සදාතන කහවණුගොඩ ඒ හැන්දෑ වරුව වෙන් කොට ගත්තේ සියපත් වෙනුවෙනි. ඇය ව මීගමුවේ, ජයකොඩි පවුල නේවාසික හෝටලය වෙත ගෙන ගොස් ඇරලීමට ඔහු ඉදිරිපත් වීම ශාන්ත ට ද හිත් පහසුවක් විය. සියපත් පැමිණෙන බව වියානා වෙතින් දැන ගත් ජිතේන්ද්‍ර උදේ සිට ම එළියටවත් නො බැස්සේ ය.
“තාත්ති කොහෙ හරි යනවනං ගිහිං එන්න. සියපත් එන්නෙ හවසට. මේ බලන්නකො වෙනදට එළියටම යන එක්කෙනා අද රූම් එකෙන් හෙල්ලෙන්නෑනෙ”
වියානා විහිළු කළා ය. දියමන්ති සිනහව තද කර ගෙන ඇයට පුරුදු මන්දස්මිතය පෑවා ය. සැබවින් ජිතේන්ද්‍ර තුළ වූයේ ගැස්මකි. එහෙම සංවේදනයක් සිය ජීවිතයේ දී එක වරක් හෝ මීට පෙර දැනී ඇති බවට මතකයක් ඔහු ට නැත. එදා වියානා ගේ දුරකතනයේ තිබී සුජීවා ගේ රුව දුටු වෙලාවේත් ඔහු ගේ හදවත නුහුරු වේගයකින් ගැහෙන්නට ගත් බව මතක ය. නමුත් ඒ මොහොතත් මේ මොහොතත් වෙනස් ය. එදා ජිතේන්ද්‍ර බොජුන් හල සොයා ගියේ ඒ සුජීවා ම දැයි නිශ්චිත වශයෙන් දැන ගන්නට ය. කහවණුගොඩ මැදුරේ දී දැක තිබි සියපත් සිය දියණිය දැයි ඔහු ඉඳුරා දැන සිටියේ නැත. ඒ ගමනෙහි අරමුණ කුමක් වූයේ ද කියා තවමත් ජිතේන්ද්‍ර ට සිතා ගත නො හැකි ය. ඒ යළි සුජීවා දැක ගැනීමට නොවේ කියා නම් ඉඳුරා කිව හැක. නමුත් සිය දියණිය ගේ ජීව විද්‍යාත්මක පියා වශයෙන්, කිසියම් අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට ඔහු ට උවමනා වුණාවත් ද? අනිත් අතට ගත වූ අවුරුදු විසි හතර ම කිසියම් අඩුවක් හදවත දරා ගෙන ජීවත් වූ බව පිළිගන්නට ඔහු සූදානම් ය.
“මේ මෝඩ ගෑනි ළමයෙක් අරං ගියා දුක් දෙන්න”
වියානා ගේ ජීවිතයේ හැම විශේෂ අවස්ථාවක දී ම, ඇය සැපවත් ජීවිතයක් තුළ සුවෙන් වැඩෙනවා දකින හැම මොහොතක ම, ඇය ලෝකයේ ඉහළ ම මට්ටමේ අධ්‍යාපනයක් ලබනවා දකින හැම වෙලාවක ම ජිතේන්ද්‍ර ගේ සිතේ එම සිතිවිල්ල ඇඳී මැකී ගියේ ය. වියානා තරුණියක වන විට, ඇගේ නිවුන් සොයුරිය ගේ දිවිය මොන විදිහේ නරකාදියකට වැටී තිබිය හැකි දැයි සිතී ඔහු ගේ හදවතේ පදාස පිටින් කඩා වැටි අවස්ථා නැතිවා නොවේ. ඔහු ම නො දන්නවා වුණත් එදා ඔහු ශාන්ත ගේ කඩය සොයා ගිය ගමනේ අරමුණ, ආයේ කිසි දවසක සිය දියණිය කවුදැයි තහවුරු කර ගැනීමේ අවස්ථාවක් උදා නොවනු ඇත යන යටි හිතේ සිතිවිල්ල වන්නට ඇත. සිය දියණිය සියපත් නොවී ද ඈ කවුරුන් දැයි දැක බලා ගන්නටත් තහවුරු කර ගන්නටත්, ඇයට කුමක් වී ද කියා දැන ගන්නටත් ජිතේන්ද්‍ර තුළ කාලයක් තිස්සේ නිදිගැන්වී තිබි සිතිවිල්ල බලවත් ව අවදි වූයේ ය. ඇය සිටිනා තත්වය මත ඈ වෙනුවෙන් කළ හැකි ඕනෑ ම දෙයක් කොන්දේසි විරහිතව කරන්නට ද ඔහු සූදානමින් සිටියේ ය. නමුත් ශාන්ත කියන තාත්තා ගේ ආදරය හමුවේ සිය ධනය මොන තරම් ක්ෂුද්‍ර ද කියා වැඩි වෙලා නොගොස් ඔහු වටහා ගත්තේ ය.
