ශරදාකාසේ – 02

රිය පදවමින් සිටි ශාරද ගේ පපුවේ ක්ෂණික දැවිල්ලක් ඇති විය. ඔහු ට එය සිහි වූයේ ඒ වෙලාවේ ය. එහෙම ම ඔහු ගේ කකුල බ්‍රේක් එක පෑගුවේ ය. කන් දෙකෙන් දුම් දමන සංවේදනයක් ඔහු ව දවන්නට විය. 

පිටුපසින් එක දිගට ම රිය නලා හැඬවුණේ ය. කෙතරම් කලබල වී සිටියත්, කලබල විය යුතු නැතැයි හිතන්නට හෙතෙම උත්සාහ කළේ ය. යළිත් හෙමිහිට ඉදිරියට පැදවූ රිය, ආසන්න ම පටු පාරකට රිවර්ස් කොට ආපසු හරවා ගත්තේ ය. 

ඔහු ගේ අත් වල ඝණ ව වැඩී තිබි රෝම අතරින් දහදිය ගලා ගියේ ය. වායු සමීකරණය ක්‍රියා විරහිත ව ඇත්දැයි සිතී ඔහු ඒ පරීක්ෂා කොට බැලුවේ ය. එහි දෝෂයක් වූයේ නැත. ශාරද තවත් ටිකක් සිසිලස වැඩි කළේ ය. 

නිශාමනී සිටියේ වැරැන්ඩා පුටවක් මත යන්තම් හිඳ ගෙන ගල් ගැසී ගෙන ය. වසර පහක් පිරෙන්නා වූ ඔවුන් ගේ යුග දිවි ඉතිහාසයෙහි මේ මෙතුවක් සිදු නොවූ දෙයකි. මෙහෙම හුස්ම ගැනීමේ අසීරුවක් දැනෙන්නට තරම් දෙයක් ඇය අත් විඳ නැත. 

එක අතකට මේ තරම් කලබල වන්නේ කුමකට දැයි ඇය ම සිතුවා ය. මේ සුදු පාට මුදුව හමු වූයේ ශාරද ගේ සාක්කුවේ තිබී මිස ඔහු ගේ මුදු ඇඟිල්ලේ තිබී නොවේ. කොහේ හෝ බිම වැටී තිබි ඒ මුදුව ඔහු ඇහිඳ සාක්කුවේ දමා ගත්තා වෙන්නට බැරි ද? බොරුවක් කරන්නට සිතා උන්නා නම් ඔහු එය සාක්කුවේ දමා ගන්නේ කුමට ද? රෙදි සෝදන්නේ ඇය ය. ඉතින් මෙය අනිවාර්යයෙන් ඇය අතට හසු වන බව ඔහු නො දන්නවා නොවේ. දැන දැන හොර බොරුවක් කරන්නට තරම් ශාරද මෝඩයෙකු නොවන බව නිශාමනී දනී. 

“පිස්සු මටත්. කවදාවත් නැතුව මං එයාව සැක කරන්න අරං”

ඇය හිස ගස්සා තනිව ම මිමිණුවා ය. මේ වගේ කුඩා දේවල් ද විශාල වී පෙනෙන්නට ගන්නේ ඒ සැකය නිසා යි හිතන්නට එවර ඇය උත්සාහ කළා ය. 

එසඳි තව ම නින්දේ ය. මේ විකාර නො සිතා ඇය ව අවදි කොට කිරි එක පෙවිය යුතු යයි නිශාමනී සිතුවා ය. ඇය නිදා ගත්තේ රාත්‍රී ආහාරයක් හෝ නො ගෙන ය.  දියණිය ගේ හුරතල් කතා අතරේ මේ විකාර රූපී සිතිවිලි අකා මකා ලිය  හැකි වනු ඇතැයි ද ඇය සිතුවා ය. 

එසේ සිතා පුටුවෙන් නැගිටින්නට ගියා පමණි. රෝලර් ඩෝ එක එසවෙන්නට ගති. ශාරද ගේ රිදී පැහැති මෝටර් රථය හෙමිහිට මුහුණ ඇතුළට දමා ඊළඟට විශාල චතුරස්‍රාකාර කුහරය තුළින් ඇතුළට රිංගා ආවේ ය. නිශාමනී ගේ අතට ගුලි වී තිබි මුදුව වඩාත් තදින් අත මිට මෙලවිණ.

“ඇයි…”

ඇය බරාඳයේ කුළුණකට හේත්තු වෙමින් ඇසුවා ය.

