හිරු බැස යන වෙලාවට ගාලු කොටුව තුළ වන්නේ අමුතු ම චමත්කාරයකි. රතු තැඹිලි හිරු කිරණක් හැම තැන ම පතිත වී, කොටුව තුළ ස්වභාවයෙන් ම පවතින්නා වූ ගුප්ත අඳුරු පෙනුම මත අලුත් වර්ණයක පින්සල් පහරවල් සලකුණු කරයි. ඒ වෙලාවට කොටුව තුළ වීදි දිග ඇවිද යනවා කියන්නේ වෙනත් ග්‍රහ ලෝකයක ඇවිද යනවා බඳු හැඟීමක් දනවන්නකි.
සමරූපී කඩවසම් නිවුන් තරුණයන් දෙදෙනෙකු සමගින්, එක ම විදිහේ ඇඳුම් කට්ටල දෙකක් හැඳ මග ඇවිද යන තරුණියන් දෙදෙනෙකු යනු විශේෂ දර්ශනයකි. එහෙම දර්ශනයක් දෙස කෙනෙකු දෙවරක් බැලීම යනු සාමාන්‍ය දෙයකි.
“බෑ අනේ..මිනිස්සු හැරි හැරි බලනව මැජික් එකක් වගේ”
වියානා හදිසියේ මුරණ්ඩු ලෙස මග නතර වූවා ය.
“දෙන්නත් එක්ක අර උණවටුණෙ බීච් එකෙන් එක වගේ ඇඳුං අරං අඳිනකොට මං හිතුව ඔහොම වෙයි කියල”
සනාතන හඬ නගා හිනැහුණේ ය. ඔහු ඒ විදිහට සිනහ වූයේ සති ගණනකට පස්සේ ය. සියපත් දෙතොල් තෙරපා ගෙන ද ඇස් වඩාත් කුඩා කොට ගෙන ද සිනහ වී ගෙන සදාතන දෙස බැලුවා ය. “මං කිව්වෙ” වැනි කතාවක් ඒ බැල්මේ විය. ඔහු නිහඬ සිනහවකින් ඉවත බලා ගත්තේ ය.
“මොකද තමුසෙල දෙන්න නෝන්ඩියට වගේ හිනා වෙන්නෙ…”
සනාතන නෝක්කාඩු වූයේ ය. එවර සියපත් ගේ සිනහව පුපුරා යන ලදී.
“ආ…මේ බලන්නකො. අපි හිනා වුණත් වැරදියි”
ඇය හුරතලයෙන් එහෙම කියමින් සදාතන ගේ වැලමිට සන්ධියෙහි එල්ලුණා ය.
මේ ගමන එන්නට හේතු වූ කාරණා දෙකක් තිබිණ. එකක් සදාතන රාත්‍රියක ගාලු කොටුවේ ඇවිදින්නට ඕනේ යයි එදා ඔවුන් මෙහි පැමිණි දා පැවසීම ය. වියානා හා සනාතන ව ද ඊට එක් කර ගත හැකි නම් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකි. නමුත් වියානා වාගේ නිදහස් ව හැදුණ ගෑනු ළමයෙකුට කෙසේ වී ද සියපත් වාගේ ලාංකික පන්නයට දෙමව්පියන් ගේ ඇස් බැල්ම මානයේ හැදුණ ගෑනු ළමයෙකුට විවාහයට පෙර තරුණයෙකු සමග රෑ ගමන් වලට අවසර ඇත්තේ නැත. එනයින් මේ අවසරය ගන්නට දෙතුන් දිනක් ම ඇය ළතැවුණා ය. දවසක් ශාන්ත රෑ කෑම කන අතරේ දී ඔහු ළඟ උළුවස්ස උඩින් වාඩි වී මාර්ගයක් පාදා ගන්නට ඇය තැතනුවා ය.
“මට හොඳටම තේරෙනව වියානයි සනාතන අයියයි දෙන්නම ඒ දෙන්නට කැමතියි. ඒත් ඒ දෙන්නම පිළිගන්න කැමති නැති මොකක් හරි දෙයක් මැද්දෙ හිර වෙලා ඉන්නෙ. ඒ දෙන්න එකතු වෙනවනං මං හරි ආසයි. ඒගොල්ලන්ට නිදහසේ කතා කරන්නත් එක්ක කොහෙ හරි ගමනක් ගියානං හොඳයි කියල හිතෙනව. සදාතන අයිය කලින් ඉඳන්ම කිය කිය හිටියෙ රෑ වෙද්දි ගාලු කොටුවෙ ඇවිදින්න ආසයි කියලත්…”
සියපත් වචන එකතු කළේ පරිස්සමෙනි. තාත්තාගෙන් මෙහෙම ගමනකට අවසර ඉල්ලන එක දුවකට පහසු කාරියක් නොවේ.