“මට මේක හරි අමුතුයි අනේ. ඇයි තාත්ත මට මේ ගමන යන්න කියන්නෙ….එයාල අතරෙදි මං ඔඩ් වගේ මටම දැනෙයි”
නිහඬ ගමනකට පස්සේ සියපත් වෙව්ළුම් ස්වරයකින් මිමිණුවා ය. සදාතන රිය පදවමින් ම ඇගේ සුරත අල්වා ගත්තේ ය. ඒ අත සීතල ව තිබිණ. ඔහු යන්තම් රියෙහි වේගය අඩු කරනා ගමන් සිනහවකින් ඇදෙස බැලුවේ ය.
“මේ….අතත් සීතල වෙලා. බයේද ඉන්නෙ ඔයා”
සියපත් ගේ මුහුණේ හැම අංගයක ම, හැම සෛලයක ම සුදුමැළි බවක් තැවරී තිබිණ. සිනහ වෙන්නට ගියාට ඇගේ තොල් කොනක් සැලී ගියා විතර ය.
“අනේ මැණික…හයිවේ එකෙන් එළියට දානකල් නතර කරන්නත් බෑනෙ. ඔහොම බය වෙන්නැතුව ඉන්නකො”
සියපත් අමාරුවෙන් කෙළ බිඳක් ගිල්ලා ය.
“කොච්චර වුණත්…මං දැන් එයාලගෙන් වෙනස්නෙ..”
“එහෙම නෑ ළමයො. දැන් වියානා ළඟදි ඔයාට එහෙම වෙනසක් දැනෙනවද…නෑනෙ…ඒ තාත්තව එච්චර ඔයාට දැනෙන්නැත්තෙ හිස් තැනක් නැති ආදරයක් ඔයාගෙ මෙහේ තාත්තගෙන් ලැබුණ නිසා. අනික…තාම ඔයා එක සැරයක්වත් ඒ ඔයාගෙ තාත්ත කියන හැඟීමෙන් බලල නැති නිසා. මොනා වුණත් එයාගෙන් වරදක් වුණා කියල හිතන්නැතුව ඉමු. එයා ඔයාව අයින් කළා නෙවේනෙ. අම්ම ඔයාව අරං ආව නිසානෙ ඔය දෙන්න වෙන් වුණේ”
සදාතන කතා කළේ පුංචි ම දැරියකට වාගේ කරුණාවෙනි.
“අම්ම මාව අරං ආපු එක හොඳයි”
එසැනෙන් සියපත් ගේ හඬ බිඳී ගියේ ය. මොර ගෙඩි වාගේ ලොකු කඳුළු බින්දු දෙකක් ඇගේ ඇස් කෙවෙනි වල එල්ලී ගත්තේ ය.
“නැත්තං මට මේ තාත්ත නෑනෙ”
ඇය පොඩි දැරියක වාගේ කට ඇද කර ගෙන හැඬුවා ය. සදාතන ට සිය සිනහව නැඟිණ. බොඳ කඳුළු දෑසින් ඇය බලා සිටියා ය.
