් වල වූ වේදනාව, බලාපොරොත්තු බිඳ වැටීම අම්‍රිතා බියපත් කරන්නට සමත් විය.
අනුප අයියා යනු දාහකින් හොයා ගන්නට බැරි යහපත් මිනිසෙකු බවක්, අක්කාට ඔහු හොඳ වැඩි බවත් තමා විසින් අක්කා ඔහුව පලමුවරට ගෙදර කැඳවාගෙන ආ දිනයේත්තමා පැවසූ බව අම්‍රිතාට මතකය. අක්කා කලින් පෙම් සබඳතාවයක පැටලී හුන් දමිත් පසුකාලීන බලවත් පුද්ගලයෙකු බවට පත්වුවද ඔහු විසින් අක්කා සමග ප්‍රේමයේ පැටලී හුන් කාලයේ පවා තම සිත මත මවන ලද අප්‍රසාදය අම්‍රිතාට ආදටත් මතකය. අක්කා වැනි සුන්දරියක දමිත් වැනි අයෙකු හා පැටලුනේ ඇයිද යන කුහුල එකල සිට සිතට ආවද අනුප අයියා හා විවාහ වී දුලන්‍යා ලද පසු දමිත් වැනි අයෙකුට ඒ ජීවිතයට පිවිසිය හැකි හිඩැසක් පවතිනු ඇතැයි කිසිවෙකුත් බලාපොරොත්තු වූවා නොවේ.
එහෙත් අක්කා විසින් අනුප අයියාව හැරදමා දමිත් සමග ගොස් තිබුණි.
කාලය සමග අනුප අයියාද වෙනත් විශ්වාසය තිබිය හැකි සිතකට ලං වී තිබේ. මේ අක්කා විසින් ගන්නා ලද තීරණයක් වුව අනෙක් අතට ඒ තීරණය නිසාවෙන් තනි වී හිඳින්නේද අක්කාය.
“මම එන්නද?”
තමාගේ මුවින් ඒ වදන් නික්මුණේ වඩා මුදු ස්වරයකිනි.ඒ අක්කාව සනසන්නට සිතාය.නොඑසේනම් මේ කැළඹීම නිසාවෙන් ඇය විසින් වැරදි තීරණයක් ගනු ඇතැයි යන බිය නිසාවෙනි.
“එපා”
ෂෝබිතාඒ පැනයටපවා පිලිතුරු දුන්නේ සිහිනයෙන් මෙනි.
කිසිවෙකුත් නොමැතිව කිසිවෙකු හා කතා නොකර කාලය ගෙවීමේ අවශ්‍යතාවයක් සිතට පිවිස තිබුනේ නංගී විසින් කියන්නට යෙදුන පණිවිඩයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි. මේ වෙලාවේ කිසිවෙකුගේ හුස්මක් හෝ ජීවිතයට වැටීම මහත් බරක් ලෙස දැනෙන්නක් විය.
දුරකතන ඇමතුම විසන්ධි වුවද කණ ඇතුලේ තවමත් කී හඬක් නද දෙන ආකාරයක් දැනේ. ඒ වනාහී මනස ඇතුළතින්ම කම්පනය නිසාවෙන් නගන හඬකි. එය හිත හිරිවට්ටන්නකි.
“අනුප අයියට වෙන අෆෙයාර් එකක්තියෙනවා, මම අද දැක්කා ඒ දෙන්නව පාර්ලිමන්ට් ග්‍රව්න්ඩ්ස් හරියෙදි. ලස්සන ගර්ල් කෙනෙක්”
ඒ වචන ඔලුවෙන් අයින් කරගන්නට අපහසු තැන ෂෝබිතා උන්නේ දෑතින්ම හිසකෙස් අදිමින් කෑගසමිනි.
ඒ කෑගැසීම තමන් වෙත කල කෑගැසීමක්ද නොඑසේනම් වෙන අයෙක් වෙනුවෙන් කල කෑගැසීමක්ද යන්න පවා ෂෝබිතාට අපහැදිලිය.එහෙත් හිත අස්සේ තිබෙන යම් බියක්, වේදනාවක් ඒ කැගැසීම ඔස්සේ මුවින් පිටවගොස් යම් සැනසිමක් ගෙන එන්නට විය.
දුරකතන අත පත් වුණේ නිරායාසයෙනි. ඒ ඇමතුම ගත්තේ කෝපය සහ බලාපොරොත්තු බිඳ වැටීමේ වේදනාවකින් බව දැනෙද්දී ඒ ඇමතුම සම්බන්ධ විය.