“පොඩි දෙයක් අමතක වුණා”

කියා ගෙන ශාරද ඇය පසු කර ගෙන ඉක්මන් ගමනින් ගෙතුළට ගියේ ය. ඔහු ගේ දිළිසෙන කළු සපත්තු ඇගේ පපුව මත දෙදරුම් කෑවේ ය. උගුර කට වියළී යන බවක් නිශාමනී ට දැනිණ. මේ මොන කරුමයක් දැයි අනිත් අතට ඇය සිතුවා ය. කිසි වරදක් කොට නැති ඇය ට මේ විදිහේ පීඩනයක් දැනෙන්නට හේතුව කිම? 

ඉතා අසීරුවෙන් බරැති දෙපා අද්දමින් ඇය කාමරය දෙසට ගියා ය. ශාරද කලිසම් සාක්කුව ට අත දමමින් ද යළි පිටතට ගනිමින් ද යළි අත දමමින් ද එය සෙව්වේ ය. රෙදි සෝදන යන්ත්‍රයට දැමීම සඳහා කිළිටි රෙදි එකතු කරමින් ඇය කාමරයට ආ වග නිශාමනී ට සිහිපත් වූයේ ඒ වෙලාවේ ය. නන්නාඳුනනා බරැති පොදියක් වූ ඒ මුදුව අත පත් වීමෙන් පසු ඇය ට රෙදි අමතක විය. ශාරද ගේ කලිසම ද ඔහු දමා තිබූ තැන බිම අත්හැර ඕ පිටතට ගියා ය. 

“මොකද්ද හොයන්නෙ…”

නිශාමනී ගේ හඬ වෙව්ලා ගියේ ය. නමුත් ඒ වෙනස දැනෙනා තරම් නිරවුල් බවක් ශාරද ට වූවා නොවේ.

“පොඩි බඩුවක්”

නිශාමනී බිත්තියට හේත්තු වී බලා සිටින්නට වූවා ය. සිය සිරුරෙහි සංසරණය වෙමින් තිබි රුධිර ධාතුව සිඳී ගොස් ඈ සුදු මැළි වී ගෙන යන බවක් ඇය ට දැනෙන්නට ගත්තේ ය. ටික දිනක සිට ශාරද තුළින් දැනෙමින් තිබි වෙනසට හේතුව මේ වන්නට බැරි ද? ඔහු මේ තරම් කලබයකට හා කැළඹීමකට පත් ව තිබෙන්නේ ඇයි? එය ඇහිඳ ගත් මුදුවක් නම් එසේ වන්නට කිසිදු හේතුවක් නැත. නිශාමනී තව තවත් අගාධය පත්ලෙහි ගිලෙමින් සිටියා ය.

“මේකද හොයන්නෙ…”

ඉවසා දරා ඉන්නට බැරි ම තැන, ඇය දිග හල අත්ල මත තැබූ මුදුව ඔහු වෙත පෑවා ය. ශාරද ගේ ඇස් ක්ෂණික ව ඒ වෙතට දැල්විණ. සිතිවිල්ලකට හෝ තත්පරයක් තිබුණේ නැත. ඔහු වහා ම අත දිගු කොට ඒ මුදුව ඩැහැ ගත්තේ ය.

එසැනෙන් ඔහු කාමරයෙන් නික්ම යන්නට හැදුවේ ය. නමුත් ක්ෂණික හැඟීම් ජාලයක ගොදුරක් බවට පත් වූ නිශාමනී, ඔහු ගේ මග අවුරා සිට ගත්තා ය.

“මොකද්ද ඔය මුද්ද…කාගෙද ඕක…”

සිය බිරිඳ ගේ ඒ ඍජු ප්‍රශ්න ට ඍජු පිළිතුරක් දෙන්නට තරම් ඍජු බවක් මේ මොහොතේ ශාරද වෙත වූයේ නැත.

“ඒක මේ ඔයා දන්න දෙයක් නෙවෙයි. කෝ එහාට වෙන්න. මට පරක්කු වෙලා තියෙන්නෙ”

“ඔය මුද්දෙ එස් කියල තියෙන්නෙ ඔයාද…”

ඒ වෙලාවේ නම් නිශාමනී ට දැනෙන්නට වූයේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අසරණ කමකි. දැවෙනා ඉටි පන්දමක් සේ ඇය දිය වී වැගිරෙන්නට ගන්නා බවක් ඇය ට දැනිණ. ශ්ලේශ්මල හා කඳුළු ග්‍රන්ථි ලිහිල් වන්නට මහ වෙලාවක් ගියේ නැත. කඳුළු බර ඇස් වලින් ඇය සිය ගමන් සගයා දෙස බැලුවේ අනතයට ම දුර්වල ව ය.

“විකාරෙන්ද…මේක යාළුවෙක්ගෙ”

ශාරද අතින් ඇය ව පසෙකට කරමින් ඉක්මන් ගමනින් රිය වෙත ගියේ ය. නිශාමනී පණ නැති ව ගොස් බිත්තියට හේත්තු වී, එසේ ඉන්නටත් වාරු නැති ව බිත්තිය දිග රූරා ගොස් බිම හිඳ ගත්තා ය.