“ඔයත් හිනා වෙනව”
සදාතන ගේ කකුල මත වූ අත ඇය තමන් වෙතට ඇද ගත්තා ය. සදාතන නැවත ද වරක් ඒ අත අල්වා ගත්තේ ය.
“හිනා වෙන්නෙ ඔයා චූටි බබෙක් වගේ කියන ඒවටනෙ. හරි ඉතිං…වෙච්ච දේවල් වුණා. ඒව හරිද වැරදිද කියල ජජ් කරල දැන් වැඩක් නෑනෙ සියපත්. හැම දේම වෙන්නෙ මිනිස්සුන්ට…ඒ වගේම මිනිස්සු අතින්. වෙච්ච දේවල් ගැන දැන් කාටවත් වෛර කරලවත් දොස් කියලවත් තේරුමක් නෑ. ඒ ඒ අය තමන් අතින් වෙච්ච වැරදි වලට ජීවිත කාලෙම විඳෝල ඇති. ඒක තමයි දඬුවම. අපි ඒ අයට සමාව දුන්නහම හිතට සැනසීමයි. තේරුණාද ඔයාට…අලුත් දෙයක් එකතු වෙනව මිස ඔයාගෙ ජීවිතේ තිබුණ කිසිම දෙයක් ඔයාට නැති වෙලා යන්නෑනෙ…ම්…”
කටුනායකින් අධිවේගී මාර්ගයෙන් පිටතට වූවාට පස්සේ සදාතන අවන්හලක් ඉදිරියේ රිය නතර කළේ ය. සියපත් ගේ හිත හැදෙන සේ ඔහු බොහෝ දේවල් කීවේ ය.
“මේක දරා ගන්න කොච්චර අමාරුද කියල කාටවත් හිතා ගන්නවත් බෑ”
“ඒක ඇත්ත. ඒ අමාරුව මේ ප්‍රශ්නෙ ඇතුළෙ ඉන්න ඕගොල්ලො හය දෙනාටම එක එක විදිහට දැනෙනව ඇති. ඒත් දරා ගන්න අපි ඔක්කොමල ඉන්නවනෙ…ම්…කාගෙවත් හිතේ කාටවත් වරදක් කරන්න ඕන කමක් තිබිල නෑනෙ සියපත්. වරදක් වුණා නං ඒ ඔයාගෙ අම්මට…ඒත් එයාටත් සාධාරණයක් කරන්න වෙන්නැති ඉරණම ඔයාගෙ තාත්තව මුණගස්සන්න ඇත්තෙ. ඔයත් දැන් හෙමීට හිත හදාගන්න ඕනෙ. තේරුණාද…”
තවත් කෙනෙකුට තාත්තා කියන්නේ කොහොමද කියා සියපත් දැන සිටියේ නැත. ඇගේ මුළු හද මඬල ම ආගන්තුක හැඟීමකින් දෙදරා ගොස් තිබිණ. අවන්හලෙන් පිට වීමට පෙර කඳුළු මුව දොවා, හිත සකසා ගෙන පැමිණී ද, හෝටලයට ඇතුළු වෙත්දී ඇය කැළඹී සිටියා ය. සදාතන යුවතිය ගේ අතැඟිලි අතරේ ඇඟිලි පටලා ඇයට සුරක්ෂිත හැඟීමක් දැනවීමට උත්සාහ කළේ ය. වියානාත් දියමන්තිත් ඇය වැළඳ ආදරයෙන් පිළිගත්හ. හද ගැස්ම ඒ තරම් වැඩි වී අවසන කුමක් වනු ඇත්ද කියාත් සියපත් ට සිතිණ. ජිතේන්ද්‍ර පෙරමුණට ආවේ අවසාන වශයෙනි. ඔහු යටපත් කර ගෙන සිටියේ පහසු කම්පනයක් නොවේ. ඒ කම්පනය පුපුරා කමපිත ව ගියේ සියපත් ව වැළඳ ගැනීමෙන් පස්සේ ය. ඒ වැළඳ ගැනීම කෙතරම් කාලයක් දිගු වී ද කියා ඔවුන් දෙදෙනා ම දන්නේ නැත. මග දිගට හලමින් ආ කඳුළු වලට කුමක් වී ද කියා සියපත් ට සිතී අමතක ව ගියේ ය. ඇස් දෙක තද කර ගෙන සිය ජීව විද්‍යාත්මක පියා ගේ පපුවේ ගුලි වී සිටි යුවතිය ටික ටික ලිහිල් වූවා ය.
