පතිදම්වැල් 51

අනුපගෙන් ඇමතුමක් නොලැබී දවසක්ම ගෙවී තිබුනි. යැවූ කිසිත් පණිවිඩයකට අනුපගේ පසින් පිලිතුරක් නොඑද්දී සිත දැවුණේ නැතැයි කීම බොරුවකි. සිත තිබුණේ දැවෙමිනි. වේදනාවෙන් මුසපත් වෙමිනි. එහෙත් කිසිවක් සිදු නොවුනාක් මෙන් ගෙදර මිනිසුන්ටත්, පෙර පාසලේ මිනිසුන්ටත් මුහුණ දෙන්නට සිදුවිය. ඒ නොවැලැක්විය හැකි දෙයකි.

පෙර පාසලේදී දුලන්‍යා දකිද්දී තාත්තාට කොහොමද කියන පැනය නොඅසා හිඳින්නට උශාලි පුදුමතරම් වෙහෙසක් දැරුවාය. දුලන්‍යාගේ පැත්තෙන්ද කිසිත් වෙනසක්, දුකක් වේදනාවක් නොපෙනෙන නිසාවෙන් අනුප තමා අමතන්නේ නැතුව හිඳින්නෙ නිවසේ ඇති වූ යම් ප්‍රශ්නයක් නිසාවෙන් යැයි මෙතෙක් වේලා සිත තුල හොල්මන් කරමින් හුන් සිතුවිල්ල ඉවත් කරගන්න පුලුවන් විය. එහෙත් එයින් සිතට ලැබුනේ සිතූ තරමේ අස්වැසිල්ලක් නොවේ.

ආදරය කරන පුද්ගලයා විසින් පෙර නොවූ විරූ අන්දමේ හැසිරීමක් පෙන්වද්දී සිතට කුහුලක් ඇතිවීම, දුකක් වේදනාවක් අත්පත් වීම නොවැලැක්විය හැකි කරුණකි. 

පෙර පාසලේ වැඩ කටයුතු අවසන් වී යද්දීත් සුපුරුදු පරිදි යන බව පවසන පණිවිඩය දැමුවද එය අනුප විසින් කියවා ඇති බවක්වත් නොපෙනෙද්දී උශාලි උන්නේ කෑ ගසාඅ හඬන්නට තර වේදනාවක් සිත සිරකරගෙනය.

නිවසට විත් ස්නානය කර කෑම කද්දීත්, ඉන්පසුව සුපුරුදු පරිදි පොතක් ගෙන ඇඳට වැටෙද්දී කිසිවක් නොකර දෑස් පියාගෙන කල්පනා කරමින් හිඳින්නට අවශ්‍ය කම්මැලිකමක් සිත වසාගෙන තිබුනි. අවසානයට කතා කල දිනයේ අනුප විසින් කිසිත් වෙනසක් නොපෙන්වූ බවත්, සිත රිදවන හෝ බියපත් කරවන අන්දමේ කිසිවක් නොකී බවක් සිහියට ආවද එය කිසිසේත්ම සැනසෙන්න හේතුවක් වූයේ නැත.

ඒ වේදනාව කිසිවක් කරන්නට අපහසු කම්මැලිකමක් ලෙස සිත් අහස වසා හිඳිද්දී නින්ද ආවේ නොසිතූ මොහොතක නොසිතූ පරිද්දෙනි.

තමන් උන්නේ සුපුරුදු පරිදි ඔරුවේ පා වෙමිනි.තමාට ඉදිරියෙන් අනුප වාඩි වි හිඳී. එහෙත් මෙතෙක් දවස් දුටු සුන්දර, ගැඹුරු දැස වෙනදාටත් වඩා වේදනාවක ගිලී තිබෙන අන්දම පෙනේ.

එහෙත් එයට හේතුව කුමක්දැයි සිතාගන්නට අපහසුය.

“එන්න”

තමා අත දිග හැර කතාකරද අනුප උන්නේ වදනක්වත් නොකියා තමා දෙසම බලාගෙනය. මුවින් කිසිවක් නොකීවද ඔහුගේ ගැඹුරු දෑස් අස්සේ කුමක්දෝ රහසක් සැඟවී ඇති බව පමණක් උශාලිට පෙනේ. ඒ රහස කුමක්දැයි දැනගන්නා තුරු සිතට නිවනක් නොඑන බව පමණක් උශාලි දැන හුන්නාය.