රිය ට ගොඩ ව දොර වසා ගත් ශාරද ලොකු හුස්මකින් නිදහස් වූයේ ය. නමුත් හිතේ වූ බර ඉන් අඩු වූවා යි සිතිය නො හැකි ය. හයිය මිනිසෙකු සේ අතින් ඇය ඉවත් කොට ගෙන ගෙදරින් පිට වූවා ට, ඊට මොහොතකට පෙර ඇගේ වහු පැටවෙකු ගේ බඳු දෑස් දකිත්දී ඔහු අපායගාමී බියකින් වෙව්ලා ගියේ ය. කිසිත් පැහැදිලි කරන්නට පමා නොවී ම ඔහු ඒ ගිනිහලෙන් පිට වූයේ එබැවිනි. අනිත් අතට මොනවා පැහැදිලි කරන්න ද? කොහොම පැහැදිලි කරන්න ද?

නිශාමනී කියන්නේ සිය වත් පොහොසත් මා පියන් විසින් විරෝධය පාත්දී ත් ඔහු ව ම තෝරා ගත් ගැහැනිය ය. ඔහු නො ලැබුණොත් දිවි තොර කර ගන්නවා කියමින්, දුර්වල නොවී එක ම මතයක එල්ලී සිටි කෙල්ල ය. අවසන ජයග්‍රාහී දීප්තිමත් ඇස් දෙකේ ආදරය තියා ගෙන ඔහු සමගින් එක ගමනක් යන්නට ආ විශ්වාසවන්ත පතිණිය ය. ඇය ට වරදක් කරනා අදහසක් ශාරද ගේ තුන් හිතකවත් වූවා නොවේ. නමුත් සිදු වන්නේ සිහිනයකින් හෝ නො සිතු නො පැතු දේවල් ය.

ශාරද ගේ පපුවේ බරක් විය. ඔහු නො දැනී කිහිප වතාවක් ම වමතින් පපුවේ වම් පස පිරිමැද ගත්තේ ය. අනන්ත වාරයක් සුසුම් හෙළුවේ ය. නමුත් ලොකු කළු ගලක් වාගේ දෙයක් නො දැනෙනා තැනෙක හිර වී තිබිණ.  පුරුද්දට වාගේ කාර්යාලය වෙත ගියාට ඔහු ගේ හිත ශරීරයෙන් මුළුමනින් ඉවත් ව පඹ ගාලක පැටලී ගෙන තිබුණේ ය.

“ගුඩ් මෝනිං”

ඇය- පංචලී, අහිංසක ලෙස හිනහී ගෙන ශාරද ගේ කුටියට ආවා ය. ඔහු දෑස් විදා ඇදෙස බලා සිටියේ ඔහු ගේ මුළු ආත්මයට ම ඇතුළු වීමට ඉඩ දෙන බැල්මකිනි. සැබවින් හිත ගිනි ගෙන තිබෙනා මේ වෙලාවේ ඇගේ සිනහව ඔහු ට අමා පැන් පොදක් මෙනි.

“ලේට් වෙනකොට මං බය වුණා”

ඇස් දෙක මේසයට බර කර ගෙන ඇය ඔහු ඉදිරියේ හිඳ ගනිමින් මිමිණුවා ය.

“එන්නැද්ද කියල…”

නැවත ද ශාරද ගෙන් සුසුමකි. පංචලී මේසය ට නැඹුරු වී ඔහු ගේ ඇස් දෙකට එබුණා ය. ගැඹුරු පත්ලෙහි වේදනා පුංජය ඇය දුටුවා ය. එසැනෙන් ඇගේ ළයෙහි ගිනි මැලය ද අලුත් ව ඇවිලෙන්නට ගති. පංචලී ඉතා හෙමිහිට, ඇයට වුව නො දැනෙන සෙයින් පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය. 

දෙදෙනා ගේ ම මුව ගොළු වී තිබුණා සේ ය. හදවත් තුළ නම් වූයේ දොඩමළුවකි. දැන දැන ම මේ ගින්දරට පැන්නේ ඔවුන් ම ය. දැන් පිච්චෙනවා කියා කීවාට මොනවා කරන්නද?

හිත ළඟට ආ එක ප්‍රශ්නයක්වත් පංචලී මුවින් නැගුවේ නැත. ශාරද ව මුලින් ම දුටු දින වල ම ඔහු විවාහකයෙකු බව ඇය දැන ගත්තා ය. නමුත් තේරුම් ගත නො හැකි හේතුවක් ඔවුන් දෙදෙනා සමීප කරවීම ඇය ට වැළකිය හැකි වූයේ නැත. ශාරද ඇයට වාචික ව ප්‍රේමය ප්‍රකාශ කරන විට ද පංචලී ආත්මයෙන් ම ඔහු ට බැඳී සිටියා ය. 