“හරි දැං මොකක් අහන්නද ඔය තෙපරබාන්නෙ…”
ශාන්ත වතුර උගුරක් බී උගුර පාදා ගෙන විමසී ය. සියපත් ගේ හිත තේරුණ ද ඔහු ට ද මෙවැන්නකට අවසර දෙන්නට හිත සකසා ගැනීම පහසු නැත.
“නෑ තාත්තෙ…අපි…දවල් ගිහින් රෑ වෙද්දි එනව. හයි වේ එකේනෙ…ඉතිං ගාල්ලෙ ඉඳල පැයට එන්න පුළුවන්නෙ…රෑ වෙද්දි ටිකක් කොටුවෙ ඇවිදල…රෑ කෑම කාල එහෙම එනව. නවතින්නෙ නෑ”
අසීරුවෙන් හෝ ඒ ටික පිටතට දැම්මාට පස්සේ සියපත් ට පහසුවක් දැනිණ. හිස මත පැටවී තිබූ ලොකු බරක් බිමින් තිබ්බා සේ විය.
“හ්ම්. ගිහිං එමුකො එහෙනං. යන්න කලින් සදාතන පුතා එක්ක මාව හම්බ වෙන්න ඕනෙ. තේරුණාද…”
සියපත් හිස සැළුවා පමණි. ඇයට මඳ ලැජ්ජාවක් නො දැනුණා ම නොවේ. නමුත් සදාතන ගේ ආශාව ඉටු කිරීමේ ආශාවක් යටපත් කළ නො හැකි ලෙස ඇගේ ගැහැනු හදෙහි පණ ගැහෙමින් තිබිණ. පෙර දා සැඳෑවේ සදාතන ශාන්ත ගේ ඉල්ලීම පරිදි ඔහු හමු වූයේ බොජුන් හලෙහි දී ය.
“හෙට අපි ගාල්ලෙ යන්න කියල හිතන් ඉන්නෙ තාත්තෙ. සියපත් කිව්වෙ ඊට කලින් තාත්තව හම්බ වෙන්න කිව්වයි කියල”
“හ්ම්. පුතා ගැනවත් අපේ කෙල්ල ගැනවත් වැරදි අදහසකින් නෙවෙයි මං එහෙම කිව්වෙ. අපි කාගෙත් හොඳට. අපිත් ඉතින් තරුණ වයස පහු කරල මේ වයසට ආපු මිනිස්සුනෙ පුතා. මං ඉතින් තාම කොල්ල වගේ තමයි”
ශාන්ත ඒ විහිළුව මැද්දට දැම්මේ සියපත් ගේ හෝ සදාතන ගේ සිත් වල අපහසුවක් වී නම් එය දුරු කොට හරිනු වස් ය.
“පුතාල දැනුම් තේරුම් ඇති ළමයි. අපි අමුතුවෙන් මේව මතක් කරන්න දෙයක් නෑ. ඒත් ඇස් දෙකේ තියාගෙන හදපු දුවෙක් ගැන පොඩි හරි ගැස්මක් ඒ දෙමව්පියන්ගෙ හිතේ තියනව පුතා සුදුසු කෙනෙකුට දවසක බාර දෙනකල්. අපි කාගෙංවත් වචනයක් අහගන්න ඕන නෑනෙ…නේද…සියපත් කියන්නෙ පුතා දවසක බඳින්න තෝර ගත්ත ගෑනු ළමය. බැන්දොත්…පුතාගෙ දරුවන්ගෙ අම්ම වෙන්න ඉන්න ගෑනු ළමය. ඉතින්…එයාගෙ තාත්ත විදිහට මං එයාව ආදරෙන් ගෞරවෙන් රැක ගත්ත වගේම වගකීමක් පුතාටත් එයා ගැන තියනව. තමන් ආදරේ කරන කෙල්ලගෙ ගෞරවේ රකින්න දන්න කොල්ලෙක් තමයි දවසක හොඳ තාත්ත කෙනෙක් වෙන්නෙ. තේරුණද ඉලන්දාරිය..හොඳයි හොඳයි. ගිහින් විනෝද වෙලා එන්න. ඔය වයස ආයෙ එන්නෙ නෑනෙ”
ශාන්ත සදාතන ගේ උරහිසකට තට්ටුවක් දැමුවේ ය. සියපත් බිම බලා ගෙන සිටියා ය. ගෑනු ළමයෙකු වශයෙන් එය ඇයට අසීරු මොහොතක් විය.