“අනුප එන්න”

“මට එන්න බෑ උශාලි”

“ඇයි? ඔතනින් නැගිටල එන්න මම ඉන්න තැනට”

“මට එන්න බෑ”

“ඇයි එන්න බෑ කියන්නේ?”

“මාව හිරකරල තියෙන්නේ”

“කවුද?”

“මාව හිරකරගෙන ඉන්නේ, මට එන්න බෑ. මට එන්න බෑ. මට එන්න බෑ”

කණ බිහිරි කරවන අන්දමේ කෑගැසීමක් අනුපගේ මුවින් නිකුත් වෙද්දී දැතින්ම කන් දෙක වසාගෙන උශාලි හිස බිමට හරවාගත්තේ ඒ කෑගැසිල තියුණු කගපතක් මෙන් විත් සවනේ රැඳීම වලක්වාගනු පිණිසය. ඒ කෑගැසීම දරාගන්නට අපහසු තරම් සියුම්‍ය. ත්‍රීව්‍රතාවය ඉහලය. පිහියකින් තාර පාරක් සූරද්දී එන ඉසිලිය නොහැකි හඬ හා සමානය.

තමා සිහිනයෙන් ඇහැරුනේ මුලු ගතම දහදියෙන් පොඟවාගෙන බව පමණක් උශාලිට මතකය. තමා නින්දට ගොස් බොහෝ වේලාවක් නොවන බවට ඔරලෝසුව සාක්ශි ඉදිරිපත් කලද සිත බියපත් වී තිබෙන්නේ බොහෝ වේලාවක් තිස්සේ අඳුරු ආගාධයක් මැදින් ආලෝකයක් සොයා දුව යන්නට වූවක් පරිද්දෙනි.

ඇඳ අසල වූ වතුර බෝතලයෙන් වතුර බිඳක් පානය කල උශාලි කාමරයේ විදුලි පංකාව මදක් වැඩිකරේ ගත පුරා ගලාගෙන යන දහදිය බිඳු නිවාලනු පිණිසයි.බිම වැටී තිබුන පොත යලි මේසය මත තබා ඇඳ මත වාඩි වූයේ දුරකතනය අතට ගෙනය.

මේ මොහොතේ අනුප ඉන්නේ කාර්‍යාලයේ බොහෝ වැඩ රාජකාරි මැද කාර්‍යබහුලව බව නොදන්නවා නොවුන මුත් මේ ඇමතුම මගහරින්නට නොහැකි බවක් දැනෙද්දී සිත කියන දේ අසා කටයුතු කරන්න උශාලි උත්සුක වූවාය. ප්‍රශ්නයක් තිබේ නම් එය කතා බහ කර විසඳගෙන ඉදිරියට යා යුත්තේ යැයි කියු මිනිසාම කිසිත් පැහැදිලි හේතුවක් නොමැතිව මෙසේ නිහඬව හිඳීම සියල්ලටම වඩා ගැටලුවකි.

අනෙක් අතට එසේ කිරීම තම මානසික නිදහස කලබල වීමට හේතුවක් බව අනුපට තේරුම්ගන්නට හැකියාවක් නැතිද?

“හෙලෝ”

“අනුප”

ඇමතුම සම්බන්ධ වූයේ හාස්කමකින් මෙනි. මේ ඇමතුමවත් අනුප සම්බන්ධ කරගනීවිය යන බලාපොරොත්තුවක් නොතිබුන එකක් බව උශාලිට සිතුණේත් ඒ මොහොතේය. එහෙත් ඒ ඇමතුම සම්බන්ධ වී තිබේ. 

“කියන්න උශාලි”

ඔහුගේ හඬ වෙනදාට වඩා කැඩී බිඳී ඇති බවක් තේරුණ නමුත් සියල අමතක වූවා සේ අනුප තමාට කතා කරන්න යැයි පවසනුඇතැයි සිතා උන්නේ නැත. සිත බලාපොරොත්තු වූයේ කුමක් හෝ හේතුවක් නිසාවෙන් තමා කාර්‍යබහෞල වූ බවත්, මැසේජ් එකක්වත් එවන්නට නොහැකි පරිද්දෙන් තමා කාර්‍යබහුල වී සිටි බව පවසමින් සමාව ඉල්ලන වදන් කිහිපයකි. ආදරය පිරුණු මී විතක් බඳු වදන් කිහිපයකි. 