“දැං මට ඕන වෙලාවක සැනසීමෙන් මැරෙන්න පුළුවන්”
ජිතේන්ද්‍ර අන්තිමට කොඳුරා ගත්තේ ය.
“එහෙම කොහොමද…දැන් තමයි ඔයා ජීවත් වෙන්න පටන් ගන්න ඕනෙ. අලුතෙන්…”
කියමින් වියානා ඔවුන් අතරට ආවා ය. ජිතේන්ද්‍ර දූවරු දෙදෙන දෑතින් තුරුලු කොට ගත්තේ ය.
ජීවිතය වූ කලී අහස වාගේ දෙයකි. එය කිසි සේත් එකාකාර නැත. හැම මොහොතක ම වෙනස් වේ. විටෙක වලාකුළු වලින් ගහන ය. විටෙක එකදු වලාවක් හෝ නොමැති තද ගැඹුරු නිලක් දරා හිඳී. විටෙක විචිත්‍ර වර්ණ ගල්වා හැඳි සිතුවමක් සේ ය. විටෙක කළු වලාවන් ගෙන් බර වී හඬා වැටෙන්නට පටන් ගනී. සියපත් කුඩා කල පටන් අහස දෙස බලා ඉන්නට ආශා කළා ය. විශේෂයෙන් ම හිත දුකෙන් සිටිනා වෙලාවක අහස දෙස බැලූ පමණින් ඒ දුක අතුරුදන් වී යන බව ඇය අත්දැකීමෙන් දනී. දැන් මේ මොහොත වන විට, ඔවුන් ගේ ජීවිත අහසට මිස වෙන කිසිවකට සම කළ නො හැකි බැව් ඇය ට ප්‍රත්‍යක්ෂ ය.
ඔවුන්ට ඔවුන් ගේ ම රාත්‍රියක් උදා කොට දී, රාත්‍රී භෝජනයෙන් පසු සදාතන නික්ම ගියේ ය. සියපත් ශාන්ත ට කතා කොට කඩේ වසා ගෙදර ගියා දැයි ඇසුවා ය.
“පුතා කෑවද… හැමෝම එක්ක සතුටෙන් ඉන්න ඕනෙ හොඳද..”
“මං කෑව. ඔය දෙන්නත් කන්න. අම්ම කන්නැතුව නිදියන්න හදයි තාත්තෙ. බලන්න. නංගිට පාඩං කරන්න කියන්න. එයාට ගෙනාපු අනං මනං කෑම ජාති ඇති කුස්සියෙ. ඒව අරං කන්න කියන්න”
“හරි පුතේ හරි. ඔයා ඕව හිත හිත ඉන්න ඕන නෑ. ගෙදර අයත් එක්ක කතා බහ කරල සතුටෙන් ඉන්නකො. ම්…”
“මං හෙට දවල් වෙද්දි එනව තාත්තෙ. සදාතන එනව කිව්ව එක්කං යන්න”
“හරි පුතේ මං එහෙනං තියන්නං. අපිට කතා කරන්න ඕන තරං වෙලාව තියනවනෙ. ඔයා අද ඔය තාත්ත එක්ක කතා කරන්නකො”
ශාන්ත දුරකතන සම්බන්ධය බිඳ දැමුවාට පස්සේ සියපත් ට තුනී සංකා හැඟීමක් දැනිණ. මේ ඇය පිටස්තර තැනක තනිව නිදනා ප්‍රථම රැයයි!