“නංගිවත් එක්කං යන්නං තාත්තෙ”
සියපත් එසේ ඇසුවේ හදට දැනුණා වූ අපහසුව මඳක් සමනය කර ගනු වස් ය.
“නෑ නෑ ඕන නෑ. නංගි ඉතිං මේ විභාගෙට ලෑස්ති වෙන ළමයනෙ. විභාගෙ ඉවර වුණාම අපි කට්ටියම හොඳ ගමනක් යමුකො. පුතාල හතර දෙනා හෙට පරිස්සමට ගිහින් එන්නකො. ම්…”
දවාලේ යනවා කියා සියපත් හිතා උන් ගමන උදේ ආරම්භ කළේ මුලින් ම උණවටුණේ වෙරළට යන්නට සනාතන කළ යෝජනාව නිසා ය. සියපත් නොව වියානා පවා මීට පෙර උණවටුණේ ගොස් තිබුණේ නැත. ගාල්ලේ සිට මාතර දෙසට මඳ දුරක් ගිය විට වැල්ලේ දේවාලයට යන පටු පාර ඔස්සේ උණවටුණ වෙරළට ගමන් කළ යුතු ය. එය කදිම සංචාරක පුරවරයකි. පටු මග දෙපස වන්නේ සංචාරක ආකර්ශනය දිනා ගන්නා විවිධ නිෂ්පාදන අලෙවි කෙරෙනා වෙළෙඳ සැල් ය. ඒ පටු මාවත උණවටුණ වෙරළ කරා සේන්දු වෙයි. වෙරළේ ඈත දකුණු පසින් උස් බිමක දෙවොල දර්ශනය වේ. ඉතා පුළුල් දර්ශනීය වෙරළ ඇස් මානයේ දිගට ම දිවේ. දෙනෙත් අභියස මැවෙන්නේ පුළුල් බේසමක් බඳු නො ගැඹුරු නිල්වන් ජල තටාකයකි. ආරක්ෂිත ගල් පරයක් මීටර් කිහිපයක් ඈතින් පැන නැගී ඇත්තේ බියක් සැකක් නැතිව හිතේ හැටියට කර දියෙහි ගිලෙන්නැයි ඇරයුම් කරන්නට මෙනි.
ඒ ජල තටාකයට වන් කල යළි මෙගොඩ එන්නට නො සිතෙන තරමි. තරුණයන් දෙදෙනා ද තරුණියන් දෙදෙනා ද හිතේ හැටියට දිය කෙළියෝ ය. සදාතන සියපත් ට පිහිනීමට කියා දුන්නේ ය. ඔවුන් යළි ගොඩට විත් මිරිදියෙන් නා ඇඳුම් මාරු කොට කෑම කෑවේ හවස් වී ය. ඒ වෙත්දීත් වියානා ගේ සේ ම සනාතන ගේ ද හිත් වල බරක් පැටවී තිබිණ. පරණ පුරුදු විදිහට ඔවුන්ට උනුන් ඉදිරියේ සැහැල්ලු වීමට වුව නො හැකි වූ සේ ය.
ගාලු කොටුවේ ඇවිද සැන්දෑ සුවය විඳ ඔවුහු එහි විවේක ගැනීම සඳහා කාමර දෙකක් වෙන් කොට ගත්හ. හවස තේ පාණය ද රාත්‍රී භෝජනය ද ඇනවුම් කෙරුණේ එතැනට ය. ඒ පැරණි ගොඩනැගිල්ලේ මතු මහලට කෙළින් ම පෙනෙන්නේ ඉමක් කොනක් නැති මහා සාගරයයි. ඒ දර්ශනය දෙස කෙතෙක් බලා උන්නද සෑහීමක් වන්නේ නැත.
“කතා කරන්න මොනාත්ම නැද්ද..”
යහනෙහි වැතිරී විවේක ගන්නා ගමන් සියපත් ඇසුවා ය. වියානා නෙතගින් ඇදෙස බැලුවා පමණි.