“මන් දන්නෑ මේකෙ තේරුම මොකද්ද කියල. නිශාමනී කියන්නෙ මට හීනෙකින්වත් වරදක් නොකළ ගෑනියෙක්. ඒත් මං ඔයාට ආදරෙයි”

ශාරද එදා කීවේ ඔහු ට දැනුණ ඇත්ත ම ඇත්ත ය. පංචලී වෙව්ලා ගියා ය. පිරිමියෙකු ඇස් වලට එබී ගෙන එහෙම ආදරේ කියන විට පොළොවේ වළක් හාරා ගෙන සැඟවිය හැකි ද කියා ඇය දන්නේ නැත. අනිත් අතට පව් පළ දෙන විට හැංගෙන්නට තැනක් අහසේත් පොළොවේත් මුහුදේත් නැති බව ඇය අසා තිබිණ..අනුන්ගේ වස්තුවකට පෙම් කරනවා කියන්නේ ම සංසාර පාප කර්මයකි. 

“මොකක් හරි…ප්‍රශ්නයක්ද ශාරද…”

පංචලී වෙව්ලන හඬින් අසා ගත්තා ය. ඇය අවිහිංසක බව ඔහු දනී. ඒ ඇස් මත්තේ වන්නේ භීතියකි. ශාරද ඉස්සර නො වුණා නම් පංචලී කිසි සේත් ඇගේ හදවතේ පිළිසිඳි ප්‍රේමයට උපදින්නට ඉඩ නො දෙනු ඇත. නමුත් සියල්ල සිදු වූයේ දෛවෝපගත ව ය.

ඔහු සිතා සිටියේ මුදුව නිශාමනී ට හසු වූ බව පංචලී ට නො කියා ඉන්නට ය. දෙපැත්තේ ම සිත් වේදනා වල තනි බර උහුලා ගන්නට සිදු වන්නේ ශාරද ට ය. 

“නීතිය ඉස්සරහ කොහොම වුණත් දෙවියන් ඉස්සරහ දැන් ඔයා මගෙ හස්බන්. ඒ වෙනුවෙන් මං ඔයාට මේ රිං එක හැදෙව්ව”

මීට පෙර දවසක ඔහු ගේ මෝටර් රථය තුළ දී පංචලී ඔහු ගේ මුදු ඇඟිල්ලෙහි, නිශාමනී දැමූ මුදුව තිබියදී ම මේ මුදුව පැළඳුවා ය. ඇගේ පපුවේ තිබුණ රිදුම දන්නේ ඇය විතර ය. ඔහු ගේ ඇඟිල්ල බදා උන් මංගල මුදුව දකිනා වාරයක් පාසා මහත් අසරණ හැඟීමකින් ඇය හැකිළී ගියා ය. ආදරය කොයි තරම් සන්තකයේ වූවත් ඇය කිසි දා ක ඔහු ගේ සැමියා නො වන බව ඇය දැන සිටියා ය. ඔහු නිශාමනී හැර දා නො එන බව දැන සිටියා ය. ඇය නිකං ම අනියම් බිරිඳ පමණක් බව ද දැන සිටියා ය. නිශාමනී හැර එන්නයි කිසි දා ඇය එක් වරක් හෝ ඔහු ට කියා නැත. මතුවට ද කියනු නැත. එහෙම කියන්නට අයිතියක් ද ඇය ට නැති බව ඇය සිතුවා ය.

“රිං එක නිශාමනීට අහු වුණා”

“ආහ්..”

පංචලී ගේ හුස්ම හිර ව ගියේ ය. ඇය වහා සිය පපුව අල්ලා ගත්තා ය. නමුත් කෙළ බිඳක් හෝ ගිල ගත නො හැකි සේ උගුරේ පේෂි හිර වී තිබිණ. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

(අ)හිමි සිහින -233

අද විශේෂ දවසක්. ඔබ එක්ක මගේ ජීවිත කතාව මේ අවුරුද්ද පුරා මම බෙදාගත්තා. අනේක හැලහැප්පීම් කඩාවැටීම් නැගීසිටීම් දරාගැනීම් එක්ක ආපු මගේ ජීවිතබ්කතාවේ...

නිබ්බුත ගීත -30

මල්ලී හා මා අතරේ වසර තුනක පමණ වයස් පරතරයක් වේ. ඒ නිසා මා කුඩා කල පවා මට ඔහු දැනුණේ කුඩා දරුවෙකු සේ...

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...