“ඇයි අනුප ඔයා මට කතා කරේ නැත්තේ? මම මැසේජස් කීයක් දැම්මද? මම හරියට බය වුනා ඔයාට කරදරයක්ද දන්නෙ නෑ කියල. අද මොන්ටිසෝරි එකේදි දුලාව දැක්කම තමයි මට පොඩ්ඩක් හරි හිතට සැනසීමක් ආවේ ඔයාට කරදරයක් වෙලා නෑ කියල.

ඇයි අනුප කතා නොකරේ? මොකක් හරි ප්‍රශ්නයක්ද? මට කියන්න බැරි දෙයක්ද?”

ගංගාවක් මෙන් සිත අස්සේ පිරී තිබුන වේදනාව වචන ඔස්සේ ඇද හැලෙද්දීත් අනුප උන්නේ නිහඬවය. ඒ නිහඬතාවය  අවිනිශ්චිත බවේ අඳුරු සෙවණැලි සිත අස්සට ගෙන එන්නකි.

“කතාකරන්නකො අනුප. මොකද්ද ප්‍රශ්නෙ? මගෙන් වරදක් උනාද?”

“නෑ උශාලි ඔයාගෙ පැත්තෙන් කිසිම වරදක් උනේ නෑ. මට හරි බයයි මගෙ පැත්තෙන් ඔයාට වරදක් වෙයි කියල”

ඒ සිතන්නට බොහෝ දේ තැවරුණ වදන් පෙලක් වුවද මේ වෙලාවේ අනුප හිඳින්නේ කුමක් හෝ විශාල හිත් වේදනාවක් නිසාවෙන් කැඩී බිඳී බව තේරුම්ගන්නට අපහසු නොවුණ තැන ආදරය සිත සනසන ඔසුවක් කර දුරකතනය ඔස්සේ එපසට යවන්නට උශාලි තීරණය කලාය. මේ මිනිසාට තමා ආදරේ බව සැබෑවකි. ඔහු හිඳින්නේ විවාහය බිඳ වැටීම නිසා අසරණව, බිඳී බව නොරහසකි. ඉතින් ආදරය තිබෙන්නේ ඒ බිඳුණු සිත සුවපත් කරවනු පිණිස නොවන්නේද?

“මොකද්ද ප්‍රශ්නෙ කියන්නකො ඉස්සෙල්ල. ඔයා තනියම හිතල උත්තරයක් හොයාගන්න බැරි උනාට සමහර වෙලාවට අපි දෙන්නටම එකතුවෙලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න අමාරු වෙන එකක් නෑ”

මෙතෙක් වේලා දුකෙන් සහ වේදනාවෙන් මිරිකී තිබුන හඬ ආදරයේ නිවුණ සැනසුණු බවින් පිරී යන්නට ගියේ තප්පරයකටත් වඩා අඩු කාලයකි. උශාලිගේ පස හිඳ දුරකතනය  ඔස්සේ තම සවන් පත් මත වැටෙන හඬ අනුපට එවෙලේ දැනුනේ සිහිල් පවන් රොදක් මෙනි. ඒ සිත මත ඉහිරී තිබෙන වේදනාවේ අලු දුහුවිලි පිසදාලන්නක් බඳුය.

“හ්ම්ම්”

“ඔක්කොටම කලින් කියන්නකො ඔයා කාලද ඉන්නේ?” 

ඉතින් මේ ආදරයම බව අනුපට පැහැදිලිය. තමා විසින් කිසිත් හේතුවක් නැතිව ඇයගේ ඇමතුම් මගහරිමින් සිටිද්දීත්, හඬා දොඩා වැළපීම පසෙක තබා තමා වෙනුවෙන් සංවේදී වීම, තමා ගැන සොයා බැලීම ආදරයම මිස වෙන කුමක් විය හැකිද?

එහෙත් ඒ ආදරය තමා සතු කරගන්නට හැකි වේද? 

“තාම නෑ. දැන් වෙලාව දෙක හමාරයිනේ. කන්නෙ නැද්ද? ඔෆිස් එකේ වැඩ ද?”