වියානා හා සියපත් බෝ රෑ බෝ වන තුරු වෙරළට වී සිටියහ. මුහුද කියන්නේ කොයි තරම් වෙලා බලා සිටියත් එපා නොවෙනා දෙයකි. මුහුදු සුළඟත්, වෙරලේ රළ බිඳෙනා හඬත්, රාත්‍රියේ නිශ්චලත්වයත් සියපත් සන්සුන් කොට තිබිණ. පොඩි ළමයෙකු ගේ සෙයින් කැළඹී තිබූ හිත දැන් නිශ්චල ය. ඇය දිගු සුසුමකින් නිදහස් වී සිනහවකින් වියානා දෙස බැලුවා ය.
“සනාතන අයිය ගැන මුකුත් කියන්න දෙයක් නැද්ද…”
සියපත් ගේ ඒ හදිසි පැනයෙන් වියානා තරමක් කැළඹී ගියා ය.
“ඒ කිව්වෙ…”
“එයා වෙනස් වෙලා. අමුතු වෙලා. මට නිකමට හිතුණ…ඒ වෙනස ගැන මොනා හරි ඔයා දන්නව ඇති කියල”
“මං…කොහොමද දන්නෙ…”
නමුත් වියානා ගේ මූණේ වෙනස සියපත් ට නිරීක්ෂණය නොවූවා නොවේ.
“මට හිතෙනව එයා ඔයා ගැන හිතනවද කියල”
එවර වියානා සිනහවක් නගා ගත්තා ය. ඇගේ හැම ඉරියව්වක් ගැන ම සියපත් අවධානයෙන් සිටියා ය.
“එයා මං ගැන මොනා හිතන්නද…සදාතන විදිහට එයා මට කතා කළා. හැබැයි ඒ වියානා කියන ගෑනු ළමය ගැන කිසිම ෆීලින් එකකින් නෙවේ කියල ඔයා දන්නවනෙ සියපත්”
“ඒත් ඔයා කතා කළේ එයාගෙ දිහා බලාගෙනනෙ…ඉතින් ඔයා එයාට බැඳිල නැද්ද චුට්ටක්වත්…”
ඔහුත් එක්ක ගෙවී ගිය ඒ රාත්‍රිය වියානා ගේ සිතේ ඇඳී මැකී ගියේ ය. ඇයට එතැනට වී ඉන්නට ඕන වුණේත් නැත.
“කොල්ලො එක්ක ශෙයා කර ගත්ත දේවල් ඕන තරං තියනව සියපත්. ඒත්…මං ලෑස්ති වෙල හිටියෙ ලංකාවට ඇවිත් මැරි කරල ජීවිතේ ලස්සන තැනකින් පටන් ගන්න. මං හිතුවෙ මට කැමති කෙනෙක් එක්කයි මං ඒක කරන්න යන්නෙ කියල”
“සනාතන ඔයාට කැමතිනං…”
“එහෙම දෙයක් එතන නෑ. ඉට්ස් ඕකේ. එහෙම වෙන්න ඕනත් නෑ. ඇයි මං සනානවම මැරි කරන්නෙ…ඒකට හරි යන කෙනෙක් කොයි වෙලාවක හරි හම්බවෙයි”
කාමරයට ඇවිත් ද බෝ රැයක් වන තුරු ඔවුහු කතා කරමින් සිටියහ. වෙනස් මං දෙකක ඇවිද ගිය නිවුන් සොයුරියන් ලෙස, සිය ජීවිත වල තම තමන් නො දැන සිටි බොහෝ දේ ඔවුන්ට දැන ගන්නට තිබිණි. දියමන්ති ඔවුන් වෙනුවෙන් වරින් වර තේ හෝ කෝපි ගෙන්වූවා ය. මේ කතාවේ අසරණ ම චරිතය ඇය නොවේද කියාත් සියපත් ට සිතිණ. නමුත් අනිත් සියල්ලන්ට වඩා අධ්‍යාත්මික වශයෙන් දියමන්ති ඉහළ ස්ථානයක සිටියා ය.