“හිතේ හිර කරං ඉන්න දේවල් කියල නිදහස් වුණානං හරි නේද…දෙන්නම දන්නැති වුණාට ඔය හිර කරං ඉන්නෙ ආදරේ තමයි”
“මට සනාතනට කතා කරන්න ඕනෙ”
වියානා හදිසියේ ම කීවා ය. ඒ අවශ්‍යතාවය ඇයට වූයේ පෙර දා සිට ය. නමුත් තව තවත් ඇය තමන් තුළ ම හිර වී සිටියා පමණ ය. සියපත් යාබද කාමරයේ දොරට තට්ටු කළා ය. දොර විවර කළේ සනාතන ය. ඇය හිස ඇතුළට දමා සදාතන ට පිටතට කතා කළා ය. වීදි වල විදුලි පහන් දැල්වෙමින් තිබිණ. සියපත් නවාතැනේ කෙටි බැම්මට බර වී අඳුර ඇද හැලෙමින් පවත්නා සයුර දෙස බලා ගත්තා ය. සදාතන ඈ ළඟට ම විත් බැම්මට බර වී නැවත ද විදුලි සැර වැදුණා සේ ඈත් විය.
“හම්මෝ…ලං වෙන්නත් බයයි. මාමණ්ඩි ළඟට කතා කරල කම්මුල් පාරක් නොගහ දීපු ඇඩ්වයිස් එක මතක් වෙනව කොයි වෙලෙත්”
“අ…නේ…”
සියපත් සිය දෝතින් ම සදාතන ගේ අතේ එල්ලී ඔහු ගේ උර මඬලට බර වූවා ය. ඇගේ සුවඳවත් හිස කේ ඔහු සිප ගත්තේ ය.
“අපි ඇවිදල එමුද…ගොඩක් රෑ වෙන්න කලින් යමු හොඳේ”
“අරගොල්ලො..”
“ඒගොල්ලො එයි. වියානා ට සනාතන අයිය එක්ක කතා කරන්න ඕන කිව්ව”
“එහෙනං යං”
ඔහු ඇගේ බඳ වටා අත දමා ඈ ලං කර ගෙන පිට ගැට පෙළ බැස්සේ ය. තමන් සිටින්නේ වෙනත් ලෝකයක ද කියා සිතෙන තරම් චමත්කාරයක් ඒ අඩ අඳුරු කොටු පවුර ඇතුළේ විය. ඒ මිහිරි රසැති හුදෙකලාව අතරින් ඔවුන් ඇවිද ගියේ අතිනත් පටලා ගෙන ය. මුහුදු හුළඟ සීතල තවරා ගෙන ගත දැවටිණ. ඇය තවත් ඔහු ට තුරුලු වූවා ය. සදාතන ගේ අතක් සියපත් ගේ බඳ වට වෙළී ගියේ ය. ඔහු ගේ සුසුමක උණුහුම ඇගේ කන් පෙත්තකට දැනිණ. ලෝකයේ මොනවා සිදු වුණත් කම් නැතැයි ඕ නෙතු පියා ගත්තා ය. ඔහු ගේ තුරුණු ලවන් රස උතුරවමින් රස සොයා ගියේ ය. මේ රැය පහන් වන තුරා සදාතන ගේ උණුහුමට තුරුලු වී ගෙන ඉන්නට තිබුණා නම් කියන සිතිවිල්ල සියපත් ගේ රතදර අතරේ රහස් මඳහසක් උපදවනා ලදී.
දොර විවර කර ගෙන වියානා කාමරයට එත්දී සනාතන හිටියේ යහනට වැටී ගෙන ය. ඇතුළට එන්නේ සදාතන යයි සිතී ද, වියානා ව දුටුවෙන් ඔහු වහා නැගිට යහනේ හිඳ ගත්තේ ය. වියානා ඔහු ට යාබද ව හිඳ ගත්තා ය. ඔවුන් දෙදෙනා ගෙන් ම එක වර සුසුමක් ගිලිහිණි. ඊළඟට ඔවුන් දෙදෙන ම උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ. ඒ මුහුණු වල ඔවුන් දැක පුරුදු සැහැල්ලුව තබා මඳහසක් හෝ වූවා නොවේ.
“මං දන්නෑ ඔයා මං ගැන කොහොම හිතං ඉන්නවද කියල සනාතන. අනුකම්පාව වගේ රීසන් එකක් නිසා මැරි කරන ඕන කමක් මට නෑ කියල මං දන්න නිසයි ඔයාගෙ ප්‍රපෝසල් එක රිජෙක්ට් කළේත්. ඒ වගේ ම…මං දන්නෑ මේ තරමට මං කෙයාලස් වුණෙත් කොහොමද කියල..මෙන්සන්ස් ලේට් වෙද්දි…හදිසිසියෙම මට මතක් වුණේ ඒ ඉන්සිඩන්ට් එක..ප්‍රෙග්නන්සි ටෙස්ට් කිට් එකක් ෆාමසි එකකින් අරං මං චෙක් කළා…”
සනාතන බලා උන්නේ ඇස් ලොකු කර ගෙන ය. වියානා මොහොතකට ඇස් දෙක තද කොට පියා ගත්තා ය.
“ප්‍රෙග්නන්සි ටෙස්ට් එක පොසිටිව්”
සනාතන වහා යහනෙන් නැගිට ගත්තේ ය. තවමත් ඇඳ මත හිඳ අවිනිශ්චිත බැල්මෙන් වියානා ඔහු දෙස බලා හිඳී. සනාතන එහෙම ම එතැන බිම හිඳ වියානා ගේ කුස සිය දෝතින් ම අල්වා ගත්තේ ය.
“බ…බෙක්…”
ඔහු ට එය අදහා ගත නො හැකි සිහිනයක් වාගේ ය.
“ඔව්..බබෙක්. මගෙ වැරැද්ද..මට ඒ ගැන හිතන්න ගානක් වුන්නෑ. ඔයාට බ්ලේම් එක දාන්න ආව නෙවෙයි”
“මො..නාද ඔයා කියන්නෙ…බ්ලේම් එක..වියානා…මෙතන මගෙ බබෙක් ඉන්නව කියන්නෙ…”
සනාතන ගේ ඇස් වලට කඳුළක තෙත දැනිණ. ඔහු වියානා ගේ කුස මත දෙතොල් තබා බැතිබර ව සිප ගත්තේ ය.
“අපි දන්නෙත් නැතුව බබෙක් ඇවිත් තියන නිසා මැරි කරමු කියල කියන්න නෙවෙයි මං මේ හදන්නෙ..”
“වියානා…වියානා ඔයා දන්නෑ එදා ඉඳං මං ජීවත් වුණේ කොච්චර අමාරුවෙන්ද කියල”
සනාතන යහනෙහි ඇයට වඩාත් ලං ව හිඳ ගත්තේ ය.
“මං ඔයාට ආදරේ කරන්න පටං අරං කියල ඔයා කීයටවත් විශ්වාස කරන්නැති එකයි මට තිබුණ අවුල..”
“මං මේක ඔයාට කියන්නැතුව තාත්තිල එක්ක ආයෙ යනවද කියලත් හිතුව. කෝකටත් මේක කිව්වෙ…ඔයාට කියන එක යුතුකමක් නිසා. තමන්ගෙ අයගෙන් වෙන් වෙනව කියන එක කොච්චර නරක දෙයක්ද කියල මං අත්විඳල තියන නිසා…මේ පැටිය ඔයාගෙ සනාතන..”
දැඩි හිතක් ඇත්තියක වී ද ඒ වෙලාවේ වියානා ගේ හඬෙහි බිඳීමක් සිදු විය. සනාතන ඇයව නැගිටුවා ගනිමින් ඈ ඔහු ගේ තුරුලට ගත්තේ ය.
“එහෙම කරන්නෙපා. මට ඔයාවයි බබාවයි දෙන්නවම ඕනෙ”
ඔහු දැඩි ස්නේහයකින් ඈ සිප ගත්තේ ය.
“මේක වෙන්නැති වෙන්න තිබුණ දේ. සදාතන ඔයාගෙ කෝල් එක මට දෙන්න ඇත්තෙම ඒ නිසා වෙන්නැති”
“ඔයාට පුළුවන් වෙයිද සනාතන මට ආදරේ කරන්න…අපිට පුළුවන් වෙයිද ලස්සන ජීවිතයක් මෙතනින් පටන් ගන්න…මට ඕනෙ අනුකම්පාවක් නෙවෙයි”
“පුළුවන් නේද…ඔය දෙන්නගෙ ජීවිත මට පුළුවන් උපරිමෙන් ලස්සනට තියන්න මං පොරොන්දු වෙනව වියානා…මෙතනිං පටං අරං මුල ඉඳං ආදරේ කරන්න අපිට පුළුවන්නෙ”
වියානා ඉක්මන් සිනහවක් පෑවා ය. ඒ ගමන් ම දෑත ම ඔහු වටා යවමින් ඔහු ගේ පපුතුර සිප ගත්තා ය.