“මම ඔෆිස් එකේ නෙවෙයි උශාලි ඉන්නෙ. මම ඔෆිස් ගියේ නෑ අද”

ඒ බලාපොරොත්තු නොවූ වදන් වැලකි. එහෙත් කලබල නොවී හිඳින්නට උශාලි තම සිතටම කියාගත්තාය.

“ඔයා කොහෙද ඉන්නේ?”

“මගෙ ඔලුව පිස්සු වැටිල වගේ. මට ගෙදර ඉඳන් කල්පනා කරද්දි අම්මල වොරි වෙන නිසා මම නිවාඩු දාලා ආවා. මම ඉන්නේ ඕශන් එකේ”

“ඕශන් එකේ කිව්වේ?”

“බම්බලපිටියෙ හොටෙල් එකක් තියෙනව. ඒකෙ”

“ඇයි ඔයා එහෙ ගියේ?”

“මට වෙන යන්න තැනක් නෑ උශාලි. මට ගිහිල්ල නිදහසේ කල්පනා කරන්න තැනක් නෑ. ඒකයි මම මෙහෙට ආවේ”

“හරි කියන්නකො මොකද්ද ප්‍රශ්නෙ?”

“ෂෝබිතා කතා කරා”

“හ්ම්ම්, ඔයා කියන්න හොඳේ, මං අහන් ඉන්නේ. අපි බලමු ප්‍රශ්නෙ මොකක් උනත් අපිට ඒකට දෙන්න පුලුවන් උත්තරේ මොකද්ද කියල”

ෂෝබිතා මේ ප්‍රශ්නයේ කොහෙන් හෝ ගෑවී තිබෙන බව සිතට සැකයක් මෙන් පිවිස තිබුණද අනුපගේ මුවින් ඇයගේ නම ඇසෙද්දී සිත තිගැස්සීම වලක්වා ගන්නට උශාලිට හැකියාවක් තිබුනේ නැත. 

“ෂෝබිතා මොකද කියන්නේ?”

“එයා දැනගෙන ඔයයි මමයි ගැන. එයා ලෝයර්ට කියල දුලාව එයාට ඕන කියල”

“හරී, ඉතින්?”

“මම එයාට ඊටපස්සෙ කතා කරා”

“ඕකේ?”

“එයා කියනවා දුලා වෙනුවෙන් ආයෙ අපිට සෙට්ල් වෙන්න බැරිද කියල?’

හිත කොපමණ ගැස්සුණාද කියා උශාලිට සිතාගන්නට අපහසුය. එහෙත් වටපිටාවම මොහොතකට නතර වූ බවත් තමා එකම තැන සිටගෙන ඉද්දී ලෝකය වේගයෙන් තමා වටා භ්‍රමණය වන්නට පටන් ගත් බවකුත් දැනෙද්දී අනුපගේ හඬ පරදා හෝ හෝ හඬක් කණට ඇසෙන්නට විය. මේ සිත කෙතරම් කලබලයට පත් වූ මොහොතක් වුවද ශක්තිමත්ව නැගී සිටිය යුතු මොහොතකි. තමා වෙනුවෙන් නොව අනුපත්, දුලාත් වෙනුවෙන් නැගී සිටිය යුතු මොහොතකි.

“ඔයා මොකද ඉතින් ඒ ගැන හිතන්නේ?” 

මෙතරම්ම වේදනාකාරී මොහොතක වුවත් තමන්ගේ හඬ එතරම්ම නිස්කලංක වූයේ කෙසේදැයි උශාලිට සිතාගන්නට අපහසුය. මදක් හෝ බිඳ වැටීමක් නොමැතිව තමන්ගේ සුපුරුදු හඬින්ම ඒ පැනය අසද්දී නෙත් අගට කඳුලු බිඳු එක්‍රැස් වන බවක් දැනුනි.

“මට දුලාව නැතිකරගන්න බෑ” 

අනුපගේ හඬ ඇසුණේ බිඳීය.

ඒ හා සමගාමීව නෙත් අස්සෙන් බිම වැටෙන්නට පොර කෑ කඳුලු බිඳි කම්මුල් දිගේ රූරා යනු උශාලිට දැණුනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles